Home » මේ කාලේ නම් එහෙම ආදරයක් නෑ

මේ කාලේ නම් එහෙම ආදරයක් නෑ

by sachintha
May 4, 2024 12:36 am 0 comment

ඔබට මතක නම් මිට පෙර තිරගත වූ වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ රූකඩ පැංචි චිත්‍රපටයේ “රූකඩ පැංචි” ගේ චරිතය නිරූපණය කළ ළමා රංගන ශිල්පිනිය. අද ඇය යොවුන් රංගන ශිල්පිනියක්. “රූකඩ පැංචි” චිත්‍රපටයෙන් පසුව නම් ඇය නිර්මාණ තුළින් දකින්න ලැබුණේ නැහැ. ඒ කොහොම වෙතත් මේ වෙද්දී වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ සොහොයුරන්ගේ නවතම සිනමාපටයේත් ප්‍රධාන චරිතය මවන්නේ කුශේන්‍යා සයුමි ෆොන්සේකා. කුශේන්‍යා කියන්නේ රංගන පරම්පරාවකට හිමිකම් කියන්නියක්. අපේ රටේ නිළි රැජින වන මාලිනී ෆොන්සේකාගේ මිනිබිරියක්. උපතින්ම කලාපවුලක උරුමය ලබන්නට වාසනාවන්ත වූ ඇය ෆොන්සේකා රංගන පරම්පරාවේ තුන්වෙනි පරම්පරාවේ පළමු වැනියායි.


කුශේන්‍යා කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි හොඳින් ගත වෙනවා. මේ දවස්වල නම් මම කැම්පස් යනවා. NIBM එකේ කළමනාකරණ අංශයෙන් ඉගෙන ගන්නවා.

කලාව පැත්තෙන් මොනවද කළේ?

වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ අන්කල්ගේ අලුත්ම චිත්‍රපටයේ රඟපෑවා. ඒ එක්කම සනුක අයියාගේ අලුත්ම මියුසික් වීඩියෝ එකට සම්බන්ධ වුණා.

රූකඩ පැංචි චිත්‍රපටයෙන් පස්සේ නේද චිත්‍රපටයක රඟපෑවේ?

ඔව්. අවුරුදු හයකට විතර පස්සේ.

ෆොන්සේකා පරම්පරා තුනම ඉන්න චිත්‍රපටයක් නේද?

ඔව් ඔව්. ආච්චි (මාලිනී ෆොන්සේකා) සහ ශානි නැන්දත් (සමනලී ෆොන්සේකා) ඉන්නවා.

ඒ ලැබුණු අවස්ථාව ගැන මොකද හිතෙන්නේ?

ඒක හරි විශේෂ අවස්ථාවක්. මම හිතන්නේ නැහැ ඒ වගේ අවස්ථාවක් කාටවත් ලැබෙයි කියලා. ඒ නිසා ඒ ලැබුණු අවස්ථාව ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.

සැබෑ ජීවතේ ආච්චි සහ නැන්දා චිත්‍රපටයේ ඔබේ කවුද?

චිත්‍රපටය තුළ දී මගේ ආච්චි, ආච්චි විදියටම සහ ශානි නැන්දා අම්මා විදියට තමයි ඉන්නේ.

ඒ අය එක්ක රඟපාන්න ලැබුණු එක ලේසි වුණාද?

හරිම ලේසි වුණා. ලොකු සහයෝගයක් ලැබුණා.

කුශේන්‍යාට ලැබුණු චරිතය ගැන කිව්වොත්

හරිම රෆ් චරිතයක්. අම්මා එක්ක රණ්ඩු කරන චරිතයක්.

සැබෑ ජීවිතේ කොයි වගේ චරිතයක් ද?

ඒ ලැබුණු චරිතයට ළඟින් යන චරිතයක් තමයි. මට මේ චරිතය දෙද්දීම අන්කල්ලා කිව්වා ඔයාට රඟපාන්න දෙයක් නැහැ. ඔයා ඉන්නවා වගේම තමයි කියලා.

එතකොට සනුකගේ අලුත්ම සින්දුව ගැන කිව්වොත්?

සනුකගේ අලුත්ම සින්දුව “ඉතින් මම ඉන්නවා”. ඒක මගේ පළමු මියුසික් වීඩියෝ එක. එහි මියුසික් වීඩියෝ එක කළේ චමිල් පතිරණ අන්කල්. ඒ මියුසික් වීඩියෝ එකේ විෂුවල් එකේ හිටියේ මමයි ධනුෂ්ක ඩයස් සහ චන්ද්‍රලේකා පෙරේරා ආන්ටි.

කැම්පස් එකේ දී කට්ටිය ඔයාව හඳුනා ගන්නවද?

නැහැ. තාම කවුරුත් දන්නේ නැහැ. මම ඒ දේවල් කියන්නේත් නැහැ.

දැන් වයස කීයද?

මේ ජුනි මාසෙට මට වයස අවුරුදු 18යි.

මුලින්ම රඟපෑ නිර්මාණය මොකක් ද?

මලිත් හෑගොඩ මාමගේ “දැකලා පුරුදු කෙනෙක්“ චිත්‍රපටයේ. ඊට පස්සේ වෙලඳ දැන්වීම්වලට එහෙම ඉඳලා තියෙනවා.

පුංචි තිරයේ නිර්මාණ භාර ගන්නේ නැද්ද?

එහෙම එකක් නැහැ. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒ ගැන හිතලා බලනවා. වැඩි කැමැත්ත තියෙන්නේ සිනමාවට.

පවුලේ ඉන්නේ කවුද?

මගේ සීයා ආනන්ද ෆොන්සේකා. සීයා නැති වුණා. දැන් ඉන්නෙ මමයි අම්මියි තාත්තියි, ආච්චියි.

පාසල් ගියේ කොහෙද?

කැලණිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට සහ කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයට.

ෆොන්සේකා පවුලේ කෙනෙක් වීම ගැන මොකද හිතන්නෙ

ඒ ගැන නම් ගොඩක් සතුටුයි. ඒ වගේම නිහතමානී ආඩම්බරයක් තියෙනවා.

ෆොන්සේකා පවුලේ නැන්දලා මාමලා එහෙම ගොඩක් ඉන්නවනේ, කාටද වැඩියෙන්ම සමිප?

ඒ ගැන කියලා අනිත් අය තරහා වෙයිද දන්නේ නැහැ. වැඩියෙන්ම සමිප නම් ශානි නැන්දට (සමනලී ෆොන්සේකා)

ආදරේ කියන දේ කොහොමද තේරුම් අරන් ඉන්නේ

මම පවුලේ එකම ළමයා නිසා ආදරේ ගැන හිතනවා වැඩියි. හැබැයි මට අම්මි තාත්ති වගේම පවුලේ හැමෝම ආදරේ නිසා හැමෝගෙන්ම ආදරේ ලබනවා. මමත් ඒ හැමෝටම ආදරෙයි.

පවුලෙන් තොර ආදර කතාවක් තියෙනවද?

මේ කාලේ නම් එහෙම ආදරයක් නැහැ.

අනාගත බලාපොරොත්තු මොනවද?

ඉගෙන ගන්න අංශයෙන් රැකියාවක් කරන ගමන් රඟපාන්නත් බලාපොරොත්තු වෙනවා.

 

අනුෂා රණසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division