ඊශ්වර නිර්මාණවාදය පිළිබඳ බෞද්ධ විවරණය | සිළුමිණ

ඊශ්වර නිර්මාණවාදය පිළිබඳ බෞද්ධ විවරණය

ආචාර්ය දිල්ශාන්

මනෝජ් රාජපක්ෂ

කථිකාචාර්ය

බෞද්ධ දර්ශනය අධ්‍යයන අංශය

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

ලෝකය හා සත්ත්වයා කෙසේ ආරම්භ වීද යන ප්‍රශ්නය පෙරපර දෙදිග දාර්ශනිකයෝ නොයෙක් ආකාරයෙන් ප්‍රශ්නයට නඟා, විමර්ශනය කොට, නොයෙක් ආකාර පිළිතුරු, නිගමන ඉදිරිපත් කර ඇත්තාහ. විශ්වයේත්, ප්‍රජාවගේත්, ආරම්භය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ භාරතීය ඇතැම් ශ්‍රමණ චින්තකයන් පිරිසක් අසහාය ශක්තියක්, බලයක් හා පෞරුෂයක් සහිත දෙවි කෙනෙකුන් මඟින් එයට පිළිතුරු ලබාදීමට උත්සාහ ගත්හ. එහි ප්‍රතිඵලය වූයේ ඊශ්වර නිර්මාණවාදය හෙවත් බ්‍රහ්ම නිර්මාණවාදය

බිහි වීම ය. එම නිර්මාණවාදී අදහස ආදී ඉන්දීය දර්ශනයේ සිටම පැවතෙන බව පෙනේ.

මෙහි ඊශ්වර යනු මවන්නා යන්නයි. මවන්නා හෙවත් ඊශ්වරයා පදනම් කරගත් වාදය ඊශ්වර නිර්මාණවාදයයි. සත්ත්වයෙකු වූ ඊශ්වරයා හෙවත් මවන්නා නිත්‍ය භාවයෙන් සලකා අන්‍යයන් අනිත්‍ය භාවයෙන් (ඉස්සරො නිච්චො, අඤ්ඤො සත්තා අනිච්චා) සැලකීම නිසා සත්වෛකත්‍යශාස්වතවාදය බිහි වූ බව බුදුසමයේ මතයයි.

ඊශ්වර නිර්මාණවාදය

විචාරාත්මක පදනමින් ඍග්වේදය අධ්‍යයනය කරන විට ප්‍රකට වන කරුණු තුනකි.

1. සංක්‍රමණික ජීවිතයෙන් ස්ථාවර ජීවන රටාවකට පැමිණි ආර්යයන් සොබාදහම සමඟ සමීප සබඳතාවක් පවත්වන්නේ දීර්ඝ කාලයක පටන් වුව ද, එහි ක්‍රියාකාරකම් අවබෝධ කරගැනීමෙහි ලා ඇති වූ අපොහොසත්කමේ ප්‍රතිඵලය නම් එදිනෙදා ජීවිතයේදී තමන්ට හමු වන හා පැවැත්ම සඳහා නිතර ගැටෙන ස්වභාවික වස්තු සියල්ල ම වන්දනාවට පාත්‍ර කිරීම යි. එහෙත් ඔවුන් ආදානග්‍රාහීව ඒවා ඇදහීමෙන් පමණක් නොසෑහී අඛණ්ඩ ව විමර්ශනාත්මක අභිරුචිය මෙහෙයවයි.

2. එමෙන් ම ආර්යයන් තමන් වන්දනාමාන කරන ස්වභාව ධර්මයේ විවිධ වස්තූන්ට මිනිස් රුව ආරෝපණය කරමින් දේවත්වයෙහි ලා පිදූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස බහුදේවවාදයක් ගොඩනැඟුණු බව පෙනේ. ඍග්වේදයේ රචිත සියලුම සූක්තයන්ගේ අරමුණ දෙවිවරුන් වර්ණනා කිරීම යි. එහි අතරින් පතර බොහෝ දෙවියන් පිළිබඳ සංශයක් පැන නැඟෙන බව ද තහවුරු වේ.

3. ඉන් පසු එම දෙවිවරු සියලු දෙනාගේ නායකයා ලෙස දේවාතිදේව, සර්ව බලධාරී, සර්වඥ, සර්වතෝභද්‍ර, සර්වව්‍යාපී එක් දෙවියෙකු පිළිබඳ විශ්වාසයට ආර්යයන් පැමිණි බව පෙනේ.

ඍග්වේදයෙහි විස්තර වන දේව විශ්වාසයන් අතර ඊශ්වර නැතහොත් අපෞරුෂයකින් යුත් ලෝක නිර්මාපක දෙවියෙකු පිළිබඳ විශ්වාසය පළමු වරට ඉදිරිපත් වන්නේ විශ්වකර්මන් දෙවියාට ආයාචනා කරමින් රචිත සුක්තයෙහිදී ය. ඉන්පසුව එන බ්‍රාහ්මණ සාහිත්‍යයෙහිදී ඊශ්වරවාදී චින්තනය සිය අදහස් ප්‍රජාපතී දෙවියා වටා ඉදිරිපත් කළ බව පෙනේ. මෙහි විශේෂත්වය වන්නේ ප්‍රජාපතී දෙවියාත්, විශ්වකර්මන් දෙවියාත් එක ම දෙවියෙකු බව තෛත්‍රීය බ්‍රාහ්මණයෙහි සඳහන් වීමයි.

එම ඊශ්වරවාදී සංකල්පයේ සංවර්ධනීය අවස්ථා කිහිපයක් දැකිය හැකිය.

1. ලෝක නිර්මාණයෙහි නිරත වූ දෙවිවරුන් කිහිප දෙනෙකු හඳුන්වා දීම.

2. ඊශ්වරවාදය සමඟ යාග හෝමාදිය කාලයාගේ ඇවෑමත් සමඟ එක් වීම.

3. ඊශ්වර නිර්මාණවාදය හඳුන්වාදීම උදෙසා සුවිශේෂ වචන මාලාවක් උපනිෂද් යුගය වන විට යොදාගැනීම.

ලෝක නිර්මාණය සම්බන්ධයෙන් විශේෂයක් නැතිව විශ්ව කර්මන්, ප්‍රජාපතී, බ්‍රහ්මන් ආදී දෙවිවරුන් කටයුතු කර ඇති බව වේද සාහිත්‍යයට අනුව පැහැදිලි වේ. ශතපත බ්‍රාහ්මණයෙහි එන පුවතකට අනුව ප්‍රජාපතී දෙවියා ලෝකය මැවීමෙන් අනතුරව වෙහෙසට පත් වූ නමුත් ඔහුගේ ප්‍රජාව හා අනෙකුත් දෙවිවරුන් විසින් කරන ලද යාගයන්ගේ බල මහිමයෙන් සුවය ලැබ ලෝක ප්‍රවර්තන කටයුත්තෙහි නැවත නැවතත් නිරත වූ බව දැක්වේ. එයින් පැහැදිලි වන්නේ, ඊශ්වර නිර්මාණවාදය හා යාගහෝමාදිය ආගමික භක්තියකින් යුතුව එක් වීමට එම සංකල්ප ඇති වී කාලයක් ගත වූ බවයි.

ඊශ්වර යන නාමය ලෝක නිර්මාතෘවරයා හැඳින්වීමට යොදාගත් පළමු අවස්ථාව ශ්වේතාශ්වර උපනිෂදයෙන් ප්‍රකට වන අතර, විශ්වකර්මන් යන නාමයටද අවධානය කොට තිබේ. ඊශ්වරවාදය පිළිබඳ චින්තාවන් මුහුකුරා යෑමෙන් සියලු දෙවිවරුන්ට අධිපති විශ්ව කර්තෘ, භුවනගෝප්තා දෙවියා බවට පත් වන්නේ බ්‍රහ්මන් ය. මුණ්ඩුක උපනිෂදයට අනුව හෙතෙම පළමුව පහළ වී ලෝකය හා සත්ත්වයා නිර්මාණය කළේය.

“බ්‍රහ්මා දේවානං ප්‍රථමඃ සම්භභූව විශ්වස්‍ය කර්තෘ භුවනස්‍ය ගෝප්තා”

එහි දී බ්‍රාහ්මණ විශ්වාසය වන්නේ මහා බ්‍රහ්මයා ලෝකය හා සත්ත්වයා නිර්මාණය කොට ප්‍රජාව නිර්මාණය කිරීමේදීම ඒ ඒ වර්ණවලට අයත් කාර්යයන් (ස්වධර්ම) පැනවූ බවය. ඒ අනුව ආර්ය බමුණෝ වේදය ඉගැන්වීමට ද, ක්ෂත්‍රීයයෝ පෘථිවි පාලනයට ද, වෛශ්‍යයෝ කෘෂි කටයුතුවලට ද, ශුද්‍රයෝ බැලමෙහෙ කිරීමට ද යොමු වූහ.

ෂඩ් දර්ශන අතර වෛශේෂික දර්ශනය අනීශ්වරවාදයක් ලෙස හැඳින්වෙන අතර පසුකාලීනව එය ඊශ්වරවාදයක් ලෙස පිළිගත් බව පෙනේ. උදයන යන ආචාර්යවරයාගේ න්‍යායකුසුමාංජලී නමැති ග්‍රන්ථය ඊශ්වරවාදී චින්තනයේ මුදුන්මල්කඩ ලෙස සැලකිය හැකිය. අද්වෛත වේදාන්ත දර්ශනය තුළ ලෝක විෂය පිළිබඳ දැනගත හැකි (විෂයී) තත්ත්වයක් වන්නේ ඊශ්වරයා ලෝක නිර්මාපක මට්ටමින් පිළිනොගැනිණි, යන්න යි.

ඊශ්වරවාදී අදහස්වල පරිණත මට්ටම බුද්ධ කාලය වන විට දක්නට ලැබුණ ද, එහි වර්ධනීය අවස්ථාවලදී පවා ඊට විරුද්ධව දැක්වූ අදහස් මූලාශ්‍රය තුළින් අතරින් පතර හමු වේ. නිදහස් චින්තනයේ අධිභෞතික සත්තාවන් කෙරෙහි දැක්වූ සංශය පැහැදිලි වන නිදසුන් අතර ඍග්වේදයේ නාසදීය සූක්තය වැදගත් වේ. ලෝකය පිළිබඳ සංකල්පය එලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව තමන්ට අවශ්‍ය මතය සංක්ෂිප්ත වශයෙන් දැක්වීමට එම සූක්තයෙහි කාරකයා උත්සාහ දරා ඇත.

සමස්තයක් ලෙස බලන විට, මෙම සූක්තයේ පළමු වන පද්‍යයේ සිට පස් වන පද්‍යය දක්වා දැක්වෙන අදහස් එකල පණ්ඩිතයන් අතර පැවති ලෝකෝත්පත්තිය පිළිබඳ මතවාද බව සැලකිය හැකි ය. විශේෂයෙන් මෙහි සතර වන පද්‍යයෙන් පැහැදිලි වන්නේ සත් පදාර්ථයේ හා අසත් පදාර්ථයේ කිසියම් සබඳතාවක් පෙන්නුම් කරන ආකාරය යි. ඒකාන්ත මතයක් වෙත ළඟා වීමේ දුෂ්කරතාව මත සංශයාත්මක මනසකින් කිසියම් මතයක් ගෙනහැර දක්වන දාර්ශනිකයෙකුගේ ලීලාවක් මෙහි හයවැනි හා සත්වැනි පද්‍යවලින් පෙනේ.

“දෙවිවරුන් පහළ වූයේ නිර්මාණයෙන් පසුව යි..., “ලෝකය ආරම්භ වූයේ කෙලෙසදැ’යි කිසිවෙක් නොදනී..., “මෙය දුටු කිසිවෙක් නැත... යනාදී අදහස් ලෝකය පිළිබඳ ඥානය ලැබීමට විමර්ශනාත්මක පදනමකින් සංශයවාදයක් වෙත පිය නඟන ස්වරූපයක් එමඟින් නිරූපණය වේ.

එබඳු ම නිදසුන් උපනිෂද් චින්තනයෙන් ද හමු වේ.

“අපි කොයින් උපන්නෙමුද?, අපි කොහේ ජීවත් වෙමුද?, අපි කොහේ යමුද?, බ්‍රහ්මවේදීනී, කවරෙකුගේ විධානය නිසා අපි මෙහි සැප හෝ දුක් විඳිමින් සිටිමුදැ’යි කිව මැනව. හේතුව වශයෙන් සැලකිය යුත්තේ කාලය, ස්වභාවය, නියතිය, යදච්ඡාව, මහා භූත යන මේවාද? නැතහොත් පරමාත්මය වන පුරුෂ නම් තැනැත්තාද?”

ඊශ්වර නිර්මාණවාදය පිළිබඳ බෞද්ධ විවරණය

“මම බ්‍රහ්මයා වෙමි (බ්‍රහ්මා), මහා බ්‍රහ්මයා වෙමි (මහා බ්‍රහ්මා), අන් සියල්ල මැඬ පවත්වන්නෙමි (අභිභු), තමන්ව මැඬ පැවැත්විය හැකි කිසිවෙක් නොමැත (අනභිභූතො), සියල්ල දන්නෙමි (අඤ්ඤදත්ථුසෙ), ලොව තමා විෂයෙහි පවත්වන්නෙමි (වසවත්ති), ඊශ්වර වෙමි (ඉස්සරො), කර්තෘ වෙමි (කත්තො), මවන්නා වෙමි (නිම්මාතා), ලොවට උත්තම වෙමි (සෙට්ඨො), ලොව සකස් කරන්නා වෙමි (සජිතා), සියල්ල සමත් කිරීමෙහි සමත් වෙමි (වසී), සියලු දෙනාගේ පියා වෙමි (පිතා), සියලු දෙනාට පළමුවෙන් ම පහළ වූයෙමි (පඨමං උප්පන්නං), අනෙක් අයගේ පහළ වීම ද ප්‍රාර්ථනා කරන්නේ ය (අඤ්ඤේපි සත්තා ඉත්ථත්තං ආගතා)” යනුවෙන් සිතන පුද්ගලයා මහා බ්‍රහ්මයා බවත්, එබඳු පුද්ගලයෙකු පිළිබඳ භක්තිමත් ජනයා සිතූ බවත් බ්‍රහ්මජාල සූත්‍රයෙන් පෙනෙන අතර එහි දී ද එබඳු චින්තාවන් උපාදානය වීම දෘෂ්ටියක් බව පෙන්වා දෙයි. එබැවින් බුදුරදහු තිත්ථායතන සූත්‍රයේ දී ඊශ්වර නිර්මාණවාදය බැහැර කරති.

ඊශ්වරවාදයට විරුද්ධව ජාතකපාලියේ ඉදිරිපත් වන ප්‍රධාන තර්ක දෙකක් වේ. එනම්, ඊශ්වරයා විසින් සියලු ලෝකයාගේ ජීවිතය සංවිධානය කරන ලද්දේ නම්, මිනිසා ඔහුගේ අණ අනුව ක්‍රියා කරන්නෙකු බැවින් මිනිස් ක්‍රියාවල හොඳ නරක සියල්ලකටම වගකිව යුත්තේ ඊශ්වරයාය. එවිට මිනිසාගේ නිදහස නැති වන බැවිනුත් ඊශ්වරයා පාප ක්‍රියාවලට සහභාගී වන බැවිනුත් ඊශ්වරවාදයේ අසත්‍යතාව ඔප්පු වෙයි.

“ලෝකයාගේ දිවි පැවැත්ම සංවිධානය කරන ඊශ්වරයා දියුණුව හා පිරිහීමත් කුසලය හා අකුසලයත් නිර්මාණය කර ඇත. එබැවින් පුද්ගලයා කුසල් හා අකුසල් කරමින් දියුණුව හා පිරිහීම උදෙසා කටයුතු කරන්නේ නම් ඒ ඊශ්වරයාගේ අණට කීකරු වීමකි. යහපත හා අයහපතෙහි වගකීම ද ඊශ්වරයා සතු ය.” (මහා බෝධි ජාතකය)

සර්වතෝ භද්‍ර ඊශ්වරයෙක් දුකින් පෙළෙන ලෝකයක් හා මායා මුසාවාදාදී අධර්මය පවත්නා ලෝකයක් මවයිද?, දුක හා අධර්මය ලොව පවතින බැවින් පෙනෙන්නේ ලෝකය සර්වතෝභද්‍ර දෙවි කෙනෙකුන් විසින් මවන ලද්දක් නොවන බව ය.

“සත්ත්වයාට ස්වාමී වූ ඒ මහා බ්‍රහ්මයා ලෝකයට ම අධිපති වේ නම් මායාව, මුසාව මදය යන අධර්මයෙන් යුක්ත ලොව කුමක් සඳහා මැවුවේ වේද?” (භූරිදත්ත ජාතකය)

බුද්ධ කාලීන භාරතීය සමාජය තුළ පැවති වෛදික හා අවෛදික සම්ප්‍රදාය දෙක ම සර්වඥතා ඥානය විවිධාභිලාසයෙන් පවරාගෙන තිබූ බව පෙනේ.

ඥානය පිළිබඳ බ්‍රාහ්මණ මතය එතරම් ප්‍රකට වූවක් නොවුව ද, ඔවුන් දැරු පැහැදිලි අදහසක් වන්නේ ලෝකය මැවූ, එය පාලනය කරන, විශ්ව බලධාරී ඊශ්වරයා හෙවත් මහා බ්‍රහ්මයා සර්වඥතා ඥානයෙන් යුක්ත එක ම තැනැත්තා බව යි.

එහෙත් බෞද්ධ සූත්‍රාගත කරුණු අනුව සියල්ල දන්නා බව ප්‍රකාශ කරන මහා බ්‍රහ්මයාට වඩා මනුෂ්‍ය ඥානය ඉදිරියෙන් පවතී. ඒ බව පැහැදිලි වන්නේ, මහා බ්‍රහ්මයාට පවා පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්නයකට බුදුරදුන් පිළිතුරු සැපයීම පිළිබඳ දැක්වෙන කේවඩ්ඪ සූත්‍රයෙනි.

පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූත ශේෂ නොවී නිරුද්ධ වන අවස්ථාව පිළිබඳ ප්‍රශ්නය (කත්ථ නු ආවුසො ඉමෙ චත්තාරො මහා භූතා අපරිසෙසා නිරුජ්ඣන්ති, සෙය්‍යථීදං - පඨවි ධාතු, ආපො ධාතු, තෙජො ධාතු, වායො ධාතු’ති?) විසඳාගැනීමට සිතූ එක්තරා භික්ෂුවක් චාතුම්මහාරාජික දෙවිවරුන්ගේ සිට බ්‍රහ්මකායික දෙවියන් දක්වා පැමිණිය ද, නිසි පිළිතුරක් හිමි නොවූ නිසා, මනා වූ රූ සපුව ඇති, සියලු දෙනාට වඩා උතුම්, සියල්ල මැඩ පවත්නා, කිසිවෙකුට අපරාජිත, ඒකාන්තයෙන් සියල්ල දක්නා, සියල්ල තමා විෂයෙහි පවත්වන, සියල්ලට ඊශ්වර වූ, සියල්ලෙහි කර්තෘ වූ, සියල්ලෙහි මැවුම්කරු වූ, සියල්ලට වඩා ශ්‍රේෂ්ඨ වූ, උපනූපන් සියලු සත් හට ප්‍රිය වූ (අත්ථි ඛො භික්ඛු බ්‍රහ්මා මහා බ්‍රහ්මා අභිඥා අනභිභූතො අඤ්ඤදත්ථුදසො වසවත්තී ඉස්සරො කත්තා නිම්මාතා සෙට්ඨො සජිතා වසී පිතා භූතභව්‍යානං අම්හෙහි අභික්කන්තරො ච, පණිත තරො ච) යැයි සැලකෙන මහා බ්‍රහ්මයා වෙත පැමිණ සිය පැනය විමසයි.

පැනයට පිළිතුරු නොදී තමන් මහා බ්‍රහ්මයා බවත්, ලොව මැඬ පවත්වන්නා බවත් (අහමස්මි භික්ඛු බ්‍රහ්මා මහා බ්‍රහ්මා අභිභූ අනභිභූතො....) දැක්වුව ද, තෙවරක් ම එම පැනය විමසන භික්ෂුව තමා වටා සිටින පිරිසගෙන් ඉවතට ගෙන ගොස් මහා බ්‍රහ්මයා ප්‍රකාශ කරන්නේ, තමා වටා සිටින බ්‍රහ්ම කායික දෙවිවරුන් තමන් සියල්ල දන්නා බව සිතුවත් මෙම පැනයට පිළිතුරු නොදන්නා බව යි. විශාල දුරක් විශාල වෙහෙසක් වැය කොට පැමිණ පිළිතුරක් නොලැබූ එම භික්ෂුවට මහා බ්‍රහ්මයා උපදෙස් දෙන්නේ බුදුරදුන් වෙත ගොස් ප්‍රශ්නය විමසා උන්වහන්සේ විසඳන ආකාරයෙන් ම පිළිගන්නා ලෙස ය. ඉන්පසු එම භික්ෂුව බුදුරදුන් වෙත පැමිණ සිය ගැටලුව නිරාකරණය කරගනියි.

බ්‍රහ්මජාල සූත්‍රයේදී බුදුරදුන් පෙන්වා දෙන්නේ, මහා බ්‍රහ්මයා නිර්මාපකයකු වශයෙන් සිතීමේ වැරදි ආකල්පයට හේතුව දෘෂ්ටියෙන් අන්තගාමී වීම බව යි.

කෙසේ නමුත් පශ්චාත් කාලීනව සියල්ල දන්නා හෙවත් සර්වඥතා ඥානය පිළිබඳ සංකල්පය ඇතැම් බ්‍රාහ්මණයන් පවා විශ්වාස නොකළ බව පෙනේ.

අංගුත්තර නිකායේ හමු වන ලෝකායතික ශාස්ත්‍ර කෙරේ වැඩි නැඹුරුවක් දැක්වූ එක්තරා බ්‍රාහ්මණයන් දෙදෙනෙකු සමකාලීන ව සර්වඥතා ඥානය ඇතැයි කියාගත් පූර්ණ කස්සප හා නිගණ්ඨනාතපුත්ත යන ශාස්තෘවරුන් දෙදෙනා අනන්ත වූ ඥානයෙන් අනන්ත වූ ලෝකය දැනගන්නා බව ප්‍රකාශ කරන නිසා ඔවුන්ගේ ඥානය අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිශේධ වන බවත්, කවරෙකුගේ ප්‍රතිඥාව සත්‍යදැ’යි දැනගත නොහැකි බවත් බුදුරදුන් හමු වී ප්‍රකාශ කරන ආකාරයෙන් ඒ බව පැහැදිලි වේ.

එමෙන් ම මෙහිදී පැහැදිලි වන්නේ, ඊශ්වර නිර්මාණය වනාහි මුළාව නිසා හටගත් වාදයක්ය, යන්න බුදුසමයේ අදහස වන බවයි.

ඉන්ද්‍රීය ප්‍රත්‍යක්‍ෂය පමණක් පිළිගත් ලෝකායතික චාර්වාක දාර්ශනිකයන් ද ජෛනාදී ඇතැම් ශ්‍රමණ ශාස්තාවරුන් ද, ඊශ්වර නිර්මාණවාදය බැහැර කරමින් අනීශ්වරවාදයක් වෙත පිය නැඟූ බව පෙනෙයි.

Comments