Home » යුග යුග ජන හද බැඳි සරසවි සම්මාන බුහුමන් ලැබූ මාලිනිය

යුග යුග ජන හද බැඳි සරසවි සම්මාන බුහුමන් ලැබූ මාලිනිය

by Mahesh Lakehouse
April 13, 2024 12:30 am 0 comment
නන්දා මාලි­නිය පළමු සර­සවි සම්මාන උලෙළේ (1964)දී මුල්වරට සර­සවි සම්මා­නය ලබා­ගත් අයුරු

– ආචාර්ය නන්දා මාලිනී පළමු වරට සරසවි සම්මානය දිනා ගත්තේ 1964 පැවති පළමු සරසවි සම්මාන උලෙළේදී ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය වෙනුවෙනි
– මේ දක්වා සරසවිය සම්මාන 13ක් සහ ජනාධිපති සිනමා සම්මාන 11ක් ඇය දිනාගෙන ඇත

හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය වූ සරසවිය සම්මාන උලෙළ ඉකුත් මාර්තු 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වනු ලැබුවේ 35 වැනි වරටය. තරු පිරිවරාගත් ඒ සම්මාන රාත්‍රියේ විචිත්‍රවත් දසුන් අතර රැස්ව සිටි බොහෝ දෙනකුගේ හදවත සංවේදී කළ සිදුවීමක් ද විය.

2023 ජනා­ධි­පති සිනමා සම්මාන උලෙ­ළේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ විසින් ආචාර්ය නන්දා මාලි­නිට සම්මා­නය පිරි­නැමූ අයුරු. මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන සහ ජන­මාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර ද ඡායා­රූ­පයේ වෙති.

2023 ජනා­ධි­පති සිනමා සම්මාන උලෙ­ළේදී ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ විසින් ආචාර්ය නන්දා මාලි­නිට සම්මා­නය පිරි­නැමූ අයුරු. මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන සහ ජන­මාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර ද ඡායා­රූ­පයේ වෙති.

2020 වසරේ හොඳම ගායිකාවගේ නම ප්‍රකාශයට පත්වීමත් සමඟ සම්මාන ප්‍රදානයට එක්ව සිටි ප්‍රවීණ රංගන ශිල්පිනී, කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය ඇමැතිනි ගීතා කුමාරසිංහ වේදිකාවෙන් බැස ප්‍රේක්ෂකාගාරය වෙත පිය මැන්නාය. ඇය සමඟ සම්මාන උලෙළට එක්ව සිටි ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සහ ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් ප්‍රමුඛ ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලය ද විය. ගීතා කුමාරසිංහ නතර වූයේ ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගෙන සිටි ආචාර්ය විශාරද නන්දා මාලිනී අසලය. ඒ වනවිටත් සිය අසුන්වලින් නැඟී සිටි ප්‍රේක්ෂකාගාරයේ සියලු දෙනාගේ අත්පොළසන් හඬ මධ්‍ය යේ ගීතා කුමාරසිංහ නන්දා මාලිනිය වෙත ඇයට හිමි සම්මානය පිරිනැමුවාය. ඒ හරසර අබියස දිදුලන දෑසින් සහ මදහසින් නන්දා මාලිනියගේ වත ප්‍රභාවත් වෙද්දී රංගන ශිල්පිනී ගීතා කුමාරසිංහ සිය ජ්‍යෙෂ්ඨ කලාකාරිනියට උපහාරය පළ කළේ ඇයගේ දෙපා නමදිමිනි. ඒ හැඟීම්බර මොහොතේ කඳුළු නැඟුණේ ගීතා කුමාරසිංහගේ දෙනෙතට පමණක් නොවේ. පිදිය යුත්තන් පුදන්නට මැළි නොවන සෑම අයකුගේම නෙතට තුටු කඳුළක් නැඟුණේ නන්දා මාලිනිය යනු රටටම අයිති කලාකාරිනියක බව බොහෝ දෙනාගේ පිළිගැනීම නිසාය. එදා සිට අද දක්වා දශක ගණනාවක් තිස්සේ දුගී පැල්පතේ සිට මහ මැඳුරු දක්වාම ඇයගේ ගී හඬ නින්නාද වන්නේ එබැවිනි.

ආචාර්ය නන්දා මාලිනියට මෙවර හොඳම ගායිකාවට හිමි සරසවි සම්මානය හිමි වූයේ 2020 වසරේ තිරගත වූ ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටයේ “දොළේ දියත් නැති විය නුඹ නාවන්න”ගීතය වෙනුවෙනි. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් පබැඳූ ගයාත්‍රි කේමදාස විසින් සංගීතවත් කළ එම ගීතය ඇතුළත් ‘ද නිවුස්පේපර්’ චිත්‍රපටය ද එම සම්මාන රාත්‍රියේදී සම්මානිත වූයේ 2020 හොඳම චිත්‍රපටයට හිමි සම්මානය දිනා ගනිමිනි. එම චිත්‍රපටයේ නිෂ්පාදක ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධනයන් ද ඒ අවස්ථාවේදී ආචාර්ය නන්දා මාලිනියට සිය සුබපැතුම් පිරිනැමුවේය.

ආචාර්ය නන්දා මාලිනී සහ සරසවි සම්මාන උලෙළ අතර ඇත්තේ අපූරු සම්බන්ධයකි. ඇය පළමු වරට සරසවි සම්මානයක් දිනා ගත්තේ 1964 වසරේ මැයි 9 වැනිදා කොළඹ අශෝක සිනමා ශාලාවේ පැවැති පළමු සරසවි සම්මාන උලෙළේදීය. ඒ, රන්මුතු දූව චිත්‍රපටය වෙනුවෙන් ගැයූ “ගලන ගඟකි ජීවිතේ” ගීතය වෙනුවෙනි. එතැන් සිට වරින්වර සරසවි සම්මාන කිහිපයකටම හිමිකම් කියන්නට නන්දා මාලිනිය සමත් වූවාය. 1966දී සාරවිට චිත්‍රපටයේ මේ සිංහල අපගෙ රටයි ගීතය වෙනුවෙන්, 1968දී සැඩොල් කඳුළ චිත්‍රපටයේ දස මස කුස දරා ගීතය වෙනුවෙන්, 1969දී ආදරවන්තයෝ චිත්‍රපටයේ පිංචි පුංචි පැංචි ගීතය වෙනුවෙන්, 1980දී මොනරතැන්න චිත්‍රපටයේ හඳ හාවුන් හඳේ ගීතය වෙනුවෙන්, 1981දී සිරිබෝ අයියා චිත්‍රපටයේ ගායනය වෙනුවෙන්, 1982දී වජිරා චිත්‍රපටයේ දෙනෝ දාහක් නුවන් අතරේ ගීතය වෙනුවෙන්, 1983දී යස ඉසුරු චිත්‍රපටයේ අම්මාවරුනේ ගීතය වෙනුවෙන්, 1991දී පෙම්රජ දහන චිත්‍රපටයේ අහසින් බසින් ගීතය වෙනුවෙන්, 1995දී අඹුසැමියෝ චිත්‍රපටයේ ඉවුරු බිඳුණු ගංතලාව ගීතය වෙනුවෙන්, 2003දී සුදු සෙවණැලි චිත්‍රපටයේ වැලපෙව නව රැසියනේ ගීතය වෙනුවෙන් සහ 2004දී ඉරැස්මා චිත්‍රපටයේ ගායනය වෙනුවෙන් ද දිනාගත් සරසවි සම්මානය ද සමඟ මේ වන විට ඇය දිනාගෙන ඇති සමස්ත සරසවි සම්මාන සංඛ්‍යාව 13කි.

ආචාර්ය නන්දා මාලිනිය ජනාධිපති සම්මාන 11කින් ද පිදුම් ලබා ඇති අතර, වසර 2023 නොවැම්බර් 14 වැනිදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී 2020 වසරේ හොඳම පසුබිම් ගායිකාව ලෙස සම්මානිත වූවාය. ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ප්‍රේක්ෂකාගාරයේ අසුන් ගෙන සිටි නන්දා මාලිනිය අසලටම ගොස් සම්මානය පිරිනමනු ලැබුවේ සියලු දෙනා විස්මයට පත්කරමිනි. ඒ අවස්ථාවේදීද ප්‍රේක්ෂකාගාරයේ සිටි සියලු දෙනා අසුන්වලින් නැඟිට අත්පොළසන් දෙමින් ඇය වෙත හරසර පුද කළහ. එදා එම සම්මාන උලෙළේ සහෘද අමාන්ත්‍රණය සිදු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුද හෙට්ටි සිය මුහුණුපොතේ සටහනකින් පවසා තිබුණේ ජනාධිපති සම්මාන ඉතිහාසයේ පළමු වරට හොඳම ගායිකාවට ජනාධිපතිවරයා අතින් සම්මානයක් පිරිනැමූ පළමු අවස්ථාව එය බවය. එදා ජනාධිපතිවරයා සභාවටම ඇසෙන්නට මෙසේ ද පැවසුවේය.

“1963 සරසවි සම්මාන උලෙළේ එතුමිය මුල්ම සම්මානය ගනිද්දි මම එතැන හිටියා. අද අවුරුදු 60කට පස්සේ මට එතුමියට සම්මානයක් දෙන්න ලැබුණා.”

ප්‍රවීණ කලා­කා­රිනී ගීතා කුමා­ර­සිංහ විසින් ආචාර්ය නන්දා මාලි­නි­යට හොඳම ගායි­කා­වට හිමි සර­සවි සම්මා­නය පිරි­නැමූ අව­ස්ථාව. ඇයට සම්මාන හිමිවූ ගීතය ඇතු­ළත් 'ද නිවු­ස්පේ­පර්' චිත්‍ර­ප­ටයේ නිෂ්පා­දක, මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන ද මෙහි වේ

ප්‍රවීණ කලා­කා­රිනී ගීතා කුමා­ර­සිංහ විසින් ආචාර්ය නන්දා මාලි­නි­යට හොඳම ගායි­කා­වට හිමි සර­සවි සම්මා­නය පිරි­නැමූ අව­ස්ථාව. ඇයට සම්මාන හිමිවූ ගීතය ඇතු­ළත් ‘ද නිවු­ස්පේ­පර්’ චිත්‍ර­ප­ටයේ නිෂ්පා­දක, මහා­මාර්ග හා ජන­මාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන ද මෙහි වේ

ආචාර්ය නන්දා මාලිනි පළමු වරට ජනාධිපති සම්මානයක් හිමි වූයේ 1980දී මොණරතැන්න චිත්‍රපටයට ගැයූ හඳ හාවුන් හඳේ ගීතය වෙනුවෙනි. අනතුරුව 1981දී සිරිබෝ අයියා චිත්‍රපටයේ කවි ගායනය වෙනුවෙන්, 1982දී සතර පෙර නිමිති චිත්‍රපටයේ ගී පොතේ ගීතය වෙනුවෙන්, 1983දී යස ඉසුරු චිත්‍රපටයේ අම්මාවරුනේ ගීතය වෙනුවෙන්, 1984දී සිවුරඟ සේනා චිත්‍රපටයේ වැස්‌ස වැටී මිදුලේ ගීතය වෙනුවෙන්, 1987දී පූජා චිත්‍රපටයේ බුදු බව පතනා ගීතය වෙනුවෙන්, 1998 රාගිනි චිත්‍රපටයේ සඳින් සොමි ගෙන ගීතය වෙනුවෙන්, 1999දී පාදඩයා චිත්‍රපටයේ නොපෙනෙන දෙනෙතට ගීතය වෙනුවෙන්, 2003 සීතල ගිනි කඳු චිත්‍රපටයේ භව තෘෂ්ණා ගීතය වෙනුවෙන් සහ 2005 ඉරැස්‌මා චිත්‍රපටයේ උදේ හිරු ගීතය වෙනුවෙන් දක්‍ෂතම ගායිකාව සඳහා වූ සම්මාන දිනා ගනිමින් ජනාධිපති සම්මාන ඉතිහාසයේ වැඩිම ජනාධිපති සම්මාන දිනාගත් ගායිකාව බවට ද පත්ව සිටින්නීය. ඇතැම් වර්ෂවල එකම ගීතය වෙනුවෙන් ජනාධිපති සම්මානය සහ සරසවි සම්මානය යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබීමට භාග්‍යවන්ත වූ ආචාර්ය නන්දා මාලිනියගේ සම්මාන රාක්කයට එකතු වී ඇති සෙසු සම්මාන ද රාශියකි.

1990, 1994 සහ 1995 වර්ෂවල ස්‌වර්ණ සංඛ සම්මාන, 1999දී සුමති ටෙලි සම්මානය, 200දී සිග්නීස්‌ ටෙලි සම්මානය, 2007 සුමති සම්මාන උලෙළේදී කලාකරුවකුට ජීවිතයේ එක්‌ වරක්‌ පමණක්‌ පිදෙන යූ. ඩබ්ලිව්. සුමතිපාල සම්මානය, 2007දී ද රයිගම් ටෙලි සම්මාන උළෙලේදී කලාකරුවකුට ජීවිතයේ එක්‌ වරක්‌ පමණක්‌ පිදෙන රයිගම් ටෙලි සම්මානය සහ 1972දී ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගායිකාව ලෙස දීපශිඛා සම්මානය දිනූ ආචාර්ය නන්දි මාලිනි 2007, 2008 සහ 2010, 2011, 2012, 2013, 2014, 2015 සහ 2017 යන වසරවලදී දිවයිනේ ජනප්‍රියම ගායිකාවට වාර්ෂිකව පිදෙන ස්‌ලිම් නීල්සන් එවෝර්ඩ්ස්‌ (ජනතා සම්මානය) දිනා ගත්තාය. ඊට අමතරව විද්‍ය ුත් සහ මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහයෙන් සහ විවිධ ආයතන, සංවිධාන විසින් ඇය වෙත පිරිනැමූ සම්මාන ද බොහෝය. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විසින් 2017 ඔක්තෝබර් 06 වැනිදා නන්දා මාලිනියට ආචාර්ය උපාධියෙන් බුහුමන් දැක්වූ අතර, මෙරට ගායිකාවක විශ්වවිද්‍යාලයකින් ගෞරව ආචාර්ය උපාධියක්‌ ලැබූ පළමු අවස්ථාව ද වේ.

ඒ සියලු සම්මානවලට වඩා නන්දා මාලිනිය ජන හද දිනා ගත්තේ මහපොළොවේ යථාර්ථයත් පීඩිත පන්තියේ ජනතාවගේ හදවතේ රිද්මය හඳුනාගත් ගායිකාව ලෙසටය. සම්මාන පිට සම්මාන දිනුවද ඇය ඒ සියලු ජයග්‍රහණ විඳ ගන්නේ සමබර සිතිනි. ඉකුත් දා සරසවි සම්මානයට පාත්‍ර වූ අවස්ථාවේදී ද ඇය ඒ බුහුමන් විඳ ගත්තේ බොහෝ නිහතමානීව බව නන්දා මාලිනියගේ දියණියෝ වන වරුණි සහ අමා පැවසූහ. තරුණ පරපුරේ ගායන ශිල්පිනියන් අතර තවමත් ඇයගේ හඬ තරුණය. ඊට හේතුව නන්දා මාලිනියටම ආවේණික හඬ පෞරුෂය සහ සුලලිත බවය. එනිසාම පරම්පරා දෙක තුනක රසික හදවත් අදටත් ඒ හඬට ඇලුම් කරති. ප්‍රේමයේ චමත්කාරය සහ විරහව රහට ගැයූ නන්දා මාලිනිය සමාජයේ තිත්ත ඇත්ත ගැන ගයන්නට ද බිය නොවූවාය. ජීවිතයේ කටුක බව සහ අභියෝග තුළින් තමා විශ්වවිද්‍යාලයකින් නොලත් ජීවිත පන්නරයක් ලැබූ බව ඇය නිතර පවසන්නීය.

අලුත්ගම ලෙවන්දූවේදී 1943 වසරේ අගෝස්තු 23 වැනිදා උපන් නන්දා මාලිනි දරුවන් නව දෙනකුගෙන් යුතු පවුලක සිවුවැන්නාය. මව ලියනගේ එමිලින් ගෘහණියකි. පියා වින්සන්ට් පෙරේරා ටේලර්වරයෙකි. දරිද්‍රතාව නමැති කටු අකුලේ පිපුණද අපූරු ගායන හැකියාවක් දෙවියන් ඇයට තිළිණ කර තිබිණ. කොටහේන ශ්‍රී ගුණානන්ද විදුහලේ ඉගෙන ගනිමින් සිටි කවි, ගීත හරි අපූරුවට ගයන පුංචි කෙල්ලට ඒ මඟ ඔස්සේ පැහැබර අනාගතයක් තැනිය හැකි බව මුලින්ම හැඟුණේ පන්තිභාර ගුරුවරිය වූ මාග්‍රට් පෙරේරාටය. එවකට දස හැවිරිදි තමාට අලුත් ගවුමක්, සපත්තු ජෝඩුවක් අරන් දී ගුවන්විදුලි සංස්ථාවට කැඳවාගෙන ගොස් ළමා පිටිය වැඩසටහන කළ කරුණාරත්න අබේසේකරයන්ට භාර දුන් ඒ මවුවත් ගුරුවරියට නන්දා මාලිනිය අද ද පින් දෙන්නීය. දස හැවිරිදි නන්දා මාලිනි දැරිය ගැයූ “බුදු සාදු” ගීතය බොහෝ දෙනකුගේ මුවග මිමිණෙන ගීතයක් බවට පත්වූ අතර සඳුන් ගසක්, සමන් වැලක් මෙන් සිය මධුර හඬින් ලාංකේය ගී කෙත සුවඳ කරන්නට ඇයට මඟ විවර වූයේ ඉන් අනතුරුවය.

ළමා පිටියේ නිර්මාණවලට දායක වෙමින් සිටි ඇයට මඩවල එස්. රත්නායක, විමල් අභයසුන්දර, ඩබ්. ඩී. අමරදේව, මහගමසේකර වැනි ප්‍රවීණ කලාකරුවන්ගේ වැඩසටහන්වලට දායක වීමට ද අවස්ථාව ලැබිණ. 1962දී ආචාර්ය අමරදේවයන් ප්‍රථම සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙරට පළමු වර්ණ චිත්‍රපටය රන්මුතු දූව චිත්‍රපටයට “ගලන ගඟකි ජීවිතේ“ ගීතය ගැයීමට ලැබීම නන්දා මාලිනියගේ ගායන දිවියට රන්මුතු දෝතක්ම විය. පණ්ඩිත් අමරදේවයන්ගේ මධුවන්තී වැඩසටහන සඳහා ගායනා කළ ”සන්නාලියනේ” සහ ”රන් දහදිය බින්දු බින්දු” යන ගීත තුළින් රසික හදවතට ආමන්ත්‍රණය කළ නන්දා මාලිනිය පණ්ඩිත් අමරදේවයන් සහ බී.වික්ටර් පෙරේරා යන ප්‍රවීණ සංගීතඥයන්ගෙන් සංගීතය හදාරා ඉන්දියාවේ භාත්කණ්ඩ විශ්වවිද්‍යාලයෙන් සංගීත ඩිප්ලෝමාවත් පසුව විශාරද උපාධියත් ලැබුවාය. මෙරට ප්‍රථම සංගීත අධ්‍යක්ෂවරිය ලෙස ද වාර්තාවක් තැබූ ඇය “සකුරා මල් පිපිලා” ඇතුළු ගීත රැසකට මනහර තනු සහ සංගීත නිර්මාණය කළාය.

ආචාර්ය නන්දා මාලිනියන්ගේ ගායන හැකියාව විශිෂ්ට වන්නේ කුමන තේමාවක් ඔස්සේ ගැයෙන ගීයක වුවද මධුර මනෝහර බව එක ලෙසම පවත්වා ගන්නට ඇය සතු අද්විතීය කුසලතාව නිසාය. සුන්දර ප්‍රේමය ගැන මනරම් හැඟුම් මවමින් ගයන ඇයම මහපොළොවේ අත්දකින කටුක සත්‍යයන් පිළිබඳ ගයන්නේ රසික හද නොපාරවා නොරිදවාය. ඇයගේ ගී එකතුව තුළ ආදර ගීත, ආගමික ගීත, ළමා ගීත, සමාජ ශෝධක ගීත සහ විකල්ප ධාරාවේ ගීත රැසක්ම වේ. විදෙස් රටවල් රැසක ද ගී ප්‍රසංග රැසක් පවත්වා ඇති නන්දා මාලිනියගේ ඒක පුද්ගල ප්‍රසංග අතර වඩාත් සුවිශේෂී වන්නේ ‘පවන’ ප්‍රසංගයයි. ප්‍රේමය, විරහව වැනි සුලබ තේමාවල ගීතවලට පමණක් ලඝු නොවූ එම ප්‍රසංගය එකල ශ්‍රී ලාංකිකයන් අත් විඳිමින් තිබූ භීෂණය, දූෂණය, සමාජ අසාධාරණය, මර්දනය පිළිබඳ කියැවෙන ගීවලින් සමන්විත විය.

“පවන ප්‍රසංගය කළේ මරණය අතේ තියාගෙන. අන්තිමට ජීවිතේ බේරගන්න ඉන්දියාවට ගියා. වන්දනා නඩ අපිට කන්න බොන්න දුන්නා. අඩයාර් නගරයේ හිටපු කාලේ ද්‍රවිඩ ජන ගායනා ඉගෙන ගත්තා. ලංකාවට ඇවිත් දෙමළ ජන ගී සංගීත තැටියක් කළා. මට අවශ්‍ය වුණේ දෙමළ ජනතාව එක්ක මිත්‍රත්වය අවශ්‍ය බව ඒත්තු ගන්වන්න. කොටහේනෙ ජීවත් වෙද්දි ජාතීන් අතර සහජීවනය මම හොඳින් අත්වින්දා. සමහර අය අහනවා මගේ ගීත කලාව වෙනස් වුණේ ඇයි, ඇඳුම සරල වුණේ ඇයි කියලා. පන්ති පරතරය, උස්පහත් භේදය, උගත්කමට සැලකුමක් නැතිකමින් දුක් විඳින මිනිස්සු වගේම කන්න නැතිව දුක් විඳින මිනිස්සු මම දැක්කා. ගීතය කියන්නේ මිනිස්සුන් හදවතින් විඳින දෙයක්. මගේ ගීත මිනිසුන්ගේ හදවතට දැනුණේ මගේ හැම නිර්මාණයකදීම එයින් කියැවෙන හැඟීම් එක්ක මමත් ඒකාත්මික වීම නිසා විය හැකියි”

ගුවන් විදුලි, චිත්‍රපට, වේදිකා සහ ටෙලිනාට්‍ය තේමා ගී සහ පසුබිම් ගායනයෙන් ද රසික හදවත් ස්පර්ශ කළ නන්දා මාලිනිය 1974 දී සිය ප්‍රථම කැසට් පටය නිකුත් කළ අතර මේ වන විට ඇය විසින් නිකුත් කර ඇති කැසට් පට සහ සංයුක්ත තැටි රැසකි. මේ වන විට ජීවන ගමනේ අසූ වැනි කඩඉම ගෙවමින් සිටිය ද එය වියපත් නොවන හඬකි. කොතෙක් සම්මාන, ගරු බුහුමන් ලැබුවද මෝරන්නට මෝරන්නට බිමට නැවෙන උණ පඳුරක් මෙන් ඇය නිහතමානීය; අව්‍යාජය. හැමදාමත් අප දකින ශ්වේත පැහැ චාම් ඔසරියත් කරලකට ගෙතූ කොණ්ඩයත් බාහිර සරලකම පෙන්වද්දී ඇයගේ ඇතුළාන්ත සරල බව ප්‍රකට වන්නේ කිහිප වරක්ම ප්‍රසිද්ධ සභ මාධ්‍ය හමුවේ ඇය විසින් සිදු කළ අතීතාවර්ජන තුළිනි. ජීවිතයෙන් උගත් පාඩම් සහ අත්දැකීම් තුළින් තමා ලෝකය දිනූ බව ඇය පවසන්නීය.

“මගේ ජීවිත කතාව, මේ දක්වා ආව ගමන ගැන කියන්න මම ලැජ්ජා වෙන්නෙ නැහැ. මුල් කාලයේදී දරිද්‍රතාවයෙන් අප්‍රමාණව බැටකෑවත් එයින් මම විශාල පන්නරයක් ලැබුවා. ඒ කාලේ ගුවන්විදුලියේ තිබුණු ගායනා තරගයක පළමු වැනියා විදිහට මම තේරුණා. දෙවැනියා වුණේ වික්ටර් රත්නායක. මට බොම්බායට යන්න ටිකට් එකක් ලැබුණා. මම තාත්තට කිවුවා මම බොම්බායට ගිහින් මොනව කරන්න ද? අපි ගිහින් සල්ලි ඉල්ල ගමු කියලා. තාත්තත් එක්ක මම කොටුවේ ඔරලෝසු කණුව ළඟ තිබුණ ගුවන් ටිකට් ආයතනයට ගිහින් කිව්වා මට ටිකට් එක එපා, පුළුවන් නම් සල්ලි දෙන්න කියලා. එයාලා සල්ලි දුන්නා. තාත්තා දුම් වැදි වැදි අඟුරු දාන ඉස්ත්‍රික්කයෙන් ඇඳුම් මදින එක මගෙ හිතට දුකක් වෙලා තිබුණෙ. සල්ලි ලැබුණ ගමන් මම කිව්වා අපි විදුලි ඉස්තිරික්කයක් ගමු කියලා. තාත්තා ඇහුවා උඹට පිස්සුද, ගෙදරට ලයිටුත් නෑනේ කියලා. මම කිවුවා ලයිටුත් ගමු කියල. ඒ සල්ලිවලින් ගෙදරට කරන්ට් එක ගත්තා. ඒ කතාව දැනගත්ත වික්ටර් රත්නායක දවසක් කිව්වා එදා ඒ තරගයෙන් එයා දෙවැනියා වුණ එක ගැන සතුටු වෙනවා කියලා. එයා පළමු වැනියා වුණා නම් මට මේ අවස්ථාව ලැබෙන්නෙ නැති නිසා. මේ එහෙම බාධක, අභියෝග මැද්දෙන් ආව ගමනක්. ”

සිය ජීවිතයේ සාර්ථකත්වයට වචනයකින් පවා දිරි දුන් සෑම හිතකටම ඇය අදටත් කෘතවේදීය.

“තමන්ගෙ මවුපියෝ, ගුරුවරු කවදාවත් අමතක කරන්න එපා. ඔවුන්ව බලාගන්න, රැකගන්න. අපේ තරුණ දූලා පුතාලා පිටරට යන්න, ඉගෙන ගන්න. ජාත්‍යන්තර අත්දැකීම් ලබන්න. ඒත් මේ රට දාලා යන්න එපා. අපේ රටට ආදරේ කරන්න. මෙහෙ සුවඳ, මේ හුස්ම අපිට ඕනෙ. ඒ නිසා තමන්ට පුළුවන් විදිහට මේ රටට සේවය කරන්න”.

ගැයුම සේම ඒ සිතුවිලි ද හෘදය සංවේදීය. එනිසාම තරුද නිදන මහ රෑක හද විල කලඹන රම්‍ය සඳ කිරණක් බඳු ඒ මනෝහර ගී හඬ යළි යළිත් ඇසීමේ අපමණ ලෝබකමකින් හදවත පිරී යන්නේය. නන්දා මාලිනියේ, අහස සේ අනන්ත ප්‍රේමයේ චමත්කාරයත් ලොවම එපාවී ලොවම කලකිරී සුළං කපොල්ලේ කැඩි බිදී ගිය හිත් මැඳුරුවල ළසෝවන් රණ දෙරණේ යදමින් බැඳි ජීවිත ගැනත් කුරුටු ගෑ හැම ගීයක්ම ඔබ ගයන්න. ලොවම පුබුදන ගීතයක් වී තවත් චිරාත් කාලයක් ගැයෙන්නට ඔබට නිදුක් නීරෝගී සුව සමඟ දිඝායු වේවා! එය අප කාගේත් පැතුමයි.

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division