වංශකථාවලින් හෙළි වන දළදා පෙරහරේ අසිරිය | සිළුමිණ

වංශකථාවලින් හෙළි වන දළදා පෙරහරේ අසිරිය

එච්.බී. ඉරේෂා උපුල්කුමාරි කල්පේ

දළදා වහන්සේ ලක්දිවට වැඩම කරන්නේ ක්‍රිස්තු වර්ෂ හතර වැනි සියවසේ කීර්ති ශ්‍රී මේඝවර්ණ රාජ්‍ය වකවානුවේදීය. ඒ කලිඟු රට හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසිනි. ඒ ඓතිහාසික සිද්ධිය දාඨාවංශයේ විස්තර වේ. අනුරාධපුරයට වැඩම කරවීමෙන් අනතුරුව දක්ඛිණ මේඝගිරි විහාරයට (වර්තමාන ඉසුරුමුණි විහාරය) ගෙන ආ දළදා වහන්සේ වෙනුවෙන් රජතුමා විසින් රජ ගෙයට නුදුරින් මාලිගයක් කරවූයේය. දළදාව එහි වැඩහිඳවූ ආකාරය දාඨාවංශය විස්තර කරයි.

එතැන් පටන් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමා වාර්ෂිකව දළදා පෙරහර පැවැත්වූ අයුරුත්, ඉදිරි පාලකයන්ට ද එම පෙරහර පවත්වන ලෙස දැන්වූ අයුරුත් ක්‍රි. ව. 410- 412 කාලයේදී අනුරාධපුර අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික ෆාහියන් භික්ෂූව විසින් රචිත සිය ගමන් විස්තරයේ සඳහන් ය. ලංකාවේ පැවැත්වූ දළදා පෙරහර සම්බන්ධව තැබූ මුල්ම ඓතිහාසික විස්තරය එයය.

කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රජතුමා ආරම්භ කළ අනුරාධපුර දළදා පෙරහර ෆාහියන් හිමියන් විසින් විස්තර කරන්නේ මෙසේ ය. “තුන් වැනි මාසයේ (ඇසළ මාසයේ) මැද හරියේ දළදා වහන්සේ මහජනතාවට ප්‍රදර්ශනය කරනු ලැබේ. රජතුමා ඊට දින දහයකට පෙර කීමෙහි බිනීමෙහි සමත් මිනිසෙකු රජ කෙනෙකු මෙන් ඇඳ පලඳවා මනාවට සැරසූ ඇතෙකු පිට නංවා නුවර වීදි සංචාරය කරවා අණබෙර ගසා මෙසේ කීමට සලස්වයි. බෝසතාණන් වහන්සේ තුන් අසංඛ්‍යෙ කල්පයක් මුළුල්ලේ මහත් වෙර දරා පෙරුම් පිරූ සේක. උන් වහන්සේ සිය සැප පහසුව නොසලකා සිය රජය ද සිය බිසව ද දරුවන් ද දන් දුන් සේක. තමන්ගේ ඇස් උගුල්ලා එය ඉල්ලවුනට දන් දුන් සේක. සියලු සතුන් උදෙසා මේ සා මහත් දුක් විඳ අවසානයේ ලොවුතුරා බුදු වූ සේක. උන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 1497ක් ගත විය . ලොව ඇස් පියවී ඇති මේ මුළු කාලයේ ලෝ වැසියෝ නිතරම සොවින් පෙළෙති. අද සිට දස දිනයකින් ඒ බුදුරජාණන් වහන්සේගේ දළදාව එළියට වඩමවා අභයගිරි විහාරයට පමුණුවනු ලැබේ. පින් කැමැති ගිහි පැවිදි සියල්ලෝ මෙහි පැමිණ මහමඟ සම කෙරෙත්වා. මහ වීදි සරසත්වා. පූජාව පිණිස මල් හා සුවඳ පිළියෙල කරත්වා ” යනුවෙනි.

ෆාහියන් හිමි එහි වර්ෂ දක්වා ඇත්තේ ලක්දිව ක්‍රමයට නොව චීනයේ සැලකූ බුද්ධ වර්ෂ ක්‍රමයට ය. අනුරාධපුර පළමු දළදා පෙරහර ආරම්භ වූ දළදා මාලිගයේ නටබුන් දැනට පැරණි ඇතුළු නුවරින් සොයාගෙන ඇත. එතැනම තිබූ පුවරු ශිලාලිපියක දළදා ගේ යන්න සඳහන් වීමෙන් එය අනාවරණය කරගත හැකි වී තිබේ.

බොදුනු බැතිමත්හු දළදා වහන්සේද ජීවමාන බුදුන් සේ සැලකූහ. දළදා පෙරහර ජීවමාන බුදුන් වහන්සේට කරනු ලබන පූජාවක් සේ සංවිධානය කළහ. දළදා වහන්සේගේ විශේෂත්වය පිළිබඳ වූ ජන විඥානයේ ස්වරූපය සැළලිහිණි සංදේශයේ සඳහන්ය. දළඳා වහන්සේ බුදුන් වහන්සේ වදාළ සුවාසු දහසක් ධර්මස්ඛන්ධය ස්පර්ශ වීමෙන් පාරිශුද්ධත්වයට පත් වී තිබේ. ඒ නිසා දළදා වහන්සේට පුදපූජා පෙරහර පැවැත්වීමෙන් නිවන් පසක් කර ගත හැකිය. ( සැළලිහිණිය 16 කවිය)

අනුරාධපුර යුගයේ අවසාන භාගයේ සිට දළදාව රාජ්‍යත්වය සමඟ සුවිශේෂී බැඳීමක් ඇති විය. පොලොන්නරු යුගයේ දී දළදා භාරකත්වය අහිමි වූවෙකු රජු වශයෙන් පිළිගත්තේ නැත. ඒ සම්ප්‍රදාය ඉන්පසු වකවානුවේ නොබිඳී පැවතිණි. උඩරට යටත් කරගැනීමෙන් පසු ඉංග්‍රීසීහු රජ්‍යයට ඇති සිය අයිතිය තහවුරු කරගැනීමට දළදාව හිමි කරගත්හ.

පොලොන්නරු යුගයේදී දළදාව පොලොන්නරුවට ගෙන ගොස් පොලොන්නරු වටදාගෙය ඉදිරිපිට දළදා මාලිගය ඉදි කරවා එහි තැන්පත් කිරීමෙන් පසුව දළදා පෙරහැර පවත්වා ඇත. මහාපරාක්‍රමබාහු රජුගේ දළදා පෙරහර විස්තර කරන මහාවංසය “රජමැඳුරේ සිට දළදා මැදුර දක්වා මාර්ගය විසිතුරු තොරන් ආදියෙන් සරසා කොඩිද මල්වැල් ද එල්වා මහමඟ කෙසෙල් පුවක් ගස්වලින් සරසන ලද්දේය. මාර්ගය මේ නිසා සක් දෙවිඳුගේ සුදර්ශන වීදිය හා සමාන වී” යැයි ද දළදා මැදුර වෛශ්‍රවනගේ පුරය හා සමාන වී යැයි ද සඳහන් ය.

මහාවංසයට අනුව මහා පැරකුම්බා රජතුමා එසේ දළදා පෙරහර පවත්වන අවස්ථාවේ වැසි වැස වැව් පිරී ඉතිරී ගිය බවද සඳහන් ය. වැසි නැති කාලයට දළදා වහන්සේ එළියට ගෙන පූජා පැවැත්වීම ගැන කුරුණෑගල සමයේ රචනා වූ දළදා සිරිතේද සඳහන් වේ. එහි සත්‍යතාව දැක්වීමට මෙන් මහනුවර යුගයේ ඉංග්‍රීසින් විසින් පළමු වරට දළදා පෙරහර පැවැත්වූ අවස්ථාවේ මහ වැසි වැස මහනුවර වැව පවා ඉතිරී ගිය බවක් දක්වයි.

1215 දී මාඝ විසින් රජරට අත්පත් කරගැනීම නිසා දළදා භාරව සිටි භික්ෂූන් වහන්සේ දළදාව කොත්මලයට ගෙනගොස් සඟවා තැබූහ. පසුව දඹදෙණියේ තුන් වැනි විජයබාහු රජු ( 1232 - 1236) එය ගෙන්වා අහසින් මිස බිමින් සතුරෙකුට ළඟා විය නොහැකි පරිදි බෙලිගල පර්වතය මුදුණේ දළදා මාලිගයක් කරවා එහි තැන්පත් කෙළේය. ඒ වග මහාවංසයේ දක්වා තිබේ. එහෙත් දළදා වහන්සේ කොත්මලේ වැඩසිටි කාලයේ හෝ බෙලිගල වැඩසිටි කාලයේ දළදා පෙරහරක් පැවැත්වූ බවට තොරතුරක් නැත. එහෙත් 1236 රාජ්‍යයට පත් දෙ වැනි පරාක්‍රමබාහු රජතුමා දළදා වහන්සේ බෙලිගලින් දඹදෙණියට ගෙනවුත් ශ්‍රී විජයසුන්දරාරාමයේ තැන්පත් කොට ශ්‍රී වර්ධනපුරයේ සිට පෙරහර කරවූ බව වැඩිදුරටත් සඳහන්ය.

ඉන් පසු රාජධානිය බවට පත් වූයේ යාපහුව වූ අතර යාපහුවේ නටබුන් අතර දළදා මාලිගයක නටබුන් සොයාගෙන ඇති හෙයින් එහිදීද පෙරහර පැවැත්වෙන්නට ඇත. යාපහුවෙන් පසු කුරුණෑගල රාජ්‍ය මධ්‍යස්ථානය බවට පත් විය. එහිද දළදා මාලිගයක් තිබූ බවට එකල රචනා වූ දළදා සිරිතේ සඳහන් වුවත් නාගරීකරණයත් සමඟ එම ස්ථාන විනාශ වී තිබේ.

ෆාහියන් හිමිගේ විස්තරයෙන් පසුව දළදා පෙරහරක් ගැන විස්තර දැක්වෙන්නේ කුරුණෑගල 4 වන පරාක්‍රමබාහු රජු සමයේ රචිත දළදා සිරිතේය. එම පෙරහරේ ඇතෙකු විසින් ඇදගෙන යන දළදා වඩමවන රථය සමඟ භික්ෂූන් වහන්සේ ද පිරිත් සජ්ඣායනා කරමින් වැඩම කර තිබේ. එසේ ම සිවුරඟ සෙනඟ පිරිවරාගෙන ආරක්ෂා සහිතව පෙරහර කෙරී ඇත. අනුරාධපුර පොලොන්නරු යුගවල දී රජතුමා පෙරහරේ ගමන් කළ ද කුරුණෑගල සමයේ එසේ වු බවට සාධක නැත.

කුරුණෑගල සමයෙන් පසුව දළදාව පාලන මධ්‍යස්ථානයේ තිබූ බවට සාධකය වන්නේ විශේෂයෙන් සංදේශ කාව්‍යයි. මහාවංසයේ සඳහන් වන කෝට්ටේ දළදා මැඳුර හංස සංදේශයේද පරෙවි සංදේශයේද වර්ණිතය. ගිරා සංදේශ කතුවරයාගේ නෙත ඇදී ගියේ එහි නිරන්තර පැවැත්වෙන පංචතූර්ය නාද පූජාවටය. එහෙත් ඒ කිසි මූලාශ්‍රයක කෝට්ටේදී පැවැති දළදා පෙරහරක් ගැන සඳහන් නොවේ.

මෑත කාලයේ සෙංකඩගල නුවර පැවැත්වෙන දළදා පෙරහර ආරම්භ වී ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිහ රජු සමයේදීය. ඊට පෙර මහනුවර ඇසළට පැවැත්වී ඇත්තේ දේවාල පෙරහර පමණකි. ඒ බව දෙ වැනි රාජසිංහ රජු සමයේ උඩරට සිරකරුවෙකු වශයෙන් සිටි රොබර්ට් නොක්ස් කර ඇති විස්තරයේ සඳහන්ය. එහි දැක්වෙන්නේ ප්‍රභූ පවුල්වල කාන්තාවන්ද සම්බන්ධ වන පෙරහර විවිධ නැටුම් කෙළිවලින් සමන්විත වූ බවය. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ සමයේ දළදා පෙරහර ද පැවැති දේවාල පෙරහරට සම්බන්ධ කිරීමෙන් අද පැවැත්වෙන දළදා පෙරහර ආරම්භ වී ඇත.

ඒ පිළිබඳ ප්‍රථම වරට පූර්ණ විස්තරයක් කරන්නේ 1834 වෙල්ලස්සේ දිසාව හා පසුව ජෝන් ඩේවි විසිනි. එසේ ආරම්භ වූ පෙරහර අද කප් සිටුවීමෙන් ඇරඹී කුඹල් පෙරහර ද පසුව රන්දෝල් පෙරහරද පවත්වා අවසාන දිනයේ දවල් පෙරහරින් කරඬුව දළදා මාලිගයට වැඩම කිරීමෙන් අවසන් වේ.

අදහස්