Home » උමා ඔයටත් වඩා පරසිඳු වුණු දසුනි සහ චුලෝචනා

උමා ඔයටත් වඩා පරසිඳු වුණු දසුනි සහ චුලෝචනා

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment
දසුනි සචින්ද්‍රා ලුවිස් සහ ආර්.ඩී චුලෝ­චනා සංජී­වනී ගුණ­සේ­කර

– උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ තේ හදන සුළු සේවිකාවන් කියලා අපි ගැන මාධ්‍යවල පළ වුණේ බොරුවක්
– මට හැමෝම සුලෝචනා කිව්වට මගේ ඇත්ත නම චුලෝචනා. ටර්බයිනයේ සඳහන් වෙන්නෙ ඇත්ත නම
– රටේ සංවර්ධන ව්‍යාපෘතියක නම් සටහන් වී තිබීම අපට මහත් ගෞරවයක්

මා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉකුත් අප්‍රේල් 24 වැනිදා ඉරාන ඉස්ලාමීය ජනරජයේ ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි සහ ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණේය. ඒ මහවැලි බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියට පසුව සිදු කෙරුණු දැවැන්තම බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය මෙය වූ බැවිනි. මෙම ව්‍යාපෘතිය මඟින් මෙගා වොට් 120ක ජල විදුලි බලයක් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට නියමිත අතර, මෙගාවොට් 60 බැගින් වූ මෙම විදුලි ජනන යන්ත්‍ර දෙක මෙම ව්‍යාපෘතියට දායකත්වය සැපයූ කතුන් දෙදෙනකුගේ නමින් නම් කිරීමට පියවර ගෙන තිබුණි. එය කාගෙත් අවදානයට ලක් වූ පුවතක් බවට පත් විය. මේ ඔවුන් දෙදෙනා පිළිබඳව සිළුමිණ කළ පසු විපරමකි.

දසුනි හා චුලෝ­චනාගේ නම් දැමූ ටර්බයින දෙක

දසුනි හා චුලෝ­චනාගේ නම් දැමූ ටර්බයින දෙක

ජයවඩනගම, බත්තරමුල්ලේ පදිංචි ව්‍යාපාරිකයකු වූ ඩී. ඩබ්ලිව් ලුවිස් හා මාදවී ලුවිස් දෙපළට දාව 1985 වසරේ උපන් දසුනි සචින්ද්‍රා ලුවිස් වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකුට පසුව උපන් පවුලේ බාලම දැරිවිය වූවාය. කොළඹ මියුසියස් විද්‍යාලයට ඇතුළත් වන ඇය එහි උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබීය. වාණිජ විෂයන් කෙරෙහි වැඩි ඇල්මක් දැක්වූ නිසා උසස් පෙළ වාණිජ අංශයෙන් පෙනී සිටි ඈ ඒ සාමාර්ථ්‍යයක්, බී සාමාර්ථ්‍ය දෙකක් සහ එක් සී සාමාර්ථ්‍යයක් සහිතව විශ්වවිද්‍යාල වරම් ලැබීය. නමුත් රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් නොවන ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත්ව වාණිජවේදී උපාධිය හිමිකර ගත්තාය. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ නිරත වන කාලය තුළ ඇය රාජගිරියේ පෞද්ගලික බැංකුවක කටයුතු කළ අතර, ඇයට ස්මාට් මීඩියා ආයතනයේ මානව සම්පත් අංශයේ විධායක ශ්‍රේණියේ රැකියා අවස්ථාවක් සඳහා ඇරැයුමක් ලැබෙන්නේ ඒ අතරතුරය. එම අවස්ථාව සතුටින් භාර ගන්නා ඇය වසර කිහිපයක් එහි සේවය කිරීමෙන් අනතුරුව නැවතත් වෙනත් පෞද්ගලික ආයතනයක විධායක ශ්‍රේණියේ රැකියාවකට සම්බන්ධ වන්නීය.

එලෙස රැකියාවේ නිරතව සිටින අතරතුරදී ඇය 2010 වසරේ අරුණ කස්තුරිආරච්චි සමඟ විවාහ දිවියට එළඹෙන්නේය. ඔවුන්ගේම ව්‍යාපාරයක් පිළිබඳ සිහින මැවූ මේ දෙදෙනා දසුනිගේ පියාගෙන් උරුම වූ ඇල්ල කරදගොල්ලහි පිහිටි ඉඩමේ පදිංචියට යන්නේය. එහි දී තම සිහිනය මුදුන්පත් කර ගනිමින් මේ දෙදෙනා එක්ව ආපන ශාලාවක් ආරම්භ කරන්නේ එය ප්‍රධාන පාර ආසන්නයේම පිහිටා තිබුණු නිසාය. ඒ වන විටත් උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ වී තිබුණු බැවින් ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ඉන්ජිනේරුවන් හා නිලධාරීන් සඳහා අවශ්‍ය ආහාර පාන ලබා ගැනීමට පැමිණියේ ඔවුන්ගේ ආපන ශාලාව වෙතය. දිනක් අහාර රැගෙන යාමට පැමිණ සිටි අශෝක නම් ඉන්ජිනේරුවරයා දසුනි එහි පැමිණ සිටි විදේශිකයන් සමඟ ඉංග්‍රීසි බසින් චතුර ලෙස කතාබහ කරන ආකාරය දැක, ඇය උමා ඔය ව්‍යාපෘතිය සඳහා සම්බන්ධ කරගතහොත් එය මහත් ශක්තියක් විය හැකි බව අවබෝධ කරගත්තේය. ඇයගේ අධ්‍යාපන වටපිටාව දැනගනු රිසියෙන් ඔහු ඇය සමඟ කතාවට වැටුණේය. ඒ පිළිබඳ දසුනි මෙසේ සිහිපත් කළාය.

“මිස් හොඳට ඉංග්‍රීසි කතා කරනවා, මෙහෙ කෙනෙක් නම් වෙන්න බෑ.”

“ඔව්, මං මෙහෙ නෙමෙයි කොළඹ” ඊට පස්සේ අපි ටික වෙලාවක් සුහදව කතා කළා. “මිස් කැමති නැද්ද අපේ ප්‍රොජෙක්ට් එකත් එක්ක වැඩ කරන්න. මිස්ලා වගේ අය මේ පළාතේ හොයා ගන්න අමාරුයි.” ඒත් මං ජොබ් එකක් කරනවට හස්බන්ඩ්ගේ කැමැත්තක් තිබුණෙ නැහැ. ඊට පස්සෙ කොහොම හරි අසෝක සර් මගේ සැමියා එක්කත් කතා කරලා දවසක් ඔස්ට්‍රියන් ජාතිකයකු වුණ වෘල්ෆ් ගැන්ග් කියන උමා ඔය ව්‍යාපෘතියේ කළමනාකාරවරයත් එක්ක රෙස්ටුරන්ට් එකට ආවා. එයා මට කතා කරන්න කලින් මගේ හස්බන්ඩ් එක්ක කතා කළා. ඔහු හිනා වෙවී “ඔයා බය වෙන්න එපා. අපි ඔයාගෙ මැණික පරිස්සම් කරල දෙන්නම්; ඔයා ඕන වෙලාවක ඇවිත් එයාව බලල කතා කරල යන්න. අපි ඒකට ඉඩ හදල දෙන්නම්.” කියලා කිව්වා. ඊට පස්සේ අරුණ ඒකට කැමති වුණා. නමුත් මාස තුනක් විතර ඒක ඇදිලා ගියා. 2016 වසරේ දවසක් මට ඉන්ටර්විව් එකට එන්න කියලා කෝල් එකක් දීලා කිව්වා.

ඊට පස්සේ මං හස්බන්ඩ් එක්කම ඉන්ටර්විව් එකට ගියා. ඒ ගියාම ඒ අය අපිව සුහදව පිළිගෙන එකට වාඩි වෙලා පැයක පමණ කාලයක් කතා කළා. මොනවද මේ ව්‍යාපෘතිය තුළ වෙන්නේ, මට මොනවද කරන්න තියෙන්නේ කියන එක තමයි එතනදි ඔවුන් කතා කළේ. ඒකෙන් මටත් හස්බන්ඩ්ටත් ඒ ගැන ලොකු අවබෝධයක් ඇති වුණා. සාකච්ඡාව අවසානයේ ඊළඟ දවසේ ඉඳන් ඇවිත් වැඩ භාර ගන්න කියලා මට ආරාධනා කළා. මමත් වෙලාවට වැඩ කරන කෙනෙක් විදියට ඒ කියපු වෙලාවට විනාඩි දහයක් තියල උදෑසන 7.50 වෙද්දී ඔෆිස් එකට ගියා.

ටික වෙලාවක් සර් එක්ක කතා කරලා අවසන් වෙද්දී මේ ව්‍යාපෘතියේ සියලු දේ ඔයා අතට පත් කරනවා කියලා එහි මූල්‍ය පරිපාලනය මට භාර දුන්නා. මේක හරිම භාරධූර වගකීමක් කිසිම ඩීටේල් එකක් මෙතනින් පිටතට යන්න බැහැ. ඔයා ගැන තියල තියෙන විශ්වාසය මත තමයි මේ දේවල් ඔයාට භාර දෙන්නේ කියලා. ඔහු කිව්වා.”

ඒ අය මාත් එක්ක ඉතාම සුහදව වගේම හරිම වෘත්තීමය ආකාරයෙන් ගනුදෙනු කළේ. කිසියම් කටයුත්තකට මම සහභාගි වුණාම මට ඉඩ දීලා තමයි ඒ අය ඒ අවස්ථාවට සහභාගි වුණේ. ඒක ලංකාවේ කිසිම වෘත්තියකදී ස්ත්‍රියක් අත් නොවිඳින තත්ත්වයක්. මොකද මම ඒක අත්දැකීමෙන් දන්නවා. මේ ව්‍යාපෘතියේ කටයුතු කළ වසර හය තුළ මං නිවාඩු අරන් තියෙන්නේ දවස හයක් හෝ හතක් පමණයි. අපේ රටේ රැකියා තුළ තියන නිලධාරිවාදය ඒ අය තුළ මම කවදාවත් දැක්කේ නැහැ. සේවකයන් පාර්ට්නස්ලා විදියට තමයි ඔවුන් සලකන්නේ. ඒ හැම කෙනෙක්ම අදාළ කාර්යයේ නියුතු ප්‍රොෆෙෂනල්ස්ලා විදියටයි ඔවුන් සැලකුවේ.

චුලෝ­චනාගේ ජාතික හැඳුනම්පත

චුලෝ­චනාගේ ජාතික හැඳුනම්පත

මගේ බබා හම්බුණෙත් මං සයිට් එකේ කටයුතු කරමින් ඉන්න කාලෙමයි. දුවගෙ නම සයුමි ශලීෂා. එයා ලොකු වෙනවත් එක්කම සයිට් එකත් එයා එක්කම වැඩුණා.

ඔය අතරෙ දවසක් අපේ ව්‍යාපෘති කළමනාකාරවරයා වුණ වෘල්ෆ් ගැන්ග් ඇවිත් දසුනි අපි මේ ටර්බයින එකට දාන්න නමක් හොයනවා. මේකට ෆීමේල් නමක් තමයි යන්නේ. අපිට සයිට් එකේ වැඩ කරපු කෙනෙක්ගෙ නමක් යෝජනා වෙලා තියෙනවා. නමුත් ඒකට ඒ කෙනාගෙන් අවසර ගන්න ඕන නේ. අපි හිතන් ඉන්නවා එක ටර්බයින් එකකට ඔයාගෙ නම දාන්න. මට එකපාරටම හිනා ගියා. මං හිතුවේ විහිළුවක් කරනව කියලා. ටික දවසක් ඒ විදියට අපි වැඩ කර කර ඉද්දී සර් මට පොටෝ ග්‍රාෆ් එකක් ගෙනත් පෙන්නුවා. බලද්දි ටර්බයින් දෙකට මගෙයි සුලෝගෙ නමයි දාල තිබුණා. මම ස්තූතියි සර් මට ලබාදීපු ගෞරවයට කියලා කිව්වා. ඒත් එයාලා කරන විහිළු එක්ක මට ඒ ගැන වි‍ශ්වාසයක් තිබුණෙ නැහැ. ඒත් උත්සවයක් තියලා ඒක සෙලිබ්‍රේට් කරද්දි තමයි මං දැනගත්තේ ඒක ඇත්තක් කියලා. මට ඇස් අදහාගන්න බැරි වුණා. ඒත් අපි ප්‍රොජෙක්ට් එක අවසන් වෙලා ඒක ඕපන් කරද්දි අපේ නම් තියෙයි කියලා විශ්වාස කරේම නෑ. මොකද ලංකාවේ ව්‍යාපෘති අවසානයේ නම් වැටෙන විදිය අපි දන්නවනෙ.

ඒත් පසුගිය 24 වැනිදා මේක මාධ්‍යවලින් දැකලා අපේ හිතවතුන් ඥාතීන් අපට කෝල් කරලා කියද්දි තමයි අපි දැනගත්තේ අපේ නම් ඒ විදියටම ටර්බයිනවල තියෙනවා කියලා. ඉතින් ඒ ගැන මට හරිම සතුටුයි. නිහතමානී ආඩම්බරයකුත් තියෙනවා. ඒ විදියට රටේ සංවර්ධය ව්‍යාපෘතියක නම් සටහන් වී තිබීම අපට මහත් ගෞරවයක්.

අපට මේ සතුට දුන්න ඒ ව්‍යාපෘතියේ කළමනාකාරවරයා ඇතුළු අපි එක්ක වැඩ කළ හැමෝටම මේ අවස්ථාවේ මං හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම එදා මට මේ රැකියාවට සම්බන්ධ වෙන්න අවසර දීපු මගේ අරුණටත් මං ස්තුතිවන්ත වෙනවා. මොකද ඔහු මට ඒ අවස්ථාව ලබා නොදෙන්න අද ඔයාලා මං එක්ක මේ විදියට ඒ සතුට බෙදා ගන්න නොඑන බව මං දන්නවා. මේ වගේ රටට වැඩදායී සංවර්ධන ව්‍යාපෘතියකට මාව සම්බන්ධ කරගත්ත අයටත්, මේ ප්‍රවෘත්තිය පළ කරමින් අපට ගෞරවයක් ලබා දීපු අය වගේම අපව සුළු සේවකයන් විදියට හරි හඳුන්වා දීපු හැමෝටමත් මං මේ අවස්ථාවේ මගේ ගෞරව ස්තුතිය පුද කරනවා. යැයි මේ වන විට පෞද්ගලික ජාත්‍යන්තර පාසලක සේවය කරන කුරුණෑගල, මාස්පොත පදිංචිව දසුනි සචින්ද්‍රා පවසන්නීය.

අනතුරුව අප කතා කළේ දසුනිගේ සහයිකාව ලෙස කටයුතු කළ රන්දෙණිය සියඹලාගුනේ පදිංචි ආර්. ඩී. චුලෝචනා සංජීවනී ගුණසේකර සමඟය.

පොලිස් විශේෂ කාර්ය බළකායේ සිවිල් අංශයේ සේවයේ නියුතු ආර්.ඩී. ගුණසේකර සහ ඩී. සුනේත්‍රා දමයන්තිට දාව 1997දී මෙලොව එළිය දුටු ඇයට වැඩිමහල් සහෝදරියක සහ සහෝදරයකු සිටියි. වැල්ලවායේ, මො/ කුමාරදාස මධ්‍ය මහා විද්‍යාලයේ පළමු වසරේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබූ ඇය උසස් පෙළ සඳහා තෝරා ගන්නේ කලා විෂයයන්ය. ඇය විද්‍යාපීඨයට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙන් පසු වූවාය. උසස් පෙළ අවසන්ව සිටි කාලයේ ඇයගේ සොහොයුරා වූ ආර්. ඩී. ප්‍රදීප් ගුණසේකර වැල්ලවාය කරඳගොල්ල ප්‍රදේශයේ උමා ඔය ව්‍යාපෘතියේ සේවයේ නියුතුව සිටියේය. ඔහුගේ මාර්ගයෙන් දසුනිට සහයිකාවක් සොයන බව දැන ගන්නා චුලෝචනා ඒ සඳහා ඉල්ලුම් කළාය. ඒ අනුව ඇයගේ සුදුසුකම් පරික්ෂා කර ඇය එම රැකියාව සඳහා බඳවා ගත්තායා. චුලෝචනා ඒ පිළිබඳව පවසා සිටියේ මෙලෙසිනි.

“මම රැකියාවට ගියේ 2016 දෙසැම්බර් මාසයේ. මේ මගේ පළමුවැනි රැකියාව. ඒ නිසා මට ඒ පිළිබඳ අවබෝධයක් තිබුණේ නැහැ. එහිදී මගේ බොස් විදියට කටයුතු කළ දසුනි අක්කාගෙන් මට විශාල සහයෝගයක් හා මඟ පෙන්වීමක් ලැබුණා. මාධ්‍යවල හැම තැනම යනවා අපි තේ හදපු සුළු සේවිකාවන් දෙන්නෙක් කියලා. ඇත්තටම ඒක වැරදි ප්‍රවෘත්තියක්. දසුනි අක්කා කළමනාකාරවරයාගේ ලේකම්වරිය විදියට කටයුතු කළා. මම ඇයගේ සහයිකාව විදියටයි කටයුතු කළේ. අපි ඇතුළෙ අයත් එක්කත් වැඩ කළා; එළියෙ කාර්යාලයෙත් වැඩ කළා. මමයි දසුනි අක්කයි තවත් සර්ලා දහදෙනකුයි කාර්යාලයේ කටයුතු කරද්දී අපි අපේ වැඩ ටික අපිම කර ගත්තා. සර්ලත් එහෙමයි. අපි කාර්යාලයේ බොහෝම සුහදව කටයුතු කළේ. අපි දෙන්න එතන කැපවීමෙන් කටයුතු කළ නිසා තමයි අද මේ විදියේ ඇගයීමක් අපට ලැබුණේ.

කොටින්ම ටර්බයින දෙක ළඟට ගෙනියලා සප්‍රයිස් කියලා ඒවා ඇරල පෙන්නනකම් මං ඒක දැනන් හිටියේ නෑ. දසුනි අක්කා නම් ‍ෆොටෝ එකකින් දැකල තිබුණා. ඒත් මං ඒ ‍ෆොටෝ එකවත් දැක්කෙ නැහැ. එදා පොඩි චාම් උත්සවයකුත් අපි දෙන්නා වෙනුවෙන් සූදානම් කරල තිබුණා. පුදුම සතුටක් දැනුණේ. ඒත් පසුගිය 24 වැනිදා ප්‍රවෘත්තිය දකිනකම් ඒ නම් ඒ විදියට තියෙයි කියලා අපි දෙන්නම විශ්වාස කළේ නැහැ.

නමුත් සමහර මාධ්‍යවලින් අපි තේ හදල දීලා නම් දාගෙන කියලා ප්‍රචාරය වෙනවා. මට ඒ අය කතා කළේ චුලෝචනා කියලලු. මගේ හරි නම සුලෝචනාලු. නමුත් ඇත්ත නම්, මගේ ඇත්ත නම චුලෝචනා. ඔවුන් මට කතා කළේ සුලෝචනා කියලා. ඒ නම නිවැරදිව ටර්බයිනයේ සඳහන් කර තිබෙනවා”.

මේ රටේ අනාගතයට වැඩදායී මෙවන් යෝධ සංවර්ධන ව්‍යාපෘතියකට වසර දෙකකට වැඩි කාලයක් සම්බන්ධ වෙන්න ලැබීම භාග්‍යයක් යැයි ඈ පවසන්නීය.

නම් යෙදූ ටර්බ­යින දෙක නම් කළ අව­ස්ථාවේ ප්‍රධාන කළ­ම­නා­කා­ර­ව­රයා ඇතුළුඋමා ඔය ව්‍යාපෘති නිල­ධා­රීන් හා සේවක සේවි­කා­වන් සමඟ

නම් යෙදූ ටර්බ­යින දෙක නම් කළ අව­ස්ථාවේ ප්‍රධාන කළ­ම­නා­කා­ර­ව­රයා ඇතුළු උමා ඔය ව්‍යාපෘති නිල­ධා­රීන් හා සේවක සේවි­කා­වන් සමඟ

ඡායාරූප – වැල්ලවාය විශේෂ 
ජී. අයි. ආර් ගරුසිංහ

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division