දළදා වතුර ගැලූ 1828 දළදා පෙරහරේ ඇසින් දුටු සාක්කිය | සිළුමිණ

දළදා වතුර ගැලූ 1828 දළදා පෙරහරේ ඇසින් දුටු සාක්කිය

කරඬුව වැඩම කළේ හතලිස් පහේ ඇත් නාම්බා පිට

පෙරහරට අණ දුන්නෙ පල්ලෙ ගම්පහේ මහ නිලමේ

පෙරහර ඉවර වුණේ මහා නියඟය නිමා කළ ධාරානිපාත වර්ෂාවකින්

යහලෙ තැන්නෙ, කෙන්ගල්ලෙ, රජවැල්ලේ, කිරි ඔරුවෙ ඇත් නාම්බොත් එක්ක වල්ලියා, බුලත්ගමයා, ගෝමරයා පෙරහරට

එක්දහස් අටසිය පහළොවේ ඉංග්‍රීසින්ට රට යටත්වූ අලුතම වාගේ මහත් නියංසායක් ඇති විය. සිංහල රජ දවස අසිරිමත්ව පැවැත්වූ දළදා පෙරහැර සිරිත් ප්‍රකාරව නොපවත්වා අවුරුදු දහ පහළොවක් ගතවූ විට ඇතිවූ මේ දැඩි නියඟයට හේතු සාධක වශයෙන් බෞද්ධයන් විසින් ඉංග්‍රීසින්ට චෝදනා කළේ පාරම්පරිකව පැවැත්වූ දළදා පුද සිරිත් වලට රාජානුග්‍රහය නොදැක්වීමය. ඇති වී තිබෙන නියඟය දුරුකර ගැනීමට අවශ්‍යව සිටි ඉංග්‍රීසිහුද ඒ සඳහා අවසරය ලබා දුන්හ. ඒ 1828 මැයි 29 දාට යෙදුන වෙසක් පොහෝ දිනයෙහි එම පූජෝත්සවය පවත්වන ලෙසය. ඉංග්‍රීසීහු වර්ෂ 1828 මැයි 29 බ්‍රහස්පතින්දා දන්ත ධාතූන් වහන්සේ මාළිගාවෙන් පිටතට වඩම්මවා මහනුවර වීදි ඔස්සේ පෙරහර කරවූහ.

පසුව මහජනතාවට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වූහ. ඉන්පසු ලංකාවට එතෙක් තිබුණු දැඩි නියඟය තුරන්වී මහා ගංවතුරක් පවා ගැලූයේය. මේ දළදා පෙරහැර පිළිබඳ විස්තරයක් එම කටයුතු සංවිධානය පිළිබඳ ලේකම් මිටිය භාරව සිටි නිලමෙතුමා විසින් ඇසින්දුටු පරිදි එම දිනවලම ලියා තැබුවේය. එම ලේකම් මීටියකින් තමා වෙත ලැබුණු පත් ඉරු කීපයක සඳහන්ව තිබූ කරුණු ගළපා එම ප්‍රලේඛනය ස්වකීය “පුරාවෘත” නැමති ග්‍රන්ථයට ඇතුළත් කොට 1928 අගෝස්තු 31 දින එනම් ඊට සියවසකට පසුව දිවංගත ඩී.ඩී. රණසිංහ පාඨශාලාචාර්ය තුමන් කළ උදාර මෙහෙයට පින්සිදු වන්නට අද එම වටිනා ලියවිල්ල ඔබ හමුවට පැමිණවීම හැකියාව ලැබුණි.

ප්‍රකාශිත ලියවිල්ලට අනුව මෙම පෙරහැරෙහි විශේෂාංග 32ක් තිබී ඇත. එහි 11 සිට 19 දක්වාද අංක 23 සහ අංක 25 ද ලේඛණ රණසිංහ මහතාට ලැබී නැත. අදාළ පුස්කොළ පොතෙහි එම අංක සඳහන් පත්ඉරු හැලී ඇති නිසා එසේ වූවා විය හැකිය. කෙසේ වෙතත් අංක 32 කින් සමන්විත පෙරහැරක් එකල පැවති කල්‍යණවීදිය, යටිනුවර වීදිය, නාගහවීදිය, උඩුනුවර වීදිය, දිගේ පැවති පෙරහැර කෙතරම් දිගද අලි ඇතුන් සහිත පෙරහැරෙහි විස්තර ලිපිය පුරා සටහන් වී ඇත.

එකල රාජකාරි වශයෙන්ම පත්වීම් ලැබ තිබූ සියලුම නිලමේවරු පෙරහැරෙහි ගමන්කර ඇත. ඒ ඇතුන් පිට දෙන්නා තුන්දෙනා බැගිනි. එකල තනතුරු දැරූ නිලමේවරුන් සියලු දෙනාගේම නම් තනතුරු සමඟම මෙහි සටහන්ව ඇත. එකල දළදා මාළිගාවේ දියවඩන නිලමේ තනතුර දරා ඇත්තේ දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාලහාමිය. පෙරහැරෙහි අණදෙන නිලධාරියා වශයෙන් සිට ඇත්තේ පල්ලේ ගම්පහේ මහ නිලමේය.

දළදා කරඬුව වැඩමවා ඇත්තේ “හතළිස්පහේ ඇත්නාම්බා” පිටය. එකල ප්‍රසිද්ධව සිටි ඇතුන් අතර යහලේතැන්න ඇත්නාම්බාද ඇතුළු කෙන්ගල්ලේ රජවැල්ලේ, කිරිඔරුවේ, වල්ලියා, බුලත්ගමයා, ගෝමරයා, නැලිගමයා, ඇම්බැක්කේ යන ඇත් නාම්බෝ පෙරහැරෙහි සියලු හාසත්‍යාභරණ වලින් සැරසී ගමන් කර ඇත. නුවර යුගයේ පැවති භාෂා ව්‍යවහාරයන් හඳුනා ගැනීමටද පෙරහැර අංග පිළිබඳවද අලි ඇතුන්ගේ ඇඳුම් ආයිත්තම්වල නම් පිළිබඳවද මෙහිදී හඳුනා ගැනීමට ලැබෙන බැවින් මේ අතිශය වැදගත් ලියවිල්ල මෙතැන් සිට එම ලියවිල්ල ඉදිරිපත් කරමු.

“ශ්‍රී ලංකාද්වීපය ඉංග්‍රීසි කිරීටයට යටත්වීමෙන් පසු පළමුවෙනි වරට පැවැත්වූ සෙංකඩගල දළදා පෙරහැරෙහි විස්තර මෙසේ ය; “නෛකතේජොබලමහිමයෙන් විරාජමාන වූ ඉංග්‍රීසීන් ලංකා රාජ්‍යය ලැබ දස අවුරුද්දක් ගත වූ පසු බුද්ධශාසනයෙහි ශ්‍රද්ධා ඇත්තා වූ උඩරට රදලවරුන් ඇතුළු වූ අනිකුදු මහජනයා විසින් එවකට ලක්දිව ආණ්ඩුකාර ධුරය ඉසිලූ නෛකශ්‍රීන් විරාජමාන සර් ඇඩ්වර්ඩ් බාන්ස් ගරුතර උතුමාණන්වහන්සේගෙන් දළදා පූජා කිරීමට අවසර ඉල්වන ලදින් ඊට අවසරදීම සුදුස බව එතුමාගේ කැරණාවට ඒත්තුගෙන බුද්ධ වර්ෂ දෙදහස් තුන්සිය දෙසැත්තෑ වැන්නෙහි වෙසක් මහ පුරපසළොස්වක ලත් ගුරු දින හෙවත් ක්‍රි.ව. 1828 මැයි මස 29 වෙනි බ්‍රහස්පතින්දා දළදා පින්කම කරන සැටියට අවසර දුන්නේ ය.

ඉක්බිති දළදා වහන්සේ වඩා හිඳුවන පිණිස ද එම දළදා වහන්සේ පිරිවරා මහාසංඝයාට වැඩ හිඳීම පිණිස ද දිගින් අඩි දෙසිය විසි නමයක් හා පුළුලින් අඩි සැටක් ද ඇති මණ්ඩපයක් තනා එහි ධාතූන්වහන්සේ වැඩමවීමට නියම කළ ස්ථානීය රන් රිදී වැඩ කළ නොයෙක් අනගි පටරෙදිවලින් සරසා ඊ මැද රිදියෙන් කළ ආසනයක් පණවා ඊ පිට රන්සිවි ගෙයක් තබා, එහි තුළ ධාතූන් වහන්සේ වැඩ‍ හිඳුවීම පිණිස ඝනරනින් කළ පාලා පෙත්තක් ලම්භාකාරව සරසා තබා ඊට දකුණු පැත්තෙන් අනගි මැණික් බැඳි මහ රන් කරඬුවද තබා වම්පැත්තෙන් අනගි මැණික් බැඳි කුඩා රන් කරඬුවද තබා ඒ ඉදිරිපිට පූජා තැබීමට අනගා වූ ආසනයක් රම්‍යවූ පේශවස්ත්‍රවලින් සරසා තබා ඊටත් ඉදිරියෙන් රන් රිදී වැඩකළ නානාප්‍රකාර වස්ත්‍රවලින් තිර නමයක් හා වඟුරැළි පන්තිවලින්ද සැරසිලිකර මේ මණ්ඩපයේ මහා සංඝයාට වැඩහිඳීමට තිබුණු කොටස ද සුදු රෙදිවලින් හා ගොප්කොළ ආදියෙනුත් සරසූහ.

ගරුතරආණ්ඩුකාර උතුමාණන්වහන්සේ ඇතුළු ඉංග්‍රීසි මහත්වරුන්ට පොරොත්තුවීමට දිගින් අඩි තිහක් හා පුළුලින් අඩි අටක් ද ඇති මණ්ඩපයක් තනා එය ද ඉතා අනගි ලෙස පිළියෙල කළ වඟුරැළි පන්තිවලින් හා ගොප්කොළ ආදියෙන් ද නොයෙක් වර්ගයේ මල්පලතුරු ආදියෙන් ද සැරසූහ.

උඩපාත දෙරට රදලවරුන්ට පොරොත්තුවීමට දිගින් අඩි සියයක් සහ පුළුලින් අඩි තිසක්ද ඇති මණ්ඩපයක් තනා සුදු රෙදි, ගොප්කොළ, වලුමල් ආදියෙන් සැරසූහ. මහමලුවේ පත්තිරිප්පුව ළඟ මෙසේ සරසා නිමවන ලද මණ්ඩප තුන වටේ තොරන් පණස් තුනක් බැඳ නොයෙක් සැරසිලිවලින් සැරසූහ.

මහමලුවේ සතර කෝරලේ දිසාවෙන් කොඩි කුඹයක් ද සත් කෝරලේ දිසාවෙන් කොඩි කුඹයක්ද, මාතලේ දිසාවෙන් කොඩි කුඹයක්ද, දළදා මාලිගාව වෙනුවෙන් කොඩි කුඹයක්ද යන මෙ කොඩි කුඹවල රතු සුදු ආදී පැහැයෙන් යුත් ධජ පතාක නංවා මලුව හාත්පසින්ම සුදුවැලි ඉස සැරසූහ. ආණ්ඩුව විසින් මහනුවර වීථි සරසන මෙන් අණබෙර ප්‍රසිද්ධ කරවන ලදින් කෙනෙකුට කෙනෙක් නොපරදින පරිද්දෙන් ඉතා අලංකාර ලෙස සරසා සියල්ලෝම මහත් වූ ශද්ඬධ්‍යාශයෙන් බලාපොරොත්තුව සිටියෝ ය.

මෙසේ සියල්ල නිම වූ පසු යට කී පසළොස්වක් පොහෝ දින උදයම කොමදන් උන්නාන්සේ විසින් ඉංග්‍රීසි හේවාපන්නකාරයෝ වීථි සන්ධිවලද, අනිකුත් හේවාපන්නකාරයෝ සෑම මුරපළවලද, ආයුධ සහිතව ආරක්ෂා පිණිස සිටුවන ලද්දාහ. දළදා වහන්සේ වැඩහිඳවීමට තැනූ මණ්ඩපය ඇතුළු වූ අනෙකුත් මණ්ඩපවලද ආරක්ෂාව පිණිස ජ‍ාහේවා පන්නකාර කොමන්දයක් ඉංග්‍රීසි හේවා පන්නකාර මුලාදෑනියෙකු භාරේ මෙකී මණ්ඩප හාත්පස රෑ දවල් මුරකරමින් සිටියේ ය.

මේ ධාතු පූජෝත්සව දිනයෙහි පෙරවරු දස පෑ සමාරට සිංහලේ රට වල දිසාවල ආදායමේ කොමසාරිස් තනතුරට පත් ජෝර්ජ් ටර්නර් උන්නාන්සේ ද පේස පිළියෙන් හා රන්මාලාවලින් සැරසුණු මහරදලවරුන් හා දිසාපතිවරු ද වෙනත් පයිණ්ඩකාරයෝද, ගරුතර ආණ්ඩුකාර උතුමාණන්වහන්සේ පොරොත්තුව සිටින ගමන් මාළිගාවට පැමිණ එහිදී උතුමාණන් වහන්සේ විසින් රදලවරුන් දක්වා ගත් පසු උතුමාණන් වහන්සේ මහපෙළහරින් දළදා මන්දිරයට කැඳවාගෙන ගියෝ ය.

ඒ ගිය අන්දම නම් :- පළමුවෙනුව ගජනායක නිලමේගේ සහ ලේකම්වල දිසාවල කොඩිපිළිද, ඊළඟට සිංගාරක්කාරයෝද, ඊළඟට බෙර සහිත නැට්ටුවෝද, ඊළඟට රන්කම් කළ හෝල් වැලක් අතින් ගත් කටුපුල්ලේ පල්ලේ ගම්පහේ නිලමේ ද, රිදී පටිස්ථානයක් අතින් ගත් මාතලේ දිසා මහත්මයාද, රිදී පටිස්ථානයක් අතින්ගත් මහගබඩා නිලමේද යන මේ තුන්පළ පෙරමුණේටද, ඊළඟට තම්බෝරු පුරම්පේත්තු සහ සක්පිඹින්නෝද, ඊළඟට උතුමාණන්වහන්සේ සහ බිසවුන්වහන්සේ කූනම්වලින්ද, ඒ කූනම්වලින් දෙපැත්තේ කවිකාරමඩුවේ ඇත්තෝ කවි කියමින්ද, ඊළඟට උතුමාණන්වහන්සේගේ කියමින්ද, ඊළඟට උතුමාණන්වහන්සේගේ අමාත්‍යවරුද මේ සඳහා කොළඹින් ඇවිත් සිටිය පමණ ඉංග්‍රීසි මුලාදෑනිවරුද, අනිකුත් රදලවරු ඇතුළු වූ එවකට මහනුවර සිටි රජවාසල සිංහල මුලාදෑනිහුද පිටත්ව ගමන් කළෝය.

උතුමාණන්වහන්සේ ගමන් මාළිගාවට යන තැන වහල්කඩගාවා සිට මාලිගාවේ වහල්කඩගාවා පාලම ළඟට දිසාවල සහ රටවලද පයිණ්ඩකාරයෝ පටිස්ථාන අරන් දෙපෙළ සැදී සිටියහ. මාලිගාවේ වහල්කඩ ළඟට මෙසේ ගමන් කරන්නා වූ උතුමාණන් වහන්සේ පෙරමඟට බෝර්තු උසාවියේ මහත්වරු ඇවිත් සිටියෝ ය.

මේ පාලම දෙපැත්තේ සිංහලේ සිටින ඉංග්‍රීසි මහත්වරු සහ මුදලි මුහන්දිරම්වරුත් ඔවුනොවුනගේ නියම ඇඳුම්වලින් සැරසී දෙපෙළ සැදී සිටියෝය. මේ දැක්වූ අන්දමට උතුමාණන්වහන්සේ කැඳවාගෙන ඇවිත් මාළිගාවේ වහල්කඩ ළඟදී කූනමෙන් බිමට බැස්සවිට බෝර්තු උසාවියේ මහත්තැන් උතුමාණන්වහන්සේට පෙනී සිට කථාකොට කැඳවාගෙන ගොස් මාළිගාවේ පිට ශාලාවේ පොරොත්තු කළෝ ය. ඉන්පසු පල්ලේ ගම්පහේ අදිකාරම් මහත්මයා සහ ආදායමේ කොමසාරිස් උන්නාන්සේත් සියලු රදලවරුත් මාළිගාවේ හේවිසි මණ්ඩපයට ‍ගොස්, එහිදී මාළිගාවේ තේවා භාණ්ඩ රදලවරුන්ට දී, පාර්ශ්ව දෙකක්ව සැදී සිටින්නට නියම කළෝ ය.

එවිට උතුමාණන් වහන්සේ කැඳවාගෙන බෝර්තු උසාවියේ මහත්වරු උඩමාලයට ගියවිට ශ්‍රී දංෂ්ට්‍රා ධාතු මන්දිරයේ දියවඩන නිලමේකරවන දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාලහාමි විසින් පේශ ලේන්සු දෙකක් සහ රත්රන් බෝපත් සහිත මුතු බැඳි ලේන්සුවක් ද උතුමාණන්වහන්සේගේ ශ්‍රී හස්තයෙහි එළා ධාතුන්වහන්සේ වැඩ සිටින කරඬුව උතුමාණන්වහන්සේගේ ශ්‍රී හස්තයට වැඩමවනවා හා සමඟම ශඬ්ඛනාදාදී පඤ්චතූර්යඝොෂා පැවැත්වූහ. ඒ හා සමඟම කාලතුවක්කු වෙඩි සහ කොඩි තුවක්කු වෙඩි ද තබන්නට පටන්ගත්තෝය ය. එහි රැස් වී සිටි දහස්ගණන් සමූහයාද සාධුකාර දෙන්නට පටන්ගත්හ. මේ ත්‍රවිධ වූ කෝලාහලය එකවිටම පටන්ගත්කල මේඝ ගර්ජනාවක් මෙන් මහත් ඝෝෂාවක් විය.

මේ අතරේ උඩුවියනක් යටින් පියවිලි පිටින් මාළිගාවේ වට්ටෝරුරාලලා දෙන්නා දෙපැත්තෙන් වඩන තලාතු දෙකක් අල්ලද්දී ගරුතර උතුමාණන්වහන්සේ මහත් ගෞරවයෙන් දළදා කරඬුව ශ්‍රී හස්තයෙන් වැඩමවාගෙන පෙළහර කරන ඇතා ළඟට පැමිණෙන අතර, එදා ඒ අනගි විසිතුරු පූජෝත්සව දුටු සිංහල බෞද්ධයන්ගේ සිත් සතුටෙන් පිනාගොස් සතුටු කඳුලෙන් නෙත් පිරී ගියේ ය. කාලතුවක්කු වෙඩි සහ කොඩි තුවක්කු විසි පහක් ගණන්ගත නොහැකි තරම් මහත් ඝෝෂා පැවැත්වූහ. මෙසේ මහත් ගෞරවයෙන් කරඬුව වැඩමවාගෙන විත් ඇතා ළඟ සිටි පල්ලේ ගම්පහේ මහනිලමේ අතට වැඩමවූ විට ඇතා උඩ උන් මාතලේ දිසාමහත්මයා සහ උඩපළාතේ දිසාමහත්මයාත් රන්හිළිගේ ඇතුළට කරඬුව වැඩමවා ඇතා පිටින් බිමට බැස්ස විට තේවා භාණ්ඩ අරගත් සෑම රදළවරුම උතුමාණන්වහන්සේට පොරොත්තුවීමට තබා තිබුණු මණ්ඩපයට උතුමාණන් වහන්සේ කැඳවාගෙන ගොස් පොරොත්තු කළාහ. එවිට පල්ලේ ගම්පහේ මහනිලමේ සහ රදළවරුන් මලුවට ඇවිත් මහනිලමේ විසින් පෙළහර දෙන හැටියට මෙසේ නියම කරන ලදි. කෙසේද යත්,

පළමුවෙනුව පෙරමුණට යහලේතැන්නේ ඇත්නාම්බාද, ඊළඟට කෙන්ගල්ලේ ඇත්නාම්බාද, ඊළඟට රජවැල්ලේ ඇත්නාම්බා ද, ඊළඟට හස්තියා කොඩිය සහ වෙනත් අත් කොඩි පිළී ඇතුව රිදී අකුස්සක් අතින්ගත් ගජනායක නිලමේ කරවන දුනුවිල රාජ කරුණාධාර ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත මුදියන්සේ රාලහාමි සහ ඒ පේරුවේ පයිඬකාරයන් ඇතුළු හමුදාව ද,

දෙවනුව කොඩිතුවක්කු ද, කොඩි තුවක්කුව ඇති මහ කොඩියසහ වෙනත් අත්කොඩි ඇතුළු වූ රිදී පටිස්ථානයක් අතින්ගත් කොඩි තුවක්කු ලේකම් කරවන රන්කොත්දිවෙල දිවාකර විජයකෝන් මුදියන්සේ රාලහාමි ඇතුළුව එම ලේකමේ පයිඬකාරයන් සහ හමුදාව ද,

තුන්වෙනුව, සතර කෝරලේ මහදිසාවේ ඉර සඳ කොඩිය සහ අත්කොඩි ඇතුළුව කටුපුල්ලේ රන්කම් කළ රිදී වේවැලක් අතින්ගත් එම දිසාව කරවන මොල්ලිගොඩ රාජකරුණා සෙනරත් වාසලමුදියන්සේ රාලහාමි ඇතුළුව එම දිසාවේ පයිඬකාරයන් සහ හමුදාව ද,

සතරවෙනුව සත්කෝරලේ මහදිසාවේ සිංහයා කොඩිය සහ අත්කොඩි ඇතුළුව එම දිසාවේ මොහොට්ටාල සහ හමුදාව,

පස්වෙනුව මාතලේ දිසාවේ සුදුකොඩිය සහ අත්කොඩි ඇතුළුව රිදී පටිස්ථානයක් අතින් ගත් මාතලේ දිසාව කරවන දුල්ලෑවේ නවරත්න වික්‍රමසිංහ සමරකෝන් ජයතිලක පණ්ඩිත මුදියන්සේ රාලහාමි ඇතුළුව එම දිසාවේ මොහොට්ටාල සහ හමුදාව ද,

සයවෙනුව සරබගමු දිසාවේ පටරෙදිකොඩිය සහ අත්කොඩි ඇතුළුව රිදී පටිස්ථානයක් අතින් ගත් සබරගමු දිසාව කරවන දොළොස්වල කොතලාවල විජයසුන්දර වික්‍රමසිංහ තෙන්නකෝන් මුදියන්සේ රාලහාමි ඇතුවව එම දිසාවේ මොහොට්ටාල්ලා සහ හමුදාව ද,

සත්වෙනුව කෝරලතුනේ දිසාවේ භේරුණ්ඩයාකොඩිය සහ අත්කොඩි ඇතුළුව එමදිසාව කරවන ඇහැළියගොඩ දසනායක රණසිංහ මුදියන්සේ රාලහාමි ඇතුළුව එම දිසාවේ මොහොට්ටාල්ලා සහ හමුදාව ද,

අටවෙනුව වලපනේ දිසාවේ මයුරයාකොඩිය සහ අත්කොඩි ඇතුළුව රිදී පටිස්ථානයක් අතින් ගත් එම දිසාව කරවන මුල්ලේගම හේරත් දවුණ්ඩ වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්ඩිත රාජපක්ෂ මුදියන්සේ රාලහාමි ඇතුළුව එම දිසාවේ මොහොට්ටාල්ලා සහ හමුදාව ද,

නවවෙනුව උඩපළාත දිසාවේ නෙළුම්මල් කොඩිය ඇතුළුව රිදී පටිස්ථානයක් අතින් ගත් එම දිසාව කරවන උනම්බුවේ රාජකරුණා රාජපක්ෂ තෙන්න‍කෝන් වාසල මුදියන්සේ රාලහාමි ඇතුළුව එම දිසාවේ මොහොට්ටාල්ලා සහ හමුදාව දැයි මෙසේ පිළිවෙළින් සැදීගොස් උතුමාණන් වහන්සේ පොරොත්තුව සිටිය මණ්ඩප ඉදිරියේ දී සියලු රදලවරු සහ හමුදාවත් පොරොත්තුව සබරගමුවේ දිසාමහත්මයාත් කෝරල තුනේ දිසාමහත්මයාත්, අනිකුදු දිසාවල මොහොට්ටාල්ලා සහ කොඩිපිළිත් පෙරමුණේට ඇර පළමු කී අනික් රදළවරු දළදා කරඬුව කැටුව යන ලෙස පොරොත්තුවූහ.

දසවෙනුව දළදා මාළිගාවේ කොඩිපිළි ද, ඊළඟට සිංගාරක්කාරයෝද, ඊළඟට නැට්ටුවන් සහ බෙරකාරයෝ ද ඊළඟට තලිකාරයෝ ද, ඊළඟට තම්බෝරුකාරයන් සහ පුරම්පේත්තුකාරයෝ ද, ඊළඟට නාගසින්නම්කාරයෝ ද, ඊළඟට සක්දුරකාරයෝ ද, ඊළඟට අත්පන්දම්කාරයෝ ද, ඊළඟට කීල පන්දම්කාරයෝ ද, ඊළඟට නීලපන්දම්කාරයෝ ද යුතු ලෙස දෙපසැ සෑදී සිටියෝ ය.

විසිවෙනුව රිදී ධවල ඡත්‍රයක් අතින්ගත් මොරපේ දේවාලයේ බස්නායක නිලය කරවන මඩුගල්ලේ කැරණාතිලක ජයසුන්දර වීරසේකර රාජපක්ෂ වාසල නායක නිසි මුදියන්සේ රාලහාමිද රිදී පළිහක් අතින්ගත් පත්තිනි දේවාලයේ බස්නායක නිලය කරවන පමුණුවේ විජයරත්න අත්තනායක ධර්මධ්වජ පණ්ඩිත මුදියන්සේ රාලහාමි ද ශුබ්‍රවර්ණ සෙමර වල්විදුනාවක් අතින් ගත් කොඩිතුවක්කු ලේකම් කරවන රන්කොත්දිවෙල දිවාකර විජයකෝන් මුදියන්සේ රාලහාමිද යන මේ තුන්පළ රත් රන් වැඩ ඇති රක්තවර්ණ කාප්ප සැට්ටයක් පොරවාපු කිරිඔරුවේ ඇත් නාම්බා පිට ද ඊට දකුණු පැත්තෙන් රිදී ධවලඡත්‍රයක් අතින්ගත් වේගිරියේ සහ ඇම්බැක්කේ දේවාලයේ බස්නායක නිලය කරවන මාම්පිටියේ අමෘත හස්ත නවරත්න වික්‍රමසිංහ සේනානායක මුදියන්සේ රාලහාමිද, රතුවිල්ලෝඩි සේසතක් අතින්ගත් අතපත්තු ලේකම් කරවන ඇරැව්වාවල සේනානායක බාහුනාරායණ රාජගුරුවාසල පණ්ඩිත මුදියන්සේ රාලහාමි ද රිදී පළිහක් අතින්ගත් සඟරුවන්කෙත දේවාල‍යේ බස්නායක නිලය කරවන ගොලහැල සමරදිවාකර චන්ද්‍රශෙඛර කුරුප්පු මුදියන්සේ රාලහාමි ද යන මේ තුන්පළ රිදී වැඩ ඇති රතු කාප්ප සැට්ටයක් පොරවාපු වල්ලියා යන ඇත්නාම්බා පිට ද, ඊට වම්පැත්තෙන් රිදී ධවලඡත්‍රයක් අතින්ගත් වඩන තුවක්කුකාර ලේකම කරවන තල්ගහගොඩ කරුණා ජයතිලක රාජගුරු මුදියන්සේ රාලහාමි ද, රතුවිල්ලෝඩි සේසතක් අතින් ගත් කිරිඳිගල්ලේ ‍දේවාලයේ බස්නායක නිල‍ය කරවන ගෝනිගොඩ විජයකෝන් විජයරාජ මුදියන්සේ රාලහාමිද, රිදී පළිහක් අතින් ගත් ගනේගොඩ දේවාලයේ බස්නායක නිලය කරවන අංගම්මන රන්පන්හිඳ දිවාකර මුදියන්සේ රාලහාමි ද යන මේ තුන්පළ රිදී වැඩ ඇති රතුකාප්ප සැට්ටයක් පොරවාපු බුලත්ගමයා යන ඇත්නාම්බා පිට ද,

එක්විසිවෙනිව කසකාරයෝ ද, ඊළඟට පල්ලේ ගම්පහේ මහනිලමේ ද, මාතලේ දිසාමහත්මයා ද, උඩපළාතේ දිසා මහත්මයා ද, දළදා මාළිගාවේ දියවඩන නිලමේ සහ ගජනායක නිලමේ ද,

විසිදෙවෙනිව, ගිනිදල්වාපු රිදී පන්දම්ද, ඊළඟට විසිතුරු කොට තනන ලද රන්තහඩු පට කඩදාසි ආදියෙන් කරන ලද විසිතුරු මල්ගස් ද,

සූවිසිවෙනිව, පෙශපට්ට වස්ත්‍රාදී නොයෙක් අනගි පිළිවර්ගවලින් සර්වාංගය වැසූ සැට්ටයක් සහ කුම්භස්ථලයට රන් බොක්කාල දෙකක්ද, පෙර කුඹයට අනගි මැණික් බඳනා ලද ස්වර්ණමය වූ ලක්ෂ්මී රූපයක් ද නොයෙක් ප්‍රකාරයෙන් කැටයම් වැඩ කළ රත්රන් නෙත්නි මාලයක් ද ද‍ළදෙකට කොණ්ඩායම් එල්වන ලද ගල්බැඳි රන්කොපු දෙකක්ද, කර්ණ යුගලයට රත්රන් මිටි සහිත සුදු පැහැති සෙමෙරවලින් කළ වල්විදුනා දෙකක් ද ඉදිරියේ කකුල් දෙකට ගිගිරි වළලු දෙකක් ද, රන් සැත් රන්පොරොදු ආදී හසත්‍යාභරණ ද යන මෙයින් සැරසූ සියලු හස්ති ලක්ෂණයෙන් සම්පූර්ණ වූ හතළිස් පහේ ඇත්නාම්බා පිට වතපුටුව බැඳ, ඊ පිට රන්හිළි ගෙයක් පණවා ඒ තුළ රිදී දම්වැල්වලින් එල්ලූ තොටිල්ල මැද පේශ ලේන්සු පහක් අතුරා ඊට පිට දහස් ගණන් අගනා මැණික් බැඳි නොයෙක් රන්දමින් සැරසූ නවරත්‍නයෙන් බැබළූ රන් දළදා කරඬුව වැඩමවා ඒ පෙළහර කරන ඇත්නාම්බාගේ මස්තකයට විසිතුරු මල්වියනක් අල්වාගෙන එම ඇතාගේ අවට දළදා මාළිගාවේ වට්ටෝරුකම් කරන අයවල් වඩන තලාතු අරගෙන බිමින් ගමන් කළෝ ඊට දකුණු පැත්තෙන් දෑසමන් මල්පිරූ රන්තැටියක් අතින්ගෙන මහ ගබඩා නිලමේ කරවන දුනුවිල රාජකරුණාධාර ඒකනායක ධර්මකීර්ති පණ්ඩිත මුදියන්සේ රාලහාමි ද,

රන්කම් කළ රතුවිල්ලෝඩි සේසතක් අතින්ගත් පස්ගම දේවාලයේ බස්නායක නිලය කරවන වෑගොඩපළ නිලමේ ද, රන්පළිහක් අතින්ගත් නානායක්කාර ලේකම කරවන කඩිගමුව් තිලකරත්න මුදියන්සේ රාලහාමිද යන මේ තුන් පළ රත්රන් වැඩ ඇති කාප්ප සැට්ටයක් පොරවාපු කෙන්ගල්ලේ කුඩා ඇත්නැම්බා පිට ද, ඊට වම් පැත්තෙන් දෑසමන් මල්පිරූ රන්තැටියක් අතින්ගත් උඩ ගබඩා නිලමේ කරවන දෙහිගම නවරත්න අතපත්තු වාසල මුදියන්සේ රාලහාමිද, රන්කම් කළ පට විල්ලෝඩි සේසතක් අතින් ගත් කතරගම‍ දේවාලයේ බස්නායක නිලය කරවන දොඩම්තලේ කඳුරේ මුදියන්සේ රාලහාමි ද,

රන් පළිහක් අතින්ගත් වහල‍ගොඩ දේවාලයේ බස්නායක නිලය කරවන දිවෙල්ගම නිලමේ ද යන මේ තුන්පළ රන්වැඩ ඇති රතු කාප්ප සැට්ටයක් පොරවාපු ඇම්බැක්කේ ඇත්නාම්බා පිට ද, ඊළඟට කවිකාර මඩුවේ ඇත්තෝ ද,

සවිසිවෙනුව රත්රන් වැඩ ඇති රතු විල්ලෝඩි සේසතක් ගත් ජන්තුරේ දේවාලයේ බස්නායක නිලය කරවන වේරගොඩ වික්‍රමසිංහ මුදියන්සේ රාලහාමිද, රිදී සේසතක් අතින් ගත් කැන්දවල දේවාලයේ බස්නායක නිලය කරවන මුල්ලේගම හේරත් දවුණ්ඩ වික්‍රමසිංහ ඒකනායක අභයකෝන් පණ්ඩිත රාජපක්ෂ මුදියන්සේ රාලහාමිද රිදී පළිහක් අතින්ගත් මහබද්ද ලැබී තිබුණු වට්ටාරන් තැන්නේ මොලගොඩ රාජපක්ෂ අතපත්තු වාසල රාලහාමි ද යන මේ තුන්පළ රත්රන් වැඩ ඇති රතු කාප්පු සැට්ටයක් පොරවාපු නැලිගමයා යන ඇත්නාම්බා පිට ද, ඊට දකුණු පැත්තෙන් රන් සේසසත් අතින් ගත් ගබඩා නිලය කළ මුල්ලේගම නිලමේ ද රිදී පළිහක් අතින්ගත් නානායක්කාර ලේකම කළ මත්තගොඩ නිලමේ ද, සුදු සෙමෙර වල්විදුනාවක් අතින්ගත් නුවර කලාවියේ දිසාව කළ නුගවෙල නි‍ලමේද, ඊට වම්පැත්තෙන් රන් සේසතක් අතින්ගත් මහදේවාලයේ බස්නායක නිලය කරවන උනම්බුව රාජකරුණා රාජපක්ෂ තෙන්නකෝන් වාසල මුදියන්සේ රාලහාමි ද, රිදී පළිහක් අතින්ගත් කතරගම දේවාලයේ බස්නායක නිලය කළ මඩුගල්ලේ බස්නායක නිලමේ ද සුදුසෙමෙර වල්විදුනාවක් අතින්ගත් විල්බාවේ දේවාලයේ බස්නායක නිලය කරවන අංගමම්න රන්පන්හිඳ දිවාකර මුදියන්සේ රාලහාමිද යන මේ තුන්පළ රිදී වැඩ ඇති රතු පච්චවඩම් සැට්ටයක් පොරවාපු ගෝඹරයා යන ඇත්නාම්බා පිට ද,

සත්විසිවෙනිව දකුණු පැත්තට මහලේකමේ ඇත්කඳලිහිණියා ඇති කොඩිය සහ එම ලේකම පයිඬ තිබෙන අයවල් සහිත හමුදාව ද,

අටවිසිවෙනිව මල්වත්තේ විහාරයේ සහ අස්ගිරි විහාරයේ මහානායක, අනුනායක, කාරක මහා සංඝයා ඇතුළු දොළොස් නමක් ද,

විසිනවවෙනිව, වෙඩික්කාර ලේකම් මහත්මයා සහ එම ලේකමේ රතු පටකොඩිය ඇතුළුව එම පේරුවේ පයිඬ තිබෙන අයවල් සහ හමුදාව ද,

තිස්වෙනිව, නානායක්කාර ලේකමේ පයිඬ තිබෙන අයවල් සහ හමුදාව ද,

එක්තිස්වෙනිව, වඩන තුවක්කුකාර ලේකමේ සුදු පටකොඩි ඇතුළුව එම ලේකමේ පයිඩ තිබෙන අයවල් සහ හමුදාව ද,

දෙතිස්වෙනිව, පඩිකාර ලේකම් මහතා ඇතුළුව එම ලේකමේ රතු පටකොඩියා සහ එම පේරුවේ පයිඩ තිබෙන අයවල් සහිත හමුදාව ද යන මෙකී රදලවරු සහ හමුදාවත්, මෙකී පිළ‍ිවෙළින් පෙරහර කිරීමට මාළිගාවේ වාහල්කඩ ගාවින් නික්ම ස්වර්ණකල්‍යාණ වීථිය, යටිනුවර වීදිය, රිදී වීථිය, නාගහ වීථිය, උඩුනුවර වීථිය යන මේ වීථිවල පෙළහැර කර දෙවනුව මලුවේ මණ්ඩපයට පැමිණ දළදා කරඬුව රන්හිළිගෙයට වැඩම වූ පළමු කී රදලවරුන් දෙපළ විසින් නැවත දළදා කරඬුව මුදා ඇතු පිටින් රැගෙන මහ නිලමේ අතට වැඩම වූ පසු මහනිලමේ විසින් මණ්ඩපයේ දොරකඩ ළඟට ගෙනගොස් එහි පොරොත්තුව සිටි ගරුතර උතුමාණන්වහන්සේගේ ශ්‍රී හස්තයට වැඩමවනවා හා සමඟම පළමු කී පරිද්දෙන්ම පඤ්චතූර්ය ඝෝෂාව ඇතුළු වූ මහජනයාගේ සාධුකාර නාදයද කාලතුවක්කු සහ කොඩි තුවක්කුවල මහත් වූ වෙඩිහඬද යන මෙයින් එකකෝළාහල විය.

ඉක්බිති ගරුතර උතුමාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් මල්වත්තේ විහාරයේ මහානායක ස්ථවිරයන්වහන්සේගේ ශ්‍රී හස්තයට කරඬුව ලැබුණේ ය. උන්වහන්සේ යට කී අලංකෘත ආසනයට ඒ දළදා කරඬුව වැඩමවා රන්කම්කළ තිරවලින් වසා දළදා වහන්සේ වැඩසිටින ඒ රුවන් කරඬු තුනම ඇර ධාතූන්වහ්නසේ එළියට වැඩමවා මුල කී රන්හිළි ගෙයතුළ පාලාපෙත්ත පිටට වැඩමවූ සේක.

ඉක්බිති පළමුකොට උතුමාණන්වහන‍්සේට දක්වා තිර ඉවත් කොට එහි රැස්ව සිටි ඉංග්‍රීසි මහතුන්ට සහ රාජදේවීන් වහන්සේ ඇතුළු වූ අනිකුදු ඉංග්‍රීසි නෝනා මහත්වරුන්ටත් දැක්වූයේ ය. ඊට පසු රැස්ව සිටි භික්ෂූන් වහන්සේලාට දැක්වීය. මේ වැඩ ඉවරවන විට එදා හිරු අස්තයට පැමිණියේ ය. පසු දින පූර්වභාග දසපෑ වේලාවට සියලුම රදළවරු යහපත් වූ සුදු අයිත්තමින් සැරසී ගරුතර උතුමාණන්වහන්සේගේ ගමන් මාළිගාවට ගොස්, පෙරකී පරිද්දෙන්ම උතුමාණන්වහන්සේ මහත් පෙළහරින් කැඳවා ගෙනැවිත් කරඬුව හැර දළදා වහන්සේ එළියට වැඩමවා, උතුමාණන්වහන්සේ ඉදිරිපිට දී රදළවරු පිලීකට්ටු වරාගම් ආදී මාහැඟි වස්තු පූජාකොට වන්දනාමාන කළෝ ය.

ඉන්පසු උතුමාණන් වහන්සේට අනේකවිධ නෘත්‍යගීතාදිය පවත්වා සතුටුකරවා ඉක්බිති පාතරට හමුදාවට ද, ඊළඟට දිසාවල සේනාවට ද ඊළඟට උඩරට සේනාවට ද දැක්කෙව්වේ ය. මෙසේ සත් දිනක් මේ මාහැඟි පූජෝත්සවය පැවැත්තේ ය.

මේ දවස්වල මුරකළ අන්දම නම්; විහාර දෙකෙන් භික්ෂූන් වහන්සේලා සත් නමක් සහ මහානායක ස්ථවිරයන් වහන්සේ නමකුත් කරඬුව වැඩ සිටින ආසනය ළඟ ද, ඒ ළඟම තිරපෙළක් ඇද, ඊට පිටින් දිසාමහත් කෙනෙක් සහ රදළවරු හත්පළකුත් රිදී පටිස්ථාන අරගෙන ද, ඊළඟට තිරපෙළක් ඇද ඊට පිටින් බෝර්තු උසාවියේ රාලලා ද ඊට පිටින් ජාහේවා පන්නකාර කොමදයක් සහ සුදුමහත් කෙනෙක් ද ඊට පිටින් කටුපුල්ලේ ඇත්තෝ හතළිස් අට දෙනෙක් ද, ඊට පිටින් වාපන ඇඳගත් කොස්තාපල්වරු පණස්තුන්දෙනෙක් ද මුර සිටියේ ය.

තවද, උතුමාණන් වහන්සේට ආරක්ෂා පිණිස උන්වහන්සේ පොරොත්තුව සිටි මණ්ඩලය අවට තම්බෝරුකාරයෝ ද, මහ ග්‍රැනියර් උන්නාන්සේ සහ ඉංග්‍රීසි හේවාපන්න කොමන්දයක් ද මුලාදෑනියෙක් ද මුරසිටියෝ ය. තුන් වනදා රෑ දස පැය වේලාවට උතුමාණන්වහන්සේ සහ අනිකුදු මහත්වරු රැස්ව මේ මනෝහර ධාතු පූජෝත්සවය පිණිස කොළඹින් ගෙන්වන ලද ඉතා අගනා ඉංග්‍රීසි සිංහල ගිනිකෙළි රැසක් පූජාකළෝ ය.

මෙපමණක් නොව, ඌවේ කම්බාකාරියෝ ද, කඩු පලිස් හරඹ ද, ලී කෙළි ද යනාදී නොයෙකුත් නැටුම් ගැයුම් මේ දවස්වල පැවැත්තුවෝ ය. මේ පූජෝත්සවය පිණිස රැස්වෙන්නට යෙදුනාවූ උඩපාත දෙරටෙහි සෙනගින් බැලූ බැලූ දිසාවෝ අතුරු සිදුරු නොව මහ වතුරක් මෙන් ගලාගොස් තිබුණාහ. ඒ ඒ පැත්ත අත්පොළසන් සාධු නාදාදියෙන් පිරී තිබුණෝ ය.

මෙසේ ජූලි මස තුන්වෙනි කුජ දින වනතුරු මහමලුවට දළදා වහන්සේ වැඩමකරවා සියලු දෙනාටම කැමති අන්දමකින් වැඳ පුදා ගැන්මට ඉඩහැර තිබී එම දින පෙරවරු එකොළොස් පැයට නැවතත් පළමු කී පරිද්දෙන් මනෝහර පෙළහරින් දළදා වහන්සේ සහිත රුවන් කරඬුව මාළිගාවට වැඩමවා එහි හේවිසි මණ්ඩපයෙහි පැනවූ මාහැඟි විසිතුරු ආසනය පිට තිබෙන රන්කමින් සැරසූ රන්හිළි ගෙයි එල්වා තිබුණු පාලාපෙත්ත පිටට ධාතූන් වහන්සේ වැඩම වූයේ ය.

පසු වූ දවස්වල වැස්සා වූ මහ වැස්සෙන් ගංගා ඇළදොළ ඔයවලින් මෙතෙරවිය නොහී නැවතී සිටි සෙනඟට ඇවිත් වැද පුදා ගැන්මට ඉඩහැර තිබී ජූලි මස දහ අටවෙනි බුධ දින දළදා වහන්සේ මාළිගාවේ උඩුමහල්තලයේ මහාකරඬුව තුළට වැඩමවා මේ පූජෝත්සවය මෙතෙකින් හමාර කරන්නට යෙදුනේ ය.”

Comments