පීඩාකාරි පීනසෙන් මිදෙමු | සිළුමිණ

පීඩාකාරි පීනසෙන් මිදෙමු

“මට නම් මකුළුදැල් කඩන්න බැහැ. එක දිගට කිවිසුම් යනවා. හරිම වදයක්.”

මෙසේ මැසිවිලි නඟන අය කෙ‍ාතෙකුත් අපේ සමාජයේ සිටිති. වැසි ‍පොදකට තෙමුණු විට නාසයෙන් සොටු දියර ගලන, වායු සමනය කළ ස්ථානයක හෝ විදුලි පංකාවක් යට සිටින විට නාසය සිර වන අය ද අප්‍රමාණව හමු වෙති. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මෙම තත්ත්වය හැඳින්වෙන්නේ “පීනස” යනුවෙනි. ඕනෑම අයකු ඉමහත් කරදරකාරි රෝගයක් ලෙස සලකනු ලබන “පීනස” ආයුර්වේදයට අනුව නාසා රෝග 31 න් එකකි. පීනස් රෝගයේ ප්‍රභේද 18ක් ඇත. ඒවා පහත දැක්වේ.

දිය පීනසය - නාසයෙන් සොටු ගලයි.

ගඳ පීනසය - නාසයෙන් දුගඳ හමයි.

ළය පීනසය - හතිය ඇති කරයි.

වා පීනසය - හිසරදය ඇති කරයි.

පිත් පීනසය - උණ ඇති වේ.

සෙම් පීනසය - නිතර සෙම ඇතිවේ. ශීතල දැනේ.

පඩු පීනසය - ඔක්කාරය ඇතිවේ.

හොටු පීනසය - සුදු පාටට හොටු වැගිරේ.

ගල් පීනසය - නාසය වියළේ. කැස්ස ඇතිවේ.

නාග පීනසය - හිස ගිනියම් වේ.

ශ්‍රිත පීනසය - නාසයේ මස් දලු ඇතිවේ.

ජව්‍ය පීනසය - ඇඟ, නළල උණුසුම් වේ.

ගුල්ම පීනසය - වමනය ඇති වේ.

සන්නි පීනසය - හිස කකියයි. කැරකිල්ල ඇතිවේ.

මොළ ගණ්ඩ පීනසය - නාසය වන වේ.

අරම්‍ය පීනසය - කම්මුල වන වේ.

ශුල කණ්ඪ පීනසය - නාසය රිදීම ඇතිවේ.

 

පීනස වැලඳෙන්නේ කාලයක් මුළුල්ලේ පවත්වා ගෙන යන වැරදි ආහාර රටා සහ අහිතකර ජීවන රටා නිසාය. එනම් ශීතල වතුර පානය කිරීම, ශීත කළ බීම භාවිතය, ශීතකරණ‍යේ තැබූ ආහාර නැවතත් රත් කර ආහාරයට ගැනීම, ප්‍රධාන ආහාර වේල්වලට අමතරව අතිරේක ආහාර ගැනීම, දහවල් කාලයේ නිදා ගැනීම, රාත්‍රියේ ස්නානය කිරීම, නිදි මැරීම වැනි ජීවන ර‍ටාවේ වැරදි ඇවතුම් පැවැතුම් හේතුවෙන් පීනස වැලඳේ. මෙහිදී බොහෝ දෙනකු නොදන්නා කරුණක් තිබේ. ඒ එකිනෙකට නොගැළපෙන ආහාර එකට ගැනීමයි. මෙය පීනස් රෝගයට බලපාන ප්‍රබල සාධකයකි. නොගැළපෙන ආහාර යනු මස් සහ මාළු, කිරි සහ බිත්තර, කුකුළු මස් සහ මුදවාපු කිරි එකම ආහාර වේලට ගැනීමය. තවද අළු පුහුල්, බණ්ඩක්කා, මෑ කරල්, දිය ලබු වැනි සෙම් කෝප වන ආහාර නිතර ආහාරයට ගැනීමෙන්ද පීනස වැලඳේ. මෙම වැරදි ආහාර රටාව සහ වැරදි ජීවන රටාව නිසා ශරීරයේ වා, පිත්, සෙම කෝප වීමෙන් ආමය ඇති වේ. ආමය යනු අප ගන්නා ආහාර නියමාකාරයෙන් ජීරණය නොවීමෙන් ඇති වන තත්ත්වයකි.

ප්‍රථමයෙන් පෙණහලුවල සිට හිස මුඳුන දක්වා ආම ගතිය පැමිණීමෙන් පීනස ඇති වේ. මේ සඳහා ප්‍රතිකාර ලබා නොගතහොත් පීනස් රෝගය වැඩි වී ඇදුම හෙවත් හතිය දක්වා වර්ධනය විය හැකිය. එහෙත් පීනස් රෝගීන් තම වැරදි ආහාර රටාව සහ වැරදි ජීවන ර‍ටාව තවදුරටත් පවත්වා ගෙන ගියහොත් ආමය සම සහ අස්ථි කරා පැමිණේ. ඉන්පසු සමේ කුෂ්ඨ රෝග සහ අස්ථි විකෘතිතා ඇතිවේ. එබැවින් “පීනස” යනු සුළුවෙන් තැකිය යුතු රෝගයක් නොවේ.

රෝග ලක්ෂණ

පාන්දර කිවිසුම් යෑම, තෙහෙට්ටුවක් ඇති වීම, ජලය - පින්න - දූවිලි සහ මකුළුදැල් සහිත පරිසරය තුළ කිවිසුම් යෑම, නළට සමීපව ඇති වන හිසරදය, නාසයේ බර ගතිය, කිවිසුම් යෑම, දෙකම්මුල් නළල ඇස් යට ඇස් බැමි වේදනා ගෙන දීම, කටහඩ වෙනස් වීම, පීනස වැලඳී කල්ගත වූ විට ගඳ - සුවඳ නොදැනීම, ඇස් පෙනීම අඩු වීම, කන් ඇසීම දුර්වල වීම, අකලට හිසකෙස් පැසීම, හිසකෙස් ගැලවීම, දත් මුල් දියවීම, නාසයේ මස් දලු ඇති වීම.

ඇතැම් අවස්ථාවලදී නැහැවීමට නොහැකි කුඩා දරුවන් ද සෙමට ප්‍රතිකාර කිරීමේදී අපට හමුවේ. දවසක් නැහැ වූ විට සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස ඇති වීමෙන් මාසයක් පමණ ගත වන තුරු නැහැවීමට නොහැකිව ප්‍රතිකාර කිරීමට සිදු වේ. කුඩා දරුවන්ට එවැනි තත්ත්වයක් ඇති වන්නේ මවුවරුන් ගර්භණී සමයේදී වැරදි ආහාර රටාවන් ගැනීමෙන් සහ වැරදි ඇවතුම් පැවතුම් නිසාය. උදාහරණයක් වශයෙන් ගර්භණි සමයේදී මව රාත්‍රී කාලයේ ස්නානය කිරීම, නිදි මැරීම, ශීත කළ ආහාර පාන ගැනීම නිසා කුස තුළ සිටින දරුවාට එය අහිතකර අන්දමින් බලපෑමෙන් සෙම තත්ත්වය ඇති විය හැකිය. එබැවින් ගැබිනි සමයේදී තම දරුවන් පීනස් රෝගයෙන් වළක්වා ගැනීම සඳහා ඇගේ ආහාරපාන ගැන මෙන්ම ජීවන රටාව ගැන සැලකිලිමත් විය යුතුය. එමෙන්ම කුඩා දරුවන්ට පිටිකිරි දීම නිසා ද දරුවන් ලොකු වන විට පීනසට ගොදුරු විය හැකිය. එබැන් ගර්භණී මවුවරුන් මේ ගැන විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය.

ඊට අමතරව ජානමය හේතූන් සහ හෝමෝන වෙනස්වීම් නිසා ද “පීනස” වැලඳිය හැකිය.

ඈත අතීතයේ සිට මෑත භාගය වන තුරුම ශීත කාලගුණික තත්ත්වයන් තුළ සහ වර්ෂා කාලවලදී හොඳින් කන් වැසෙන සේ හිස ආවරණය කරගෙන සිටීමට මිනිස්සු පුරුදු වී සිටියහ. පපු ප්‍රදේශය ආවරණය වන ආකාරයට අත් දිග ඇඳුමෙන් සැරසුණහ. කුඩා දරුවන්ට පවා තොප්පි, මේස් සහ කබා අන්දවා උණුසුම්ව තැබුහ. එහෙත් අද වන විට එය වෙනස් වී තිබේ. අද වැසි දිනවලදීත් සාමාන්‍ය පරිදි සිටින අයුරු දක්නට ලැබේ. මෙම කාරණය ද වර්තමානයේ පීනස, ඇදුම හා හතිය වැළ‍ඳෙන අයගේ ප්‍රමාණටය ඉහළ දැමීමට හේතුවක් වී ඇත.

පීනස සම්පුර්ණයෙන් සුව කළ හැකි රෝගයකි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පීනස වැලදීමට හේතු කාරක වූ ආමය නැති කිරීම සඳහා අග්නි ගතිය වර්ධනය කෙරෙන ආම පාචක ප්‍රතිකාර කෙරේ. ඉන්පසුව නස්න කිරීම්, ගුලි, කෂාය, චූර්ණ, තෙල් වර්ග සහ දුම් වර්ග යොදා ගනිමින් ඖෂධීය ප්‍රතිකාර සිදු කෙරේ. එහෙත් පීනස් රෝගයට වෙදකම මෙන්ම හෙදකම ද අත්‍යවශ්‍ය වේ. එනම් වැරදි ආහාර පුරුදු සහ අහිතකර ජීවන ර‍ට‍ාවෙන් මිදීමෙන් පීනස සම්පූර්ණයෙන් සුව කළ හැකිය. නැතහොත් වෙදකම කොපමණ හොඳින් සිදු කළ ද පීනස සම්පූර්ණයෙන් සුව කර ගත නොහැකි වේ. එමනිසා ම චර්ම රෝග (කුෂ්ඨ) අස්ථි විකෘතිතා වැනි ජීවිත කාලය පුරා බලපාන රෝගවලට පවා ගොදුරු විය හැකිය.

නිවැරදි විහරණ:-

කුසගින්න ඇති විට පමණක් ආහාර ගැනීම.

රාත්‍රි නින්දට අඩුම වශයෙන් පැය 3 ක් වත් තබා රාත්‍රි ආහාර වේල ගැනීම.

මඳ උණුසුම් වතුර පානය කිරීම.

ශීත කළ ආහාර පාන භාවිත නොකිරීම.

ශීතකරණයේ තැබූ ආහාර රත් කර නැවත ආහාරයට නොගැනීම.

බල මාළු, ඉස්සන්, දැල්ලන්, කකුළුවන්, තක්කාලි, අන්නාසි වැනි ආහාරවලින් හැතිතාක් වැළකීම.

දූවිලි, විෂ වායු, සතුන්ගේ ලොම් සහිත ස්ථානවලින් ඈත් වී සිටීම.

වායු සමනය කළ කාමර, විදුලි පංකා යට සිටීමෙන් ඈත් වීම.

රාත්‍රි කාලයේ එළිමහනේ නොසිටීම.

රාත්‍රියේ සහ අවේලාවේ ස්නානය කිරීමෙන් වැළකීම.

දහවල් නිදා නොගැනීම.

සෙම් කෝප ආහාරවලින් සහ නොගැළපෙන ආහාර සංයෝගවලින් ඈත් වීම.

වෛද්‍ය ඩැනිස්ටර් එල්.පෙරේරා

Comments