Home » ළාබාල දැරියක් කෙලෙසූ අමන පෙම්වතා අල්ලන්න පොලිස් නිලධාරිනිය ගහපු ගැටේ

ළාබාල දැරියක් කෙලෙසූ අමන පෙම්වතා අල්ලන්න පොලිස් නිලධාරිනිය ගහපු ගැටේ

by thanushika
April 27, 2024 12:30 am 0 comment

මුහුණු පොත අන්තර්ජාලය ඇසුරින් සිදුවන අපරාධ ක්‍රමයෙන් ඉහළ යන බවක් පෙනෙන්නට ඇත. ළාබාල යුවතියන් තරුණියන් කාන්තාවන් මෙමඟින් වැඩිපුර හිංසනයට ලක්වන බව සඳහන් කළ යුතුමය.

සංඛ්‍යා ලේඛන හෙළි කරන අන්දමට 2023 වසරේ පාසල් දැරියන් 152ක් අපයෝජනයට ලක්ව ඇති අතර ලිංගික හිංසන, බිය ගැන්වීම් සම්බන්ධයෙන් 2023 වසරේ වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලා සම්බන්ධ පැමිණිලි 1451ක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ලැබී ඇත. ඉන් 461ක්ම තර්ජනය කර බිය වැද්දවීම් සම්බන්ධවය. සංඛ්‍යා ලේඛනවලට අනුව 2024 වසරේ මුල් මාස එකහමාරේදී පමණක් වාර්තා වී ඇති ළමා අපයෝජන සහ ළමා හිංසන සංඛ්‍යාව 1000 ඉක්මවයි. වයඹ, උතුර, උතුරුමැද සහ ඌව පළාත්වලින් මේ සිදුවීම් වාර්තා වී තිබීමද සුවිශේෂීය.

ළමා සහ කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ දත්තවලට අනුව ගතවූ මාස තුනක කාලයේදී ඊට වාර්තා වූ පැමිණිලි සංඛ්‍යාව 1077ක් පමණය. එම පැමිණිලිවලින් 477ක විමර්ශන අවසන් කර ඇති අතර 42ක් සඳහා නඩු පවරා තිබේ. පැමිණිලි 550ක් සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.

සයිබර් අවකාශයේ සැරිසරන ළාබාල දැරියන්, යුවතියන්, වැඩිහිටි කතුන් ලිංගික අපරාධවලට ගොදුරු වන්නේ ඒ අයගේ නොදැනුවත්කම නිසාමය. ඒ අතරින් මුහුණු පොත මුල් තැන ගන්නා බවක් පෙනෙන්නට තිබේ. සයිබර් අවකාශයේ සැරිසරන ඇතැම් වංචනික පුද්ගලයන් මේ ළාබාල දැරියන් ඉතා ලෙහෙසියෙන් පහසුවෙන් සිය ග්‍රහණයට ගත් අවස්ථා ගණනාවක් පොලිසියට පසුගිය කාලයේ වාර්තා වී තිබිණි.

බණ්ඩාරවෙල පොලිස් පොතේ ලියැවුණු මේ කතාවද එවැන්නකි.

බණ්ඩාරවෙල පොලිස් වසමට අයත් කිනිගම ප්‍රදේශයේ පදිංචි දැරියක් මුහුණු පොත පරිශීලනය කළාය. ඇගේ වයස අවුරුදු 14යි මාස 5කි. දැරිය මෙලෙස මුහුණු පොත පරිශීලනය කරන අතරේ ඇය කිසියම් පුද්ගලයකු ඉන් දැන හැඳින ගත්තාය. ඔහු සමඟ කලක් මිතුරියක සේ ඇසුරු කළ මේ දැරිය පසුව ඔහු සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කළාය. කාලය මෙසේ ගෙවී යද්දී මේ දැරියට ඔහු නොදැක සිටීමට බැරි වන තරම් මේ ආදරය දුරදිග ගොස් තිබිණි. මේ අතර ඇය හමුවීමට පැමිණි මුහුණු පොතේ මිතුරා ඇගේ පවුලේ කිසිවකුට නොදන්වා දැරිය කැටුව කොළඹ ගොස් නේවාසිකාගාරයක ඇය රඳවාගෙන ඇයට අතවර කර තිබිණි.

මේ බව දැනගත් දැරියගේ මව්පියෝ බණ්ඩාරවෙල පොලිසියට ගොස් සිද්ධිය පැමිණිලි කිරීමට වග බලා ගත්හ.

ඒ අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කරන්නේ දැරිය සතුව තිබූ සැකකරුගේ තොරතුරු ආශ්‍රයෙනි.

සැකකාර පුද්ගලයා පදිංචි නියම ස්ථානය පිළිබඳව තොරතුරු කිසිවකු නොදැන සිටියත් පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී සැකකරුට අයත් බවට සැක කරන ජංගම දුරකතන අංකයක් සොයා ගැනීමට හැකි විය.

ඒ අනුව පොලිසිය විමර්ශන ආරම්භ කරන ලද්දේ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහාය. සැකකරු ‘ස්ත්‍රී ලෝලියකු’ බව පොලිසිය මුලින් සැක කළ නිසා කාන්තාවක යොදා සැකකරු අල්ලා ගැනීම පොලිසියේ උපාය විය. ඒ සඳහා සැකකරු සමඟ දුරකතනයෙන් සම්බන්ධ වීම පිණිස උපාය දූතයකු ලෙස යොදා ගැනුණේ පොලිස් නිලධාරිනියකි.

වැරදුණු ඇමතුමක් මෙන් සැකකරුගේ ජංගම දුරකතනයට පොලිස් නිලධාරිනිය ගත් ඇමතුම සාර්ථක විය. සැකකරු එම ඇමතුමට නැවත ඇමතුමක් ගත්තේ මේ තමාට කතා කරන්නේ තමන් කුමන මොහොතක හෝ අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරිනියක බව නොදැනය.

සැකකරු සහ පොලිස් නිලධාරිනියගේ ‘දුරකතන ප්‍රේමය’ දිගින් දිගටම ක්‍රියාත්මක විය. තමා බලන්නට එන්නේ නැද්දැයි පොලිස් නිලධාරිනිය සැකකරුගෙන් නිතර විමසුවාය. ඒ අතර තමාට රැකියාවක් සොයා දෙන ලෙසද ඇය සැකකරුගෙන් අයැද සිටියාය.

තමා බැලීමට එන ගමනේදී ප්‍රදේශයේ දානේ ගෙදරක යන බවද බණ්ඩාරවෙලදී හමුවී කොළඹ යමු යැයිද කොළඹදී රැකියාවක් ලබාදිය හැකි යැයිද සැකකරු ‘පෙම්වතියට’ කිවාය. පොලිස් පෙම්වතිය ඊට එකඟ වූවාය. දිනයක් වේලාවක් වෙන්කර ගත් සැකකරු පසුව එම දිනය වේලාව සහ ස්ථානය වෙනස් කළේය. ‘බණ්ඩාරවෙලදී හමුවෙමු‘යි කීවද සැකකරු ‘පෙම්වතියට’ පසුව යෝජනා කරන්නේ ‘බලංගොඩ නගරයේදී හමුවෙමු‘යි කියාය. පොලිස් පෙම්වතිය ඊටද යහපත් ප්‍රතිචාර දැක්වූවාය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් බණ්ඩාරවෙල සිට බලංගොඩට යන්නේ ඒ අනුවය. බලංගොඩ නගරයේදී සැකකරු තමන් සිටින තැන ‘පෙම්වතියට’ කීවේය. ඒ අනුව පොලිස් නිලධාරීන් දැනගන්නේ සැකකරු බලංගොඩ නගරයේ බස් නැවතුම්පොළෙන් කොළඹ බලා ධාවනය වීමට නියමිත බසයකට ගොඩවී සිටින බවයි.

ඒ අනුව එහි ගිය ‘පොලිස් පෙම්වතිය’ ඇතුළු පොලිස් කණ්ඩායම සැකකරු අත්අඩංගුවට ගන්නේ වැඩි කරදරයකින් තොරවය.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු මාරවිල පදිංචිකරුවෙකි. ඔහු 29 හැවිරිදිය. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

බණ්ඩාරවෙල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් කළුපහන, පොලිස් අධිකාරී ඩී.බී.එච්. කළණසිරි යන නිලධාරීන්ගේ උපදෙස් මත බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.බී.එච්. බණ්ඩාර, කාන්තා සහ ළමා කාර්යාංශයේ ස්ථානාධිපති උප පරීක්ෂක ස්වර්ණා, සැරයන් ඒකනායක, කාන්තා කොස්තාපල් 13300 මාෂල් යන නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදු කරගෙන යති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division