සොබා දහමේ රිද්මය අනු­දත් වැදි ජන ගී අරු­මය | සිළුමිණ

සොබා දහමේ රිද්මය අනු­දත් වැදි ජන ගී අරු­මය

ශ්‍රී ලංකාවේ ආදි­වාසී වැදි ජන­තා­වගේ සංගී­තය සිය­වස් 5 කට අඩු කාල­යක් මුළුල්ලේ විකා­ශ­නය වූ ප්‍රාථ­මික සංගී­ත­යක් ලෙස හැඳි­න්විය හැකි ය. සීමිත වූ නාද මාලා­ව­කින් හා පටු ස්වර පරා­ස­යක වූ ගාය­න­යක් බෙරය, හැරුණු කොට වාදන භාණ්ඩ භාවි­ත­යෙන් තොර­වී­මත් ඊට හේතු­වය. ජන ගී හා සැස­ඳී­මේදී වැදි ජන ගීවල ආකෘ­තිය ඉතා සරල බව ‘The Vaddas’ නම් ග්‍රන්ථය රචනා කළ සෙලි­ග්මා­න්ව­රුන්ගේ අද­හස ය. වැදි ජන­තා­වගේ සංගී­තය පිළි­බ­ඳව අධ්‍ය­ය­න­යක යෙදී ඇති එම කතු­ව­රුන් වැදි ප්‍රජා­වගේ සංගී­තය සතුන් උදෙසා කළ යාතු­කර්ම ගාය­න­යට හා දෛනික ජීවි­තයේ ක්‍රියා­කා­ර­කම් හා බද්ධ වූ ගායනා ලෙස හඳුන්වා තිබේ.

යාතු­කර්ම ගාය­නා­ව­න්ගෙන් වැදි­ජන සමා­ජයේ එක් පැති­ක­ඩක් වන ඔවුන්ගේ ඇද­හීම් හා විශ්වා­ස­යන් පිළි­බ­ඳව අව­බෝ­ධ­යක් ලබා­ගත හැකි වුවත් දෛනික ජීවි­තයේ ක්‍රියා­කා­ර­කම් හා බද්ධ වූ ගායනා බොහෝ විට වැදි­ජන ප්‍රජාව තම අත්දැ­කීම් එකි­නෙකා අතර හුව­මාරු කර ගැනී­මට හා විනෝ­දා­ස්වා­ද­යක් ලබා­ගැ­නීම වැනි අර­මුණු ඇතිව නිර්මා­ණය කිරීම නිසා එම ගීත වැදි ජන­යාගේ සංගී­තය ලෙස සෙලි­ග්මා­න්ව­රුන් තීර­ණය කොට තිබේ. එහෙත් නිර්මා­ණා­ත්මක භාවි­ත­යේදී යාතු කාර්මීය ගාය­නා­වන්ගේ නාද මාලා­වන් මෙන් ම බෙරය ද ආශ්‍රය කර ගැන‍ීම කැපී පෙනේ.

ආදි­වා­සීන් හෙවත් වැදි­ජ­නයා ගේ සංගී­තයේ නාද මාලා­වන් පිළි­බඳ අධ්‍ය­ය­න­යක දී ඔවුන් ගේ පැරණි නාද මාලා­වත් එලෙ­සින් ම රැක ගැනී­මට උත්සාහ දරා ඇති බව පෙනේ. ශ්‍රී ලංකාවේ සිංහල ජන සමා­ජය හා වැදි­ජන සමා­ජය මිශ්‍ර වුවත් සිංහල ජන ගී නාද මාලා­වන් හා වැදි ජන ගීත­වල නාද මාලා­වන් එකි­නෙක මිශ්‍ර වූ බවත් දැක­ගත හැකි වන්නේ කලා­තු­ර­කිනි. වැදි ජන ගී නාද මාලා­වන් හි සීමිත නාද මාලා­වන් කිහි­ප­යක් පම­ණක් දක්නට ලැබී­මත් ඒ නාද මාලා­වන් වුව ද පටු ස්වර පරා­ස­ය­කින් යුක්ත­වී­මත් බහු­ත­ර­යක් වැදි ජන ගී මධ්‍ය­මය හෝ පංච­මය ශ්‍රැති ස්වර­යත් යොදා ගනි­මින් ගායනා කිරී­මත් හඳු­නා­ගත හැකි ය.

එමෙන් ම ගාය­න­යේදී ස්වර දෙකක් අතර ඇති ආස­න්නම ස්වර ආශ්‍රය කර ගැනීම විශේෂ ලක්ෂ­ණ­යකි. සෙලි­ග්මා­න්ව­රුන්ගේ විග්‍ර­හ­යට අනුව බොහෝ වැදි ජන ගීත­ව­ලට ඇතු­ළත් වී ඇත්තේ සීමිත නාද මාලා­වන් ය. වැදි ජන ගීවල නාද මාලාව ස්වර පහක් හෝ ඊට අඩු ප්‍රමා­ණ­ය­කින් නිර්මා­ණය වී තිබේ‍. දඹානේ ගුණ­ව­ර්ධන විසින් රචිත ‘වැදි ගී විම­සුම’ කෘතියේ වැදි ජන ගී නාද මාලා­වන් පිළි­බ­ඳව සඳ­හන් කර ඇත්තේ දරු නැළ­විලි ගීව­ලට අම­ත­රව බොහෝ වැදි­ජන ගීවල පව­තින විශේෂ ලක්ෂ­ණය වන්නේ සෑම වැදි­ජන ගීත­ය­කම ආර­ම්භ­යක් අව­සා­න­යක් සනි­ටු­හන් වීමය.

ඒ සඳහා ඔවුන් යොදා­ගත් පද රටා කිහි­ප­යකි. එනම් ‘තෙන තෙදි­නානේ තෙදි­නානේ’ (නාද මාලාව) තෙං තෙදි නා නා තෙදි නානා මෙන් ම නැගෙ­න­හිර බින්තැන්න ප්‍රදේ­ශයේ බහු­ලව භාවිතා වන ‘තදි­නත් තන්දන තදි­නානේ (නාද මාලාව ද) යනු­වෙන් පද රටා­වල හා නාද මාලාවේ සුළු වෙන­සක් ඇති බව පෙනේ. මේ පද රටා­වන් ආර­ම්භ­යට පෙර හේ බොල යනු­වෙන් සුල­බව භාවිතා වන බව ‘වැදි ගී විම­සුම’ ග්‍රන්ථයේ සඳ­හන්.

වැදි ජන ගී බහු­ත­ර­යක් ගැයෙන්නේ මෙකී නාද මාලා­වෙනි. ඒ අතර ආද­රය සහ විවා­හය සම්බන්ධ ගී, සමා­ජීය සංසි­ද්ධීන් සම්බන්ධ ගී දඩ­යමේ යාමේදී වූ සිදු­වීම් හා සම්බන්ධ ගී බඹර කැපී­මට සම්බන්ධ ගී කැපී පෙනේ. වැදි­ජන ගී අතර සම්ප්‍ර­දා­යික දරු නැළ­විලි ගීවල නාද මාලාව අනෙ­කුත් ගීව­ලට වඩා විශේ­ෂ­ත්ව­යක් ගනී. ඊට හේතුව අනෙ­කුත් සෑම ගීය­කම පාහේ දක්නට ලැබෙන එකම නාද මාලාව වෙනු­වට ගීයේ අර්ථය මෙන් ම තාල රූප ද සැකසී ඇත්තේ දරු­වාගේ මාන­සික මට්ටම හා නිදා­ගැ­නීමේ ක්‍රියා­ව­ලිය පිළි­බ­ඳව මනා සම්බ­න්ධ­තා­ව­කින් බව දඹානේ ගුණ­ව­ර්ධන විසින් රචිත ‘වැදි ගී විම­සුම’ ග්‍රන්ථයේ සඳ­හන් කර තිබේ. ඒ නිසා සාම්ප්‍ර­දා­යික වැදි­ජන නැළ­විලි ගීවල නාද මාලා­වන් ඒ ඒ අව­ස්ථා­වන්ට ගැළ­පෙන කොටස් තුන­කින් හෝ හත­ර­කින් සම­න්විත වන බව ද එම ග්‍රන්ථයේ සඳ­හන් ය.

 

“පැටී මොන්නට අඬාන්නේ

ගෝනල බොක්කිට අඬාන්නේ

ඒකත් දීපව් පැටීට

පැටී මොන්නට අඬාන්නේ‍

හිර­තල බොක්කිට අඬාන්නේ

ඒකත් දීපව් පැටීට

පැටී මොන්නට අඬාන්නේ

කටු­වල බොක්කිට අඬාන්නේ

ඒකත් දීපව් පැටීට”

 

වැදි ජන ගී අතර දඩ­යම් හා සම්බන්ධ ගීත රැසක් දැක­ගත හැකි ය. සතෙකු දඩ­යම් කළ ආකා­රය පිළි­බ­ඳව හා වනයේ සිදුවූ සිදු­වී­මත් පිළි­බ­ඳව මෙන් ම දඩ­ය­මට යාමට පෙර ස්වාභා­වික පරි­ස­රය පිළි­බ­ඳව කරන විග්‍ර­හ­යක් ඒ ගීත­යන්ට මුල් වී ඇති අතර බොහෝ වැදි ජන ගී වලට පාදක වී ඇති නාද මාලා­වන්ට වඩා දඩ­යම් යන වැද්දකු ගේ ගමනේ රිද්මය අනුව සැක­සුණු නාද මාලා­ව­කට අනුව ඒ ගීත ගායනා කරනු ලැබේ.

 

“ඒ අච්චි ඒ දෙයියෝ - ඒ අම්මි ඒ දෙයියෝ‍

ඉර පොජ්ජ පට ඇරිලා - හඳ පොජ්ජ පට ඇරිලා

උස් විලලං බල බලා - මිටි විල්ලං බල බලා

යමු නෑනි යමු දෙන්නා - යමු කැකුළි යමු දෙන්නා

කං ඊඳයි දෝ - බල බලා යමු නෑනි

කබ­රා­වන් ඊඳයි දෝ - බල බලා යමු නෑනි

මුන්දි­වත් ඊඳයි දෝ - බල බලා යමු නෑනි

යමු නෑනි යමු දෙන්නා - යමු කැකුළි යමු දෙන්නා”

 

ආදි වාසී වැදි­ජන සංස්කෘ­තියේ ආර­ම්භක අව­ධියේ මෙන් ම නර්ත­නය සඳහා ද රිද්ම ප්‍රකා­ශ­නය කරනු ලැබුවේ බඩේ බෙර ගැසී­මෙනි.

ඉන් අන­තු­රුව ගසක බෙන­යක් හම­කින් ආව­ර­ණය කොට එයට තට්ටු කිරී­මෙන් කිසි­යම් හඬක් නිප­දවා ගනු ලැබූ වැදි ජනයා පසු­කා­ලී­නව විවිධ ස්වරූ­ප­යෙන් යුත් බෙර භාවි­ත­යට හුරු පුරුදු වූහ. සෙලි­ග්මා­න්ව­රුන්ගේ විම­ර්ශ­න­යට අනුව සීතල වන්නියේ වැදි ජනයා ජීවත්වූ කාල­යේදී වුව ද කිසිදු බෙර භාවි­ත­යක් නොකළ බවත් සිංහල ගැමි සමා­ජය හා සමීප සම්බ­න්ධ­තා­වක් පැවැත්වූ බණ්ඩා­ර­දුව වැදි ජනයා පසු­කා­ලී­නව සිංහල බෙර පද­ව­ලට සමාන බෙර අව­ස්ථා­නු­කූ­ලව භාවිතා කළ බවත් සඳ­හන් ය. එමෙන් ම වෙර­ළා­සන්න ප්‍රදේ­ශ­වල ජීවත්වූ වැදි­ජ­නයා (Coast Vaddas) මේ කාල­ව­ක­වා­නුව තුළ ද්‍රවිඩ ජාතීන්ගේ බෙර­යට සමාන බෙර­යක් භාවිතා කළ බව The Vaddas ග්‍රන්ථයේ සඳ­හන් කර ඇති අතර වර්ත­මා­න­යේදී වැදි ජනයා අතර ප්‍රධාන පෙළේ වාද්‍ය භාණ්ඩ­යක් ලෙස බෙරය පාවිච්චි කිරී­මෙන් ඒ බව තහ­වුරු වී තිබේ.

ශ්‍රී ලංකාවේ වැදි ජන සංගී­තයේ නව ප්‍රව­ණ­තා­වන් පිළි­බ­ඳව කරන විම­ර්ශ­න­ය­කදී ගීත සාහිත්‍ය නාද මාලා­වන් සහ සංගීත භාණ්ඩ පිළි­බ­ඳව වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතු බව පෙනේ. බෙරයේ රිද්ම ප්‍රකා­ශ­නය අනුව කරනු ලබන සාම්ප්‍ර­දා­යික වැදි ජන ගීතය ආක­ර්ෂ­ණී­යව සහ නව ස්වරූ­ප­ය­කින් යුතුව ඉදි­රි­පත් කිරීම මෙන් ම වැදි­ජන සංස්කෘ­තියේ අන­න්‍ය­තාව තව­දු­ර­ටත් රැක ගනි­මින් එම කාර්යයේ යෙදීම වඩාත් කැපී පෙනේ. වැදි­ජන සංගී­තයේ විකා­ශ­නය පිළි­බ­ඳව සැල­කී­මේදී ඒ සංගීත භාවි­තය වැදි ජන­යාගේ සංගී­තයේ නව ප්‍රව­ණතා ලෙස සැල­කිය හැකි ය. වැදි­ජන ප්‍රජා­වගේ සංගී­තයේ නව ප්‍රව­ණතා නිර්මා­ණ­යන්හි ගීත­වල දරු නැළ­වීම, දඩ­යම, ළමා හැඟීම්, ආද­රය වැනි දෛනික ජීවි­තයේ අව­ස්ථා­වන් අන්ත­ර්ගත බව පැහැ­දි­ලිවේ.

ඒ ගීත රචනා කිරී­මේදී වැදි ජන භාෂාව යෙදෙන වචන පම­ණක් බහු­ලව භාවිතා කිරීම වැද­ගත් ලක්ෂ­ණ­යකි. එම පැරණි වැදි­ජන ගී බහු­ත­ර­යක සිංහල වචන මිශ්‍රවූ ස්වභා­වක් හඳු­නා­ගත හැකි ය. නව ගීත රච­න­යේදී වැදි­ජ­න­යාගේ භාෂා­වම භාවිතා කිරී­මෙන් සිය අන­න්‍ය­තාව රැක ගැනී­මට උත්සාහ කළ බව ගීත රචක දඹානේ ගුණ­ව­ර්ධන ගේ අද­හස ය.

වැදි ජන සංගී­තයේ නාද මාලා­වන් සාම්ප්‍ර­දා­යික ශාන්ති­කර්ම, තනු හා නැළ­විලි, දඩ­යම්, ප්‍රේමා­න්විත ගීත­යන්හි පැරණි නාද මාලා­වන්, සතුන් උදෙසා වාද­නය කරන බෙරය ද මෙන් ම පැල් කවි වැනි ජන ගී කවි ආභා­ස­යෙන් නිර්මා­ණය කර ඇති බව පෙනේ. වැදි ජන­යාගේ නව නිර්මාණ ගීත අතර යාතු­ක­ර්මීය ගාය­නා­වන් හෙවත් යැදීම උදෙසා නිර්මා­ණය කර ඇති ගීත කිහි­ප­යක් ද හඳු­නා­ගත හැකි ය. වැදි ජන ඇද­හීම් අතර යක් දෙවි­ව­රුන් හා කිරි අම්මා­ව­රුන් පිදී­මට ප්‍රමුඛ ස්ථාන­යක් ලබා­දෙන අතර ඔවුන් යැදීම වැදි ජනයා ගී ගැයී­මෙන් සිදු කරති. ‘කළු­වන් කම්බි­ලි­යත්’ ‘ඉඳි­ගොල්ලේ කිරි අම්මා’, ‘දීගාලේ කිරි අම්මා’ වැනි යැදුම් ගීත ලෙස හඳුන්වා දිය හැකි ය. වැදි­ජන සංගී­තයේ එන යැදීම, පිදීම, නැටීම යන අංශ ත්‍රිත්ව­යෙන් ම වැදි­ජ­නයා ගේ යැදුම් සංගී­තය සම­න්විත වී තිබේ.

වැදි­ජන සංගී­තයේ එන ‘කළු­වන් කම්බි­ලි­යන්’ (යැදුම් ගීයක්) පහත සඳ­හන් කරන අතර එහි අර්ථය වන්නේ දඩ­යමේ යෙදී­මේදී කොටින්, වල­සුන් වැනි භයා­නක සතුන් මග හරවා පෘෂ්ටි­මත් ගෝනුන් මුවන් වැනි සතුන් පහ­සු­වෙන් ම තමා වෙත ළං කර දුන­හොත් ඒ සතුන් විද මරා පුච්චා ගත් මස් බුලත් අතු උඩ තබා පූජා පව­ත්වන බව ය.

“කළු­වන් කම්බි­ලි­යන් - ගල්ග­ව­රුන් මාග­ල්ලන්

අම්බි­රි­යන් යම්බි­රි­යන් - මස් බරි­යන් තෙල්බ­රි­යන්

ගම්මාලා පුච්චාලා - පන අතු­පිට අතු­රාලා

කළු­කු­ම්බර දෙන්නං මං - රං දලු­මුර දෙඤ්ඤං මං”

 

වැදි­ජ­න­යාගේ යක් දෙවි­යන් ඇද­හීම සමඟ විකා­සය වී ඇති තවත් ඇද­හී­මක් වන්නේ කිරි අම්මා­ව­රුන් ඇද­හී­මය. වැදි ජන­යාගේ බිරි­ය­බැද්ද කිරි­අම්මා, පුෂ්ප රාග කිරි­අම්මා උනා­පාන කිරි­අම්මා, කොස්ගම කිරි අම්මා, බෝව­ල­ගෙ­දර කිරි­අම්මා, ගිනි ජල දේවතා කිරි­අම්මා වැනි කිරි අම්මා­ව­රුන් අත­රින් ගෞර­ව­නීය ස්ථාන­යක් හිමිවී ඇත්තේ හිඳි­ගොල්ලේ කිරි­අ­ම්මාට සහ කැකු­ළ­පොළ කිරි­අ­ම්මාට ය.

මේ කිරි අම්මා­ව­රුන් බොහෝ දෙනෙකු වැදි­ජ­න­යාගේ යක් දෙවි­ව­රුන්ගේ භාර්යා­වන් ලෙස සල­කනු ලැබේ. ඒ කිරි අම්මා­ව­රුන්ට පුද සත්කාර කිරී­මෙන් වැදි­ජ­න­තාව අපේක්ෂා කරන්නේ එදි­නෙදා ජීවි­තයේ කාර්ය­ය­න්හිදී ඔවුන්ගේ ආර­ක්ෂාව, කුඩා ළමුන්ගේ ආර­ක්ෂාව, බව බෝග සම්පත් වැඩි වර්ධ­නය වීම යන කරුණු ය.

වැදි ජන­යාගේ නව නිර්මා­ණා­ත්මක ගී අතර කිරි අම්මා­ව­රුන් පිදීම සඳහා වන­යේදී සිදු­ක­රන යැදුම් ගීත ද භාවිතා කරයි.

වැදි ජන­යාගේ නව නිර්මාණ ගීත අතර දරු නැළ­විලි ගීත සඳහා හිමි­වන්නේ සුවි­ශේෂී ස්ථාන­යකි. නැළ­විලි ගීතයේ අර­මුණ දරුවා නිදි­ක­රවා ගැනීම වුවත් ඒ ගීවල අරුත සහ නාද මාලාව වැඩි­හිටි අය­කුට වුව ද රස විඳිය හැකි නිර්මා­ණ­යකි.

 

“අම්මි ලෝලි ලෝලො­යියා

අප්පි රෝරි රෝරො­යියා

පැටී මොන්නට අඬාන්නේ

උයල මලට අඬාන්නේ”

 

මේ නැළ­විලි ගීය වැදි ජන­යාගේ සාම්ප්‍ර­දා­යික සංගීත නාද මාලාව යම් ආකා­ර­ය­කින් ආක­ර්ෂ­ණීය ලෙස ඉදි­රි­පත් කිරී­මට ගත් උත්සා­හ­යක් ලෙස හැඳි­න්විය හැකි ය.

වැදි­ජ­න­යාගේ වර්ත­මාන සංගීත භාණ්ඩ අතර බෙර­යට අම­ත­රව ස්වාභා­වික අමු­ද්‍රව්‍ය භාවි­ත­යෙන් නිර්මා­ණය වූ සංගීත භාණ්ඩ සැල­කිය යුතු ප්‍රමා­ණ­යක් භාවිතා කරන බව පෙනේ. ඔවුන් ස්වර වාද්‍ය භාණ්ඩ­යක් ලෙස භාවිතා කරන්නේ වස් දණ්ඩ හෙවත් බට නළාව පම­ණකි. එහෙත් වත්මන් ආදි­වා­සීන් සංගී­තයේ රිද්මය පවත්වා ගැනීමේ ප්‍රධාන වාද්‍ය භාණ්ඩ­යක් ලෙස යොදා ගත්තේ බෙරය සහ දවුල ය.

වැදි­ජ­නයා බෙරය හඳු­න්වන්නේ ‘ක‍ඳේ කොටන යම­කය’ ලෙසිනි. සිංහල ජන සංගී­තයේ භාවිතා කරන බුම්මැ­ඩිය නම් වූ වාද්‍ය භාණ්ඩයේ ආභා­ස­යෙන් නිර්මා­ණය කරන ලද වාද්‍ය භාණ්ඩ­යක් ද වත්මන් වැදි­ජ­නයා භාවිතා කරති. ‘බුම්මැ­ඩිය’ නමින් වැදි­ජ­නයා හඳු­න්වන මේ වාද්‍ය භාණ්ඩය කොත­ල­යක් හෙවත් කුඩා කළ­යක් තල­ගොයි හෝ මුව හම­කින් ආව­ර­ණය කර හඬ නිප­දවා ගන්නා වාද්‍ය භාණ්ඩ­යකි. හමට ඇති කරන යම් තෙර­පී­මක් මඟින් විවිධ ශබ්ද නිර්මා­ණය කළ හැකි ය.

වැදි ජන ප්‍රජාව විවිධ සෙල­වුම් උප­ක­රණ (Rattles) භාවි­ත­යෙන් කිසි­යම් සංගී­තා­ත්මක හඬක් නිප­දවා ගැනීම අතී­තයේ සිටම සිදු­කර තිබේ. වර්ත­මා­නයේ දී ද වැදි­ජ­නයා මෙවැනි සංගී­තා­ත්මක හඬක් උප­දවා ගැනී­මට උප­ක­රණ කිහි­ප­යක් නිර්මා­ණය කොට ඇති බව දැක­ගත හැකි ය. ඒ අතර පොල් ගෙඩි­යක මදය ඉවත් කොට එය ඇතු­ළත ඉතා කුඩා හෝ තර­මක විශාල ඇට වර්ග යොදා නිර්මා­ණය කරන ලද වාද්‍ය භාණ්ඩ­යක් භාවිතා කරති. ‘චා’ ගස්වල කරල් මිටි­යක් ලෙස බැඳ කිසි­යම් හඬක් නිප­ද­වී­මට කට­යුතු කරති.

ඔවුන් සිය සංගී­ත­මය කාර්ය­ය­න්ව­ලදී ස්වාභා­වික පරි­ස­ර­යෙන් සොයා­ගත හැකි ඝන වස්තු­න්ව­ලින් ද සංගී­ත­මය හඬක් නිර්මා­ණය කරති. එබඳු නිර්මාණ අතර කොට­යක ඇතු­ළත හාරා මුව හම් කැබලි ටික­කින් ආඝාත කිරී­මත් සිදු කැරේ.

ඔවුන් වර්ත­මා­න­යේදී භාවිතා කරන සංගීත භාණ්ඩ අතර ස්වාභා­වික පරි­ස­රය වැඩීම සඳහා මෙන් ම විවිධ සතුන්ගේ හඬ ලබා ගැනී­මට නිර්මා­ණය කළ ඒවා ද දක්නට ලැබේ. දඩ­යම, පාරි­ස­රික වර්ණනා වැනි කරුණු වැදි ජන ගීත­යට පාද­ක­වීම නිසා මෙම වාද්‍ය භාණ්ඩ ඒ නිර්මා­ණ­යන්හි සජීවී බව මෙන් ම ප්‍රසාං­ගික බව ද රැක ගැනී­මට වඩාත් හේතු වී තිබේ.

එම භාණ්ඩ අතර දිවුල් ගෙඩියේ මදය ඉවත් කොට නිර්මා­ණය කරන ලද භාණ්ඩ­යෙන් කුරුලු හඬ, අලින්ගේ හඬ වැනි ශබ්ද මතු කර­ගෙන තිබේ. පොල් කටු භාවි­ත­යෙන් නිප­දවා ඇති භාණ්ඩය ගෙම්බෙ­කුගේ හඬ උප­ද්දවා ගැනී­මට භාවිතා කරනු ලැබේ.

මෙම භාණ්ඩය නිර්මා­ණය කොට ඇත්තේ කු‍ඩා ප්‍රමා­ණයේ පොල් ගෙඩි­යක් කෑලි දෙක­කට පළා එක් පලු­වක් දැති සහි­තව කපා එහි යට පැත්ත රබර් පට­ල­ය­කින් ආව­ර­ණය කිරී­මෙනි. එහි හඬ උත්පා­ද­නය කරන්නේ පො‍ල් ගෙඩියේ දෙවන කෑල්ල දැති සහි­තව නිර්මා­ණය කළ කොට­සෙහි ඇති­ල්ලී­මෙනි. වැදි ජන­යාගේ සංගීත නිර්මාණ අතර කොටි­යකු කෑ ගසන හඬ මතු කර­ගත හැකි භාණ්ඩ­යක් ද දැක­ගත හැකි ය.

එය නිප­දවා ඇත්තේ මැටි බඳු­න­කට හමක් බැඳ ඒ හම මැදින් දුම්මල ආලේප කළ නූල­කින් සවි කිරී­මෙනි. ඔවුන් බට්ච්චා යනු­වෙන් හඳු­න්වන මේ සරල උප­ක­ර­ණය පරි­ස­රයේ විවිධ වූ හඬ­වල් උත්පා­ද­නය කිරී­මට යොදා ගෙන තිබේ. වැදි ජන­යාගේ සංගීත භාණ්ඩ අතර ඔස්ට්‍රේ­ලි­යාවේ ඇබො­ර්ජි­න්වරු ද භාවිතා කරන වර්ගයේ ඩිඩ්රිඩෝ (Dideridoo) නම් වාද්‍ය භාණ්ඩ­යක් ද වෙයි. ලී භාවි­ත­යෙන් නිර්මා­ණය කොට ඇති මෙම වාද්‍ය භාණ්ඩය වැදි ජනයා භාවිතා කරන්නේ ගැඹුරු හඬක් නිප­දවා ගැනී­මට මෙන් ම විවිධ සතුන්ගේ හා පරි­ස­රයේ ශබ්ද උත්පා­ද­නය කිරීම සඳහා ය.

ශ්‍රී ලංකාවේ ආදි­වාසි වැදි ජන­තාව පිළි­බඳ පර්යේ­ෂ­ක­යන් ගේ අව­ධා­නය යොමු වන්නේ 19 වැනි සිය­වසේ මුල් භාග­යේදී ය‍. මෙතෙක් සිදු­කර ඇති විවිධ පර්යේ­ෂණ පිළි­බ­ඳව අව­ධා­නය යොමු කිරී­මේදී ශ්‍රී ලංකාවේ වැදි ජන­යාගේ සංගීත ක්‍රමයේ විකා­ශ­නය පිළි­බ­ඳව විධි­මත් අධ්‍ය­ය­න­යක් සිදුවී නොමැති අතර සෙලි­ග්මා­න්ව­රුන්, හියු නෙවිල්, සුග­ත­පාල ද සිල්වා, නන්දේව විජේ­සේ­කර, ඊ.එම්. රත්න­පාල වැනි දේශීය හා විදේ­ශීය පර්යේ­ෂ­ක­යන් වැදි ජන ගීත සට­හන් කර තැබී­මට උත්සාහ කළ ද වැදි ජන සංගී­තය පිළි­බ­ඳව සාකච්ඡා කර ඇත්තේ සුළු වශ­යෙන් බව පිළි­ගත යුතු ය.

 

විශේෂ ස්තුතිය - (කැලණි විශ්ව­වි­ද්‍යා­ලයේ පුරා විද්‍යා අධ්‍ය­යන අංශයේ මහා­චාර්ය ප්‍රිශාන්ත ගුණ­ව­ර්ධන මහ­තාට සහ කැල­ණිය විශ්ව විද්‍යා­ලයේ ලලිත කලා අධ්‍ය­යන අංශයේ බාහිර කති­කා­චාර්ය හරේන්ද්‍ර දේශ­ප්‍රිය මහ­තාට)

Comments