Home » අයියා නංගී වගේ ආශ්‍රය කළ අපි ආදරේ කරලා විවාහ වුණා

අයියා නංගී වගේ ආශ්‍රය කළ අපි ආදරේ කරලා විවාහ වුණා

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– අපි කාටවත් ණය නැහැ අඩු තරමින් ක්‍රෙඩිට් කාඩ් එකක්වත් මෙච්චර කල් භාවිත කරලා නැහැ
– මම යූටියුබ් සංකල්පය එතරම් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි
– මම එයාගේ ඩ්‍රයිවර් විතරයි පඩිය ගත්තාම එයාට දෙනවා එයා තමයි ඔක්කොම කළමනාකරණය කරන්නේ
– දුව පිටරට හිටියත් ඇය අපෙන් ගව්ගාණක් දුරස් කියලා දැනෙන්නේ නැහැ

ක්‍රිකට් ක්‍රීඩාවට එදා මෙදා ආදරය කරන සියල්ලෝම ක්‍රිකට් විස්තර විචාරයටත් බෙහෙවින්ම ඇලුම් කරනවා. පන්දුවෙන් පන්දුව විස්තර විචාරය කරමින් ඒ ගැඹුරු හඬ ශ්‍රාවකයන්ගේ මනස තුළ තැන්පත් කළ ඔහු කැළුම් ශ්‍රීමාල්. හඬ, රුව කවුරුත් දන්නවා. ඔහුගේ පෑන්තුඩෙන් මේ වෙද්දී ගීත 700ක් පමණ ලියැවිලා ඇති. එමෙන්ම ප්‍රධාන සංගීත ප්‍රසංග කිහිපයකයක ඔහු නිත්‍ය නිවේදකයා. එපමණක් නොව ඔහු රසදායක පස්වරුවක රස දෙන හදක රසකාමිත්වය හොයාගෙන ‘මා නොවන මා‘ එක්ක හරඹ කරනවා. මේ කතාබහ ඒ රසවතා සමඟයි.

කැළුම් ශ්‍රීමාල් කියූ සැණීන් දැන් වඩාත් ජනප්‍රිය මා නොවන මා වැඩසටහන එක්ක. ඒ නිසා අපි එතැනින් කතාබහ පටන් ගමු?   

දෙරණ කියන්නේ මට සුපුරුදු තැනක්. මට 2015 අවුරුද්දේ තමයි මා නොවන මා වැඩසටහන කරන්න ආරාධනා ලැබුණේ. එතැන් පටන් මේ වෙනකල් මම එම වැඩසටහන කරමින් යනවා. සංගීතය කියන්නේ මම සන්නද්ධ වූ තැනක්, ඇසූ පිරූ තැනක්. මා ළඟ තිබුණ සංගීත රසය මට හරියාකාරව මුදාහරින්න තැනක් ලැබුණා. දෙරණ ආකෘතිය මගේ එකක් බවට පත්කර ගනිමින් සිවිල් සමාජයට එය මුදාහරින්න අවස්ථාව හිමි වුණා . ඒ නිසා ප්‍රතිචාර අතිමහත් ලෙසින් හිමි වෙනවා කියන්න පුළුවන්. යූටියුබ් හි වීව්ස් බිලියන පසු කරමින් ප්‍රතිචාර ලැබීම සතුටක්. ආර්ට් එක දන්න නිසා වැඩේ හරියට කරගෙන යනවා.

මේ වෙද්දී ඔබ ගී පද හත්සියයක් පමණ ලියූ ගේය පද රචකයෙක්?

නැහැ මම තවම ලියනවා. තවම මගේ මාධ්‍ය රූපවාහිනිය හා ගුවන්විදුලිය.

ඒ නිසා මගේ ගීත බොහෝමයක් මා ලියන්නේ එහි විකාශය කරන ගායන ශිල්පි ශිල්පිනියන්ට. මම යූටියුබ් සංකල්පය එතරම් විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. අද ඒක බිස්නස් එකක් වෙලා. ඒ බිස්නස් එකට සමහරු යටවෙලා. නමුත් මම තවම ලියනවා. දිමංක වෙල්ලාලගේට හා සමන් ලෙනින්ට ලස්සන ගීත දෙකක් ලිව්වා. ඊට අමතරව අනුපමා පෙරේරාට “එන්න මාවෙත“ කියලා ගීතයක් ලිව්වා. තව ලියූ ගීත තියෙනවා. ඒ වගේම චිත්‍රපට සඳහා ලියූ ගීතත් තියෙනවා

පද රචකයෙක් හැටියට ඔබේ පද හරියට ගළපන්නේ තනුවට ද, හඬට ද?

මම බලන්නේ කටහඬ. ගායකයින්ගේ තාලය, ටෙම්පෝ එකට තමයි මම වැඩිපුර අවස්ථාව දෙන්නේ.

ඔබේ පෑන්තුඩ දැන් වැඩිපුර හුරු තනුවට ලියන්න කිව්වොත්?

මට ගොඩක් තනු දීලා ඒ තනුවට පද රචනය කරලා දෙන්න කියලා තමයි ආරාධනා ලැබෙන්නේ. මම ලියූ බොහෝ පද තනුවට ලියූ ඒවා කිව්වොත් හරි. චිත්‍රපට, ටෙලිනාට්‍ය පැත්තෙන් ගත්තොත් කතා තේමාවට අනූවනේ ලියන්නේ. ඒ වගේ ඇතැම් ගායකයින් ඔවුන්ගේ අදහස කියද්දි මම ඊට ගැළපෙන විදිහට ගීත ලියලා දීලා තියෙනවා.

එක ගීතයක් ලියන්න දවස් කීයක් ඔබ ගන්නවද?

අඩුම වෙලාව විනාඩි පහයි. පැය දෙක තුනෙන් ලියන්නත් පුළුවන් වගේම දවස් දෙක තුනෙන් ගීතයක් ලියලා ඉවර කරන්නත් පුළුවන්. ඒක අවස්ථාව අනුව වෙන දෙයක්. කොහොමත් මට ලියන්න ලොකු කාලයක් යන්නේ නැහැ. දවසකට ගීත දෙක තුනක් ලියූ අවස්ථා තියෙනවා.

සමහර අයට කවි, ගී ලියන්න පුළුවන්. ඒත් ලියන්න ආස කරන අය පෑනයි කොලෙයි අතට අරන් කල්පනා කරනවා කොහොමද ලියන්නේ කියලා. ඒ අය ගොළු වෙනවා. ඒ අයයි අපි අතරයි වෙනස තමයි අපි ලියන්නේ වෘත්තිකයින් විදිහට. පෑන අතට ගනිද්දි පද සියල්ල එකදිගට ඉක්මනින් ලියැවෙනවා. කතාවක් තියෙනවානේ අදහසක් හිතට එන එකටයි මරුවා ළඟට එන එකටයි යන්නේ එක මොහොතයි කියලා.

මෙතරම් ඉක්මනින් ලියන්න අදහස් කොහෙන් ද අහුල ගන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඔබේ පදවලට අත්දැකීම්, අත්විදීම් එකතු වෙන්නෙ කොහොමද කිව්වොත්?

මම සම්භාව්‍ය ගණයේ පොත් පත් කියවනවා.. මම නිතරම චිත්‍රපට නරඹන කෙනෙක්. මට භාෂාව අදාළ නැහැ, චිත්‍රපටය හොඳ නම් එය රසවිඳිනවා. විශේෂයෙන්ම නරඹන්නේ ඉංග්‍රීසි චිත්‍රපට. ඒවායේ ලස්සන දේ මගේ ලියැවිල්ලට එකතු කරගත් අවස්ථා තියෙනවා.

කලාව ඔබට ඕපපාතිකයක්?

මගේ තාත්තා කලාකාමියෙක්. ඔහු නළුවෙක් වෙන්න හිටපු කෙනෙක්. පුංචි කාලේ ඉඳලම මගේ ගෙදර ඇහුණේ සංගීතය. මම බහ තෝරන කාලේ ඉඳලා අහන්නේ එයා ගයන ගීත. ඒ නිසා වෙන්න ඇති මම සංගීතයට ආස කරන්නේ, මම රාගධාරි, ශාස්ත්‍රීය සංගීතය ප්‍රගුණ කළ කෙනෙක්. සංගීතයට අවශ්‍ය කළමනාකරණ සියල්ල මා සතු කර ගත්තත් ඒ පැත්තට යොමු වෙන්න බැරි වුණා.

ඔබ යොමු වෙන්නේ මුලින්ම වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණ පැත්තට. පසුව තමයි රූපවාහිනිය හා ගුවන්විදුලියේ ආභාසය ලබන්නේ..?

1983 අවුරුද්දේ මම දැන්වීම් පැත්තට යොමු වෙනවා. ඊට පස්සේ ස්වාධීන රූපවාහිනිය, හා ගුවන්විදුලිය එක්කත් TNL සමඟත් එකතු වෙලා වැඩ කරනවා. මේ අතරේ පත්තරවලටත් ලියනවා.

ඒ කාලේ ඔබ අතිශය ජනප්‍රිය වූ විස්තර විචාරක භූමිකාව සඳහා ආරම්භය ගන්නෙ කොහොමද?

ගුවන්විදුලියේ සේවය කරන කාලේ හැමෝටම නිසි පුහුණුවක් ලබා දෙනවා. මම මුලින්ම මයික් එකක් අතට ගන්නේ 1984 අවුරුද්දේ. ශනිදා හෝරාව වගේ ක්‍රීඩා සංග්‍රාම සඳහා සම්බන්ධ වුණා. ඒ අවස්ථාව ලැබෙන්නේ අහම්බෙන්. මම ප්‍රචාරණ දැන්වීම්වලට සම්බන්ධව ඉන්න කාලේ හදිසියේම ප්‍රචාරක දැන්වීමක් හඬ කවන්න අවස්ථාව ලැබුණා.

ඒ හදිසි අවස්ථාව මම හරියට ප්‍රයෝජනට ගත් නිසා තමයි මම නිවේදකයෙක් වෙන්නේ. ඊට පස්සේ ක්‍රිකට් විස්තර ප්‍රචාරය සඳහා මට දිගටම වැඩ කරන්න අවස්ථාව හිමි වෙනවා. ඒ කාලේ අපි වගේ තරුණ අයට ප්‍රවීණයින් ඉඩ හදලා දුන්නා. අපිත් එක්ක ප්‍රවීණයින් වැඩ කළා. ගුරුහරුකම් දුන්නා. ඒ කාලේ ගුවන්විදුලිය කියන්නේ විශේෂ හා ප්‍රබල මාධ්‍යයක්. යන එන ගමන් වුණත් ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ නිසා බොහෝ දෙනෙක් ක්‍රිකට් විස්තර විචාරයට ඇලුම් කළා. දැන් ඉන්න නවකයින් අයාලේ යනවා හරි පිවිසුමක් නැති නිසා. හරියට ගෙවීම් කරන්නේ නැති මට්ටමට වැටිලා. කඩාවැටීමක් මිස පිබිදීමක් නැහැ කොහොම නමුත් තවමත් මම එහි වැඩ කටයුතු හරි කැමැත්තෙන් කරගෙන යනවා. මට ප්‍රතිචාර වගේම ඉල්ලුම තියෙනවා.

ඔබත් පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රිඩා කළ ක්‍රීඩකයෙක්, ජාත්‍යන්තර මට්ටමින් ක්‍රිඩා කරන්න බැරි වූ නිසා ද විස්තර විචාරයට මේ තරම් ඇලුම් කරන්නේ…?

මම ඉගෙන ගත්තේ පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයෙන්. මම 19න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළා. හාඩ් බෝල් ගැහුවේ. මගේ කෝච් ප්‍රේමදාස සිල්වා සර්. මගෙ අම්මට, තාත්තට ඕන වුණේ දොස්තරවරු, ඉංජීනේරුවරු කරන්න. නමුත් ක්‍රිකට් අතරමඟ නතර වුණා. ඒත් මම ක්‍රිකට් මූලාශ්‍රය ගැන ඉගෙන ගත්තා. ගුවන්විදුලියේ ක්‍රීඩා අංශයේ රැකියාව කිරීමත් ක්‍රිකට් ක්‍රිඩා කර තිබීමත් විස්තර විචාරයේදි පහසු වුණා .

ඔබ වගේම කලාකාමි හිතක් ඇති දියණිය දැන් ඉන්නේ විදෙස්ගත වෙලා, පවුලේ එකම දරුවා ඇය. කොහොමද ඔබේ වැඩවලට ඇය ප්‍රතිචාර දක්වන්නේ?

දුව එකම දරුවා. එයා පාරමී ආලෝකා. එයාව විවාහ කරලා දුන්නා කියන්නේ මම මැච් එක ගහලා ඉවරයි වගේ තමයි . එයා විවාහ වුණේ නිරාන් කොස්තා එක්ක. එයා මට බෑණා කෙනෙක් නෙමෙයි පුතෙක්. දුව විවාහ වෙලා අවුරුදු පහක් වෙනවා. ඔවුන් ඉන්නේ ඔස්ට්‍රේලියා මෙල්බන්වල. දුව පොත් කියවන්න හරි ආසයි. අපි එහේ යද්දී පොත් පනහක් හැටක්වත් අරන් යන්න ඕන. දුවගෙ ගෙදර පුස්තකාලයක් තියෙනවා. ඇය කියවන්නේ සිංහල පොත්. ඔවුන් දෙන්නා හරි සතුටින් ජීවත් වෙනවා. පුතා දක්ෂ සූපවේදියෙක්. ඒ නිසා මගේ දුව රසට කනවා බොනවා. දුවත් පවුල වෙනුවෙන් සහය දෙනවා. දුව පිටරට හිටියත් ඇය අපෙන් ගව්ගාණක් දුරස් කියලා දැනෙන්නේ නැහැ. හේතුව දවසට එක වතාවක් හෝ ඇය කතා කරනවා. එයාට ගන්න බැරිවුණොත් පුතා කතා කරනවා.

ඔබේ නැගණියව හොයාගෙන නිවසට ආ ඇගේ හොඳම යෙහෙළිය අවසානයේ බිරිඳ කර ගත්තා නේද , ඇය ගැනත් කියමු?

මගේ හාමිනේ අනුෂා නිලන්ති. අපි විවාහ වෙලා අවුරුදු 35යි. මගේ නංගිගේ යාළුවා තමයි අනුෂා. ඇය ඒකාලේ අපේ ගෙදර එනවා නංගී එක්ක නැටුම් පුරුදු වෙන්න. එයාගේ අයියත් මගේ යාළුවෙක්. අන්තිමට අයියා නංගි කිය කියා ආශ්‍රය කළ අපි ආදරේ කරලා විවාහ වුණා. තවම එයා මට අර පුරුද්දට කතා කරන්නේ අයියා කියලා. මගේ නංගිලා අනුෂාට හරි ආදරෙයි. නංගිලාට වඩා මගේ බිරිඳ අම්මට ආදරෙන් හොඳින් බලා ගත්තා කියනවා. මම ගෙදර කිසිම දෙයක් කරන්නේ නැහැ. අඩු තරමින් තේ එකක්වත් හදන්නෙ නැහැ. හැමදේම කරන්නේ ඇය. මම එයාගේ ඩ්‍රයිවර් විතරයි. පඩිය ගත්තාම එයාට දෙනවා. එයා තමයි ඔක්කොම කළමනාකරණය කරන්නේ. ලක්ෂ දෙක තුන මාසෙට ගෙනැත් දුන්නත් රුපියල් 15 000ක් දුන්නත් සතුටින් භාර ගන්නවා. ඒත් ඇගෙන් රුපියල් 2000ක් ඉල්ලගන්නත් අමාරුයි. ඇත්තටම ඇය හොඳ බිරිඳක්. අපි කාටවත් ණය නැහැ. අඩු තරමින් ක්‍රෙඩිට් කාඩ් එකක්වත් මෙච්චර කල් භාවිත කරලා නැහැ. ණය නොවී සතුටින් ජීවත් වෙනවා එයාගේ කළමනාකරණය නිසා. ඒ වගේම මම මහන්සි වෙද්දී ටිකක් බණිනවා. ඒත් මට කවදාවත් බාධා කරලා නැහැ. මම කොහේ හෝ වැඩකට ගියොත් ඇයවත් එක්කගෙන තමයි යන්නේ.

ජූනී මාසේ ඔබ ගීත පොතක් එළිදක්වනවා, ඒ ගැන කියලම අපි කතාබහට සමු දෙමු?

මගේ 60 වැනි උපන් දිනය ජූනි 20. අවුරුදු පහකට කලින් මගේ උපන් දිනේ දවසේ තමයි දුව විවාහ වුණේ. එයා මෙල්බන්වල උත්සවයක් සංවිධානය කරනවා මගේ ගී පොත එළිදක්වන්න. මේ දවස්වල පොතේ වැඩ කටයුතු කරගෙන යනවා.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division