Home » රතු මුහුදෙන් සහ උමා ඔයෙන් මතුවූ රනිල්ගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය

රතු මුහුදෙන් සහ උමා ඔයෙන් මතුවූ රනිල්ගේ රාජ්‍ය තාන්ත්‍රික භාවය

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

රානය සහ ඊශ්‍රායලය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇතිව තිබියදී උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ උත්සවයට ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පැමිණේවිද? අප්‍රේල් 24 වැනිදාට නියමිතව තිබූ විවෘත කිරීමේ උත්සවය පිළිබඳ බොහෝ දෙනෙකුට පැන නැඟී තිබූ ප්‍රශ්නය වූයේ එයයි. ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහුගේ පැමිණීම ස්ථිර කර නැති බවයි. 2023 සැප්තැම්බර් මස පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමුළු අවස්ථාවේදී හමුවූ ඉරාන ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කිරීමේ උත්සවයට පැමිණෙන ලෙස ආරාධනා කළේය. ඉරාන ජනාධිපතිවරයා එය පිළිගත්තේය.

එක අතකින් ඊබ්‍රහිම් රයිසිගේ පැමිණීම අවිනිශ්චිත බව ප්‍රකාශ වෙද්දී මෙරට ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණේ ඔහුගේ පැමිණීම පිළිබඳ අ‍ෙමරිකානු තානාපති කාර්යාලයේ ඇතැම් නිලධාරින් 16 සහ 17 වැනිදා ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශයට විරෝධය පළ කර ඇති බවකි. ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවාව මෙන්ම අ‍ෙමරිකාවේ FBI ඔත්තු සේවාවද දැඩි අවධානයකින් පසුවන බව ද වාර්තා කර තිබුණි. ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි පොරොන්දු වී සිටි පරිදිම අප්‍රේල් 24 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කළේය. උත්සවය අමතමින් ඉරාන ජනාධිපතිවරයා තම රටේ දැනුම සහ තාක්ෂණය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සඳහා ලබාදෙන බව ප්‍රකාශ කළේය. ජනාධිපති මන්දිරයේ පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගි වූ ඔහු මධ්‍යම රාත්‍රියේ නැවත ඉරානය බලා පිටත්ව ගියේය.

එදින ශ්‍රී ලංකාව පූර්ණ ඉරාන සහයෝගිතා පිළිවෙතක සිටින බව ප්‍රදර්ශනය වුවද මීට සති කිහිපයකට පෙර දක්නට ලැබුණේ එහි අනෙක් පැත්තයි. ජනවාරි 03 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ශිල්ප අභිමානි ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයක් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවිය. ඔහු එහිදී ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ආරක්ෂක නැවක් රතු මුහුදේ ආරක්ෂක කටයුතු සඳහා යවන බවයි. හූති ත්‍රස්තවාදීන් විසින් දිගටම එම කලාපයේ වාණිජ නැව්වලට පහර දෙන බැවින් එම නැව්වල ආරක්ෂාව සඳහා දායකත්වය ලබාදීම සඳහා එම නැව එහි යවන බවද ඔහු ප්‍රකාශ කළේය.

එම පුවත හේතුවෙන් දේශපාලන පිටිය ගිනිගත් බවක් දක්නට ලැබුණි. හූති ප්‍රහාරකයන් ප්‍රකාශ කර තිබුණේ තමන් නැව්වලට පහර දෙනුයේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ කරන ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහිව බවය. බොහෝවිට විදේශ මාධ්‍ය විසින් හූති ප්‍රහාරකයන් හඳුන්වා දී තිබුණේ ඉරාන සහාය ලබන යේමන ත්‍රස්ත කණ්ඩායමක් ලෙසය. එමඟින් ඇතැම් අය රනිල් මුස්ලිම් විරෝධියකු ලෙස හඳුන්වාදීම සඳහා මෙය යොදාගත හැකි බවත් සිතුවා විය හැකිය.

විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ජනවාරි 06 දා මිනුවන්ගොඩ සුහුරු පන්ති කාමරයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා රතු මුහුදට නැව් යැවීමට ගෙන ඇති තීරණය පිළිබඳ තමා විමතියට පත්වු බවය. ශ්‍රී ලංකාවට රටවැසියන්ගේ මූලික අවශ්‍යතා ලබාදීමට පවා නොහැකි තත්ත්වයක පසුවන අවස්ථාවක රතු මුහුදු ආරක්ෂාව වැනි විශාල වියදමක් දැරීමට සිදුවන මෙහෙයුම මුදල් නාස්තියක් බව ප්‍රකාශ කළේය. විදෙස් සබඳතා මේ ආකාරයෙන් දකින විපක්ෂ නායකවරයකු සිටීම රටේ අභාග්‍යයකි.

රනිල්ගේ රතු මුහුදු මෙහෙයුමට තවත් ප්‍රබල විරෝධතාවක් එල්ල කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ එම්.ඒ. සුමන්දිරන් ය. රතු මුහුදු මෙහෙයුමට සහාය ලබාදීමෙන් ශ්‍රී ලංකාව නොබැඳි පිළිවෙත පිළිබඳ මූලධර්මය උල්ලංඝනය කර ඇති බව සුමන්දිරම් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. එසේම මෙම මුදල් වියදම් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නැති බවද ඔහු ප්‍රකාශ කර තිබුණි. රනිල් වික්‍රමසිංහ මහතා පෙබරවාරි මස 23 සහ 24 දිනවල උගන්ඩාවේ පැවැති නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගිවීමට නියමිතව තිබියදී සුමන්දිරම් මෙම ප්‍රකාශය කළේය.

ශ්‍රී ලංකාවේ අ‍ෙමරිකානු තානාපති ජුලි චන් අ‍ෙමරිකාවේ නායකත්වයෙන් සිදු කෙරෙන රතු මුහුදු ආරක්ෂක මෙහෙයුමට ශ්‍රී ලංකාවේ නාවික හමුදාවේ යාත්‍රාවක් සහභාගි කරවා ඇති බව පෙබරවාරි 29 වැනිදා ප්‍රකාශ කළාය. දැන් ශ්‍රී ලංකාව හූති කැරලිකරුවන්ට එරෙහිව කටයුතු කරන අන්තර්ජාතික එකතුවක සාමාජිකයකු බවද ඇය ප්‍රකාශ කළාය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගාසා තීරයේ පීඩාවට පත් දරුවන්ට ආධාර වීම සඳහා ඩොලර් මිලියනයක් ලබා දුන් අවස්ථාවේදී පලස්තීන තානාපතිවරයා ප්‍රකාශ කළේ ආර්ථික දුෂ්කරතාවලට මුහුණදී සිටියදී ශ්‍රී ලංකාව කළ පරිත්‍යාගය ඩොලර් කෝටියකට වඩා වටිනා බවය.

මේ සතියේදීම මෙරටට පැමිණි චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ හමුවක් පැවැත්වු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි. ජාතික ජන බලවේගයට සම්බන්ධ සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් එම ඡායාරූප යොදා ගනිමින් ප්‍රකාශ කර තිබුණේ අනුර ඉදිරියේදී ජනාධිපති වන බැවින් ඔහු හමුවීමට බලවත් රටක් වන චීනයේ නියෝජිතයන් පැමිණ ඇති බවය. එහෙත් ඊට පසුවදා චීන කොමියුනිස්ට් පක්ෂ නිලධාරීන් නාමල් රාජපක්ෂ හමුවූ පුවත ද ඡායාරූප සහිතව වාර්තා කර තිබුණි. අද පවතින්නේ සමහර දේශපාලන පක්ෂ විදේශ රාජ්‍යයන්ගේ කවර නියෝජිතයකු වුවත් තම දේශපාලන වාසිය සඳහා යොදා ගැනීම රාජ්‍ය තාන්ත්‍රික භාවය යැයි සිතන යුගයක ය.

එහෙත් රතු මුහුදු මෙහෙයුම, පලස්තීන ළමුන් සඳහා ආධාර ලබාදීම සහ ඉරාන ජනාධිපතිවරයාගේ පැමිණීම යන සිද්ධි මාලාවන් තුළ පැහැදිලි වන්නේ පරිණත රාජ්‍ය තාන්ත්‍රිකයකු ලොව බලවත් රටවල් සමඟ තම විදේශ සම්බන්ධතා හසුරුවන බුද්ධිමත් ආකාරයයි. සජිත්ට අනුව රතු මුහුදු මෙහෙයුම මුදල් නාස්ති කිරීමකි. සුමන්දිරන්ට අනුව එය නොබැඳි ප්‍රතිපත්තිය උල්ලංඝනය කිරීමකි. ඇතැමුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහහ රතු මුහුදු මෙහෙයුමට සම්බන්ධ වීම මුස්ලිම් විරෝධයක් ලෙස හැඳින්වුවත් එහෙත් කිසිදු පාර්ශ්වයක් සමඟ දැඩි ගැටුම්වලට නොයා සියල්ල ඉතා සූක්ෂ්ම, ඇතැම් විට ආදරණීය ආකාරයෙන් විසඳූ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට හේතු වූ බව පෙන්වා දිය යුතුව ඇත.

රනිල් රතු මුහුද මෙහෙයුමට සහභාගි වූයේ කලාපයේ මුහුදු ආරක්ෂාව ශ්‍රී ලංකාවට ද බලපාන බැවිනි. අනෙක් අතට වාණිජ නාවුක මෙහෙයුමට තර්ජනයක් එල්ලවීම ශ්‍රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයේම වෙළෙඳ සබඳතාවලට දැඩි තර්ජනයකි. කවර විවේචන එල්ල වුවද, ඔහු එහිදී නිවැරදි පිළිවෙත අනුගමනය කළේය.

හූති ත්‍රස්තවාදීන්ට ආධාර කරනුයේ ඉරානය යැයි ප්‍රකාශ වී තිබේ. රතු මුහුදු මෙහෙයුමට සම්බන්ධවීම සමහරවිට ඉරානයට එරෙහි මෙහෙයුමක් ලෙස ද අර්ථ දැක්වීමට පුළුවනි. එසේ වුවද ජනපති රනිල් උමා ඔය ව්‍යාපෘතියට මූල්‍ය ආධාර ලබාදුන්නා වූත්, දශක ගණනාවක් ශ්‍රී ලංකාවට තෙල් සැපයූ සහ තේ මිලදීගත් වෙළෙඳ පාර්ශ්වකරුවකු වූ හිතවත් ඉරානය අමතක කර දැමීමට සූදානම් වූයේ ද නැත. අවදානම් සහිත ගමනක් වුවත් එය නැවැත්වීමට කටයුතු කළේ නැත. අ‍ෙමරිකානු විරෝධය ගණන් ගත්තේද නැත. ශ්‍රී ලාංකිකයන් බොහෝදෙනකු ඉරාන ජනාධිපතිවරයා මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණීමත්, ඔහුට ආරක්ෂාව පිළිබඳ විශාල තර්ජනයක් පැවතිය ද ඒ ගැන නොතකා ශ්‍රී ලංකාවට පැමිණීමත් පිළිබඳව දැක්වූයේ පහන් හැඟීමකි. රතු මුහුදු මෙහෙයුම මුස්ලිම් විරෝධයක් ලෙස හැඳින්වුවත් අ‍ෙමරිකාව පවා විරෝධය දක්වද්දී ඉරාන ජනාධිපතිවරයා උණුසුම් අයුරින් පිළිගැනීම මුස්ලිම් ජාතික සහෝදරත්වයට අත වැනීමක් බව ප්‍රකාශ කිරීමට විපක්ෂයේ කිසිවකු ඉදිරිපත් වූයේ නැත. ශ්‍රී ලංකාවේ විදේශ පිළිවෙත එක් එක් රටවල අවශ්‍යතාවට අනුව නොව ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති, අරමුණු සහ අවශ්‍යතාවන්ට අනුකූල විය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා රටටත්, මුළු ලෝකයටත් පෙන්වා දුන්නේය.

සුනන්ද මද්දුමබණ්ඩාර
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division