Home » ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නෑසූ කතා

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නෑසූ කතා

by sachintha
May 4, 2024 12:35 am 0 comment

ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ අයිපීඑල් යන ඉංග්‍රීසි අකුරු තුනෙන් ක්‍රිකට් ලෝකයම අල්ලේ නටවන මේ ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් උණුසුම මැද්දේ නො ඇසූ කතා බොහෝය. දස්කම් අතර සිටින ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ මුදල් උල්පත ලෙස ඇතැමුන් හඳුන්වන අයිපීඑල් තරග බිම එහෙම පිටින්ම සැණකෙළියකි. මුදල් පමණක් නොව ජනප්‍රියත්වය, කීර්තිය මෙන්ම බොලිවුඩ් තිරයේ ඉටිරූප මෙන් රූමත් නිළියන්ගේ ආකර්ෂණය ද නො අඩුව ලැබෙන පාරාදීසයකි.

 

ප්‍රීටි සින්ටා වැරදීමකින් ගත්තු ක්‍රීඩකයා

මෙවර අයිපීඑල් තරගාවලියේ ක්‍රීඩකයන්ගේ වෙන්දේසිය පැවැතියේ පසුගිය දෙසැම්බරයේදීය. පන්ජාබ් කිංග්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරන බොලිවුඩ් නිළි ප්‍රීටි සින්ටා එදින වැරදීමකින් ක්‍රීඩකයකු මිල දී ගත්තාය. ෂශාන්ක් සිං නමැති මේ ක්‍රීඩකයා අයිපීඑල් පිටියට එහෙම පිටින්ම කෝඩුකාරයෙකි. වෙන්දේසිකාරිනිය මල්ලිකා සේගර් ඔහුට ඉන්දීය රුපියල් ලක්ෂ 20කට මූලික ලංසුව තැබූ විට ප්‍රීටි සින්ටා තම අත තිබු කණ්ඩායම් නාම පුවරුව ඉහළට ඔසවා ඔහුට මිලට ගත් අතර, පසුව එය වැරදීමකින් සිදුවූවාක් බව දැනුම් දුන්නාය. එහෙත් ඒ වෙද්දී ලංසුව ඈවර කර තිබූ බැවින් තීන්දුව ආපස්සට හැරවීම වෙන්දේසිකාරිනිය ප්‍රතික්ෂේප කළාය. ප්‍රීටි සින්ටාගේ පසුතැවිල්ල තරග ගණනාවක් යනතුරු පැවැති අතර, එය මැකී ගියේ ගුජරාට් ටයිටන්ස් පිල සමඟ මුල් දිනවල පැවැති තරගයේදී පන්ජාබ් කිංග්ස් පිලට නොතිබූ ජයක් ගෙන දීමට ෂශාන්ක් සිං සමත් වීම නිසාය.

එදා තරගයේදී මේ කෝඩුකාරයා පන්දු 29කදී නොදැවී ලකුණු 61ක් රැස් කරමින් පන්ජාබ් කිංග්ස් පිල ජයග්‍රහණය දක්වා ඇදගෙන ගියේ ප්‍රීටි සින්ටාගේ සතුට දෙගුණ තෙගුණ කරවමිනි. තරගයෙන් පසු ඔහු හමුවීමට පිටියට පැමිණි ඇය ඔහු සමඟ සෙල්ෆි ඡායාරූපයක් ද ගත්තාය. ඉන් නොනැවතී සිය ඉන්ස්ටර්ග්‍රෑම් පිටුවෙහි මෙසේ සටහන් තැබුවාය.

‘අද මගේ ජිවිතයේ සතුටුම දවසක්. අන්තිමේදී මගේ තීරණය නිවැරැදි බව ශෂාන්ක් ඔප්පු කළා. විශ්වාසය තබා මිල දී ගත්තු බොහෝ ක්‍රීඩකයන් පසුබට වෙද්දී අවිශ්වාසයෙන් යුතුව කණ්ඩායමට එකතු වුණු ශෂාන්ක් අද අපිට ජයගෙන දුන්නා. ඔහු සැබෑ වීරයෙක්. ස්තූතියි කොල්ලෝ..!‘

සාරාට පිටුපෑ ෂුබ්මාන්ගේ ස්පාඤ්ඤ පෙම්වතිය

ගුජරාට් ටයිටන්ස් පිලේ පිතිහරඹ තුරුම්පුව ෂුබ්මාන් ගිල් ය. මේ කඩවසම් ඉලන්දාරියා අයිපීඑල් පිටියේ සිහින කුමරාය. ඔහු ඉන්දියාවේ නිල නොලත් දෙවියා වන සචින් තෙන්ඩුල්කර්ගේ එකම දියණිය සාරාගේ පෙම්වතා බව කවුරුත් කියති. එසේ වුවත් යන යන තැන ඔහුට සුරූපි තරුණියන්ගේ ආකර්ෂණයෙන් නම් අඩුවක් නැත. ෂුබ්මාන් සහ සාරා වටා ගෙතුණු කට කතා ඕපාදූප ඉන්දීය ක්‍රීඩාලෝලීන් පසුගිය කාලයේ කියැවූයේ පැල්බැඳගෙනය. දෙදෙනාගේ රහස් ප්‍රේමය ගැන කියැවෙන සමාජ මාධ්‍යජාලා වීඩියෝ දර්ශන නැරඹූයේ දෑස් විසල් කරගෙනය.

එහෙත් වෙනදාට ෂුබ්මාන් ක්‍රීඩා කරන අයුරු දැක බලා ගැනීමට පැමිණෙන සචින්ගේ දියණිය මෙවර අයිපීඑල් තරගාවලියේදී නම් කාගෙත් ඇස ගැටුණේ නැත. ඒ වෙනුවට සිටියේ ෂුබ්මාන්ගේ හයේ පහරට සහ හතරේ පහරට අත්පොළොසන් දෙන විදේශීය තරුණියකි. මුල සිටම අවධානයෙන් සිටි ඔහුගේ ක්‍රීඩාලෝලීන්ට මේ සුරූපි යුවතිය ගැන සොයා ගැනීමට වැඩි කාලයක් ගත වූයේ ද නැත. ඊළඟට අන්තර්ජාලය පිරී ගියේ ෂුබ්මාන් ගිල්ගේ අලුත්ම පෙම්වතිය ගැන තොරතුරුවලිනි. මේ ස්පාඤ්ඤ යුවතිය මරියා අරෝයෝග් ය. ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම සොයා බැලූ ක්‍රීඩාලෝලීන්ට සොයා ගත හැකි වූ තවත් අපූරු කාරණාවක් වූයේ ඇය ෂුබ්මාන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමෙහි මිතුරියක බවය. මරියාගේ පෙමට වසඟ වී ෂුබ්මාන් සිය පැරැණි පෙම්වතිය අමතක කර දැමූ බව සඳහන් කරමින් ඔහුගේ ක්‍රීඩාලෝලීන් දැන් සමාජ මාධ්‍යජාලයේ චෝදනා පිට චෝදනා එල්ල කරමින් සිටී. එහෙත් සාරා තෙන්ඩුල්කාර්ගේ පෙම් පළහිලව්ව මෙන්ම මරියාගේ ප්‍රේමය ගැනත් ෂුබ්මාන්ගෙන් වචනයක් ගැනීම ඔහුගේ කඩුල්ල දවාගැනීම තරම් දුෂ්කර බව කවුරුත් කියති.

අකුරු හතේ වීරයා

තමිල්නාඩුවේ වීරයා මහේන්ද්‍ර සිං දෝනිය. ඔහුගේ ප්‍රතිරූපය කොලිවුඩ් සිනමාවේ සුපිරි විරයා රජිනිකාන්ත් පවා අබිබවා යන්නකි. කවදත් අංක 7 ක්‍රීඩා ජර්සිය ඇඳ තමන්ටම ආවේනික ‘හෙලිකොප්ටර්‘ පහරින් ක්‍රීඩාලෝලීන් අමන්දානන්දයටත්, ප්‍රතිවාදී පන්දු යවන්නන් භීතියටත් පත් කරන එම්එස් දෝනි චෙන්නායි සුපර් කිංග්ස් පිලටත්, කෝටි සංඛ්‍යාත ක්‍රීඩාලෝලීන් අතරත් ප්‍රකට වී ඇත්තේ ‘තලේවර්‘ නමිනි. එහි තේරුම ‘ලොක්කා‘ ය. සමහරු ඔහු අමතන්නේ ‘තලා‘ නමිනි. තවත් සමහරු ‘ලකී සෙවන් දෝනි‘ කියති. තමිල්නාඩු ජනතාව දේවත්වයෙන් පුදන තමිල්නාඩු ප්‍රේක්ෂකයන් ඔහු පිතිහරඹයට පිවිසෙන තුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි.

ඊයේ පෙරේදා චෙන්නායි සුපර් කිංග්ස් සහ සන්රයිස් හයිද්‍රබාද් පිල අතර පැවැති තරගය අතරතුර අපූරු බැනරයක් ක්‍රීඩාලෝලින් අතර ප්‍රදර්ශනය විය. එහි මෙසේ සඳහන් විය.

‘මම පෙම්වතිය අතහැරියා. මොකද එයාගේ නමට අකුරු 7ක් නැහැ.‘

මතීෂට අලුත් නමක්

මතීෂ පතිරණ දැන් තමිල්නාඩුවේ සුපිරි තරුවකි. චෙන්නායි සුපර් කිංග්ස් පිලට ක්‍රීඩා කරන මේ 21 හැවිරිදි තරුණයා වැඩිපුර ජනප්‍රිය ශ්‍රී ලංකාවේ නොව තමිල්නාඩුවේ ය. ඔහු මෙවර අයිපීඑල් තරගාවලියේ මෙතෙක් කඩුලු 13ක් දවාලමින් වැඩිම කඩුලුලාභීන් අතර සිව්වැනි තැන සිටින අතර, තමිල්නාඩුවේ ක්‍රීඩාලෝලීන් කියන්නේ ඔහු තීරණාත්මක ඕවරවලදී චෙන්නායි පිලේ ‘බර අවිය‘ බව ය. ඔහුගෙන් පෙන්නුම් කෙරෙන්නේ චෙන්නායි පිලේ සෑම තරගයකදීම ක්‍රීඩාලෝලින්ට කාලයක් යනතුරු මතකයේ රැඳෙන ආකාරයේ පන්දු යැවීමකි. ක්‍රීඩාලෝලීන්ගේ වැඩි කැමැත්ත ඔහු කඩුල්ලක් දවාගැනීමෙන් පසු එය සමරන ආකාරය දැක බලා ගැනීමටය. අතැඟිලි එකට බැඳ ළැම මත තබාගෙන ඔහු දෑස් පියා මොහොතක් හිස් අහස දෙස බලන අතර, ඊළඟ ඇසිල්ලේ කෙනකුට දිස්වන්නේ ඔහුගේ අඩක් වැසුණු දෑසෙහි සුදු පැහැය පමණි. එය පිතිකරුවන්ට බිය ගෙන දෙන දසුනකි. එය සුපිරි පාපන්දු තරුව ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ගෝලයක් වාර්තා කිරීමෙන් පසු සතුට සමරන අයුරුය.

මුම්බායි පිල සමඟ පසුගියදා පැවැති තරගයේදී ඔහු කඩුලු 4ක් දවාලමින් තරගයේ වීරයා සම්මානය දිනාගැනීමෙන් පසු ඔහුගේ කණ්ඩායමේ ශිවම් ඩුබේ ඔහුට අලුත් නමක් පට බැන්දේය. අන්ඩර්ටේකර්…! රෙස්ලිං ක්‍රීඩාවේ භීතිය දනවන සුලු ක්‍රීඩකයා ඔහුය. ඔහුද ප්‍රතිවාදියා බිය ගන්වන්නේ එවැනි බැල්මකිනි.

‘නෑ… නෑ.. මං අන්ඩර්ටේකර් නෙවෙයි. මම රොනල්ඩෝව ෆලෝ කරන්නේ. එයා වගේම ප්‍රීතිය සමරන්න මම ඇස්දෙක වහගන්න හැදුවට ඒක වෙන්නේ භාගෙට.‘ මතීෂ ක්‍රීඩකයන්ගේ විවේකාගාරයේදී එසේ කියද්දී ශිවම් ඩුබේ මෙසේ කීවේය.

‘අන්න ඒකයි ඔයා දැන් රොනල්ඩෝ නෙවෙයි ‘අන්ඩර්ටේකර්‘ වෙලා කියලා මම කියන්නේ..‘ ඩුබේ එසේ කීවේ සෙසු සගයන්ගේ සිනහ හඬ මැදය.

 

ෆවුස් මොහොමඩ්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division