Home » තාත්තාගේ කඩේ ඉඳන් මත් කරල් වික්ක පුත්‍රයා 

තාත්තාගේ කඩේ ඉඳන් මත් කරල් වික්ක පුත්‍රයා 

අම්බලන්තොට යතුරුපැදි අමතර කොටස් වෙළෙඳසලක කාලයක් තිස්සේ සිදු වූ ජාවාරමක්

by thanushika
April 6, 2024 12:30 am 0 comment

අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගැනීමේ අරමුණ ඇතිව ආරම්භ කෙරුණු “යුක්තිය” මෙහෙයුමට මේ වන විට මාස තුනක් ඉක්මවා ගොස් ඇත්තේ මහා පරිමාණ මෙන්ම ගම් මට්ටමින් අපරාධකරුවන්, මත් ජාවාරම්කරුවන් රොත්තක් නීතියේ රැහැනට හසුකර ගනිමිනි.

මේ ජාවාරම්කරුවන් දිගින් දිගටම එලෙස අත්අඩංගුවට පත්වෙද්දී ඔවුන්ට සිය ජාවාරම් කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා වීම හේතුවෙන් ඒවා දිගටම සිදු කරගෙන යාමට ඔවුන්ට විවිධ උපායන් යෙදීමට ද සිදු විය. ඒ අනුව අම්බලන්තොටදී පසුගියදා අත්අඩංගුවට ගන්නා සැකකරුවෙක් යතුරුපැදි සේවා සපයන මුවාවෙන් මත් කරල් විකිණීමේ ජාවාරමක නිරතව සිටියදී මෙලෙස නීතියේ රැහැනට හසු විය.

අම්බලන්තොට නගරයේ කලක සිට තරුණයන් සහ ධීවරයින් ඉලක්ක කරගෙන ‘මත් කරල්’ අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බවට පසුගිය දිනෙක තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබුණි. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ස්ථානාධිපතිවරයා ඇතුළු එම ඒකකයේ නිලධාරීන් මේ සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලදි. ඒ අනුව ඔහුගේ උපදෙස් පරිදි මෙම මත් කරල් ජාවාරම වැටලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කැරුනේ පසුගිය දිනෙකය.

විවිධ වෙස්ගත් තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් අම්බලන්තොට, නෝනාගම ප්‍රදේශයේ සිට අම්බලන්තොට නගරය දක්වා ආවේක්ෂණ රාජකාරියේ යෙදුණේ මේ සම්බන්ධයෙන් මූලික තොරතුරු අනාවරණය කරගැනීම සඳහාය. එලෙස ආවේක්ෂණ රාජකාරියේ නිරත වුණු පොලිස් නිලධාරීන්ට අම්බලන්තොට නගරය අවට තරුණයන් සහ ධීවරයින්ට මත් කරල් අලෙවි කිරීමේ ජාවාරමේ ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ලැබිණි. එහිදී විමර්ශන නිලධාරීන්ට ලද එම තොරතුර වූයේ අම්බලන්තොට නගරයේ යතුරුපැදි අලෙවිසැලකින් මෙම ජාවාරම ක්‍රියාත්මක කරන බවය. පොලිස් නිලධාරීන්ට ලද මෙම තොරතුර ඔවුන්ටද එකවරම පිළිගත නොහැකි වූ නමුත් නිලධාරීන් කණ්ඩායම තවදුරටත් ඒ පිළිබඳව සිදු කරන ලද සෝදිසියේදී මත් කරල් ජාවාරමේ අම්බලන්තොට ප්‍රධානී යතුරුපැදි අලෙවි සලේ සේවයේ නිරත 24 හැවිරිදි තරුණයා බවට තහවුරු කරගැනීමට මහ වේලාවක් ගතනොවීය.

මෙහි තොරතුරු සියල්ල අනාවරණය වීමෙන් අනතුරුව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් කණ්ඩායම අදාළ යතුරුපැදි අලෙවි සලට ගොස් සැකකරු අත්අඩංගුවට ගන්නේ ඔහු තුෂ්ණිම්භූතව සිටියදීය. එහිදී අත්අඩංගුවට පත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරු සන්තකයේ තිබු ප්‍රිගැබ්ලින් (pregablin) වර්ගයේ මත් කරල් 500ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

මෙලෙස අත්අඩංගුවට ගැනුණේ වලේවත් පාර, ලෝලුපතාන, අම්බලන්තොට ලිපිනයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. ඔහු පියාට අයත් යතුරුපැදි අලෙවි සලේ සේවා සපයන්නෙක් ලෙස මෙන්ම ධීවරයෙකු ලෙසද කටයුතු කරන අයෙකි.

සැකකරු සිය පියාට අයත් අම්බලන්තොට නගරයේ පිහිටි යතුරුපැදි අලෙවි කිරීම හා සේවා සැපයීමේ ආයතනයේ සේවය කරන අතරතුර මෙම ජාවාරම සිදු කරගෙන ගොස් තිබුණේ කිසිවෙකුටත් සැක නොසිතෙන පරිදිය. අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු පොලිසියට පවසා තිබුණේ තමාට මෙම මත් කරල් ‘පදලංගල’ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ලබා දෙන බවත් ඔහු කොළඹ පදිංචි පුද්ගලයෙකු මාර්ගයෙන් මෙම මත් කරල් පදලංගලට ගෙන්වා ගන්නා බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරු කාලයක සිට ඉතා සූක්ෂ්මව මෙම ජාවාරම කරගෙන ගොස් තිබූ අතර ඔහු දැන හඳුනාගත් මිතුරන් හරහා පමණක් මෙම මත් කරල් අලෙවි කිරීම සිදුකර ඇති බවද මූලික ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී තිබේ. ධීවරයින් සහ තරුණයින් සඳහා පමණක් මොහු මෙම මත් කරල් අලෙවිය සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මත් පෙති සහ මත් කරල් ජාවාරම සම්බන්ධ තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී ඇත. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අම්බලන්තොට පොලිස් ස්ථානයට භාර දී ඇත. සැකකරු අම්බලන්තොට පොලිසිය විසින් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරිණි

තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. කීර්තිරත්නගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයවීර, සැරයන්වරුන් වන (70223) රසික, (71453) ඉන්දික, (72939) සංජය, (75587) අමිල සහ කොස්තාපල්වරුන් වන (84229) සමන්, (91504) සඳරුවන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම සිදු කරන ලදි.

නුවන් ජයසේකර - සූරියවැව විශේෂ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division