බ්‍රිතාන්‍යයන්ට දරාගන්න අමාරු හැරී මේගන්ගේ හැරයෑම හෙවත් ‘මෙග්සිට්’ | සිළුමිණ

බ්‍රිතාන්‍යයන්ට දරාගන්න අමාරු හැරී මේගන්ගේ හැරයෑම හෙවත් ‘මෙග්සිට්’

ම ජීවිත තමන්ට ඇවැසි ලෙස පවත්වාගෙන යෑමට හැකි අන්දමේ තීරණ ගැනී­මට කිසි­යම් හැකි­යා­වක් සහ එඩි­තර බවක් තිබිය යුතුය. එලෙස තීරණ ගැනීමේ හැකි­යා­වක් නොමැ­තිව තම වටිනා ජීවිත ඔහේ ගෙවා දම­මින් දුකින් කල් ගෙ­වන්නෝ සුල­බය. තම තීරණ හේතු­වෙන් තම ඥාතීන් කණ­ගා­ටු­වට පත් වේය යන්න ඔවුන් පසු­ගාමී කර­වී­මට ප්‍රධාන හේතුව ලෙස දැක්විය හැකිය. එහෙත් ඒ කිසි­වක් නොත­ක­මින් තම සතුට ළඟා කරගන්නා පසුව ඒ ඔස්සේ තම සමී­ප­ත­ම­න්ටද සතුට ළඟා කර දිය හැකි අන්දමේ පෞරුෂ­ත්ව­යක් පවතී නම් ඔවුන්ගේ ජීවිත සුන්දර වනු ඇති බව නිසැ­කය.

එවැනි පෞරුෂ­ත්ව­යක් සහිත පුද්ග­ල­යකු ලෙස බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරා මේ දින­වල කට­යුතු කර­මින් සිටි­න්නේය. බ්‍රිතාන්‍ය රජ­ප­වුල යනු රාජ­කී­ය­ත්වය නිසාම මිනිස් ජීවිත අවු­ලෙන් අවුලට ඇද දැමී­මට සමත් වූ ලෝක­ප්‍ර­සිද්ධ පවු­ලකි. රජ­ප­වු­ලට සම්බන්ධ වන සෙසු සාමා­ජි­ක­යන්ට බොහෝ විට රජ පවුලේ සම්ප්‍ර­දා­යන් වෙත කැමැ­ත්තෙන් හෝ අක­ැමැ­ත්තෙන් අනු­ගත වීමට සිදු ­විය. ඒ අනුව රජ පවුලේ සම්ප්‍ර­දා­යන් වෙනු­වෙන් තම සතුට බිලි­දී­මට සහ අව­සන ජීවි­තය පුද දීම­ටද ඇතැ­මුන්ට සිදු­විය. ඒ සඳහා හොඳම උදා­හ­ර­ණය වන්නේ ඔටුන්න හිමි චාල්ස් කුම­රුගේ බිරිය වූ ඩයනා කුම­රි­යයි.

හැරී කුමරා ඩයනා කුම­රි­යගේ ගති­ගු­ණ­ව­ලට බෙහෙ­වින් සමාන ගති­ගුණ දරන බවට මාධ්‍ය වෙතින් අද­හස් පළ වූයේ මීට පෙර සිට­මය. රාජ­කී­ය­ත්වය මායිම් නොක­රන බව තම විවා­හයේ සිටම හැරී කුමරු පෙන්නුම් කර සිටි අතර රජ­කී­ය­ත්වය හේතු­වෙන් වන්දි ගෙවූ ජීවිත සංඛ්‍යාව වැඩි බැවින්දෝ හැරීගේ එම තීර­ණ­ව­ලට රජ පවු­ලෙන්ද විරෝ­ධ­යක් එල්ල වූයේ නැත. අනෙක් අතට හැරීගේ හිස මත ඔටු­න්නක බරක් වූයේ ද නැත.

හැරී විවා­හය සඳහා තෝරා ගත්තේ තම සිත්ගත් යුව­තිය මිස රාජ­කී­ය­යන්ට ඔබින යුව­ති­යක නොවේ. හොලි­වුඩ් නිළි­යක මෙන්ම දික්ක­සාද කාන්තා­ව­කද වන මේගන් රජ පවු­ලට එක්වීම යනු අදින් දශක තුන හත­ර­කට පෙරදී නම් තැති­ග­න්වන සුලු පුදු­ම­යක් විය. ඔටුන්න හිමි විලි­යම් කුමරු අනා­ගත රජු වීමට සියලු සුදු­සු­කම් සපු­රන විවා­හ­යක බැඳුණු අතර කේට් මහ රැජන­ටත් වඩා රාජ­කීය සම්ප්‍ර­දා­යන් අනු­ග­ම­නය කර­න්නි­යක් ද වන්නීය. මහ රැජ­නද චාල්ස්ට වඩා විලි­යම් කුමරු ප්‍රිය කරන බව පෙනී යන්නේ බොහෝ­විට තම පණි­විඩ නිකුත් කිරී­මේ­දීද විලි­යම් සහ කේට් එක් කර ගන්නා බැවිනි.

හැරීගේ විවා­හය රජ පවුල උඩු යටි­කුරු කිරී­මට සමත් වූ අතර පියා නොමැ­තිව මේගන් අල්තා­රය වෙත ගෙන ඒම­ටද චාල්ස් කුම­රුට සිදු­විය. ඒ වෙනු­වෙන් හැරී තම පියාට එම අව­ස්ථා­වේ­දීම ස්තුති කර සිටි­යේය.

හැරී සහ මේගන්ගේ පුත්‍ර­යාට නම් තැබී­මේ­දීද ඔවුහු දෙදෙන රාජ­කීය සම්ප්‍ර­දා­යන් කඩ කළෝය. ‘ආචි‘ යනු රාජ­කී­ය­යන් මෙතෙක් ස්වකීය දරු­ව­කුට ලබා නොදුන් අන්දමේ නමකි. එප­ම­ණක්ද නොව දරුවා සම්බන්ධ සෙසු බොහෝ රාජ­කීය සම්ප්‍ර­දා­යන්ද හැරී මේගන් අතින් කඩ­වනු දක්නට ලැබිණි.

දැන් හැරී සහ මේගන් රජ පවුල මත තවත් බෝම්බ­යක් අතහැර තිබේ. රජ පවු­ලෙන් ඉවත්ව සාමාන්‍ය මිනි­සුන් ලෙස ජීවත් වීමට ඔවුන් අද­හස් කර ඇති බව පසු­ගිය සතියේ මාධ්‍ය වෙත ඉතා කෙටි සට­හ­නක් නිකුත් කර­මින් ඔවුහු පවසා සිටි­යහ. එසේ කිරී­මට පෙර ඒ සඳහා ඔවුහු රජ පවු­ලෙන් අව­ස­ර­යක් ඉල්ලා තිබු­ණේද නැත. ඔවුන් නිකුත් කළ පණි­වි­ඩය දුටු රැජන ඇතුළු රජ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමා­ජි­කයෝ වහාම රැස් ව හැරී -මේගන් තීර­ණය ගැන සාකච්ඡා කළහ. අව­සන ඔවුන්ට සිදු­වූ­යේද හැරීගේ තීර­ණ­යට ඉඩ හැරී­ම­ටය.

ඒ අනුව ඉදි­රි­යේදී හැරී සහ මේගන් රජ පවු­ලෙන් ඉවත්ව කැන­ඩාවේ පදිංචි වීමට නිය­මි­තය. ලැබෙන වාර්තා අනුව හැරී කුමරු පවසා ඇත්තේ තම ඉදිරි ජීවි­තය කැන­ඩාව සහ බ්‍රිතා­න්‍යය අතර ගෙවී යනු ඇති බවය. මේ තීර­ණය සඳහා කැමැත්ත පළ කර­මින් මහ රැජන පවසා ඇත්තේ ‘මේ ඔවුන්ගේ ජීවි­ත­වල සංක්‍රාන්ති සම­යක් වනු අැති බවයි‘.

මුල්‍ය­මය වශ­යෙන් ස්වාධීන වීම ඔවුන්ගේ අපේ­ක්ෂාව බවද හැරී මේගන් යුවළ ප්‍රකාශ කර තිබේ. විවා­හ­යට පෙරද නිළි­යක වශ­යෙන් මේගන් කිසි­යම් ස්ථාව­ර­ත්ව­යක් දිනා­ගෙන සිටි­යාය. ඇය රඟපෑ රූප­වා­හිනී මාලා නාට­ක­යක එක් කොට­සක් සඳහා ඇය ඩොලර් 50 000ක ආදා­ය­මක් ලැබු­වාය. රංග­නය කෙසේ වෙතත් සන්නාම තානා­ප­ති­ව­රුන් ලෙස ඔවුන්ට ඉතා විශාල ආදා­ය­මක් ඉප­යීය හැකි වනු නිසැ­කය.

හැරී කුමරු කිසි­දි­නක වෘත්ති­යක නියැළි නොමැති වුවද ඔහු හමුදා සේවයේ යෙදී ඉතිරි කරගත් මුද­ලක් පව­තින බව ප්‍රකා­ශි­තය. එමෙන්ම ඩයනා කුම­රි­යගේ අභා­ව­යෙන් පසු ඔහු තම දරු­වන් දෙදෙ­නාට භාර­කාර අර­මු­ද­ලක් යටතේ කිසි­යම් මුද­ලක් හිමි­ ව­න සේ කට­යුතු කර තිබෙන බවද සඳ­හන්ය. හැරී කුම­රුට වයස අවු­රුදු 30 සම්පූර්ණ වූ පසු එම මුදල් ලබා ගැනී­ම­ටද හැකි වනු ඇත. මීට අම­ත­රව හැරී කුම­රුගේ මිත්ත­ණිය වන මවු රැජන හෙවත් එලිස­බත් රැජ­නගේ මවද හැරී කුමරු වෙනු­වෙන් කිසි­යම් මුද­ලක් ඉතිරි කර ඇති බව සඳ­හන්ය.

හැරී මේගන් මෙලෙස ස්වාධීන වීමට තීර­ණය කරන විට බොහෝ බ්‍රිතාන්‍ය වැසියන් එයට අප්‍ර­සා­දය පළ කර තිබේ. බ්‍රිතා­න්‍යය යුරෝපා සංග­ම­යෙන් ඉවත් වීම ‘බ්‍රෙක්සිට්‘ ලෙස හැඳින්වූ ඔවුහු, හැරී මේගන් රජ පවු­ලෙන් ඉවත් වීම ‘මෙග්සිට්‘ ලෙස හැඳි­න්වී­මට පටන් ගෙන තිබේ. ඔවුහු රජ ­ප­වුල තම රටේ අන­න්‍ය­තාව ලෙස හඳු­නා­ගෙන සිටින අතර රජ­ප­වුල කිසි­යම් අන්ද­මක කඩාවැටී­මට ලක් වනු දැකීම අප්‍රිය කරති.

මේ අතර කැනඩා ජන­තාව හැරී සහ මේගන් ආද­ර­යෙන් පිළි­ගැ­නී­මට සූදා­නම් බව ප්‍රකාශ සිටිති. කැන­ඩා­වේදී ඔවුන්ට පොලිස් ආර­ක්ෂාව ලැබී­මට නිය­මිත අතර ඒ වෙනු­වෙන් මුදල් ගෙවී­ම­ටද ඔවුන්ට හෝ කැනඩා රජ­යට සිදු­වනු ඇත.

රාජ­කී­ය­ත්ව­යෙන් නික්ම මහ­පො­ළොවේ ජීවත් වීමට තීර­ණය ගැනී­මට තරම් ශක්ති සම්පන්න වූ මේ ආද­ර­ණීය රාජ­කීය යුවළගේ අනා­ගත ජීවි­තය තවත් සෙසු ධෛර්ය සම්පන්න මිනි­සුන් රැස­කට ආද­ර්ශ­යක්ම වනු ඇත.

Comments