Home » බොලිවුඩ් නිළියන් යොදාගෙන කෝටි ගණන් ගරපු අයිපීඑල් ජාවාරම මාට්ටු වූ හැටි

බොලිවුඩ් නිළියන් යොදාගෙන කෝටි ගණන් ගරපු අයිපීඑල් ජාවාරම මාට්ටු වූ හැටි

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

බොලිවුඩ් සිනමාව සහ ක්‍රිකට් ක්‍රීඩාව ඉන්දියාවේ ජනතාව දේවත්වයෙන් පුදන පුද්ගල කොට්ඨාස දෙකකි. මේ ක්ෂේත්‍රයන් ද්විත්වයටම පාතාල ලෝකයේ බලපෑම් ඇති බව ප්‍රසිද්ධ රහසකි. ලොව වඩාත්ම දරුණු හා අත්‍යවශ්‍ය අපරාධකරුවන් දස දෙනා අතර සිටින පාතාල නායක ඩාවුඩ් ඉබ්‍රාහිම් කාලයක් බොලිවුඩ් සිනමාවත් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවත් අල්ලේ නැටවූ බවත් ප්‍රසිද්ධ රහසකි. ඔහුගේ අඩිපාරේ යන තවත් අපරාධකරුවෝ රැසක් ද පසුකාලීනව ඉන්දියාවේ බිහි විය.

 සෞරාබ්ගේ ව්‍යාපාර සගයා රවී උප්පාල්

සෞරාබ්ගේ ව්‍යාපාර සගයා රවී උප්පාල්

අන්තර්ජාල ඔට්ටු තැබීමේ ආන්දෝලනාත්මක සිදුවීම් මාලාවකින් යළි බොලිවුඩ් සිනමාවත් ක්‍රිකට් ක්ෂේත්‍රයත් කැලඹී ඇත්තේ ඊයේ පෙරේදා බොලිවුඩ් නළු නිළියන් කිහිපදෙනකු ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකයේ ප්‍රශ්න කිරීමට ලක්වීමත් සමඟය. මහාදේව් නමින් නිර්මාණය කළ අන්තර්ජාල යෙදුමක් හරහා ඩුබායි නුවර සිටින ඉන්දීය ජාතිකයන් දෙදෙනකුගේ වත්කම ඉන්දීය රුපියල් කෝටි 15,000ක් බවට එරට මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකය සොයා ගත්තේය. මේ ඔට්ටු තැබීමේ යෙදුම ඔස්සේ දිනකට ඉන්දීය රුපියල් කෝටි 200ක ආදායමක් උපයා ගන්නා බව වැඩිදුරටත් හෙළි වී තිබේ. එපමණක් නොව පසුගිය වසරේ අයිපීඑල් තරගාවලියේ සජීවී තරග විකාශය සොරකම් කර එය මහාදේව් යෙදුමට සම්බන්ධ ෆෙයාර්ප්ලේ යෙදුම ඔස්සේ විකාශය කිරීමෙන් සහ ඒ මොහොතේ ක්ෂණික ඔට්ටු තැබීමෙන් තවත් කෝටි ගණනාවක ආදායමක් ලබාගත් බවත් අනාවරණය විය. එම යෙදුම ප්‍රවර්ධනය කිරීමට ඉහළ මුදලකට බොලිවුඩ් නිළියන් භාවිත කර ඇතැයි ද හෙළි විය. අයිපීඑල් නිල තරග විකාශන සමාගම වන ‘වියකොම් 18‘ සමාගමට එමඟින් රුපියල් කෝටි 100කට අධික පාඩුවක් සිදු වී ඇතැයි හෙළිදරව් වී තිබේ.

මහාදේව් යෙදුම නිර්මාණය කරමින් ඉන්දියාව කැලඹූ ජාවාරම්කරුවන්ගෙන් ප්‍රධානියා සෞරාබ් චන්ද්‍රකර් ය. තවමත් 28 වැනි වියෙහි පසුවන මේ කූප්‍රකට පුද්ගලයාගේ මූල්‍ය වංචා රැසක් මේ වන විට ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකය විසින් සොයා ගෙන තිබේ. ඊට සම්බන්ධ පුද්ගලයන් විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. සෞරාබ්ගේ ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බොලිවුඩ් නළු නිළියන් රැසක්ම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. සෞරාබ් චන්ද්‍රකර් යනු මෑත කාලයේ ඉන්දියාවේ නීති විරෝධී මූල්‍ය ජාවාරම්කරුවන් අතර ප්‍රධානියකු බවට එරට මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකය හඳුනාගෙන ඇත. නීති විරෝධී අයුරින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් උපයන සෞරාබ් චන්ද්‍රකර් මේ වන විට සිය ව්‍යාපාර සගයා වන 43 හැවිරිදි රවී උප්පාල් සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟවී සිටින අතර, දෙදෙනා එක්ව සිය මහ පරිමාණ ජාවාරම් ජාලාව රටවල් රැසකම ව්‍යාප්ත කරමින් සිටී.

ඔහු 2017 වසර වන විට මධ්‍යම ඉන්දියාවේ චට්ටිස්ගර් ප්‍රාන්තයේ බිලායි නගරයේ සිය සොහොයුරා සමඟ එක්ව පදික වේදිකාවේ පලතුරු බීම කඩයක් පවත්වාගෙන ගිය සාමාන්‍ය පවුලක 21 හැවිරිදි කොල්ලෙකි. ඉඩ ලැබෙන සෑම මොහොතකදීම චට්ටිස්ගර් නගරයේ සූදු ජාවාරම්කරුවන් වෙත ගොස් ක්‍රිකට් තරගවලට ඔට්ටු තැබූ නිසාම නීති විරෝධී ඔට්ටු තැබීමේ ජාවාරම්කරුවන් සමඟ සමීප සම්බන්ධතාවක් ද ඔහුට තිබිණි. ඔහුගේ සගයා රවී උප්පාල් වැදගත් පවුල් පසුබිමකින් පැවත එන පුද්ගලයෙකි. නළ ළිං එළීමේ කොන්ත්‍රාත්කරුවෙක් වුවද ඔහු ද සූදුවට ඇබ්බැහි වී සිටියෙකි. අමතර මුදලක් උපයා ගැනීමට ක්‍රිකට් ඔට්ටු ජාවාරම්කරුවකු ලෙස රහසිගතව කටයුතු කරමින් සිටි උප්පාල්ට සෞරාබ් මුණගැසෙන්නේ අහඹු ලෙසය. දිනක් නගරයේ බාබුල් කඩයක් අසල සිය සගයන් සමඟ කතාබස් කරමින් සිටියදී ඔහුට සෞරාබ් චන්ද්‍රකර් හඳුන්වා දුන්නේ එක්තරා පුද්ගලයකු විසිනි. පසුව දෙදෙනා අතර කෙටි සාකච්ඡාවක් පැවති අතර, අන්තර්ජාල ඔට්ටු තැබීමේ යෙදුමක් නිර්මාණය කිරීමට අඩිතාලම වැටුණේ ඒ සාකච්ඡාවෙනි. පසුව දෙදෙනා අන්තර්ජාල යෙදුම් වැඩිපුරම ජනප්‍රිය හයිද්‍රාබාද් නුවරට ගොස් ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයාගත්හ.

අද වන විට ඉන්දියාවේ මූල්‍ය අපරාධ වංචා ඒකකයට හිසරදයක් බවට පත් වී ඇති ‘මහාදේව්‘ අන්තර්ජාල ඔට්ටු තැබීමේ යෙදුම බිහි වූයේ එලෙසිනි. මහාදේව් යනු සෞරාබ්ගේ වාසගමය. වැඩි කාලයක් යෑමට පෙර චට්ටිස්ගාර් ප්‍රාන්තයේ ඔට්ටු තබන්නන් අතර වැඩිපුරම ජනප්‍රියත්වයට පත්වූ මහාදේව් යෙදුම හරහා වෙනදාට වඩා ආදායමක් උපයා ගැනීමට දෙදෙනාම සමත් වූහ. පෝකර් කාඩ් ක්‍රීඩාව, ක්‍රිකට්, බැඩ්මින්ටන්, ටෙනිස් ඇතුළු ක්‍රීඩා සඳහා ඔට්ටු තැබිය හැකි ආකාරයෙන් ක්‍රියාත්මක වන මහාදේව් යෙදුමේ ජාවාරම පොලිසියේ උකුසු ඇසට හසුවීමට ඇති ඉඩකඩ වැඩි බව දෙදෙනාම දැන සිටියහ.

2018 වසරේදී සෞරාබ් සහ උප්පාල් එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත් වූයේ පොලිසියට හසුවීමෙන් වැළකීමට සහ වැඩිපුර මුදලක් උපයා ගැනීමේ අදහසිනි. ඩුබායි නුවරදී ඔවුහු සිය ජාවාරම නිදහසේ කරගෙන යෑමට අරාබි ජාතිකයකුගේ උපකාර ඇතිව කාර්යාලයක් කළහ. සහායට පාකිස්තාන ජාතිකයකු ද හවුල් විය. එමිරේට්ස් රාජ්‍යයේ නීතියට අනුව විදෙස් ජාතිකයන් එහි යම්කිසි ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී එමිරේට්ස් පුරවැසියකු අනුග්‍රාහකයා ලෙස නම් කළ යුතුව ඇති අතර, ඒ සඳහා ඉදිරිපත් වන අරාබිකාරයෝ එමිරේට්ස් රාජ්‍යයේ එමටය. පසුකාලීනව එම ව්‍යාපාරවල ලාභයෙන් කොටසක් හිතේ හැටියට භුක්ති විඳින එම අනුග්‍රාහකයන් හඳුන්වනු ලබන්නේ ‘ස්ලීපින් පාට්නර්‘ නමිනි.

සෞරාබ් සහ උප්පාල් එසේ මහාදේව් යෙදුම මඟින් සිය ඔට්ටු තැබීමේ ව්‍යාපාරය ඩුබායි නුවර සිට මෙහෙයවනු ලැබූ අතර, චට්ටිස්ගාර් ප්‍රාන්තයේ සිට එය පවත්වාගෙන ගියේ බාබුල් කඩේ සාකච්ඡාවට එක් වූ රාජා ගුප්තා නමැති පුද්ගලයෙකි.

ඔහු නගරයේ රැකියා විරහිතව රස්තියාදු ගැසූ තරුණ පිරිසක් සහ අඩු ආදායම්ලාභීන් පිරිසක් සිය මෙහෙයුමට සම්බන්ධ කර ගත්තේය. පුහුණුවක් සඳහා ඔවුන් ඩුබායි නුවරට ද රැගෙන ගොස් ඇතැයි පසුකාලීනව ඉන්දීය මූල්‍ය වංචා දූෂණ ඒකකය හෙළිදරවු කර ගත්තේය. මහාදේව් ඔට්ටු තැබීමේ ව්‍යාපාරයේ කොඳු නාරටිය බවට පත්වූයේ මේ පිරිසය. ඉන් වැඩි ප්‍රමාණයක් මේ වන විට පසුවන්නේ ඉන්දීය මූල්‍ය වංචා දූෂණ ඒකකය අත්අඩංගුවේය.

මහාදේව් යෙදුමේ ආරම්භක කාලවකවානුවේදී එතරම් ලාභයක් නොලැබුණ ද, එහි දෛනික ආදායම විස්මයජනක ලෙස ඉහළ ගියේ පසුගිය කොවිඩ් වසංගත සමයේදීය. එම කාලය තුළ චට්ටිස්ගාර් ප්‍රාන්තයේ නගර ගණනාවක නිවාසවලට කොටු වී සිටි තරුණයන් සහ වැඩිහිටි පිරිමින් මහාදේව් යෙදුම ඔස්සේ පෝකර් කාඩ් ක්‍රීඩාවට ඇබ්බැහි වී සිටි බව වාර්තා විය. ඉන් සෞරාබ්ලාගේ දෛනික ආදායම ලක්ෂ 50 ඉක්මවා ගියේය. රාජා ගුප්තා ඇතුළු සගයන් අතර ලාභයෙන් 20%ක් බෙදී යද්දී 80%ක්ම ලාභය බෙදී ගියේ සෞරාබ් සහ උප්පාල් අතරය. ඔට්ටු තබන්නන්ගේ මුදල් එකතු කරන මහාදේව් යෙදුමට සම්බන්ධ තැරුව්කරුවන්ට ද, ඉන්දියාව පුරා ව්‍යාප්ත වූ අතරමැදි මධ්‍යස්ථානවලට ද මුදල් ලැබිණි.

මහාදේව් යෙදුම ඔස්සේ ඔට්ටු තබන්නන් පළමුව එහි ලියාපදිංචි විය යුතුව තිබිණි. අනතුරුව ජාවරම්කරුවන්ගෙන් දුරකතන මධ්‍යස්ථානයෙන් ඔවුන්ට ඇමතුමක් ලැබේ. ඉන් කියැවෙන්නේ එම යෙදුමෙහි සාමාජික කාඩ් පතක් මිල දී ගත යුතු බවය. අනතුරුව සිය ඔට්ටු තැබීම හා දිනන මුදල් ලබා ගැනීම සඳහා ඔවුන්ට දුරකතන අංක දෙකක් සපයනු ලබයි. එකක් ඔට්ටු තැබීමේදී මුදල් බැර කළ යුතු බැංකු ගිණුම් අංකය සපයනු ලබන දුරකතන අංකයකි. අනෙක දිනන මුදල් ඔවුන්ගේ ගිණුම් වෙත බැර කළ බව දැනුම් දෙන දුරකතන අංකයකි. මුල් අවධියේදී ඔට්ටු තබන්නන්ගේ ආදායම සරු විය. එහෙත් ඔට්ටු තැබීමට ඇබ්බැහි වීමෙන් පසු ඔවුන් වැඩි වැඩියෙන් පරාජය වීමට පටන් ගන්නා බවත්, එය සිදු වූයේ ඔවුන් පෝකර් ක්‍රීඩවේ නිරතවෙද්දී එය වංචාසහගත ලෙස වෙනස් කිරීමට මහාදේව් යෙදුමට සම්බන්ධ අතරමැදි මධ්‍යස්ථානය කටයුතු කිරීම නිසා බවත් වාර්තා වේ. ඔට්ටු තබන්නන් මුදල් හිඟවන විට සිය බිරියන්ගේ, සොහොයුරියන්ගේ රත්තරන් භාණ්ඩ පවා සොරකම් කර උකස් කරන තත්ත්වයට පත්ව සිටි අතර, තත්ත්වය බරපතළ වෙද්දී මේ පිළිබඳ චට්ටිස්ගාර් ප්‍රාන්ත පොලිසියට පැමිණිලි පිට පැමිණිලි ලැබෙන්නට පටන් ගත්තේය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවාට වඩා බරපතළ ආකාරයෙන් එසේ සිදුවෙද්දී නිවාසවල වැඩිහිටියෝ සිය දරුවන්ගේ සහ බිරියන් සිය සැමියන්ගේ ඔට්ටු තැබීමේ ඇබ්බැහිය ගැන පොලිසියට පැමිණිලි කරන්නට පටන් ගත්හ.

පරීක්ෂණ ආරම්භ කළ චට්ටිස්ගර් පොලිසිය විසින් ඔට්ටු තැබීම වෙනස් කරන අතරමැදි පාර්ශ්වය මෙහෙයුම් සිදු කරන ස්ථාන නිශ්චිතව හඳුනා ගත්තේය. එම ස්ථානය වටලා පුද්ගලයන් රැසක් අත්අඩංගුවට ගත් අතර, ඒ වන විටත් මහාදේව් ඔට්ටු තැබීමේ ජාවාරම ඉන්දියාව පුරා මධ්‍යස්ථාන 150කට අධික ප්‍රමාණයක් ස්ථාපිත කර තිබූ බව ද හෙළි විය. අතරමැදි පාර්ශ්ව මෙහෙයුම් සිදු කරන ස්ථාන ගණන 4,000කට අධික විය. මේ සියලු මධ්‍යස්ථානවල මහදේව් යෙදුමට සම්බන්ධ තැරුව්කරුවන්ගේ වාර්ෂික ආදායම ඉන්දීය රුපියල් කෝටි 200 ඉක්මවන බව ද හෙළි විය. වසර 2022 සිට 2023 දක්වා කාලය තුළ ඉන්දියාව පුරා පොලිස් ස්ථානවල මහාදේව් යෙදුමේ වංචාව ගැන පැමිණිලි 75ක්ම ගොනු වී තිබූ අතර, ඊට සම්බන්ධ පුද්ගලයන් 429 දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණ.

කෝටි 200ක් වැය කළ සෞරාබ් චන්ද්‍ර­කර්ගේ  සුපිරි විවාහ උත්ස­වය

කෝටි 200ක් වැය කළ සෞරාබ් චන්ද්‍ර­කර්ගේ සුපිරි විවාහ උත්ස­වය

මහාදේව් යෙදුමේ හිමිකරුවන් වන සෞරාබ් චන්ද්‍රකර් සහ රවී උප්පාල් සහ ඔවුන්ගේ මහ පරිමාණ ජාවාරම ගැන ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකයේ උකුසු ඇස යොමු වූයේ පසුගිය වසරේ පෙබරවායේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති සෞරාබ් චන්ද්‍රකර්ගේ සුපිරි විවාහ මංගලෝත්සවයේ වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලයේ ‘වයිරල්‘වීමෙන් පසුවය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රසල් කයිමා නුවර පැවැති එම විවාහ උත්සවය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අතිසුඛෝපභෝගී එකකි. ඒ සඳහා ඔහු ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදලක් වැය කර තිබිණි. ඉන්දියාවේ ධනකුවේරයන් වන මුකේෂ් අම්බානිලාට නොදෙවැනි ආකාරයේ විවාහ උත්සවයක් සිදු කළ සෞරාබ්ගේ වත්කම ගැන සොයා බැලීමට ඉන්දීය බලධාරින්ගේ අවධානය යොමු වූයේ ඒ අනුවය. විවාහය සිදු වූයේ රසල් කයිමා නුවර තරු හතේ හෝටලයකදීය. එම විවාහ උත්සවය නැටුම්, ගැයුම් හා රැඟුම්වලින් පිරුණු සැණකෙළියක් බඳු විය. මනාලිය චට්ටිස්ගාර් ප්‍රාන්තයේහිම පදිංචි හර්සිතා නමැති තරුණියකි. මනාලියට සහ දෙපාර්ශ්වයේ ඥාතීන්ට රසල් කයිමා නුවරට යෑමට සහ ඒමට ඔහු පෞද්ගලික ජෙට් යානයක්ද කුලියට ගෙන තිබිණි. ඒ සඳහා ඔහු විසින් ගෙවනු ලැබූ මුදල රුපියල් කෝටි 42ක් බව සඳහන් වේ. එපමණක් නොව සිය විවාහ උත්සවයේ ආරාධිතයන් නැටුමින්, ගැයුමෙන් පිනවීමට ඔහු බොලිවුඩ් සිනමාවේ නළු නිළියන් ද කුලියට ගත්තේය. ඔවුන් විවාහ උත්සවයට සහභාගි වූයේ ද පෞද්ගලික ජෙට් යානයෙනි. ඉන්ඩියා ටුඩේ පුවත් සේවයට අනුව ඉන්දියාවේ ප්‍රකට සංගීතඥයන් වන විෂාල් ඩඩ්ලානි, නුෂ්රට් භරූචා, ක්‍රිටී කාර්බන්ඩා ඇතුළු ටයිගර් ෂ්රොෆ්, සනී ලියොන්, කපිල් ෂර්මා, භාර්ති සිං, කූෂ්ණා අභිෂේක් සහ පාකිස්තානු ගායක අටීෆ් අස්ලාම් ද ඊට සහභාගි වී ඇත. සියලු ආරාධිතයන්ට හෝටල් නවාතැන් පහසුකම් ද සපයා තිබිණි. විවාහ මංගල්‍යයේ සංවිධාන කටයුතු පවරා ඇත්තේ එවැනි උත්සව සංවිධාන කරන සමාගමකටය. ඒ සඳහා වැය වී ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 142ක් බව ද වාර්තා විය. පුදුමයට කරුණ නම් මේ සියලු ගෙවීම් සෞරාබ් ගෙවා ඇත්තේ මුදල් නෝට්ටුවලිනි. එම විවාහ උත්සවයට සහභාගි වූ ඉන්දියාවේ නළු නිළියන් ඇතුළු ජනප්‍රිය පුද්ගලයන් 17ක් මේ වන විට විමර්ශන නිලධාරීන්ගේ රේඩාරයට හසු වී සිටී.

විවාහ මංගලෝත්සවයේ සියලු තොරතුරු හෙළිදරව් කර ගැනීමෙන් පසු ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකය මේ සම්බන්ධ සියලු පරීක්ෂණ සියතට ගත්තේය. මහාදේව් ඔට්ටු තැබීමේ යෙදුමට සම්බන්ධව ඉන්දියාව පුරා මෙහෙයුම්වල නිරතව සිටි පුද්ගලයන් සොයා පසුගිය වසරේ අගෝස්තුවේදී විමර්ශන ආරම්භ කළේය.

ඉන්දියාවේ නගර ගණනාවක වැටලීම් 39ක් සිදු කරමින් රුපියල් කෝටි 417ක් වටිනා මුදල් නෝට්ටු ඇතුළු පරිගණක උපකරණ අත්අඩංගුවට ගැනීමට ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකය සමත් විය. ඒ සමඟ තැරුව්කරුවන් විශාල පිරිසක් ද කොටු විය. මහාදේව් ඔට්ටු තැබීමේ යෙදුම හරහා මහ පරිමාණයෙන් සිදුවන නීති විරෝධී මූල්‍ය වංචාව එකින් එක අනාවරණය වූයේ ඉන් පසුවය. ඉන්දියාවේ ඔට්ටු තැබීමෙන් සෞරාබ්ලා දිනකට උපයා ගන්නා මුදල රුපියල් කෝටි 200කට අධික බවත්, එසේ උපයා ගන්නා මුදල් ඉන්දියාවේ සිට මුම්බායි කේන්ද්‍ර කරගත් සමාගමක් ඔස්සේ හවාලා මුදල් යැවීමේ ක්‍රමය යටතේ සහ බිනාමි නමින් හඳුන්වන ලබන්නාගේ සහ ගෙවන්නාගේ නම් හෙළිදරවු නොවන ආකාරයෙන් මුදල් යැවීමේ ක්‍රමය ඔස්සේ ඩුබායි නුවරට යවන බවත් හෙළි විය.

මහාදේව් ඔට්ටු තැබීමේ ජාවාරම සුලු පටු එකක් නොවන බව ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකයට අවබෝධ වූයේ එම යෙදුම හරහා වෙබ් අඩවි 10කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක වීම හේතුවෙන් නොව බොලිවුඩ් සිනමාවේ සුපිරි නළුනිළියන්, පොලිස් නිලධාරීන් මෙන්ම රජයේ ඉහළ නිලධාරින්ද එම ජාලයට එක්වී සිටීම හේතුවෙනි. පසුගිය අගෝස්තුවේදී ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකය චට්ටිස්ගාර් ප්‍රාන්තයේ ප්‍රකට ව්‍යාපාරිකයන් වූ දම්මානි සොහොයුරන් අත්අඩංගුවට ගත්තේ හවාලා ක්‍රමයට ඩුබායි නුවර සිටින සෞරාබ්ලාට මුදල් යැවීමේ චෝදනාවටය. අනතුරුව අත්අඩංගුවට පත් වූයේ සහාය උප පොලිස් පරීක්ෂකවරයකු වන චන්ද්‍රභූෂන් වර්මා ය. මහදේව් යෙදුමේ ජාවාරම පිළිබඳ සෙසු පොලිස් නිලධාරීන් නිහඬ කිරීමට චට්ටිස්ගාර් ප්‍රාන්තයේ සියලුම පොලිස් ස්ථානවල පහළ නිලධාරින්ගේ සිට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් දක්වා අල්ලස් මුදල් දී නිහඬ කර ඇතැයි තොරතුරු හෙළි විය. එපමණක් නොව චට්ටිස්ගර් ප්‍රාන්තයේ මහඇමැතිවරයාගේ සමීපතම මිතුරකුට ඩුබායි නුවර සිට හවාලා ක්‍රමයට මුදල් ලැබෙන බව ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකය හමුවේ ඔහු ප්‍රකාශ කිරීමත් සමඟ මෙය දේශපාලනඥයන් ද සම්බන්ධ වූ බරපතළ ජාවාරමක් බවට අනාවරණය විය. වැඩිදුර විමර්ශන සිදු කළ ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකයේ නිලධාරින්ට සොයාගත හැකි වූයේ ප්‍රාන්ත මැතිවරණයට වැය කිරීම සඳහා ඩුබායි නුවර සිට මහඇමැති භූපේෂ් බගේල්ට ඉන්දීය රුපියල් කෝටි 508ක මුදලක් ලැබී ඇති බවය. එම කරුණු අනාවරණය වීමත් සමඟ ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ වංචා ඒකකයේ නිලධාරීන් චටිචිස්ගාර් මහ ඇමැතිවරයාගේ කාර්යාලයට කඩා පැන ඔහුගේ දේශපාලන උපදේශක විනෝද් වර්මා ඇතුළු නිලධාරීන් තිදෙනකුගෙන් ප්‍රශ්න කළේය. මේ වැටලීම සිදු වූයේ චට්ටිස්ගාර් ප්‍රාන්ත මැතිවරණයට මාසයකට පෙරය. ප්‍රතිඵලය වූයේ කොංග්‍රස් පක්ෂයේ මහඇමැති ප්‍රාන්ත මැතිවරණයෙන් අන්ත පරාජයට පත් වීමය.

ෆෙයාර්ප්ලේ යෙදුම ඔස්සේ අයිපීඑල් තරග විකාශය සොරකම් කර සිය වෙබ් අඩවියේ විකාශය කිරීම හෙළි වීමෙන් පසු එය ප්‍රවර්ධනය කිරීමට එක් වූ ප්‍රකට බොලිවුඩ් නළු නිළියන් වන රන්බීර් කපූර්, ශර්දා කපූර්, තමන්නා, හුමා කුරේෂි, කපිල් ෂර්මා, බෝමන් ඉරානි, හිනා ඛාන් සමඟ සංජේ දත් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩර්ස්ගේ කළමනාකරුවන්ගෙන් ද ඉන්දීය මූල්‍ය අපරාධ වංචා දූෂණ ඒකකයේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. ප්‍රශ්න කිරීම්වලින් මඟහැර සිටි බොලිවුඩ් නළු සාහිල් ඛාන් අත්අඩංගුවට ගත්තේය.

එපමණක් නොව දැනට පාකිස්තානයේ සැඟවී සිටින බවට ඉන්දීය රජය සැක කරන පාතාල නායක ඩාවුඩ් ඉබ්‍රාහිම්ගේ සොහොයුරකු වන මුෂ්ටකීම් ඉබ්‍රාහිම් සමඟ ද සෞරාබ් සහ උප්පාල්ගේ සමීප සම්බන්ධතා ඇතැයි හෙළි වී ඇත. මුෂ්ටකීම් විසින් මහාදේව් යෙදුම වෙනුවෙන් පාකිස්තානයේ ද ‘කෙලෝයාර්‘ නමින් ඔට්ටු තැබීමේ යෙදුමක් නිර්මාණය කර එය ලොව පුරා විවිධ රටවල විස්සයි20 ප්‍රිමියර් ලීග් තරගාවලි අනුග්‍රාහකයකු ලෙස ඉදිරිපත් කර කණ්ඩායම් හිමිකරුවන් ලෙස කටයුතු කර ඇතැයි ද හෙළි වී තිබේ. සෞරාබ්ගේ ආරක්ෂාවට සිය විශ්වාසවන්තම ආරක්ෂකයන් 20-30 අතර පිරිසක් යෙදවීමට ද මුෂ්ටකිම් ඉබ්‍රාහිම් කටයුතු කර ඇතැයි තොරතුරු අනාවරණය වී තිබේ.

වෙඩි නොවදින රොල්ස් රොයිස් ඇතුළු ලොව මිල අධික සුපිරි මෝටර් රථ 5කට ද හිමිකම් කියමින් ඩුබායි නුවර අතිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරමින් සිටි සෞරාබ් චන්ද්‍රකර් සහ රවී උප්පාල් ඉන්දීය මූල්‍ය අපරාධ වංචා දූෂණ ඒකකයේ වාර්තාවකට අනුව පසුගිය වසරේ අග භාගයේදී ඉන්ටර්පෝල් පොලිසිය විසින් රතු වරෙන්තු නිකුත් කළ අතර, ඒ අනුව ඩුබායි පොලිසිය විසින් සෞරාබ් සහ උප්පාල් අත්අඩංගුවට ගත් බවත් දැනට දෙදෙනා පොලිස් ආරක්ෂාව යටතේ රඳවා තබාගෙන සිටින බවත් වාර්තා වේ. ඔවුන් නැවත ඉන්දියාවට ගෙන්වා ගැනීමට මේ වන විට ඉන්දීය මූල්‍ය අපරාධ දූෂණ ඒකකයේ නිලධාරින් කටයුතු කරමින් සිටී.

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division