Home » රෝස පාට තුන්රෝදෙන් ආ ‘විජයශක්තිගේ’ අයිස්

රෝස පාට තුන්රෝදෙන් ආ ‘විජයශක්තිගේ’ අයිස්

by thanushika
May 4, 2024 12:30 am 0 comment

යුක්තිය මෙහෙයුම තවදුරටත් අපරාධකරුවන් සොයා රට පුරා ක්‍රියාත්මකය. සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල නම් ලේඛනගතව පොලිස් ස්ථානවල පවතින අතර එකිනෙකා කොටු කරගැනීමට පොලිස් නිලධාරීහු නිදිවර්ජිතව මෙහෙයුම්වල නිරත වෙති. මේ මෙහෙයුම්වලට ඔත්තුකරුවන්ගෙන් ලැබෙන්නේ ද නොමඳ සහායකි. මේ කියන්නට යන්නේ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වන සංවිධානාත්මක අපරාධ මැඬලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කණ්ඩායමක් විසින් හදිසියේ ලැබුණු ඔත්තුවකට ක්‍රියාත්මක වී සිදු කරන ලද වැටලීමක් පිළිබඳවය.

“සර්…. රෝස පාට ත්‍රීවීල් එකක ‘බඩු වගයක්‘ අරගෙන එනවා. තව ටිකකින් මිනිහ පිටත් වෙනවා… ඉක්මන් කළොත් කොටුකර ගන්න පුළුවන්… තිඹිරිගස්යාය පාර පැත්තට තමයි මිනිහ එන්නෙ…” ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි නිලධාරියකුට ලද දුරකතන ඇමතුමකි.

බුද්ධි නිලධාරියා ක්ෂණයකින් ඒ පිළිබඳ සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැනුම්වත් කරන අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ලක්මාල් ඇතුළු කණ්ඩායමක් තිඹිරිගස්යාය ප්‍රදේශයට පිටත්ව යන්නේ සැකකරු කොටු කරගැනීමටය.

හදිසියේම මාර්ග බාධකයක් යොදමින් පොලිස් නිලධාරීන් යන එන ත්‍රීවීලර් පිළිබඳ හොඳ විමසිල්ලෙන් සිටියද කියූ පරිදි රෝස පැහැති ත්‍රීවීලරයක් තවම නැත. ඇතැම් අවස්ථාවලදී පොලිසිය නොමඟ යවන්නට ද ඔත්තු ලැබෙන අවස්ථා ඕනෑතරම්ය.

“අන්න සර් රෝස පාට ත්‍රීවිල් එකක් මේ පැත්තට එනවා… ඒක ද දන්නෙ නෑ…” පොලිස් නිලධාරීන් සියල්ලගේම ඇස් ක්ෂණයකින් ඒ වෙතය. ඈතින් රෝස පැහැති ත්‍රීවිලරයකි.

“කලබල නොකර එයාව නවත්තගමු.” ඒ උප පොලිස් පරීක්ෂක ලක්මාල්ගෙන් පොලිස් නිලධාරීන්ට ලැබුණු උපදෙසකි.

ටී-56 ද අතැති පොලිස් නිලධාරියකු ඈතින් පැමිණෙන ත්‍රිරෝද රථයට නවත්වන ලෙස අණ කරන්නේ ඔය අතරය. ත්‍රීවීලරය ද කිසිම කලබලයක් නැතිව පැමිණ පොලිස් නිලධාරීන් ඉදිරියේ නවත්වන්නේ සැකයක් නොසිතෙන පරිදිය.

“මහත්තය කොහෙද මේ යන්නෙ…?”

“සර්… මම හයර් දුවනවා…. දැනුත් මේ හයර් එකක් ගන්න යන ගමන්…”

“ආ… ඇත්ත ද? එහෙනම් පොඩ්ඩක් බහින්නකො බලන්න එළියට…” සැකකරු ත්‍රීවීලරයෙන් බැසීමට වැඩි කැමැත්තක් පෙන්වූයේ නැත.

එකවරම පොලිස් නිලධාරියකු ත්‍රිරෝද රථ රියැදුරුගේ ටීෂර්ටයේ සාක්කුවට අත දමන්නේ ඔය අතරය. සාක්කුවේ තිබී පුංචි පැකට් එකක් එළියට ගන්නා පොලිස් නිලධාරියා,

“මේ මොනවද?” ඇසීය.

ත්‍රීරෝද රථ රියැදුරු ගොළු විය.

“බහිනවා බහිනවා… අපට මේ ත්‍රීවීල් එක සර්ච් කරන්න ඕන…” පොලිස් නිලධාරියා රියැදුරුට එසේ කීවේය.

රියැදුරුගේ සාක්කුවේ තිබී හමු වූ කුඩා පැකට් එකේ ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය බව පොලිස් නිලධාරීන්ට ඒ වන විටත් වැටහී අවසන්ය. එසේනම් ලැබුණු ඔත්තුව ද ඇත්තකි. සැකකරු ත්‍රීරෝද රියෙන් බස්සවා ත්‍රීවීලරය සෝදිසි කරන්නේ තවත් මත්ද්‍රව්‍ය සඟවා ඇති ද යන්න සොයා ගැනීමටය.

“සර්… මෙන්න තියෙන බඩු…”

ත්‍රීරෝද රිය පණ ගන්වන ලීවරය අග බිම තිබී තවත් පාර්සලයක් සොයා ගැනීමට සමත් වන පොලිස් නිලධාරීන් එවෙලෙහිම සැකකරුට මාංචු දමා අත්අඩංගුවට ගන්නේ සියලු සාක්ෂි ද සමඟය.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 711 මිලිග්‍රෑම් 200ක් සොයා ගන්නා අතර සැකකරු සහ ත්‍රීරෝද රිය ද කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන එන්නේ ඉන් පසුවය. මෙම අයිස් මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම ආසන්න වශයෙන් ලක්ෂ 80කි. මෙම අයිස් මත්ද්‍රව්‍ය විජයශක්ති නමැත්තාට අයත් බවට පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගන්නේ මොහොමඩ් ජිෆ්රි ජවුෆස් නමැති 33 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. මොහු ත්‍රීවීලර් ‘හයර්‘ යන මුවාවෙන් මෙලෙස මත්ද්‍රව්‍ය රැගෙන යන බවට පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. තවද මොහු ත්‍රීවීලරය පණ ගන්වන ලීවරය යට මෙලෙස මත්ද්‍රව්‍ය පැකට් තබා එය කකුලෙන් පාගාගෙන යන බවට ද පවසා ඇති අතර එවිට කිසිවකුට සැක නොසිතෙන පරිදි රැගෙන ගොස් ඇත. මීට කලින් ද මොහු මෙලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම ජයටම කරගෙන ගොස් තිබේ.

සැකකරු බන්ධනාගාරයේ සිටිනා රැඳවියකුගෙන් ලද තොරතුරකට අනුව වෙනත් කෙනකුට දීමට මෙලෙස මත්ද්‍රව්‍ය රැගෙන ගොස් ඇති අතර ඒ පිළිබඳ සැකකරුගෙන් රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදු කරයි.

තවද සැකකරුට රූබන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය කිලෝ 196ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සහ විජයශක්ති නමැත්තාගේ ගංජා කිලෝ 188ක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් විභාග වන ද නඩුවක් ඇත. සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වාගේ අධීක්ෂණයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්සලම් ද සිල්වාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ලක්මාල්, පොලිස් කොස්තාපල්වරුන් වන (72025) කුමාර, (93028) රූපසිංහ, පොලිස් විශේෂ කාර්ය බළකා පොලිස් කොස්තාපල්වරුන් වන (30436) සම්පත්, 19322 දේවසිංහ, පොලිස් කොස්තාපල් රියැදුරු (4176) කැලුම් යන නිලධාරීහු වැටලීමට එක්වූහ.

ගයාන් සංජය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division