Home » ක්‍රිකට් අතින් අරන් නෝර්වුඩ් කඳුකරයෙන් යළි මතු වුණු ටෝනි ග්‍රෙග් මෙන්න

ක්‍රිකට් අතින් අරන් නෝර්වුඩ් කඳුකරයෙන් යළි මතු වුණු ටෝනි ග්‍රෙග් මෙන්න

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment
 ටෝනි ග්‍රේග්

ටෝනි ග්‍රේග්

ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සහ ලැරී ගෝමස් පිටියේ හතර අතට පහර එල්ල කරති. ඊළඟට පිටියට පැමිණීමට නියමිතව ඇත්තේ ස්ටිව් වෝ ය. රැස් කරන ලකුණු ප්‍රමාණය ගැන වැඩිපුර සිතිය යුතු නැත. කණ්ඩායමේ වේගපන්දු යවන්නා ටෝනි ග්‍රෙග් සිටින නිසා ඒ ගැන බිය වීමට කාරණාවක් ද නැත. මේ කණ්ඩායම ‘සොෆ්ට්බෝල්‘ ක්‍රිකට් චැම්පියන්ස්ලා ය. එකම පවුලේ සොහොයුරෝ වෙති. ඔවුන්ගේ දස්කම් මුවහත් වූයේ පියා ඩොමිනික් ජෝශප් නිසා ය. ඔහු මුළු ගමේම ක්‍රිකට් වීරයා ය. මව ලතා මංගේෂ්කර් පසුපසින් හිඳ දිරිය ශක්තිය සපයන්නීය. බ්‍රැඩ්මන්ලාගේ මාමා වන මුකේෂ්ගෙන් ද සැලකිය යුතු සහයෝගය ලැබේ.

මේ මොන අපභ්‍ර‍ංශයක් දැයි ඔබට නොසිතුණා නම් පුදුමය. බ්‍රැඩ්මන්ලා, ස්ටීව් වෝ ලා එකට ක්‍රිකට් ගැසුවේ කොයි කාලේදැයි ඔබ සිතණු ඇත. එය සැබෑය. අනෙක කොදෙව් පිලේ ලැරී ගෝමස් ජාත්‍යන්තර ක්‍රීඩාවට පිවිසෙන විට ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ක්‍රීඩාවෙන් සමුගෙන වසර 30කටත් වැඩිය. එපමණක් නොව ටෝනි ග්‍රෙග් වේගපන්දු යවනු ඔබ කිසිදාක අසා නැත. ඇරත් සොෆ්ට්බෝල් ක්‍රිකට්…! ඒ මදිවට ලතා මංගේෂ්කර් හඳුන්වා ඇත්තේ ඔවුන්ගේ මව ලෙසටය. ඇය ඉන්දියාවේ ගීත කෝකිලාව බව කවුරුත් දනිති.

හැම අතින්ම එය අපභ්‍රංශ කතාවක් බව ඔබ කල්පනා කිරීම අන්තිම සාධාරණය. එහෙත් සඳහන් කළ යුතුම කාරණාව නම් මෙය සැබෑ කතාවක් බවය. මේ මොහොතේදිත් ඔය කියන ලැරී ගෝමස්, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ස්ටීව් වෝ, ටෝනි ග්‍රෙග් පමණක් නොව ලතා මංගේෂ්කර් ද එකම වහලක් යට දිවි ගෙවමින් සිටිති. ඔවුන් සිටින්නේ අන් රටක නොව ශ්‍රී ලංකාවේ ය. නෝර්වුඩ් ගම්මානයේ ය. ඔව්…! ඔව්…! හැටන් ටවුමේ සිට දික් ඔය මාර්ගයේ කිලෝමීටර් 10ක් දුර ගෙවා ගිය තැන හමුවන නෝර්වුඩ් කඳුකර ගම්මානයේ ය. දැන් ඔබට දැනෙන්නේ මේ කතාව පළමුව ඇසූ අපට දැනුණු විමතිය හා කුතුහලයම විය යුතුය.

නෝර්වුඩ් ගම්මානයේ කුඩා පිට්ටනියේ සොෆ්ට්බෝල් ක්‍රිකට් චැම්පියන්ස්ලාට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් තබා ඇත්තේ ගමේ කොල්ලෝ කුරුට්ටෝ නොව ඒවා ඔවුන්ගේ උප්පැන්නයේ සටහන් වී ඇති සැබෑ නම් ය. ඒ නම් තැබුවේ ගමේ ක්‍රිකට් කප්පිත්තා වූ ඔවුන්ගේ පියා ඩොමිනික් ජෝශප් ය. ඔහු සිය පුතුන් සිව්දෙනාට ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් තැබුවේ ක්‍රීඩාවට ඇති පිස්සුව නිසාමය. නමේ හැටියටම දස්කම් නොපෑවත් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි මේ සොහොයුරන් සිව්දෙනාම හැටන් පළාතේ සැහැල්ලු පන්දු ක්‍රීඩාවට නම් අතිදක්ෂයෝ වෙති.මේ ලෝක පූජිත ක්‍රීඩකයන්ගේ නම් ඇති පුතුන් සිව්දේනාගේ ආඩම්බරකාර පියා ඩොමිනික් ‘සිළුමිණ‘ට කීවේ දරුවන්ට තැබුවේ සිය ප්‍රියතම ක්‍රීඩකයන්ගේ නම් බව ය.

‘වැඩිමල් පුතා ගෝමස්ට දැන් අවුරුදු 27යි. එයා දැන් සවුදි අරාබියේ රැකියාවක නිරතව සිටිනවා. දෙවැනි පුතා බ්‍රැඩ්මන්ට දැන් අවුරුදු 25යි. එයා කටාර් ගිහින් ළඟදි ආවේ. එයත් තවම ක්‍රිකට් අමතක කරලා නෑ. තුන්වැනියා ස්ටීව් වෝට දැන් අවුරුදු 23ක් වෙනවා. එයා මෙහේ රැකියාවක් කරනවා. නිවාඩු දවස්වල පිට්ටනියේම තමයි ඉන්නේ. හැබැයි පොඩි පුතා ටෝනි ග්‍රෙග් තමයි මේ හැමෝටම වඩා දක්ෂයා. එයා කවදාහරි ශ්‍රී ලංකා ටීම් එකට සෙල්ලම් කිරීම තමයි මගේ එකම හීනය.‘ ඩොමිනික් එසේ කීවේය. එය සැබෑ වන්නේ නම් ටෝනි ග්‍රෙග් නම ඇති ක්‍රීඩකයන් දෙදෙනකු රටවල් දෙකක් නියෝජනය කරන පළමු අවස්ථාව ලෙසත් එය ඉතිහාසගත වනු ඇත.

‘මම වැඩ කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ. මමත් කලින් ක්‍රිකට් ගැහුවා. ඩොමිනික් ක්‍රිකට් ප්ලේයර් කිව්වම හැටන්, නෝර්වුඩ්වල හැමෝම මාව දන්නවා.‘ ඩොමිනික් ඔහු සිය පුතුන්ට ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ නම් තැබුවද, ඔහුගේ ප්‍රියතම ක්‍රීඩකයා නම් අර්ජුන රණතුංග ය. ‘මම වැඩිපුරම කැමති අර්ජුන රණතුංගටයි. අරවින්ද ද සිල්වාට, මුත්තයියා මුරලිදරන්ටත් කැමතියි. මම පොඩි පුතාට ටෝනි ග්‍රෙග්ගේ නම දැම්මේ වයිෆ්ට එයා ලැබෙන්න ඉන්න කාලේ ඉන්දියාවේ මහේන්ද්‍ර සිං දෝනිගේ හෙලිකොප්ටර් ෂොට් එක ගැන ටෝනි ග්‍රෙග් කරන වර්ණනාව අහගෙන ඉඳලයි. එතකොට මට හිතුණා කවදාහරි දවසක මගේ පුතා ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න ඕනා කියලා.

ඩොමිනික්ගේ පවුලේ අපූරු නම් ඇත්තේ පුතුන් සිව්දෙනාට පමණක්ම නොවේ. ඔහුගේ බිරියගේ නම ද දෑස් විසල්වන තරමට අපූරුය. ඇගේ නම ලතා මංගේෂ්කර් ය. ඩොමිනික් කියන්නේ ඒ නම තැබුවේ සිය මාමණ්ඩිය බව ය.‘ඒ කාලේ ලතා මංගේෂ්කර්ලා ලංකාවට ඇවිත් තියෙනවා සින්දු කියන්න. බිරියගේ තාත්තා හින්දු සින්දුවලට හරියට ආසා කරපු කෙනෙක්. ඒ නිසා තමයි එයා දුවට ලතා මංගේෂ්කර් කියලා නම දාලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි ලතාට මල්ලි කෙනෙක් ඉන්නවා එයාගේ නම මුකේෂ්.‘ එය ද අපූරු ය. ඩොමිනික් මේ කියන්නේ කලක් හින්දි සිනමාවේ අතිශය ජනප්‍රිය ගායකයකු වූ මුකේෂ් ගැනය.

හින්දි සිනමාවේ සුපිරි ගායකයකුගේ සහ ගායිකාවකගේ නම් ඇති අක්ක මලෝ දෙදෙනාම නෝර්වුඩ් ගම්මානයේ පදිංචිකරුවෝ වෙති. අතිවිශිෂ්ට ජාත්‍යන්තර ක්‍රීඩකයන් සිව්දෙනකුගේ නම් ඇති පුතුන් සිව්දෙනා නෝර්වුඩ් ගම්මානයට දායාද කරනු ලැබුවේ ලතා මංගේෂ්කර් ය.

 වමේ සිට ස්ටීව් වෝ, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ලැරී ගෝමස් සහ ටෝනි ග්‍රෙග්

වමේ සිට ස්ටීව් වෝ, ඩොනල්ඩ් බ්‍රැඩ්මන්, ලැරී ගෝමස් සහ ටෝනි ග්‍රෙග්

වසර 1928 සිට 1948 දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ටෙස්ට් තරග 52කට ක්‍රීඩා කරමින් පෙරළිකාරයා බවට පත්ව සිටි ශ්‍රේෂ්ඨ පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ජීවිතයෙන් සමුගත්තේ 2001 පෙබරවාරි අගභාගයේදිය. එදායින් පසු ඔහුගේ නම වැඩිපුරම කියැවෙන්නේ නම් ඒ කියැවෙන එකම තැන නෝර්වුඩ් ගමේ ඩොමිනික්ගේ නිවෙස බව නොකියාම බැරිය. බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු පිතිකරු ලැරී ගෝමස් 1976 සිට 1987 අගභාගය දක්වා කාලය තුළ ටෙස්ට් තරග 60කට සහ එක්දින තරග 83කට ක්‍රීඩා කර ඇති විශිෂ්ට ක්‍රීඩකයෙකි. ඔහුට අද වන විට වයස අවුරුදු 70කි. නෝර්වුඩ් ගම්මානයේ ලැරී ගෝමස් නම් මේ වන විට පසුවන්නේ 27 හැවිරිදි වියේ ය. ඩොමිනික්ගේ තුන්වැනි පුත්‍රයාගේ නමෙහි සැබෑ හිමිකාරයා ඔස්ට්‍රේලියාවේ හිටපු නායක 58 හැවිරිදි ස්ටීව් වෝ ය. ඔහු 1985 සිට 2004 දක්වා කාලය තුළ ටෙස්ට් තරග 168කට සහ එක්දින තරග 325කට ක්‍රීඩා කර ඇති අතර, ඔහුගේ නමට හිමිකම් කියන අපූරු සොෆ්ට්බෝල් ක්‍රීඩකයකු ශ්‍රී ලංකාවේ සිටින බව ඔහු දන්නේ නම් විමතියට පත්වනු ඇත. ටෝනි ග්‍රෙග් යනු කවදත් ශ්‍රී ලංකාවට අමතක නොවන නමකි. අනූහයේ ලෝක කුසලානය ශ්‍රී ලංකාව දිනන බවට අනාවැකි පිට අනාවැකි පළ කළ මේ දකුණු අප්‍රිකානු ජාතිකයා නියෝජනය කළේ එංගලන්ත කණ්ඩායම ය. ඔහු 1972 සිට 1977 දක්වා කාලය තුළ ටෙස්ට් තර 58කට සහ එක්දින තරග 22කට ක්‍රීඩා කර ඇති අතර, 2012 දෙසැම්බරයේදී මෙලොවින් සමුගත්තේ 66 හැවිරිදි වියෙහි පසුවෙද්දීය. ඔහු අද ජීවතුන් අතර සිටියේ නම් ඩොමිනික් පවුලේ ටෝනි ග්‍රෙග් මුණ ගැසීමට නෝර්වුඩ් ගම්මානයට යනු සහතිකය. නුවරඑළිය දිස්ත්‍රික්කය පමණක් නොව මධ්‍යම පළාතේ වැඩි අවධානය යොමු වී ඇත්තේ ද ඩොමිනික් පවුලේ බඩපිස්සා ටෝනි ග්‍රෙග්ගේ වේගපන්දුව ගැනය. මේ වන විට 18 හැවිරිදි වියෙහි පසුවන ටෝනි ග්‍රෙග් පැයට කිලෝමීටර් 130ක පමණ වේගයෙන් පන්දු යවන්නෙකි.

‘මම මුලින්ම ඉගෙන ගත්තේ නෝර්වුඩ් දෙමළ ඉස්කෝලේ. ඒත් ඒ ඉස්කෝලේ ක්‍රිකට්වලට කියලා වෙනම පුහුණුකරුවෙක් හිටියේ නෑ. පී.ටී සර් තමයි ක්‍රිකට් පුහුණු කළේ. හාඩ් බෝල් ක්‍රිකට් තිබුණෙත් නැති නිසා පස්සේ කොටගල දෙමළ විද්‍යාලයට ඇතුළත් වුණා. මුලින්ම මම ලෙදර් පන්දුවෙන් පුහුණු වුණේ කොටගල ඉස්කෝලේ ශ්‍රීධරන් සර් යටතේ. සර් තමයි මාව කාවින්ද සර්ට (කාවින්ද ජයසූරිය) යොමු කළේ. කාවින්ද සර් එතකොට නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු විදිහටයි කටයුතු කළේ. ශ්‍රීධරන් සර් කියලා තමයි මම නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් තේරීම්වලට සහභාගි වුණේ. පස්සේ කාවින්ද සර් මම බෝල් කරනවා දැකලා මාව ගත්තා. ඊට පස්සේ දිගටම මාව තියාගෙන පුහුණු කෙරෙව්වා. ඊට පස්සේ තමයි නුවරඑළිය ශුද්ධ වූ ත්‍රිත්ව විදුහලට ඇතුළත් වුණේ. ජනක සර් නුවරඑළිය දිස්ත්‍රික් පුහුණුකරු විදිහට පත්වෙලා ආවට පස්සේ දැන් දිගටම ඒ සර් යටතේ පුහුණුවෙනවා.‘ ටෝනි ග්‍රෙග්ට තවම ඉංග්‍රීසි භාෂාව හෝ සිංහල භාෂාව හසුරුවීමට නොහැකි බැවින් ඔහු ‘සිළුමිණ’ට කතා කළේ දෙමළ බසිනි. ටෝනි ග්‍රෙග්ගේ ලොකුම සිහිනය අවුරුදු 19න් පහළ ජාතික සංචිතයට ක්‍රීඩා කිරීමය. දැනටමත් ඔහු නුවරඑළිය දිස්ත්‍රික් සංචිතයේ සහ මධ්‍යම පළාත් සංචිතයේ ක්‍රීඩකයෙකි.

‘ගිය පාර මම අවුරුදු 17න් පහළ දිස්ත්‍රික් පිලට සෙල්ලම් කළා. මේ පාර 19න් පහළ දිස්ත්‍රික් තරග ඉවර වුණාට පස්සේ පළාත් තරගවලට තෝරා ගනීවි. පුහුණු තරගත් තියේවි. ඒ තරග හොඳට සෙල්ලම් කරන්නයි බලාපොරොත්තුව. මගේ පන්දු යැවීමේ වේගය හොඳ නිසා තමයි මට අවස්ථාව ලැබුණේ. ගිය අවුරුද්ද වෙනකල්ම මම සොෆ්ට්බෝල් ක්‍රිකට් ගැහුවේ. පිතිකරුවන් විශ්ලේෂණය කරන්නේ කොහොමද කියලවත්, ලයින් ඇන්ඩ් ලෙන්ත් පන්දු යවන්නේ කොහොමද කියලවත්, පන්දු රකින්නන් යොදවන්නේ කොහොමද කියලවත් මම කිසිදෙයක් දැනගෙන හිටියේ නෑ. පුහුණු කරන සර්ලා තමයි මේ හැම දෙයක්ම කියලා දුන්නේ.‘ ඔහු සිය පුහුණුකරුවන්ට නොසෑහෙන්න ස්තුති කළේය. කුඩා වියේ සිටම රූපවාහිනියේ ක්‍රිකට් තරග නරඹන ටෝනි ග්‍රෙග්ගේ ප්‍රියතම පන්දු යවන්නා සුරංග ලක්මාල් ය.

නෝර්වුඩ් සිට නුවර එළියට දුර තලවකැලේ සහ නානුඔය හරහා කිලෝමීටර් 50කට ආසන්නය. එබැවින් ටෝනි ග්‍රෙග් දැන් නුවරඑළියේ ම නැවතී සිටී. ඔහු නැවත ගමට පැමිණෙ න්නේ නිවාඩු දිනවල පමණි. එතෙක් ඔහු නුවරඑළිය ශුද්ධවූ ත්‍රිත්ව පාසලේ ක්‍රිකට් පුහුණුකරු ඩේවිඩ් රෙල්ෆ් යටතේ පුහුණුව ලබමින් සිටි. මෙවර නුවරඑළිය ගාමිණි මැදි විදුහල සහ ශුද්ධ වූ ත්‍රිත්ව දෙමළ පාසල අතර මහා ක්‍රිකට් තරගයට ද ඔහු පළමුවරට ක්‍රීඩා කරයි. පුංචි එංගලන්තයේ ක්‍රිකට් ගැටුම ලෙස නම් කර ඇති එම තරගය පැවැත්වෙන්නේ දෙවැනි වතාවටය.

ඩොමිනික් පවුලේ අගහිඟකම් බොහෝ ය. එබැවින් ටෝනි ග්‍රෙග්ට ලෙදර් ක්‍රීඩාවේ පන්දු යැවීමට සුදුසු පාවහන් මුලදී තිබුණේ නැත. ඒවා ලැබුණේ ජාතික ක්‍රිකට් පිලේ වේගපන්දු යවන්නකු වන ළහිරු කුමාරගේ උපකාරයෙනි. එය සම්බන්ධීකරණය කරනු ලැබුවේ මේ වන විට මහනුවර සාන්ත අන්තෝනි විදුහලේ ක්‍රිකට් පුහුණුකරුවා ලෙස කටයුතු කරන කාවින්ද ජයසූරිය විසිනි.

‘ජාතික කණ්ඩායම මෙහේ ආවම අපිව අඬ ගහනවා නෙට් බෝලිං කරන්න. පසුගිය නවසීලන්ත ටුවර් එකට කලින් ජාතික පිල රදැල්ලට ආවා පුහුණුවීම්වලට. එතකොට මම නෙට්බෝලිං කරන්න එහේ ගියා. එතකොට තමයි කාවින්ද සර්ගේ මාර්ගයෙන් ළහිරු කුමාර මට මේ බූට් දෙක තෑගි කළේ.‘ ඔහු එසේ කීවේ ස්තුතිපූර්වකවය.

‘පසුගිය ආසියානු කුසලාන තරගාවලිය පල්ලෙකැලේනේ තිබුණේ. එතකොටත් මාව අඬ ගැහුවා ඉන්දීය පිලට පාකිස්තාන පිලට නෙට්බෝලිං කරන්න. නුවරඑළියෙන්ම මාව විතරයි තෝරගෙන තිබුණේ. එල්පීඑල් තරගාවලියේදිත් මම කොළඹ, යාපනය, ගාල්ල කණ්ඩායම් පල්ලේකැලේ තරගවලට ආවම මම නෙට්බෝලිංවලට ගිහින් තියෙනවා. වතාවක් ඉන්දීය පිලේ සංජු සැම්සන් මා එක්ක කතා කළා.’ ඔහු එසේ කියන්නේ ආඩම්බරයෙනි. ඒ හැර ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම පල්ලෙකැලේ පුහුණුවට පැමිණි අවස්ථාවේදීද ඔහුට ඔවුන් සමඟ පුහුණුවීම් කිරීමට අවස්ථාව ලැබී තිබිණි.‘19න් පහළ ටීම් එකේ වේගපන්දු පුහුණුකරු චමිල ගමගේ සර් මට ගොඩාක් ගුරුහරුකම් දෙනවා.’ ඔහු කීවේය.

“ මාව මේ තත්ත්වයට ගෙනාවට ශ්‍රීධරන් සර්ට, කාවින්ද සර්ට, සෙන්ට්‍රල් කෝච් අමිල පින්නදූව සර්ට, ජනක සර්ට වගේම ජගත් සර්ටත් (නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් ලේකම් ජගත් ජයසුන්දර) ස්තුති කරන්න ඕනා. ඒ වගේම ප්‍රතිබන් සර්ට. එයා නෝර්වුඩ්වල තොණ්ඩමන් ග්‍රවුන්ඩ් එකේ ලෙදර් පුහුණුවීම් කරනවා. ඒ වගේම දැනට ඉගෙන ගන්න ශුද්ධවූ ත්‍රිත්ව විදුහලේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයටත්, පුහුණුකරු ඩේවිඩ් සර්ටත්, මගේ තාත්තාට, අම්මට මගේ අයියලා තුන්දෙනාටත් ස්තුති කරන්න ඕනා මට දෙන සහයෝගයට.‘ ඔහු කීවේය.

ඔහුගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝමීටර් 130ක් විතර වෙනවා 
– නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරු ජනක සෙනෙවිරත්න

මම නුවරඑළියට ඇවිත් තවම මාස 6යි. එතකොටත් ටෝනිගේ හැකියාව ඉහළ මට්ටමක තිබුණා. මෙහේ තියෙනවා නුවරඑළිය ප්‍රිමියර් ලීග් කියලා විස්සයි20 තරගාවලියක්. ඒකෙදි තමයි ටෝනි පොඩ්ඩක් හයිලයිට් වෙලා හිටියේ. හොඳ සොෆ්ට්බෝල් ප්ලේයර් කෙනෙක් විදිහට තමයි හැමෝම ටෝනිව දැනගෙන හිටියේ. අවශ්‍ය මාර්ගය පෙන්වන්න මුලදි කවුරුත් හිටියේ නෑ. කාවින්ද තමයි එයාට ගොඩාක් උදවු කරලා තියෙන්නේ. දැන් නම් ලෙදර් පන්දුවෙන් හොඳින් ක්‍රීඩා කරනවා. හොඳට පුහුණුවීම් කරනවා. අපේ දිස්ත්‍රික් ක්‍රිකට් ලේකම් ජගත් ජයසුන්දර. එයත් ටෝනිට ගොඩාක් උදව් කරනවා. ඇත්තටම මේ තියෙන මට්ටම අනුව හොඳ ගමනක් යන්න ටෝනිට පුළුවනි. දැනටමත් එයාගේ පන්දු යැවීමේ වේගය පැයට කිලෝමීටර් 130ක් විතර වෙනවා. නුවරඑළියේ ටෝනි තමයි ප්‍රධානතම ක්‍රීඩකයා. අවුරුදු 10කට, 15කට විතර පස්සේ නුවරඑළියෙන් 19න් පහළ පළාත් සංචිතයට ඇතුළත් වුණු පළමු ක්‍රීඩකයා. හොඳ විෂන් එකක් තියෙනවා. අපි වුණත් අනිත් ළමයින්ට පුහුණුවීම් කරන කොට ටෝනිව තමයි උදාහරණයට ගන්නේ. ඒ විදිහට වැඩ කරන්න කියලා. ඉස්කෝලෙනුත් එයාව හොඳට බලාගන්නවා.‘ නුවරඑළිය දිස්ත්‍රික් පුහුණුකරු ජනක සෙනෙවිරත්න එසේ කීවේය.

ටෝනිට තව අත්දැකීම් ඕනෑ
– ක්‍රිකට් පුහුණුකරු කාවින්ද ජයසූරිය

“ටෝනි ග්‍රෙග් ගිය අවුරුද්ද වෙනකල් සොෆ්ට්බෝල් ක්‍රිකට් තමයි සෙල්ලම් කරලා තිබුණේ. ශ්‍රීධරන් එයා ගැන මට කියලා මා ගාවට එව්වට පස්සේ මම ටෝනිගේ පන්දු යැවීම නිරීක්ෂණය කළා. හොඳටම හොඳයි. හරියට පුහුණුවීම් කළා නම් හොඳ අනාගතයක් ඇති ක්‍රීඩකයෙක්. තවම තරගකාරී ක්‍රිකට් ගහලා නැති නිසා එයාට තව අත්දැකීම් ඕනා. මම එයාට දිඹුල ක්ලබ් එකේ තරගාවලියක් දුන්නා. එකේදි එයා හොඳින් පන්දු යැව්වා. දිස්ත්‍රික් තරගත් ගැස්සෙව්වා. ශ්‍රී ලංකා ටීම් එක රදැල්ලේ පුහුණුවීම්වලට ආවම මම ළහිරු කුමාරට, නිරෝෂන් දික්වැල්ලට, කුසල් මෙන්ඩිස්ට පුහුණු සැසියක් තිබ්බා. ඒකට ටෝනිලාවත් එකතු කරගත්තා. එයාලා ටෝනිලාට කතා කළා. ඒ වෙලාවේ තමයි ළහිරු කුමාරට මම දැනුම් දීලා එයා රුපියල් පනස්දාහක් විතර වටින බෝලිං බූට් දෙකක් ටෝනිට තෑගි කළේ“ කාවින්ද ජයසූරිය කීවේය.

ඩොමිනික් පවුලේ කුසලාන කැබිනෙට්ටුව

ඩොමිනික් පවුලේ කුසලාන කැබිනෙට්ටුව

 ටෝනි සිය මව ලතා මංගේෂ්කර් සහ පියා ඩොමිනික් ජෝශප් සමඟ

ටෝනි සිය මව ලතා මංගේෂ්කර් සහ පියා ඩොමිනික් ජෝශප් සමඟ

ෆවුස් මොහොමඩ්, ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division