ලෝකයේ පියස්ස ගිනි ගනී | සිළුමිණ

ලෝකයේ පියස්ස ගිනි ගනී

 සියලු සංස්කාරයන් අනිත්‍ය බව බුදුදහමේ නියතයයි. ලොව පියස්සේ වේවා අගිස්සේ වේවා පිහිටන්නකට මේ අනියත බවේ නියතයට ගොදුරු වීමෙන් වැළකී සිටිය නොහැකිය. පසුගිය සෙනසුරාදා ඒ බව යළිත් පසක් කරමින් ලෝකයේ පියස්ස ගිනි ගත්තේය. මුහුදු මට්ටමේ සිට අඩි දොළොස් දහසකට වැඩි උසකින් පිහිටි තිබ්බතයේ ලාසා අගනුවර හෙවත් සූර්ය නගරය මෙසේ ගිනි දෙවියා වැලඳ ගත්තේ ටිබෙට් ජාතිකයන්ගේ බෞද්ධ උරුමයේ මුදුන් මල්කඩ වන් ජොකැංග් විහාරයේ රන්වන් පියැස්සද දවා-ලමිනි. සූර්ය නගරය ලෙස එය හඳුන්වන්නේ වසරකට පැය තුන්දහසක පමණ කාලයක් යහමින් හිරු එළිය ලබන්න තරම් වාසනාවන්ත වන නිසාය. එහෙත් මේ නගරය වට වී ඇත්තේ මීටර පන්දහසකට වැඩි උසින් යුත් මනරම් හිම කඳු වළල්ලකිනි.

හෙළද්වීපයේ අපට ලාසා අගනුවර ගින්න සම්බන්ධයෙන් තිගැස්මක් ඇති වන්නට හේතුව අප රටින් තෑගි කළ වටිනා වස්තුවක් ලාසා අගනුවර පිහිටීමය. පසු කාලීනව ටිබෙටයේ පාලන මධ්‍යස්ථානය බවට පත් වූ පොතාලා මාලිගය ගොඩනැංවීමට හේතු වුයේද අප පිරිනැමූ සඳුන් ලීයෙන් කළ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමා වහන්සේය. ඒ මීට වසර 1300ට පමණ පෙර තිබ්බතය පාලනය කළ සොංග් ත්සෙන් ගම්පෝ රජු සමඟ අප රටට තිබූ බැඳීම නිසාය.

ටිබෙට් ජනතාව ගම්පෝ රජු දෙවියකුයැයි සලකන්නේ තම දේශයේ සංස්කෘතිය, ආගම සහ අධ්‍යාපනය විධිමත් කිරීමේ පුරෝගාමී මෙහෙවර නිසාය. ඒ ඉන්දියාවෙන් අකුරු ශාස්ත්‍රය ගෙන්වා ගැනීමත් සමඟය. ගම්පෝ පාලන සමය වන විට තිබ්බතයේ පැවතියේ කථන භාෂාවක් පමණි. ලිඛිත භාෂාවක් සඳහා ඔවුන්ට වර්ණ මාලාවක් නැත හොත් හෝඩියක් තිබුණේ නැත. මේ අඩු-පාඩුව සකසාලීම සිය රාජ්‍යයේ අනාගත පැවැත්මට කොතරම් වැදගත් වන්නේද යන්න පිළිබඳ දුරදක්නා නුවණින් යුතු වූ රජු දක්ෂ ඇමැතිවරයකු සමඟ දූත පිරිසක් ඉන්දියාවට පිටත් කළේ සංස්කෘත භාෂාව හැදෑරීමටය. ඒ පිරිස ආපසු පැමිණියේ සංස්කෘත පිළිබඳ හසළ දැනුමක් පමණක් නොව, බෞද්ධ ග්‍රන්ථ රාශියක්ද සමඟය. රජු මේ පිරිස සමඟ එක්ව ටිබෙටයටම ආවේණික වූ වර්ණ මාලාවක් තනා එයින් බෞද්ධ පොත පත ටිබෙට් බසට පෙරළුවේය. මෙය රටේ අධ්‍යාපනයේ මෙන්ම සංස්කෘතියේ පුනරුදයක් ඇති කිරීමට හේතු විය.

රජු රටේ ආරක්ෂාව වෙනුවෙන් ගත්තේ අමුතුම ආකාරයේ උපක්‍රමයකි. තම දේශය දෙපස ඇති රාජ්‍යයන් අතරින් පළමුව නේපාලයේ අම්සුවර්මන් රජුගේ දියණියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කළේය. එයට එකඟ වූ රජු සිය බ්‍රිකුති කුමරිය ගම්පො රජුට සරණ පාවා දුන්නේය. ඇය සිය දෑවැද්දේ කොටසක් ලෙස ආක්ශෝභ්‍ය බුද්ධ ප්‍රතිමාවද වැඩමවාගෙන තිබ්බත රජ මාලිගයේ පදිංචි වූවාය.

අනෙක් පස ඇත්තේ සුවිශාල චීන අධිරාජ්‍යයයි. එයින් තම රටට එල්ල විය හැකි උවදුරු මැඬලීමේ හොඳම ක්‍රමය ඒ කුමරියද ආවාහ කරගැනීමයි. ඒ පිළිබඳ රාජ දූතයන් අතේ තායිසොං අධිරාජයාගෙන් විමසා යැවූ සැණින් ඔහු විරෝධය පෑවේ ටිබෙට් ජාතිකයන් ‘මිනීමස් බුදින ජාතියක්‘ බව පවසමිනි. තම ජාතියට කළ අවමානය නොඉවසූ ගම්පෝ රජු තායිසොං අධිරාජ්‍යයාගේ ‘තෑං‘ පුරවරය ඇතුළු ගෝත්‍රික ප්‍රදේශවලට පහර දුන්නේය. පසුව රනින් කළ සංග්‍රාම වස්ත්‍රයක් සමඟ සාමකාමී පණිවිඩයක් යැව්වේ කුමරිය සරණ පාවා දෙන තුරු තම කෝපය අත් නොහරින බවටයි. එවර අධිරාජයා සිය වෙංචෙං කුමරිය රජුට සරණ පාවා දෙන්නට කැමැති විය. ඇයද සිය දෑවැද්දේ කොටසක් ලෙස ජිවමාන ප්‍රමාණයේ එනම් අඩි පහක් උසැති අවුරුදු 12ක වයස දක්වන දඹ රණින් කළ ශාක්‍යමුනි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩමවාගෙන ආවාය. ජෝවෝ පිළිමය ලෙස අදටත් වන්දනාමාන ලබන්නේ ඒ ප්‍රතිමාවයි.

කුමරියන් දෙදෙනාම තමන්ගේ පරිවාර සේනාවේ මූලිකත්වය දී තිබුණේ සංඝයා වහන්සේටය. දෙදෙනාම මහත් දැනුම් සම්භාරයක් මෙන්ම විවිධ සංස්කෘතික අංගද, දෑවැදි ලෙස ගෙනා බොහෝ වස්තුවද තිබ්බතය සරු කරන්නට සමත් විය. රටේ ආරක්ෂාව වෙනුවෙන් රජුගේ වෑයම සාර්ථක විය.

ඉතිහාස කතාවලට අනුව වංචෙං කුමරිය චීන ගුප්ත ශාස්ත්‍ර මෙන්ම අද අප අතරද බොහෝ ප්‍රචලිත ෆෙංෂුයී පිළිබඳවද දැනුමැත්තියක් විය. තිබ්බතය භූත බලවේගයකට යටත් බව ඇය දැන ගත්තේ ඒ දැනුම උපයෝගි කරගෙනය. ඒ බලවේගවලින් මිදීමට නම් තිබ්බත භූමියේ වාස්තු පුරුෂයාගේ මර්මස්ථානවල වෙහෙර-විහාර ඉදි කිරීම අත්‍යවශ්‍ය බව ඇය රජුට පැවසුවාය. ජනශ්‍රැතිවලට අනුව රජු තම හිස පලඳනාව අහසට විසි කර එය වැටෙන ස්ථානයේ විහාරස්ථානයක් ගොඩ නඟන බවට පොරාන්දු වූ බව කියැවේ. ඇතැම් කතාවල එන්නේ සිය පේරැස් මුද්ද ඉහළට විසි කළ බවයි. එය පාවී ගොස් වැටුණු විලෙන් සුසුදු ස්තූපයක් මතු වී ආශීර්වාද කළ බවටද ජනශ්‍රැතියේ එයි. අද කුඩා පොකුණක් ලෙස දක්නට ඇත්තේ ඒ විල බවද පැවසේ. කෙසේ හෝ රාජ්‍යයේ පිටත සිට ඇතුළතට බෞද්ධ විහාර 13ක් පමණ ඉදි කිරීමට කටයුතු යෙදිණි. ෆෙංෂුයී ක්‍රමයට වංචෙන් කුමරිය සුදුසුයැයි තීරණය කළ බිම මනා විහාරස්ථානයක් ගොඩනැඟීම පැවරුණේ නේපාල කුමරියටයි. ඇය ක්‍රිස්තු වර්ෂ 652දී විල ගොඩ කර ඉදි කළ විහාරය අක්කර හයහමාරක ප්‍රදේශය පුරා පැතිර ගියේය. මහල් දෙකක් පුරා කාමර අටකින් සමන්විත එහි බිම ගඩොළු අල්ලා තිබූ අතර, ඉතිරි සියල්ල ලීයෙන් කරන ලද ගොඩනැඟීම්ය. මේ ජොකැංග් විහාරස්ථානය එදා සිට අද දක්වාම ටිබෙට් ජාතිකයන්ගේ පරම උත්තම වන්දනා භූමිය බවට පත් විය.

නගරයේ නම ඇති වූ ආකාරයේද විශේෂත්වයක් තිබේ. විල ගොඩ කර විහාරස්ථානය තැනීම සඳහා හිමකඳු මතින් බැටළුවන්ගේ පිටේ පස් ගෙනා බවත්, ටිබෙට් බසින් 'රා' යනු බැටළුවන් සහ 'සා' යනු පස් බවත් 'රාසා' යන්න ව්‍යවහාරයෙන් ලාසා වූ බවත් එක් මතයකි. තවත් මතයක් වන්නේ ගොම්පො රජුගේ අභාවයෙන් පසු 'රාසා' නම 'ලාසා' හෙවත් 'දෙවියන්ගේ බිම' බවට පත් වූ බවත්ය. ජොකැංග් නමින් හැඳින්වෙන්නේ 'උතුමාණන්ගේ පුදබිම' යනුවෙන්ද පැවසේ.

සොංග් ත්සෙන් ගම්පෝ රජු තම අධ්‍යාත්මික ආරක්ෂකයාණන් වහන්සේ ලෙස සැලකුවේත්, වැඩි ගෞරවාදරයක් දැක්වූයේත් අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයාණන් වහන්සේටය. ඒ බව දැන සිටි හෙළ රජු තිබ්බතය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කර ගැනීම සඳහා දුර්ලභ සඳුන් ලීයෙන් කරවන ලද පිළිමයක් තෑගි කර තිබිණි. එය කොතරම් ගම්පෝ රජුට වැදගත් වූයේද යත්: වන්දනාමාන සඳහා වෙනම කුටි, ලැගුම් හල් ආදි විවිධ කාමර නවසිය අනූනවයක් සහිත පොතාලා මාලිගාව ජොකැංග් විහාරස්ථානයට ආසන්නයේ ඉදි කර හෙළදිවයිනෙන් තිළිණ කළ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව පිළිමය එහි තැන්පත් කිරීමට කටයුතු කළේය.

රජුගේ ඇවෑමෙන් පසු විවිධ සතුරු ආක්‍රමණ ආදියට වරින් වර නතු වූවද පොතාලා මාලිගය සම්පූර්ණයෙන් වැනසී ගියේ නැත. 1600 මැද භාගයේ චීන අධිරාජයා ඉදිරියේ දණ නමා පස්වැනි දලයි ලාමා ටිබෙටයේ පාලනය නිල වශයෙන් ලබා ගන්නා ලදී. ඒ සමයේදී සිය පාලන මධ්‍යස්ථානය ලෙස පොටාලා මාලිගය යොදා ගැනීමටද ලාමාවරුන් විසින් කටයුතු යෙදිණි.

එවන් ඉතිහාසයක් සහිත තිබ්බතයේ ලාසා අගනුවර පිහිටි යෝකාංග් බෞද්ධ විහාරය වසර 1300ක පැවැත්මට පසු නැසී යෑම සංකේතවත් කරමින් ගිනි ගත්තද ගිනි නිවන රථ 37ක් සහ දෙසියයකට අධික ගිනි නිවන හමුදාවක් මැදිහත් වී පැය දෙකක් ඇතුළත එහි පැවැත්ම යළි තහවුරු කරන්නට සමත් වීමද විශේෂත්වයකි. ටිබෙට් වැසියන්ගේ බෞද්ධ උරුමයේ මුදුන්මල්කඩ වන් යෝකාංග් විහාරය සතු විවිධ ධාතූන් වහන්සේ 6510ක් මෙන්ම ශාක්‍යමුනි බුදුන්ගේ ප්‍රතිමා වහන්සේ ගින්නෙන් හානි නොවීමද ටිබෙට් ජාතිකයන් සලකන්නේ විශේෂත්වයක් ලෙසිනි. ටිබෙට් රටේ නව අවුරුදු උත්සවය පැවැත්වෙන්නේද මේ යෝකාංග් විහාරය මුල් කරගෙනය. දහස් ගණනක් ගිතෙල් පහන් දල්වා විහාරස්ථානය ආලෝකවත් කිරීමෙන් සහ පිරිත්, සූත්‍ර දේශනා කරමින් යෝකාංග්හි මහා පූජා පැවැත්වීම සාමය, ආශීර්වාදය මෙන්ම වාසනාව ගෙන දීමට හේතු වන බව ඔවුන්ගේ විශ්වාසයයි.

ගින්න ඇති වූයේ නව වසර උදා වීමෙන් තෙවැනි දිනය පමණ වන විට බව වාර්තා අනුව පෙනී යයි. එහෙත් ඊට හේතුව තවම සොයාගෙන නැත.

ලාසා නුවර සංචාරකයන් ඇද-බැඳගන්නේ අපූරු හේතු නිසා බව එහි සැරිසැරීමට වරම් ලද ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි මහතා වරක් සභාවකදී විස්තර කළ අයුරු ආකර්ෂණීයය: 'හුස්ම හිර වෙන සූර්ය නගරය, ලාසා නුවරට යන සංචාරකයන්ට කියන්නේ සෙමෙන් ඇවිදින්න, හයියෙන් කතා කරන්න එපා, හයියෙන් හිනා වෙන්න එපා, වැඩිපුර කන්න එපා, ඇඟ හෝදන්න - නාන්න එපා කියලා. මොකද: ටිබේට් ස්වායත්ත අගනුවර වන ලාසා නුවර පිහිටා තිබෙන්නේ අධික උසකින් නිසා වාතයේ ඔක්සිජන් ප්‍රතිශතය අඩුයි. ජීවිතයේ වැඩි කාලයක් අඩු උසක වාසය කර හුරු පුරුදු අයට මෙය තදින් බලපානවා. එ් නිසා ලාසා වෙත පැමිණෙන සංචාරකයන්ගේ සිරුර පමණක් නොවේ සිතත් එයට හුරු-පුරුදු වන තෙක් ඉතා පරිස්සමින් කටයුතු කළ යුතුයි සිරුරේ ඔක්සිජන් දහනය අවම මට්ටමක රඳවා ගන්න. අධික උසකදි හැදෙන මේ ලෙඩේට කියන්නේ 'හයි ඇල්ටිටියුඩ් සික්නස්' කියලා. අධි-උච්ඡතා රෝගය කියලා හඳුන්වන්න පුළුවන් මේ ලෙඩේදි හිස කැරකැවිල්ල, අලස බව එහෙම එක්ක ලොවම එපා වී ලොවම කලකිරී යන ගතියක් දැනෙන්න ගන්නවා. මටත් එහෙම වුණා. ඒත් මේ තැනට එන සංචාරකයන් සංඛ්‍යාව අඩු කරන්න එයින් කිසිම බලපෑමක් නෑ. මොකද: ලාසාහි බොහෝ තැන්වල අමතර ඔක්සිජන් ලබා දෙන ක්‍රම සකසා තිබෙනවා.'

චීනයේ පාලනයට එරෙහිව බොහෝ ටිබෙට් භික්ෂූන් විරෝධතා පවත්වන්නේද මේ විහාරස්ථානය අබියස සිටය. කෙසේ වුවත් ගින්න ඇති වූ පසු විවිධ සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය වූ සියලු තොරතුරු මකා-දමන්නට චීන රජය කටයුතු යොදා තිබීම ලෝක ජනමාධ්‍ය අත්විඳි සුවිශේෂ අත්දැකීමකි. එහෙත් පසුදා වන විට යළිත් සංචාරකයන් වෙනුවෙන් මේ වන්දනා භූමිය විවෘත කිරීමට කටයුතු යොදා තිබීමද අරුමයට කරුණකි. සමහර වාර්තා සඳහන් කරන්නේ ඒ වන විට පිළිම වහන්සේ සිවුරුවලින් ඔතා තිබූ බවයි. මීට පෙරද කිහිප වතාවක් මේ විහාරස්ථානය ගිනි ගෙන ඇති බව එහි මෑත අතීතය දෙස නෙත් යොමන්නකුට පැහැදිලි වේ. ඇති වීම, පැවතීම සහ නැති වීම යන සත්‍යතාව ශතක දහතුනක් පුරා ලොව පියස්සේ සිටම පසක් කර දීමට ජොකැංග් බෞද්ධ විහාරයට හැකි වී තිබීමද ටිබෙට් රට සතු එක්තරා අපූර්වත්වයකි.

අරුණි මුතුමලී 

Comments