Home » උදා වූ අලුත් අවුරුද්දේ අපි හදවතින්ම අලුත් වෙමු

උදා වූ අලුත් අවුරුද්දේ අපි හදවතින්ම අලුත් වෙමු

අනිශා ජයකොඩි

by thanushika
April 13, 2024 12:30 am 0 comment

අදින් ඇරඹෙන මේ අලුත් අවුරුද්දේ අපි අභ්‍යන්තරයෙන් වෙනස් වෙමු. හදවතින් අලුත් වෙමු. කොහොමද එහෙම වෙන්නේ කියන එකට පුංචි මඟ පෙන්වීමක් තමයි මේ කරන්නේ.

පසුගිය වසරේ ඔබේ ජීවිතය ගෙවුණු ආකාරය මොහොතක් මෙනෙහි කරන්න. ඉටු කරගන්න බැරි වුණු බලාපොරොත්තු , ළඟා වීමට බැරි වුණු අරමුණු , වැරදුණු, පැටලුණු, රැවටුණු තැන් ගැන තව සැරයක් සිහි කරන්න. සාරාංශ කරන්න, අලුත් අවුරුද්දට ගෙන යා යුතු කොටස සහ සදහටම අතහැර දමා යා යුතු කොටස වෙන් කරගන්න.

පසු ගිය කාලය තුළ ඔබව රිදවපු, මානසිකව වට්ටපු දියුණුවට බාධා කරපු ඍණාත්මක පිරිස හදවතේ ලිස්ට් එකෙන් කපා දමන්න. මෙවැනි හානිදායක පිරිස අලුත් අවුරුද්දේ ඔබේ ලිස්ට් එකේ හිටිය යුතු නොවේ .

මුව පුරා සිනහ සී රට පුරා ගිනි ඇවිළු දෙලොවටම නැති කුහක පිරිසෙන් ඈතට වෙන්න.

අසන්තෘප්ත පවුල් ජීවිත ගතකරන හෝ පණ නැති ඔහේ හුළඟට පාවෙන ජීවිත ගත කරන, අලුත් බලාපොරොත්තු නැති එලොවටත් නැති මෙලොවටත් නැති පිරිසක් ඔබ වටේ සිටියා නම් ඔවුන්ගෙන්ද ඈතට වෙන්න. මොකද වේදනාවෙන් පිරිච්ච ආදරේ සෙනෙහස හිඟ පීඩිත ජීවිත ගත කරන මිනිස්සු සතුටින් ජීවත් වන පවුල්වලට සතුටින් පිරිලා තියන ජීවිත දකින්න කැමති නැහැ. ඒ නිසා ලබන නව වසරේ සුන්දර ජීවිත ගත කරන පින්වත් මිනිස්සුන්ට ළං වෙන්න. එහෙම අය නැත්තම් තනියෙන් තමන්ගේ අලුත් ගමන යන්න පටන් ගන්න.

ඔබව අත හැර ගියපු, පෙම්වතා, පෙම්වතිය, මිතුරන් හෝ කවරෙකු හෝ සිටී නම් ඒ සියලු වේදනා සහ මතකයන් ගුළිකරලා පොට්ටනියක් බැඳලා මහවැලියට දමන්න. මඟ ඇතඇරපු මිනිස්සු ඒ මතක අලුත් අවුරුද්දට කොහෙත්ම අවශ්‍ය වෙන්නේ නැහැ ඔවුන්ගෙන් ලද අත්‍ දැකීම් පාඩමට ගෙන අතහැරපු මිනිසුන් අතහැරලාම දමන්න .

ඔබේ සිත තුළ කිසිවෙකු කෙරෙහි ඇතිවූ වයිරයක්, තරහක් තිබුණා නම් ඒ සියල්ල හදවතින් ඈත් කරලා දමන්න. කිසිවෙකු වෙනුවෙන් තරහ ගැනීම, වයිර කිරීම වෙනුවෙන් වැය කිරීමට නව වසරේ ඔබට කාලයක් නැති බව හදවතට කියා දෙන්න .

මෙතෙක් කල් ඔබේ ජීවිතයට නිසි අරමුණක් තිබුණේ නැත්තම් ඔබ වෙනුවෙන් අරමුණක්, බලාපොරොත්තුවක් හදා ගන්න. ජීවිත ජීවත් කරවන්න නම් අලුත් බලාපොරොත්තුවක් අරමුණක් තියෙන්නම ඕනේ,

ව්‍යාපාරයක් පටන් ගන්න, රැකියාව වෙනස් කරන්න, විවාහ වෙන්න, දරුවන් හදන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න, විභාගයක් කරන්න හෝ කුමක් හෝ යහපත් අරමුණක් හදාගන්න. අරමුණක් නැති මිනිස්සුත් ඔවුන්ගේ හිතත් ඔහේ ඉබාගාතේ යනවා විතරයි. දෙලොවටම පලක් නැහැ.

ඒ නිසා අලුත් අවුරුද්ද වෙනුවෙන් දැන් ඉඳලම අලුත් බලාපොරොත්තු, අලුත් අරමුණු ලිස්ට් එකක් හදාගන්න.

සියළුම අලුත් බලාපොරොත්තු වෙනුවෙන් කාල රාමුවක් සහ වැඩපිළිවෙළක් නොනගතේ පටන් ගන්න කලින්ම හදා ගන්න.

යාළුවෝ, නෑදෑයෝ, නැන්දම්මා, අරයා මෙයා නිසා ඔබ මේ වසරේ සිත්තැවුලෙන් හිටියද? ඒ තැවුල් වියවුල් කිසිවක් අලුත් අවුරුද්දට ගෙන නොයන්න. ජීවිතේ ඔබ නොවන අන් කිසිවකු නිසා දුක් වීම, හඬා වැටීම, පසුතැවිලි වීම නවතා දමන්න.

කිසිවෙකුට රිදවීමට, හැඬවීමට නොහැකි, වැට්ටීමට නොහැකි ශක්තිමත් හිතක් සහ පෞරුෂයක් සහිතව අලුත් අවුරුද්ද පිළිගන්න ලෑස්ති වෙන්න.

එමෙන්ම අප බාහිරෙන් වෙනස් වී අලුත්ම කෙනෙක් වෙමු. ඒ වෙනුවෙන් කළ හැක්කේ කුමක් ද?

මිනිස්සු ඉපදිච්ච දවසේ ඉඳල මැරෙනකන්ම එකම විදිහට ඉන්න ඕනේ කියල එකක් නැහැ,. ජීවිත රටාව වෙනස් වෙන්න ඕනේ. ඒ වෙනස් වීම් තමයි ජීවිතවලට විවිධත්වයක් ලස්සනක් නැවුම් බවක් අරන් එන්නේ. ඒ නිසා අලුත් අවුරුද්දේ බාහිරෙනුත් වෙනස් වෙන්න.

අලුත් විදිහකට කොණ්ඩෙ කපන්න. හැමදාම ඇඳපු ඇඳුම් අමතක කරලා වෙනස් විදිහේ ඇඳුම් විලාසිතා අලුත් මෝස්‌තර තොරගෙන ඇඳුමෙන් පැලඳුමෙන් අලුත් වෙන්න.

*ඔබට ඔබගේ ශරීර හැඩය ප්‍රමාණයේ අඩුවක් හෝ වැඩියක් තිබුණා නම් ගැටළුවක් තිබුණා නම් ඔබ කැමති සිරූර වෙනුවෙන් වෙහෙසෙන.

ස්වාභාවික ආහාර, පාන සහ රුපලාවණ්‍ය ආලේපනවලට මේ වසරේ සිට වත් වැඩිපුර ඉඩක් දෙන්න. ඉන් ඔබව තව ඉදිරියට වසර ගණනාවක් ලස්සන කරාවි.

ඉවුම් පිහුම් ක්‍රම වෙනස් කර යහපත් අතුරු ආබාධ නැති ආහාර රටාවකට හුරුවෙන්න.

ජීවිතවල ඇති කෙළවරක් නැති තරගය නිසා බොහෝ පිරිස ආතතිය, විශාදය, වගේ මානසික ව්‍යාකූලතාවන්ට ගොදුරු වීම් ඉතා සුලබ වෙලා තියනවා. ඒ නිසා ඔබ නව වසරේ මනසේ යහපත වෙනුවෙන් භාවනාවක්, මානසික ව්‍යායාමයක්, (යෝගා වැනි ) සඳහා ඔබේ කාලයෙන් පොඩි ඉඩක් වෙන් කරන්න.

මිනිස්සු දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද ගෙවල් දොරවල් යාන වාහන වෙනස් කරනවා වගේ අවුරුද්දකට සැරයක් වත් තමන්වත් ධනාත්මකව වෙනස් කරගන්න ඕනේ. අලුත් වෙන්නේ නැති, එක තැන පල් වෙවී ඉන්න මිනිස්සු ජීවත් වෙනවා කියල කරන්නේ හුස්ම ගන්න එක විතරයි. ඒ ජීවිත පිටට දැනෙන්නෙත් නැහැ, එයාලට දැනෙන්නෙත් නැහැ. ඒ වගේ මිනිස්සුන්ට ජීවිතේ කියන්නේ ඔහේ දවල් රෑ වෙනවා විතරයි.

ජීවිතේ දැනෙන්නෙත් ජීවිතේ දිනන්නෙත් අභියෝගවලට මුහුණ දෙන, වැරදි වැරදී දිනන, පැරදි පැරදී නැඟිටින කොහොම කොහොම හරි දවසින් දවස අලුත් වෙන මිනිස්සු විතරයි.

හැම සිංහල අවුරුද්දෙම වගේ නැතුව මේ අවුරුද්දේ ගතින් සහ මනසින් අලුත් වෙච්ච අලුත් බලාපොරොත්තු ගොන්නක් ඇති අනවශ්‍ය බාහිර බලවේගයන්ට හා වැනි වැනි ඉන්න මිනිස්සුන්ගේ මඩවලට ගල් වලට, වචනවලට වැටෙන්නේ නැති කොන්දක් පෞරුෂයක් ඇති අලුත්ම කෙනෙක් වෙලා ලබන්නා වූ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සතුටින් පිළිගන්න අලුතින්ම ලැස්ති වෙන්න.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division