Home » මරන්න ගිය කලාප සේවකයා බේරාගන්න පොලිසිය කළ යුද්ධය

මරන්න ගිය කලාප සේවකයා බේරාගන්න පොලිසිය කළ යුද්ධය

by thanushika
May 4, 2024 12:30 am 0 comment

කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට පසුගිය දිනෙක හදිසි දුරකතන ඇමතුමක් ලැබුණි. ඉන් කියැවුණේ කටුනායක, 18 කණුව , වී මෝල පාරේ හුදෙකලා ස්ථානයකදී කිසියම් පිරිසක් කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවයේ නිරත තරුණයකුට හොඳහැටි පහර දී සුදු පැහැති වෑන් රථයකින් පැහැරගෙන යමින් සිටින බවය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයට ළඟා වී මෙම සිදුවීමට අදාළ තොරතුරු එක්රැස් කරන්නට විය.

එහි එක් කොටසක් ලෙස මෙම සිදුවීම වූ ස්ථානය අවට ප්‍රදේශයේ පිහිටි නිවාසවල ආරක්ෂිත කැමරා දර්ශන ලබාගෙන විශ්ලේෂණය කෙරුණේ මේ කල්ලිය පිළිබඳ හෝඩුවාවක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව පැහැදිලිව මෙම පැහැර ගැනීම සිදු කළ වෑන් රථය හඳුනාගත් අතර එය කටුනායක ගුවන්තොටුපොළ කුලී ගමන් සේවා පවත්වාගෙන යනු ලබන එකක් බවට තොරතුරු මඟින් සනාථ වී තිබුණි.

ඒ තොරතුරු ඇසුරෙන් එම වෑන් රථයේ හිමිකරු මෙන්ම එය පදවන රියැදුරුවරයා හඳුනාගෙන තිබූ අතර ඔහු පදිංචි වී සිටින ආඬිඅම්බලම, පීල්ලවත්ත ප්‍රදේශයේ දෙමහල් කුලී නිවසක් පිළිබඳ තොරතුරු ද අනාවරණය කරගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය.

වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම නිවස වැටලීමට පියවර ගත් අතර එම නිවස වටා බැඳ තිබූ තාප්පයෙන් පැන්න පොලිස් නිලධරයෝ එම නිවසට ඇතුළු වූහ.

ඒ වන විටත් පහර දී හිස සිට කඳ ප්‍රදේශය දක්වා රෙදිවලින් වසා කාමරයක සිර කර සිටි කුරුණෑගල, මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයා බේරා ගැනීමට පොලිස් නිලධරයන්ට හැකි විය.

ඉන් අනතුරුව තවදුරටත් මෙම නිවස සෝදිසි කිරීම්වලට ලක්කරද්දී මෙම පැහැරගෙන යාම සිදු කළ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කුලී රථ රියැදුරු අත්අඩංගුවට ගත් අතර ඔහුට සහාය දුන් හෙට්ටිපොළ, මණ්ඩාපොළ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අනෙක් කුලී රථ රියැදුරුවරයා ද අත්අඩංගුවට ගන්නා ලදි. මේ දෙදෙනාම ගුවන්තොටුපොළ කුලී රියැදුරන් වෙති.

ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ කුලී රථ ධාවනයේ යෙදෙන මුවාවෙන් ප්‍රදේශය පුරා හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමකද නිරත වී සිට ඇත. එම ජාවාරම පිළිබඳව ඇති වූ සිද්ධියක් මත වැරදීමකින් මෙම තරුණයාට පහර දී පැහැරගෙන තිබූ බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය විය.

එසේම මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් හෙරොයින් මත්ද්‍රව්‍ය පානය කරමින් සිට ඇති අතර මීට අමතරව ඔවුන් සන්තකයේ තවත් හෙරොයින් මිලිග්‍රෑම් 4,150 ක ප්‍රමාණයක් ද පොලිසිය විසින් සොයාගෙන අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගත් කටුනායක ගුවන්තොටුපොළ කුලී රථ රියැදුරුවරුන් දෙදෙනා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු දින 07 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට කටුනායක පොලිසිය පියවර ගන්නා ලදි.

මීගමුව කොට්ඨාස භාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ උපදෙස් මත කටුනායක ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරී ගාමිණී රත්නායකගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී. එන්. මාරසිංහ, උප පොලිස් පරීක්ෂක මොහොමඩ් නිෂ්මි, සැරයන් (37371) සුනිල්, කොස්තාපල්වරුන් වන (37627) කුමාර, (93015) කරුණානායක සහ (100255) සෙනෙවිරත්න යන නිලධාරීන් විසින් සිදු කරන ලදි.

ටී.කේ.ජී. කපිල කටුනායක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division