Home » රුපියල් 7000කට මත්පෙති 100යි

රුපියල් 7000කට මත්පෙති 100යි

by thanushika
April 27, 2024 12:43 am 0 comment

කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් දැනට ක්‍රියාත්මක “යුක්තිය” මෙහෙයුම යටතේ ආඩිඅම්බලම, සරණතිස්සගම ප්‍රදේශයේ පදිංචි මත්පෙති අලෙවි කරන පුද්ගලයෙකු පසුගියදා අත්අඩංගුවට ගන්නේ සෑහෙන කාලයක් ඔහු පිළිබඳව සිදුකරන ලද විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසය. සැකකරු 19 හැවිරිදි වියේ පසුවන අයෙකි.

සැකකරු ප්‍රදේශයේ මත්ලෝලී තරුණයන්ට දිගු කාලයක් තිස්සේ මත්පෙති අලෙවි කිරීමේ ජාවාරම සිදුකරගෙන ගොස් තිබුණේ ඉතාම රහසිගතවය.

මත්පෙති තම නිවසට රැගෙනවිත් අලෙවි කරන මෙම පුද්ගලයා පිළිබඳ තොරතුරු පොලිසිය වෙත ලැබී තිබුණේ ද මත්ලෝලීන්ගෙන් වීම සුවිශේෂි කාරණාවකි.

ඒ අනුව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් මෙම පුද්ගලයාගේ නිවෙස වටලා ඔහු අත්අඩංගුවට ගන්නේ වැඩි කරදරයක් නැතිවය.

ඉන් පසුව පොලිස් නිලධාරින් මෙම පුද්ගලයා රඳවා තබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමකට ලක්කර තිබුණේ මෙම මත්ද්‍රව්‍ය අලෙවි ජාලයේ අලගිය තැන්-මුල ගිය තැන් නිසියාකාරව සොයා දැන ගැනීම සඳහාය.

ඒ අනුව මෙම පුද්ගලයා තමන්ට මෙම මත්පෙති තොග වශයෙන් අලෙවි කරන සීදූව, විජය කුමාරතුංග අනුස්මරණ රෝහල ඉදිරිපිට ඇති තෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන යමින් තිබෙන බටහිර ඖෂධ වෙළෙඳසල පිළිබඳ තොරතුරු පොලිසියට අනාවරණය කර ඇත්තේ ඉතා රහසිගතවය.

කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඒ අනුව පොලිස් උපාය දූතයෙකු සූදානම්කර ඔහුට රුපියල් 7,000ක මුදලක් ලබා දී මත්පෙති 100ක් ඇණවුම්කර ලබාගන්නා ලෙස පවසා අදාළ ඖෂධ වෙළෙඳසැල වෙත ඔහු යොමුකර තිබේ.

ඒ සමඟම කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් ද මෙම වෙළෙඳසල වටලා මෙම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීම සිදු කිරීමට ද තවත් සැලසුමක් සකස් කර සූදානම් කර තිබුණි.

ඒ අනුව මෙම සැලසුම අකුරටම ක්‍රියාත්මක වූ අතර උපාය දූතයා විසින් මත්පෙති මිලදී ගැනීමත් සමඟම ඔහුගෙන් ලද සංඥාවට අනුව මෙම වෙළෙඳසල වටලා, එහි හිමිකරු සමඟ මෙම ඖෂධ වෙළෙඳසල තුළ අලෙවි කිරීම සඳහා සඟවා තබාගෙන සිටි “ෆ්‍රී ගැබලින්” (Pre Gabalin) නමැති පෙති 1,000කට අධික ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගැනීමට අපරාධ විමර්ශන අංශයේ නිලධරයන්ට හැකි විය.

ඒ සමඟම සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රධාන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රවී චින්තක සිල්වා ද මෙම ස්ථානයට කැඳවා ස්ථානීය පරීක්ෂණයක් ද පැවැත්වීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණි.

එම විමර්ශනවලදී මෙම ඖෂධ වෙළෙඳසල තුළ කිසිම පිළිගත් සහතිකයක් සහිත ඖෂධවේදියෙකු සේවයේ නිරතව සිට නැති බවද එහි සිටින ඖෂධ නිකුත් කරන සේවකයන් වෛද්‍ය නිර්දේශවලින් තොරව ඖෂධ නිකුත් කරමින් සිටින ආකාරය ද නිලධරයන්ට නිරීක්ෂණය විය.

ඒ අනුව මෙම ඖෂධ වෙළෙඳ සල මුද්‍රා තබා වසා දැමීමට සීදූව ප්‍රධාන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පියවර ගත් අතර මෙම ඖෂධ වෙළෙඳසලේ හිමිකරු කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝගකර තිබේ.

මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායකගේ අධීක්ෂණයෙන් කටුනායක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංකගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක මාරසිංහ, උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි, සැරයන් 37371 සුනිල්, කොස්තාපල්වරුන් වන 37627 කුමාර, 93015 කරුණාරත්න, 100255 සෙනෙවිරත්න සහ 102289 මධුසංඛ යන නිලධාරිහු විමර්ශන සිදු කළහ.

කටුනායක ටී.කේ.ජී.කපිල

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division