Home » ශ්‍රී පාද වන්දනාවේ එන ගමන් මත්ද්‍රව්‍ය ගෙනා 103කට වැඩ වැරදු‍ෙණ් මෙහෙමයි

ශ්‍රී පාද වන්දනාවේ එන ගමන් මත්ද්‍රව්‍ය ගෙනා 103කට වැඩ වැරදු‍ෙණ් මෙහෙමයි

by thanushika
March 23, 2024 12:30 am 0 comment

මේ සිරිපා සමයයි. සිරිපා සමය උදා වූයේ පසුගිය වසරේ දෙසැම්බර් පෝ දිනය. සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව මාර්තු මාසය වන විට සංඛ්‍යාවෙන් ඉතා විශාලය. මේ අතර මත්ලෝලීන්ද සිටින බවනම් අමුතුවෙන් කිව යුතු කාරණයක් නොවේ.

සිරිපා සමය පටන්ගත් දා සිටම ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන අය අතර සිටින මත්ලෝලීන් සහ ඔවුන් සතු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් යුක්තිය මෙහෙයුම යටතේ සැලසුම් කරන්නේ හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිපුණ දෙහිගම විසිනි. ඒ මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක සහ මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ලයනල් ගුණතිලකගේ උපදෙස් මතය. හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මෙම මෙහෙයුමට මූලිකත්වය ගන්නේ පොලිස් අධිකාරී නිපුණ දෙහිගමගේ උපදෙස් මතය.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගෙන් සැලකිය යුතු පිරිසක් මෙරට විවිධ ප්‍රදේශවල සිට හැටන් වෙත පැමිණෙන්නේ දුම්රියෙනි. එතැන් සිට බස් හෝ වෙනත් ප්‍රවාහන සේවා උපයෝගී කරගෙන මේ බැතිමතුන් නල්ලතන්නිය දක්වා ගමන් කරති. මේ බව හොඳින් අධ්‍යයනය කරන පොලිස් අධිකාරී නිපුණ දෙහිගම හැටන් කොට්ඨාසයේ පොලිස් ස්ථාන නවයක අමතර නිලධාරීන්ද විශේෂ රාජකාරි පිණිස කැඳවා හැටන් දුම්රිය ස්ථානයේ මෙහෙයුමක් ආරම්භ කරන්නේ හැටන් දුම්රිය ස්ථානයට දුම්රියෙන් පැමිණෙන ශ්‍රී පාද බැතිමතුන් පරීක්ෂා කිරීම සඳහාය.

පොලිස් විශේෂ කාර්ය බළකාය, කොටගල යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ පොලිස් නිල සුනඛයන් යොදාගෙන හැටන් දුම්රිය පොළේදී සිදු කරන ලද මෙහෙයුම්වලදී පුද්ගලයන් 103 දෙනෙකු විවිධ වර්ගවල මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට එහිදී හැකි විය.

මාවා, හැෂ්, මත්පෙති, ගංජා, මදනමෝදක සහ වෙනත් මත්ද්‍රව්‍ය සමඟ මේ අය අත්අඩංගුවට ගැනිණි.

මේ අතර හැටන් මධ්‍යම බස් නැවතුම් පොළේදී පරීක්ෂා කිරීම් සිදු වූයේ යුද හමුදාවේ කණ්ඩායමකගේ ද සහාය ඇතිවය. එහිදී පුද්ගලයන් සිවුදෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනිණි.

ශ්‍රී පාද වන්දනාවේ එන පිරිස ශ්‍රී පාදයට යාම සඳහා භාවිත කරන ප්‍රධාන මාර්ග කීපයම ආවරණය වන සේ කළුගල, දියගල, බගවන්තලාව ප්‍රදේශවල පොලිස් මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් සිදු කරන ලෙසද පොලිස් අධිකාරී නිපුණ දෙහිගම උපදෙස් දී තිබිණි. එම මාර්ගවල පැමිණි වාහන පරීක්ෂා කරද්දී මත්ද්‍රව්‍ය සහ විවිධ වැරදි සඳහා පුද්ගලයන් 48 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගැනිණි.

නල්ලතන්නිය පොලිසියේ නිලධරයන්ද ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන මත්ලෝලීන් අල්ලා ගැනීම සඳහා මෙහෙයුමක් ආරම්භ කළේ ඔය අතරය. එහිදී පුද්ගලයන් 34 දෙනෙක් විවිධ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනිණි. මෙහිදී ඔස්ට්‍රියානු සංචාරක යුවළක් සමඟ පැමිණි සංචාරක මඟපෙන්වන්නෙක් ගංජා සමඟ අත්අඩංගුවට ගැනුණු අතර ඔහු නල්ලතන්නිය පොලිස් භාරයට ගැනිණි. අතරමංවූ සංචාරකයන් දෙදෙනාට ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමට පොලිසියේ සහාය ලැබිණි.

යුක්තිය මෙහෙයුම් ඒ වනවිටත් හැටන් කොට්ඨාසයේ පොලිස් බල ප්‍රදේශ 9ම ආවරණය වන සේ සිදුවෙමින් තිබුණ අතර පුද්ගලයින් 565ක් එහිදී අත්අඩංගුවට ගන්නා ලදි. වරෙන්තුකරුවෝ 165ක් ඒ අතර සිටිති. කොට්ඨාසයේ පොලිස් ස්ථානවලට පොලිස් මූලස්ථානය මඟින් එවා ඇති ඇඟිලි සටහන් වාර්තාවලට අනුව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන්ගේ සංඛ්‍යාව 9කි. මේ අය විවිධ අපරාධවලට සම්බන්ධ බවට සැක කරේ. අනීතිකව උපයා ගන්නා ලද වත්කම්වලින් මිලදීගෙන ඇති දේපළ පිළිබඳවද විමර්ශන හැටන් පොලිස් කොට්ඨාසය තුළ මේ වන විට සිදුවෙමින් පවතින අතර පුද්ගලයන් 15 දෙනෙකු සම්බන්ධ වත්කම් විමර්ශන එලෙස පැවැත්වේ.

මෙලෙස මත්ද්‍රව්‍ය සමඟ ශ්‍රී පාද වන්දනාවේ පැමිණ සිටියදී අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයන්ගෙන් 90%ක් පමණ වෙනත් ප්‍රදේශවල සිට හැටන් ප්‍රදේශයට පැමිණි අය වීම සුවිශේෂිය. එසේ අත්අඩංගුවට ගැණුනු පිරිස 75%ක්ම අවුරුදු 20 – 30 අතර වයස්වල පසුවන්නෝය.

යුක්තිය මෙහෙයුමට සමගාමීව ‘පවුර’ වැඩසටහන යටතේ හැටන් පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 9 පිහිටි පාසල්වල මත්ද්‍රව්‍ය වැළැක්වීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක වූයේ හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරී නිපුණ දෙහිගමගේ උපදෙස් මතය.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division