Home » ඩුබායි ඉඳන් පිටකොටු ආ හොර සිගරැට්

ඩුබායි ඉඳන් පිටකොටු ආ හොර සිගරැට්

by thanushika
May 4, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය, මත්පැන්, බුලත්විට මෙන්ම දුම්වැටි ද ශරීරයට කොතරම් හානිකර වුවද ඇබ්බැහි වූ පුද්ගලයින්ට ඒවා නැතුවම බැරි තත්ත්වයකට පත්ව තිබෙන බව පැහැදිලි වන කරුණකි. ඒ නිසා මේවායේ ඉල්ලුමද දිනෙන් දින ඉහළ යමින් පවතින්නේ සැපයුමට විශාල ප්‍රවේශයක් ලබා දෙමිනි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වැඩි ලාභ ඉපයීම සඳහා නීති විරෝධී අයුරින් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන එන ලෙසටම ඇතැම් ව්‍යාපාරිකයන් ව්‍යාජ දුම්වැටි තොග ගණනේ මෙරටට ගෙන ඒමට කටයුතු කරන්නේ ඔවුන්ට ඉන් අත්වන වාසිදායක තත්ත්වය කියා නිම කළ නොහැකි බැවිනි. මොහොතකින් උරා අළු කර දමන දුම්වැටියක ඇති ප්‍රතිඵල කොතරම් භයානක වුවද දුම්වැටි පාවිච්චි කරන පුද්ගලයන් එය අත්හැර දැමීමට කිසි විටෙක සූදානම් නොවන බව පැහැදිලිය.

අලෙවියෙන් ඉහළ අගයක් ගන්නා බැවින් මහා පරිමාණ ජාවාරම්කරුවෝ දුම්වැටි ද හොරට මෙරටට රැගෙන ඒමට නොයෙක් උපායමාර්ග අනුගමනය කරති. දියෙන් ගොඩින් උඩින් හෝ ඔවුන්ගේ ඉලක්කය කරා ළඟාවීමට ඔවුන් සූක්ෂමව කටයුතු කරන බව පැහැදිලිය. තීරු බදු රහිතව මෙරටට හොර රහසින් ගෙන්වන ලද දුම්වැටි තොගයක් පසුගියදා අත්අඩංගුවට පත් කරගත්තේ පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසිනි. ඒ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවය. මහා පරිමාණ ව්‍යාපාරිකයකු විසින් සිදුකර තිබූ මෙම කූට ව්‍යාපාරයේ අගමුල හෙළිදරව් වූයේ මෙම වැටලීමත් සමඟිනි.

“සර්.. හොරට ගේන සිගරට් වගයක් විකුණන්න අරන් එනවා දැන් පිටකොටුවට… හොඳ රේඩ් එකක් කරගන්න බැරි වෙන එකක් නෑ…” ඉතා විශ්වාසවන්ත මාර්ගයකින් විශේෂ කාර්යාංශයේ පොලිස් නිලධාරීන්ට මෙම තොරතුර ලැබුණේ ඔවුන් ද ඒ පිළිබඳ විමසිල්ලෙන් සිටින අවස්ථාවකය.

පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගම විසින් කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්න සහ සහකාර පොලිස් අධිකාරී කොළඹ මධ්‍යම 01 කමල් කිරිඇල්ල දැනුවත්කර මේ පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කළේ සැකකරු ඉක්මනින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීම සඳහාය.

මෙම මෙහෙයුමේ වැඩි බර කරට ගත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න ඒ සඳහා වන සෙසු නිලධාරින් සූදානම් කරගත්තේ කඩිනමිනි. විශේෂ කාර්යාංශයේ කොස්තාපල්වරයෙකුගෙන් ලද මෙම තොරතුර නිවැරදි බව සහතික කරගත් මෙහෙයුම් කණ්ඩායම සැකකරු පැමිණෙන මාර්ගයේ රැකවල්ලා සිටියේ සීරුවනි. මේ කිසිවක් නොදත් ව්‍යාපාරිකයා පිටකොටුවට පැමිණියේ දුම්වැටි බණ්ඩලයක්ද රැගෙනය.

එහි දුම්වැටි අඩංගු පෙට්ටි දහයක් තිබූ අතර පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට පටන්ගත්තේ ඉන් අනතුරුවය. ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි හතළිස් දෙහැවිරිදි විවාහයකු වන මෙම පුද්ගලයාගේ නිවෙස පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කළේ ඔහුගෙන් ලද තොරතුරු අනුවය. ඔහුගේ බිරිය, දරුවන් තිදෙනා, සහෝදරිය සහ සහෝදරයා සමඟ ඔහු මෙම නිවසේ වාසය කළේය. නිවසේ අල්මාරියේ සඟවා තිබූ ඉතිරි දුම්වැටි තොගය පොලිසිය භාරයට ගත්තේ රෙදි ගොඩක් යට සඟවා තිබියදීය.

ව්‍යාපාරිකයින් කීපදෙනෙකු සමඟ එකතුව වරින්වර ඩුබායි රාජ්‍යයට මෙන්ම ඉන්දියාවටද ගමන් කරන මෙම පුද්ගලයා සාරි, රෙදිපිළි, සුවඳ විලවුන් ඇතුළු ‘කොස්මෙටික්‘ බඩු මෙරටට රැගෙන එන අතර ඒ තුළ සූක්ෂම ලෙස සඟවා දුම්වැටි තොගයක්ද රැගෙන ඒමට කටයුතු කරන බව මෙහිදී අනාවරණය වී තිබේ. මොහු එක් වරකට රෙදි කිලෝ විසිපහක්, තිහක් පමණ ප්‍රමාණයක් රැගෙන ඒමට කටයුතු කරන බවද එම රෙදි අතර සඟවා දුම්වැටි තොගය රැගෙන එන්නේ කිසිම ආරක්ෂක නිලධාරියෙකුගේ ඇස නොගැටෙන අයුරින් වීම පුදුම සහගතය. තීරු බදු රහිතව ගුවන් මඟින් රැගෙන එන මෙම දුම්වැටි පිටකොටුව ප්‍රදේශයට රැගෙනවිත් සිල්ලරට අලෙවි කරන්නේ විශාල ලාභයක් ලබා ගනිමිනි. පිටකොටුව ප්‍රදේශයේ වෙළෙඳසල්වලට සාරි ඇතුළු අනෙක් රෙදිපිළි තොග වශයෙන් ලබාදීමට කටයුතු කළද දුම්වැටි තොගය ඔහු අලෙවි කරන්නේ එක දෙක වශයෙන් කුඩා ප්‍රමාණවලිනි.

පොලිසිය විසින් ඔහු සතුව තිබී තීරු බදු රහිතව මෙලෙස ගෙන්වන ලද දුම්වැටි හත්දාහක් පමණ අත්අඩංගුවට ගත් අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ හතක් පමණ වන බව අනාවරණය වී තිබේ.

වසර දෙකක පමණ කාලයක සිටම ඔහු මෙම ව්‍යාපාරය කිසිම බියකින් සැකයකින් තොරව සිදු කරගෙන ගොස් තිබුණත් පිටකොටුව පොලිසියේ නිලධාරීන් ඒ සියල්ලටම අගුළු දැම්මේ තීරුබදු රහිතව දුම්වැටි මෙරටට ආනයනය කිරීමේ වරද අනුවය.

කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් ලීලාරත්නගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි කොළඹ මධ්‍යම 01 කමල් කිරිඇල්ලගේ අධීක්ෂණයෙන් පිටකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සිලෝගමගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සෙනෙවිරත්න, සැරයන් (4832) ජනක, කොස්තාපල්වරුන් වන (92712) මධුසංක, (97109) පස්මිත යන නිලධාරිහු මෙම වැටලීමට සහභාගී වූහ.

විනීතා මානෙල් ගමගේ - හල්තොට සමූහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division