පාර්ලිමේන්තු සම්ප්‍රදාය සංකේතවත් කරමින් සෙංකෝලය බවට පත් වූ සෝලු ලීයේ කතාව | සිළුමිණ

පාර්ලිමේන්තු සම්ප්‍රදාය සංකේතවත් කරමින් සෙංකෝලය බවට පත් වූ සෝලු ලීයේ කතාව

- වත්මන් සෙංකෝලය නිර්මාණය වෙන්නේ මීට අවුරුදු හැත්තෑවකට කලින්...නිර්මාණය කරලා මුලින්ම පෙන්නුවේ හයවෙනි ජොර්ජ් රජ්ජුරුවන්ට 
- රාජ ධූරය සංකේතවත් කිරීමට විලාස යෂ්ටි, සෝලු ලීය, ලීලා දණ්ඩ යන නම්වලින් හැඳින්වුණු උත්තරීතර වස්තුවක් භාවිතා කළා...

ආචාර්ය කුසුම්සිරි කොඩිතුවක්කු 
කෞතුකාගාර පාලක 
ජේතවන කෞතුකාගාරය, 
බාහිර කථිකාචාර්ය පුරාවිද්‍යා හා උරුම 
කළමනාකරණ අධ්‍යයන අංශය 
ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය

හජන මන්ත්‍රී මණ්ඩලය වෙනුවෙන්, මා මෙය ඔබ වෙත ප්‍රදානය කරනවා. මෙම සෙංකෝලය ඔබගේ දේශයේ ඉතිහාසයත්, සම්ප්‍රදායත් අගනා අන්දමින් මූර්තිමත් කරන්නක්. මෙය මා දෙන්නේ ලක් ජනතාව විසින් ඔබ ගරු සභාවට පවරණ ලද ගරුත්වයත්, බලයත් පිළිබඳ සංකේතයක් වනු පිණිසයි. ස්වාධීන පාර්ලිමේන්තුවක් නිදහසේ විවාද කිරීමට රැස්ව සිටින බව දැක්වීමේ සලකුණක් වනු පිණිසයි.”

ඒ 1949 ජනවාරි 11 වන දින, එවකට කථානායක ධූරය හෙබවූ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ නියෝජිත මන්ත්‍රී මණ්ඩල රැස්වීමේ දී වේත්‍රධාරි එම්. ස්මායිල් මහතාට සෙංකෝලය භාර දෙමින් බ්‍රිතාන්‍ය මන්ත්‍රී මණ්ඩල නියෝජිත මේජර් ජේම්ස් මිල්නර් මහතා විසින් කරන ලද ප්‍රකාශයයි.

මෙහි ඇති වැදගත්කම නම්, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට මුල්වරට සෙංකෝලය හඳුන්වා දෙමින් කරන ලද ප්‍රකාශ වීමයි. සෙංකෝලය වූ කලී පාර්ලිමේන්තුව තුළ, කථානායකවරයාගේ අධිකාරි බලය පිළිබඳ සංකේතයයි. එමෙන්ම එය සමස්ථ මන්ත්‍රී මණ්ඩලයේ බලතල පිළිබඳ සංකේතයක් ද වෙයි. පාර්ලිමේන්තු රැස්වීමක් ආරම්භයේදී කථානායකවරයා සභා ගැබට පිවිසෙනුයේ සෙංකෝලය රැගත්, වේත්‍රධාරිවරයා (macebearer) පෙරටු කොට ගෙනය. ඉන් අනතුරුව සෙංකෝලය ප්‍රධාන ලිපිකරුගේ මේසය මත තබා සභාවේ කටයුතු ආරම්භ කරයි. සෙංකෝලය නොමැතිව රැස්වීම පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව බල රහිත රැස්වීමකි.

ඉංග්‍රීසි බසින් සෙංකෝලය හැඳින්වෙනුයේ Mace යනුවෙනි. ඔක්ස්ෆර්ඩ් සවිස්තරාත්මක ශබ්ද කෝෂයෙහි Oxford Advanced Learners’ Encyclopedic Dictionary විග්‍රහ කර ඇති පරිදි ඒ සඳහා නිර්වචන දෙකකි. එනම්,

1 අතීතයේදී අවියක් ලෙස භාවිතයට ගත් උල් සහිත ලෝහමය හිසකින් යුතු යෂ්ටියක්. 

2 නිලයක අධිකාරි බලය සංකේතවත් වන පරිදි ඔසවා ගෙන යන හෝ ප්‍රදර්ශනය කෙරෙන විසිතුරු යෂ්ටියක් යනුවෙනි.

මෙහිලා අපට වැදගත් වනුයේ දෙවන නිර්වචනයයි. Mace යන්න සඳහා දැනට ශ්‍රී ලංකාවේ භාවිතා කෙරෙන සෙංකෝලය යන්න, “සෙංකෝල්” යන දෙමළ වචනයෙන් බිඳී ආවකි. සිංහල ශබ්ද කෝෂයෙහි මේ පිළිබඳව අර්ථ දක්වා ඇත්තේ යම්කිසි ධූරයක් හඟවන යෂ්ටිය යනුවෙනි. ශ්‍රී සුමංගල ශබ්ද කෝෂයෙහි මෙය රජකමේ ලකුණක් වන යෂ්ටිය හෝ සෝළුලීය ලෙසින් හඳුන්වා තිබේ.

දැනට අප පාර්ලිමේන්තුවේ භාවිතයට ගැනෙන සෙංකෝලය මීට අඩ සියවසකට පමණ පෙර නිර්මාණය කරන ලද්දකි. එය සාම්ප්‍රදායික දේශීය සැරසිලි රටා මනාව ඉස්මතු වන පරිදි එමෙන්ම වෙනත් රටවල සෙංකෝලය හා සැසඳූ කළ ශ්‍රී ලාංකික අනන්‍යතාව ද මනාව ප්‍රදර්ශනය කෙරෙන නිර්මාණයකි. අපගේ සෙංකෝලයෙහි සැලැස්ම නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවනුයේ එවකට කොළඹ කාර්මික විද්‍යාලයේ චිත්‍ර කලාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධූරය දැරූ කලාසූරී එස්.පී. චාර්ල්ස් මහතාටය.

මෙම සැලැස්ම පිළියෙළ කිරීමේ කටයුතු උපදේශක මණ්ඩලයක් වෙත පැවරුණු අතර එහි සභාපතීත්වය දැරුවේ එවකට පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි සෙනරත් පරණවිතාන මහතාය. එමෙන්ම ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ජෝන් එච්. සේනාවෙරත්න, කොළඹ කාර්මික විද්‍යාලයේ චිත්‍ර අංශයේ වැඩ බලන ප්‍රධානියා වූ බී. වික්ටර් පෙරේරා, අංශ ප්‍රධානියා වූ එල්.එස්.ඊ. අමරරත්න, මැටි වැඩ අංශ ප්‍රධානියා වූ ඩී.එෆ්. රණසිංහ යන මහත්වරු ද මෙම කාර්යය සඳහා දායක විය.

එස්.පී. චාර්ල්ස් මහතා විසින් අඳින ලද සැලැස්මට අනුව මෙම සෙංකෝලය නිර්මාණය කිරීමේ කටයුතු පවරණ ලද්දේ, බ්‍රිතාන්‍ය රාජකීය ස්වර්ණාභරණ නිෂ්පාදන සමාගම වූ ගැරන් සහ සමාගමට ය. ඒ අනුව මෙය නිර්මාණය කිරීමේ කටයුතු ඩැනියෙල් ස්පෙන්සර් නම් ශිල්පියා අතින් සිදු විය. ඔහු එවකට බ්‍රිතාන්‍යයෙහි රන් රිදී කර්මාන්තය සම්බන්ධයෙන් ප්‍රකටව සිටි ශිල්පියෙකි.

ස්පෙන්සර් විසින් නිර්මාණය කරන ලද සෙංකෝලය 1948 දෙසැම්බර් 09 වෙනි දින එංගලන්තයේ බකිංහැම් මාළිගයට රැගෙන ගොස් VI වෙනි ජෝර්ජ් රජුට ප්‍රදර්ශනය කළ අතර, ඉන්පසුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලයටත්, සාමි මන්ත්‍රී මණ්ඩලයටත් ප්‍රදර්ශනය කරන ලදී.

ඉන්පසුව ශ්‍රී ලංකාවට රැගෙන එන ලද මෙම සෙංකෝලය 1949 ජනවාරි 11 වෙනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ප්‍රදානය කරන ලදී. මෙම ඓතිහාසික අවස්ථාවට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු දූත පිරිසක් ද සහභාගි විය. මේ වන විට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ධූරය දැරුවේ ශ්‍රීමත් ෆැන්සිස් මොලමුරේ මහතාය. මුල්ම වේත්‍රධාරිවරයා වූයේ එම්. ස්මායිල් මහතාය.

දිගින් සෙ.මී. 122 ක් වූ මෙම සෙංකෝලය සාම්ප්‍රදායික ලක්ෂණ විද්‍යාමාන කෙරෙන පරිදි කොටස් කීපයකට නිර්මාණය කර තිබේ. මේ සඳහා රන්, රිදී මැණික් භාවිතයට ගෙන ඇත. මිට සාදා ඇත්තේ කළුවර ලීයෙනි. මෙහි පතුලෙහි රනින් හා රිදියෙන් කළ සාම්ප්‍රදායික නෙළුම් මලකි. ඒ ඉහළින් කළුවර ලීයෙන් කළ මිටය. එම මිට මධ්‍යයේ බිනර මල හා පලාපෙති රටාවලින් අලංකෘත ඛණ්ඩියකි.

කළුවර මිටට ඉහළින් පොලොන්නරු සම්ප්‍රදාය අනුව රන් හා රිදියෙන් කළ කුලුනු හිසකි. එහි මුල මැණික් ඔබ්බවා ඇති මුතුදැල් රටාවකි. කණු හිස මත මහනුවර සම්ප්‍රදායයට අනුව රිදියෙන් කළ කතුරු පේකඩයකි.

මේ සඳහා ගුරු කොට ගෙන ඇත්තේ, කොළඹ කෞතුකාගාරයේ ඇති හිඳගල විහාරයෙන් රැගෙන එන ලද පේකඩය යැයි එස්.පී. චාර්ල්ස් මහතා සඳහන් කරයි. ඒ මත රිදියෙන් කළ ඝනකයකි. එහි සිව් පැත්තෙහි සදාකාලිකත්වය, සාධාරණත්වය, සෞභාග්‍යය සංකේතවත් කරමින් ඉරහඳ, ධර්මචක්‍රය හා පුන් කලස කැටයම් කර තිබේ. එම ඝනකය මත සෙංකෝලයෙහි ප්‍රධාන කොටස වන රිදියෙන් කළ සෙ.මී. 15 ක් විශ්කම්භයැති ගෝලයකි. ඒ මතුපිට කඩුවක් අතින් ගත් සිංහ රුවක් අල්ප උන්නතව (මඳක් උඩට මතු කර) නෙළා තිබේ. ගෝලයෙහි ඉහළ සහ පහළ රිදියෙන් හා රනින් කළ නෙළුම් පෙති රටාවලින් අලංකෘතය. සෙංකෝලය මස්තකයෙහි කේතුකාකාර අටැස් පළිඟුවකි. ගෝලය මත වූ මෙම පළිඟුව නිතැතින්ම අපට සිහිපත් කරනුයේ චෛත්‍යයක කොත මුදුනේ ඇති චූඩා මාණික්‍යයයි. අපගේ ආගමික පසුබිම අනුව ඉන් නිර්මලභාවය හා උත්තරීතරභාවය සංකේතවත් වේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සෙංකෝලයේ ආගමික සංකල්පය ඉස්මතු කර ඇත්තේ සෙංකෝලය මස්තකයෙහි වූ කුරුසයකිනි.

මේ අතර උත්තරීතර මන්ත්‍රී මණ්ඩලය (සෙනෙට්) සඳහා ද සෙංකෝලයක් භාවිතයට ගැණුනු අතර එය 1972 දක්වාම භාවිතයේ පැවතුණි. එම සෙංකෝලය සැලසුම් කර ඇත්තේ චිත්‍ර ශිල්පි ඩබ්.ඒ. ආරියසේන මහතා විසින්ය. ඇත් දළ, රන්, රිදී, මැණික් ආදියෙන් නිර්මිත මෙම සෙංකෝලය නිශ්පාදනය කර ඇත්තේ කොළඹ “හේමචන්ද්‍ර සහෝදරයෝ” නම් සමාගමයි. එම සමාගමේ උපදෙස් අනුව එහි නිර්මාණ කටයුතු සිදු කර ඇත්තේ රඹුක්කන දොඹේමඩ ඊ.එන්. පියතිලක මහතා විසිනි.

මෙලෙස නිර්මාණය වූ සෙංකෝලය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට අයත් වුවත් අතීත සිංහල රාජ සභාවේ දී රාජ ධූරය සංකේතවත් කිරීමට විලාස යෂ්ටි, සෝළු ලීය, ලීලා දණ්ඩ යන නම්වලින් හැඳින්වුණු මේ හා සමාන උත්තරීතර වස්තුවක් භාවිතයට ගෙන ඇති බව පෙනේ. එය කවර ස්වභාවයකින් යුක්ත වීද යන්න ගැටලුවක් වුවත් අප හමුවේ ඇති පුරාවිද්‍යාත්මක සාධක අනුසාරයෙන් ඒ පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට උගහට නොවේ.

අපගේ පැරණි ශිලා ලේඛන විමසා බලන කල්හි ක්‍රි.ව. 9-10 සියවස්වලට අයත් ශිලා ලේඛන අතර අත්තාණි කණු නමින් හැඳින්වෙන ටැම් ලිපි විශේෂයක් වෙයි. සම්වතා පහන්, වැවස්ථා පහන්යන නම්වලිනුදු හැඳින්වෙන මෙම ටැම් ලිපිවල අරමුණ වනුයේ රාජ සභාවෙන් නිකුත් කළ නියෝග හා සම්මුතීන් මහජනයාට ප්‍රදර්ශනය කිරීමයි. මෙවැනි ලිපිවල අදාළ නියෝගය රාජ සභාවෙන් නිකුත් කරන ලද්දක් බව සඳහන් කර ඇත්තේ “ එක් තැන් සමියෙන් වදාළෙන්” යනුවෙනි. ඉන් හැඟවෙනුයේ රාජ සභාවේ එකඟතාවයෙන් කරන ලද නියෝගයක් බවයි.

මෙහිදී අපට අපගේ තේමාව සම්බන්ධයෙන් වැදගත් වනුයේ අත්තාණි කණුවල ඇති සංකේත රූපයන්ය. එනම්, ඉර හඳ, බලු, කපුටු රූප, වක්‍ර රේඛා සටහනක් හා මිටක් සහිත වටකුරු වස්තුවක්ය.

(ඉරහඳින් සදාකාලිකත්වයත්, බලු කපුටු රූපවලින් අදාළ නියෝග කඩ කරන්නන් මතු එම ආත්මවල උපදින බවත් සංකේතවත් වේ. වක්‍ර රේඛා සටහන, රජුගේ පෞද්ගලික අත්සන සංකේත කරන්නක් බවද එය හංස රූපයේ දළ සටහනක් බවද මහාචාර්ය අභය ආර්යසිංහ මහතා සඳහන් කරයි.)

මෙම සංකේත අතරැති වටකුරු වස්තුව වටාපතක් බව බොහෝ දෙනෙකුගේ අදහස වේ. වටාපත යනු සංඝ සමාජය සංකේතවත් කරන වස්තුවක් වුවත් මෙම සංකේතය සහිත ශිලා ලේඛන ආගමික නොවන ආයතන ආශ්‍රිතව ද දක්නට ලැබෙන බැවින් වටාපතකට වඩා එය රාජ ධූරය සංකේතවත් කරන්නක් බව සිතීම යුක්ති සහගත වේ.

මේ පිළිබඳව අදහස් දක්වන මහාචාර්ය අභය ආර්යසිංහ මහතා මෙම වටකුරු වස්තුවෙහි සිට පද්ම, කුමුද වැනි කිසියම් සරල තරංග කැටයම්වලින් යුක්ත වන බවත්, ඇතැම් නිදර්ශනයක කවය ද්විත්ව රේඛාවකින් අලංකාරවත් කර ඇති බවත් මෙම විසිතුරු මිට සහිත වස්තුව පැරණි සිංහල රාජ සභාවේ හොබවන්නට ඇති සෝළු ලීය (විලාස යෂ්ටිය) ආශ්‍රය කොට සැලසුම් කර ඇති එකක් බව වටහා ගැනීම දුෂ්කර නොවන බවත් සඳහන් කරයි.

එසේම ජෝන් ඩේවි (John Davy) ගේ An Account of the Interior of Ceylon 1821 ග්‍රන්ථයට ඇතුළත් කොට ඇති කන්ද උඩරට සිත්තරෙකු විසින් අඳින ලද ඇමතිවරුන් පිරිවරා ගත් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු නිරූපිත සිතුවම ද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. එහි රාජසිංහ රජු දකුණතින් දරා සිටිනුයේ යෂ්ටියක් වන අතර එය සිංහල රාජ සභාවේ හොබවන්නට වූ යෂ්ටියක ආකෘතිය හඳුනා ගැනීමේලා අප හමුවේ ඇති පැහැදිළි නිදසුනක් ලෙස සඳහන් කළ යුත්තකි.

Comments