– අලුත් අවුරුද්දේ අලුත් ෆැෂන් සොයා කොළඹ සැරිසැරුවෙමි
– කොළඹින් රෙදි අරන් යන ගමන් කොකිස් අච්චු, තෙල් හැඳිත් ගෙනියනවා
– ගමේ යනකොට ලාබෙට රෙදි කොළඹින් ගන්න එක තාමත් පුරුද්දක්.
– අවුරුද්දට රටින් ගෙනා කිලෝවක් බර ලූනු ගෙඩිය
අවුරුදු සිරිතට නව ඇඳුමකින් සැරසීම බොහෝ දෙනාගේ බලාපොරොත්තුවයි. මීට කලකට ඉහත අවුරුද්දට රෙදිපිළි ගන්නට මුළු රටම ආවේ පිටකොටුව රෙදි පිළි හල් වෙතය. ඒත් පසුකාලීනව එම තත්ත්වය පසු බැස ගියේ නුගේගොඩ, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව හා ප්‍රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘත වීමත් සමඟය. ඔය මොනවා කියූවත් පිටකොටුව ප්‍රදේශයේ රෙදිපිළි ඉල්ලුමට ‘අලගු’ තියන්නට මොන නගරයකටවත් තවමත් බැරිය. ඊට හේතු වී ඇත්තේ කොළඹ රටේ රැකියා කරන ගම්බද උදවිය අවුරුද්දට ගමේ යන්නට පිටකොටුව බස් නැවතුමට එසේත් නැත්නම් කොටුව ඉස්ටේෂමට එන්නට සිදුවන නිසාය. අධිවේගී මාර්ගයේ ගෙදර යන උදවිය ද පිටකොටුවෙන් බස් රථයකට නැඟීම පුරුද්දක් කොටගෙන තිබේ.්
පිටකොටුවේ රෙදිපිළි වෙෙළඳාමේදී තොග සහ සිල්ලර ලෙස පැහැදිලි බෙදීමක් ඇත. රෙදි පිළි සිල්ලර වෙළෙඳාම වෙනත් නගරවලට බෙදී ගියත් තවමත් රෙදි පිළි තොග වෙළෙඳාම ඇත්තේ පිටකොටුවේ දෙවැනි හා තෙවැනි හරස් වීදිවලය. අවුරුද්දට ඈත ගම් දනව්වකදී ඇඳුමක් ගත්තත් ඊට අඩු මිලකට එම ඇඳුම පිටකොටුවෙන් ගත හැකි බව බොහෝ දෙනා තුළ මුල්බැස ගත් මතයක් වී හමාරය.
පිටකොටුවේ පේව්මන්ට් බිස්නස් එක මෙහෙය වන්නේ ‘සල්ලි පොලියට’ දෙන පොලියෙස්ටර් මුදලාලිලා විසිනි. උදේට පොලියට ගන්නා රු. 2000/= හෝ 50,000/= මුදල හවසට 20%ක පොලියක් ද සමඟ හවසට බේරිය යුතුය. මේ පේව්මන්ට් රෙදි පිළි වෙළෙන්දන් කරන්නේ පොලියට ගත් මුදලින් මිලයට ගන්නා රෙදි තොගය සුළු ලාභයක් තබා කෙසේ හෝ හවස් වන විට විකුණා හමාර කිරීමය. සවස් වීමට ප්‍රථම රෙදි තොගය ඉවර වුණොත් පේව්මන්ට් මුදලාලි තුනටියට අත තියාගෙන කියන්නේ
“අද නම් ගෙනාපු අයිටම් ටික බලා ඉඳිද්දි මාර විනාශ වීමක් වුණේ” කියාය
කොළඹ ගෙන්දගම් පොළවේ අවුරුදු රෙදි පිළි බිස්නස් බලන්නට අප මුලින්ම ගියේ වර්ල්ඩ් මාර්කට් නොහොත් ලෝක වෙළෙඳෙපොළටයි. එහි කරක් ගැසූ අපි අවුරුදු 30ක් එහි බිස්නස් කරන රොෂාන්ව තෝරා ගතිමු.
“නුගේගොඩ, කිරිබත්ගොඩ, මහරගම රෙදි කඩ දැම්මත් පිටකොටුවත් එක්ක තරග කරන්න බෑ. ලෝකෙ තියෙන අලුත් පැෂන් එන්නේ පිටකොටුවට.”
“දැන් වැඩියෙන්ම විකිණෙන්නේ කාන්තා ඇඳුම් ද ළමයින්ගේ ඇඳුම් ද නැත්නම් සරම් ද?”
“එහෙමත් කියන්න බෑ. මුස්ලිම් අවුරුද්දටත් ගෑනු පිරිමි ඔක්කොම බඩු ගන්නවා. මේ සැරේ නම් තාම බිස්නස් පිකප් වුණේ නෑ. ගොඩක් අය අප්‍රේල් 6 – 7 ගෙවල්වල යනවා. සෙනසුරාදා, ඉරිදා තමයි හොඳටම බිස්නස් තියෙයි හිතෙන්නේ.”
ලෝක වෙෙළඳපළේ බොහෝ දෙනා ඇඳුම් තේරුවේ මේ ලෝක විනාශයට ප්‍රථම එන අන්තිම අලුත් අවුරුද්ද වගේය. පාර අයිනට වෙන්නට ඇති රෙදි කඩවලට වඩා අඩු මුදලකට ඇතුළේ කඩවලින් ලාබෙට ඇඳුම් ගත හැකි බවට පාරිභෝගිකයන් තුළ මතයක් ඇති බවට කතාබහේදි අපට තේරුම් ගිය කරුණකි. ලෝක වෙළෙඳ පොළ ඇතුළට ගිය අපට එහි වූ රෙදි පිළි කන්දරාව නම් දරාපු සුපිරි වෙළෙන්දෙක්වත් අපට දැකගත හැකි වන්නේ නැත.
කොටුව ඉස්ටේෂම පසුකොට බෝගහ දෙසට ගමන්කොට කුකුල්මස් තොග කඩ ළඟ නැවතුනෙමු. මුළු කොළඹටම කුකුල් මස් සපයන්නේ මෙතැනය.
දැන් අප පිවිසියේ නොරිස් පාර නොහොත් ඕල්කට් මාවතටය. පේව්මන්ට් එක අතුරු සිදුරු නැතුව එකම මිනිස් ගොඩකි. මුලින්ම කතාබහට එක්කර ගත්තේ ‘සරම්’ වෙළඳාමේ නියුතු නිශාන්තය.
“මං සීසන් එකට විතරයි සරම් දාන්නේ, වෙසක් එකට වෙසක් කූඩු දානවා, ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් අයිටම් නැත්නම් ෆෝන් අයිටම් තමයි බිස්නස් කරන්නේ.”
නිශාන්ත කියන්නේ ඉන්දියන් සරම් ලේබල් ගහල තිබුණාට මේ බොහෝ සරම් ලංකාව් හදපු ඒවා බවය.
“ලංකාවේ තමයි හොඳම සරම් හැදුවේ. අපේ තාත්තලාගේ කාලෙ දාස එකේ ඩියුරෝ සරම තමිල් නාඩුවෙත් කට්ටිය ඇන්ද. තාම සමහරු ඉන්දියාවෙන් අඩු ගාණට සරම් වල්ලම්වල දාගෙන ගේනවා. අන්තිම බාලයි. හොඳ ඉන්දියන් සරම් ගන්නවා නම් ඉතින් ‘මේන් ස්ට්‍රීට්’ යන්න වෙනවා. හොඳ සරමක් හත්අටදාහක් වෙනවා. පනස්දාහට ලක්ෂයටත් සරම් තියෙනවා. අර දිලිසෙන දෙමළ බයිස්කෝප්වල රජිනි කාන්ත් අඳින්නේ.”
“නිශාන්ත විකුණූ සරම් මිල ආරම්භ වූයේ රු.500ටය. අප බලාගෙන සිටිත්දි රු.500/= සරම් තොගයම යම් ආයතනයක පුද්ගලයකු මිල දී ගන්නා ලදි.
“අපි මේ සිකියුරිටි කම්පැනියක අවුරුදු උත්සවය හෙට. කට්ටියට තෑගි දෙන්න තමයි මේ සරම්.”
“දැන් තියෙන සරම් කීයද ?”
‘හෙට බඩු ගේනකම් අඩුම සරම දැන් 900/=යි. රු. 1200/= – රු. 1800 /= ටත් තියෙනවා හොඳ කොලිටිය.”
“දැන් අලුත් පරම්පරාව සරම් අඳිනවද?” මම නිශාන්තගෙන් ඇසුවෙමි.
“දැන් අලුත් ට්‍රෙන්ඩ් එක තමයි සරම ඇඳල සන්ග්ලාස් දාල හෑන්ඩ් ෆ්‍රී සෙට් එක ගහගන්න එක. හැබැයි සරමටම මැච් වෙන කමිසයක් මේ වගේ තියෙන්න ඕන.”
නිශාන්ත අපට අත්කොට විසිතුරු කමිස තොගයක් පෙන්වීය.
එදා අවුරුද්දට පෙම්වතියට, දුවට, අම්මාට, ආච්චිට දුන්නේ චීත්තයකි. 1977දී එජාපය මැතිවරණ වේදිකාවේ මැතිනියට එල්ල කොට ඇති ප්‍රධාන චෝදනාවක් වී ඇත්තේ ‘භූමිතෙල් ගඳ ගහන ලෝකල් චීත්ත’ මිනිස්සුන්ට අඳින්න දුන් බවකි. මෙවර ‘චීත්ත’ රෙදි පිටකොටුවේ වීදිවලට ගොඩ බැස තිබීම අපටත් පුදුමයක් විය. මෝදර සිට පැමිණි නාලනි මුළුමනින්ම චීත්ත අලෙවියේ නියුතු විය.
“මං චීත්ත විකුණන්නේ සිංහල අවුරුද්දට විතරයි. වෙනදාට ‘ටෙඩී බෙයාර්’ විකුණනවා. නාලිනි පසෙකින් වූ ටෙඩිබෙයාර් තට්ටුව අපට පෙන්වීය. එහි අඟල් 6 සිට අඩි දෙක තුන දක්වා උස ටෙඩි බෙයාර්ලා විය.
නාලනි පැවසුවේ මෙම චීත්තයේ ඇත්තේ මීටර් 2 1/2ක් බවය.
“මේ චීත්තයක් රු. 350/=ක් වෙනවා. ගොඩක් අය තෑගි දෙන්න ගෙනියන්නේ. තෑග්ගක් අවුරුද්දට දෙන්න ඕනවට අඩුගාණට ගන්නවා. මෙච්චර චීත්ත වික්කට මෙහෙ නම් කවුරුත් අඳිනවා දැකල නෑ. ගම්වල තමයි ඉතින්. සමහරු අඳින් නැත්නම් ඒ වයින් කොට්ට උර මහ ගන්නවා.”
පිටකොටුවේ පේව්මන්ට් එකේ සැරිසරන විට සෙනඟ පිරී ඉතිරී සිටි රෙදිපිළි කඩවලට ගොඩවූ විට ඇතිවූයේ මෙවැනි ප්‍රතිචාරයකි.
“බොසා කැෂියර් එකේ සල්ලි ගණිනවා. බිස්නස් මෝරන වෙලාව. බොසා වෙන වෙලාවක එන්න.”
එහෙත් එක් රෙදි සාප්පුවක කළමනාකරුවකු ‘සිළුමිණ’ පත්තරයක් බලමින් සිටි නිසා ඔහු සමඟ කතාබහට එක්වූවෙමු. ඔහු නමින් ‘අනුර’ය.
“දැන් රෙදි ගන්න ප්‍රසිද්ධ නම් තියෙන තැන්වලට තමයි මිනිස්සු යන්නේ. අලුත් පැෂන් ආවම කෑලි 25,000ක් ආවත් කාටත් ගන්න බැරිවෙන්න ඔය ලොකු කඩකාරයෝ ගන්නවා. අවුරුදු කටේ ඒ ඩිසයින් මහන්නත් වෙලා මදි නිසා ඒ කඩවලට බිස්නස් තියෙනවා.”
අනුර කියන්නේ මෙවර රෙදි පිළිවල මිල ගණන් අධික ලෙස ඉහළ ගොස් ඇති බවය.
“රු. 590/= ට වික්ක අන්ඩවෙයාර් එකක් රු. 1200/=යි. ෂර්ට් වුණත් එහෙමයි. ඩොලර් වැඩිවුණාම නැග්ග ෂර්ට්, ගවුම්, ළමයින්ගේ ඇඳුම් ගාණ බැස්සේ නැහැ. ඉස්කෝලවල නිවාඩු දෙන දිනෙත් මේ රෙදි පිළි බිස්නස් එකට බලපානවා. ඔය ලොකු රෙදි සාප්පුවල තියෙන ‘බ්‍රෑන්ඩඩ් ටී ෂර්ට්’ වගේ දේවල් අපිට එන්නේ නෑ. ඒ තැනකින්ම තමයි ගන්න වෙන්නේ.”
අවුරුද්දට කිරිබතක් උයන්නට සුදු හාලක්, ලුණුමිරිසක් හදන්නට රතු ලූනු නැතිවම බැරි දේවල්ය. අප හතරවන හරස්වීදියට ගියේ හාල්, ලූනු වැනි ප්‍රධාන තොග කඩ ඇත්තේ එහි නිසාය. ඉන්දියාවේ චිප්ලා නමැති පළාතෙන් ගෙනා දැවැන්ත රටලූනු එහි විය. පොල්ගෙඩි පමණට විශාල මේ ලූනු ගෙඩියක් ගෙන තොග කඩේ තරාදියෙන් තැබුවෙමි.
“ග්‍ර්ෑම් 690/=යි. රීටේල් දෙන්නේ නෑ. කිලෝ 25 මුට්ටයක් ගන්න ඕන.” තොග කඩේ කොලුවා මා දෙස රවා බලමින් පැවසීය. තොග කඩේ මුදලාලි ඥනසේකරම්ය.
“ඔය සමහර ඒවා එක ගෙඩියක් කිලෝවක් විතර බර ලූනු සැර නැහැ. ලංකාවේ ලූනු තමයි සැර. මරු තමා. ඔය ජම්බෝ ලූනු කිලෝව රු. 300/=යි. අවුරුද්දට ලුණු මිරිසට නම් හරියන්නේ නැහැ. චයිනිස් රටලූනු කිලෝ එක රු. 270/=යි. රතු ලූනු තමා අවුරුද්දට ලුණු මිරිසට හරියන්නේ. කිලෝ එක රු. 245/=යි.
“මොනවා නුගේගොඩ පේව්මන්ට් එකේ රතුලූනු 250ක් රු. 125/=යි. ඒ කියන්නේ කිලෝව රු. 500/=යි.” මම පුදුමයෙන් පැවසුවෙමි.
ඥානසේකරම් නැවතත් කිවුවේ කිරිබත් උයන්න සුදු කැකුළු තොග කිලෝව රු. 160/=ක් බවය.
පිටකොටුවෙන් ගමේ යන්නට බස් රථවලට නගින උදවිය රැස්වන ප්‍රධාන මාර්ගයක් නම් බෝධිරාජ මාවතය. මෙය ඇත්තේ පිටකොටුව බෝධින් වහන්සේට පසුපසිනි. මේ හේතුව නිසාම පිටකොටුව බෝධිය අන්තයේ සිට පීපල්ස්පාක් දෙසට දැවැන්ත රෙදිපිළි සාප්පු ජාලයක් දැන් බිහිවී ඇත.
මෙයින් එක් අලෙවිසලකට ගොඩවූ අපට එහි අන්තය දක්වා පෙළගස්වා ඇති රෙදි තොගය සිතාගත නොහැකි තරම් විය. එහි කළමනාකරු ‘අස්මීර්’ ය.
“ගමේ යන අය අපෙන් බඩු තොගයක් ගන්නවා. අම්මට, තාත්තට, දරුවන්ට, නෑදෑයන්ට. හැමෝම කියන්නේ නුගේගොඩ, කිරිබත්ගොඩ, මහරගමට වැඩිය ලාභයි කියලා. පාර්සලේ ලොකු වුණොත් සිමෙන්ති කොට්ට උරවලින් හදපු කොළවල ඔතල ලණුවලින් ගැටගහල බස් එකේ ඩිකියේ දාගන්නවා. මං මුස්ලිම් හින්ද මුස්ලිම් අවුරුද්දට බඩු ගන්න අයත් එනවා.”
මෙවර අවුරුදු ඇඳුම් විලාසිතා ලෝකය අමුතුම සිරියක් ගෙන තිබුණි. අලුත් නිම් ඇඳුම් විලාසිතා දුටු විට අපට පෙනී ගියේ ඒවා අන්තර්ජාලයේ වූ නවීන විලාසිතා බවය. අලුත් අවුරුද්ද කියන්නෙම අලුතෙන් අවුරුද්දක් පටන් ගන්නා නිසාය. අලුත් අවුුරුද්දේ හැමදේම අලුත් කරන්නට හිතන ජනතාව ඇඳුම් පැලඳුමේ සිට කිරි උතුරවන හට්ටිය පවා පිටකොටුවෙන් මිල දී ගෙන කරගහගෙන යන බවට අපට දැකගත හැකි විය. ඒ අතර කොකිස් අච්චු, කොණ්ඩ කැවුම් බදින තෙල් හැඳි මෙන්ම පොල්කටු හැඳිද මේ පිටකොටුවෙන්ම අරන් යන්නේ ගමේ ගාණට අඩුවෙන් මිල දී ගත හැකි නිසා විය යුතුය. රෙදිපිළි කඩවලට ගොඩවදින බොහෝ දෙනා අසා සිටි ප්‍රශ්නයක් වූයේ ‘මේ පාර ආපු අලුත් පැෂන් මොනාද? යන පැනයයි. අලුත් පැෂන් කොහොම වුවත් බොහෝ දෙනා සමඟ කතා කිරීමේදී පෙනී ගියේ අලුත් අවුරුද්දට ගන්නා අලුත් ඇඳුම අවුරුද්දෙන් පසු රැකියාව කරන ස්ථානයට, ටියුෂන් පන්තියට වගේ අඳින්න පුළුවන් එකක් විය යුතු බව බොහෝ දෙනාගේ මතය වූ බවය. අලුත් අවුරුදු ඇඳුම් වෙළෙඳපළ විමසන්නට ගිය අප ලේක්හවුසියට නැවත ආවේ හිස් අතින් වුවද අපගේ මතකය මෙවර අවුරුද්දට තෑගි දිය යුතු රෙදිපිළි ගත යුතු තැන් ගැන මතකයන් පිරී ඉතිරී ගොස් තිබුණි. ඒත් කොළඹ වෙනදාට ස්පීකර් බැඳ ප්‍රචාරය කෙරුණු කිරි ඉතිරේවා නව වසරේ වැනි ගීත වාදන නම් මෙවර දැකගන්නට ලැබුණේ නැත.
ඡායාරූප – රංජිත් අසංක
වජිර ලියනගේ