Home » රාගම පොලිසිය එරෙන වගුරක කරපු මෙහෙයුම

රාගම පොලිසිය එරෙන වගුරක කරපු මෙහෙයුම

by thanushika
May 4, 2024 12:30 am 0 comment

මඟුලක් මරණයක් හෝ වෙනත් උත්සවයක් ඇති අවස්ථාවක මත්පැන් බෝතලයකට ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. මත්පැන් නොමැති වුවහොත් එය උත්සවයක් නොවන තරමටම බොහෝ දෙනෙක් මත්පැන්වලට ගිජුකමක් දක්වති. මේ උත්සව සමය අලළා කසිප්පු නිෂ්පාදනය කිරීමේ කටයුතුද ඉහළ යමින් පවතින බව රහසක් නොවේ. මුළු රාගම නගරයටම මත්පැන් බෙදාහැරිය හැකි ස්කාගාරයක් පසුගියදා රාගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් වටලනු ලැබුවේ මෙවන් පසුබිමක් ඇති අවස්ථාවකය.

රාගම පොඩිවීකුඹුර ප්‍රදේශය අත්හැර දමන ලද පුරන් කුඹුරු යායකින් සමන්විත විශාල වපසරියකින් යුක්ත වූ ප්‍රදේශයකි. මෙම මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගියේ මෙම ප්‍රදේශයේය.

“සර්… පොඩිවීකුඹුර පැත්තෙ ගියොත්නම් හොර කසිප්පු තිප්පොළක් අල්ලගන්න පුළුවන්. හැබැයි සර් ලේසි නෑ. මහ කැලෑවක් ඒක. ඊටත් වඩා අලියෙක් වුණත් එරෙන මඩ වගුරක්…“ රාගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරාට මෙම තොරතුරු ලැබුණේ විශ්වාසවන්ත ඔත්තුකරුවකු මාර්ගයෙනි.

එම තොරතුර සියයට සියයක් නිවැරදි බවට තහවුරු කරගත් අසේල පෙරේරා තම කණ්ඩායම සමඟ පොඩිවීකුඹුර බලා පිටත් වීමට කටයුතු කළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂගේ මෙහෙයවීම පරිදිය.

කැලණිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බැසිල් ක්‍රිශාන්ත සහ සහකාර පොලිස් අධිකාරි අර්ජුන කොඩිකාර යන නිලධාරින්ගෙන් අවශ්‍ය උපදෙස් සහ ගුරුහරුකම් ලබා ගැනීමටද අසේල පෙරේරා අමතක කළේ නැත. නමින් පොඩිවීකුඹුර වුවත් එය අක්කර ගණනාවක් විශාල අත්හැර දමන ලද කටු පඳුරු ලඳු කැලෑ ගහණ බිම් ප්‍රදේශයකි. එහි නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් තිබෙන බවට කිසිම සලකුණක් සොයා ගැනීමට අසීරුය. එහි පිහිටා තිබුණේ විශාල ඌරු කොටුවකි. පොලිස් නිලධාරීන් කණ්ඩායම අසීරු මඟ ගෙවාගෙන මඩේ එරෙමින් එම ස්ථානයට ළඟා වන විටත් ඈත තියාම දුටුවේ පුද්ගලයෙකු බැරලයක ඇති යමක් කූරුගාමින් සිටින බවය. ඔහු එම ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි තරුණයෙකි. තවදුරටත් සොයා බැලීමේදී එම බැරලයේ ඇත්තේ ගෝඩා බව තහවුරු කරගැනීමට පොලිසියට අපහසු වූයේ නැත. වගුරු බිමේ සඟවා තිබූ ගෝඩා බැරල් 20ක් සොයා ගැනීමට පොලිසියට හැකි වූයේ තවදුරටත් සොයා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එම ගෝඩා බැරල් දහනවයේ අඩංගු ගෝඩා ප්‍රමාණය මිලිලීටර් තිස්තුන් ලක්ෂයක් පමණ වේ.

වගුරු බිමේ ඌරු කොටුව ආසන්නයේ පිහිටි නි‍ෙවසේ සිටි පුද්ගලයකු පොලිස් නිලධාරින් දැක කලබල වී එක්වරම උත්සාහ කළේ පලා යාමටය. මේ පුද්ගලයා පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේ කුමක් හෝ සැක සහිත දෙයක් ඔහු සතුව ඇති බව තේරුම් ගැනීම නිසාය. මෙලෙස සොයා බැලීමේදී ඔහු සතුව තිබුණේ නීති විරෝධී ලෙස පෙරන ලද මත්පැන් බෝතල් අනූවකි. එනම් මත්පැන් ස්ප්‍රීතු මිලීලීටර් එක්ලක්ෂ 35000ක ප්‍රමාණයකි. දහනව හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා විසින් මෙම මත්පැන් ස්කාගාරයද ඌරු කොටුව මුවාවෙන් පවත්වාගෙන ගොස් ඇති බව පසුව අනාවරණය කරගැනීමට පොලිසිය සමත් විය. එරෙන මඩ වගුරේ පහසුවෙන් බැරල් එහා-මෙහා ඇදගෙන යාමට පහසු වන ආකාරයට එම ස්ථානයේ කළුගල් යොදා ගල් කුඩු අතුරා අලංකාර ලෙස සකස් කර තිබීමද විශේෂත්වයකි. කාලයක් තිස්සේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මෙම මත්පැන් ස්කාගාරය මඟින් නිෂ්පාදිත හොර මත්පැන් රාගම නගරයට බෙදාහැර ඇත්තේ කිසිම බියක් සැකයකින් තොරවය.

මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා උපයෝගී කරගත් තඹ දඟර මෙන්ම මත්පැන් කලවම් කිරීමට යොදා ගත් පොල්ලක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

රාගම පොලිසියේ නිලධාරීන්ගේ මෙහෙයුමෙන් ‘ඌරු කොටුවේ හොර මත්පැන් ස්කාගාරයට’ දොරගුළු වැටුණේ ඒ අයුරිනි.

කැලණි කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බැසිල් ක්‍රිෂාන්තගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි අර්ජුන කොඩිකාරගේ අධීක්ෂණයෙන් රාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බුද්ධික රාජපක්ෂගේ මෙහෙයවීමෙන් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා, පොලිස් පරීක්ෂක හේරත්, විශ්ව, කොස්තාපල්වරුන් වන 79979 පෙරේරා, 32281 සුමිත්, 16849 කුමාර, 102059 ඉෂාර, 102060 දිසානායක, 1033755 රිදීවිට, 96456 ශානක, 98003 රණතුංග, 97984 සේනාධීර, 103253 ජීවන්ත, කාන්තා පොලිස් කොස්තාපල් 12398 චතුරි යන නිලධාරීහු වැටලීම සඳහා සහභාගි වූහ.

 

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division