Home » කෙලින්ම කතා කරමු

කෙලින්ම කතා කරමු

by Mahesh Lakehouse
April 6, 2024 12:30 am 0 comment

අරයා ආවොත් මෙයා ආවොත් මම එන්නේ නැහැ කියලා කියන්න කවුරුත් කලබල විය යුතු නැහැ
– පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

ජනාධිපති මැතිවරණයට නාමල් ආවොත් මගේ සහයක් නැහැ කියලා ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කියනවා. ඒ ගැන මොකද කියන්නේ.?

පළමුවැනි කාරණාව නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙනවා කියලා අපි කිසිසේත්ම තීන්දුවක් අරගෙන නැහැ. එවැන්නක් රටට ප්‍රකාශ කරලා නැහැ. අරයා ආවොත් මෙයා ආවොත් මම එන්නේ නැහැ කියලා කියන්න කවුරුත් කලබල විය යුතු නැහැ. එහෙම කලබල වෙනවා නම් ඒක ඇහැට ඇඟිල්ලෙන් ඇන ගන්නවා වගේ වැඩක් වෙන්න පුළුවන්. දේශපාලනය ඒතරම් අපි සරලව දැකිය යුතු නැහැ. අපි ටිකක් ගැඹුරින් මේ දේශපාලනය කියවා ගත යුතුයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වුණොත් මම නම් පැත්ත පළාතේ එන්නේ නැහැ කිව්ව අයත් අවසානයේදි හිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමේ ප්‍රධානම සටන් වේදිකාවේ එතුමන් එක්ක.

“සටන අරඹමු හම්බන්තොටින්” යන තේමාවෙන් ඇරඹුණේ පොජපෙ ඊළඟ දේශපාලන ඉවෙන්ට් එක කිව්වොත්?

පසුගිය කාලයේ මේ රටේ හැම දේශපාලන ව්‍යාපාරයක් අපෙන් ප්‍රශ්න කළා පොජපෙ පැත්තෙන් මොකද කරන්නේ කියලා. ඊළඟ දේශපාලන අවස්ථාවට සුදානම් වෙමින් ඉන්නවා. ඒ සූදානම එක්තරා සංකේතාත්මක ලෙස නාමල් රාජපක්ෂ ජාතික සංවිධායක ධූරයට පත්වීම නිමිත්තක් ලෙස අරගෙන අපි යම් දේශපාලන වැඩපිළිවෙළක් ආරම්භ කළා.

පොජපෙ පුළුල් සන්ධානයක් ගැන කතා කළාට කැඩිලා ගිය පිරිස් වෙනත් පක්ෂ වටා එකතු වෙලා නේද?

අපි ඊළඟ ඡන්දය කරන්නේ පළල් සන්ධානයකින්. මේ රටේ 1948 සිටම සන්ධාන ගොඩනැඟුණා. එහි පළල්ම එකතුව හදලා තියෙන්නේ අපේ දේශපාලන කඳවුරු විසින්. ඒ නිසා අපි කියනවා ඊළඟ ඡන්දයේදීත් වැඩිම නියෝජනයක් සහිත පුළුල් සන්ධානය හදන්නේ අපි.


අත්දැකීම් තියෙන බැසිල් මහත්තයාට දුන්නා නම් වඩාත් හොඳයි
– නාගරික සංවර්ධන හා නිවාස ඇමැති – ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග

ජනාධිපති මැතිවරණයට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ආවොත් මගේ සහයක් නැහැ කියලා ඔබ කියනවා?

මම එය ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේදිත් කිව්වා. මම එය මාධ්‍යවල කිව්වේ ඒක මගේ පෞද්ගලික අදහසක් විදිහට. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් කිව්වා නාමල්ට තව කල් තියෙනවා කියලා. 69 ලක්ෂයක් ඡන්ද අරගෙන අපි ෆේල් කියලා මතයක් හැදිලා තිබුණා. එය හරි හෝ වැරදි එහෙම මතයක් හැදිලා තියෙනවා. සමහරවිට ගත්ත තීන්දු තීරණවල වැරදි තියෙන්න ඇති. ඒ මන්ත්‍රී කණ්ඩායමම ඉඳගෙන 2022 වසරේ මැයි දිනේ දවසේ ඉඳලා අද දවසේ තත්ත්වය බැලුවාම රටේ ලොකු වෙනසක් වෙලා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොජපෙ ජාතික සංවිධායක ධුරයට පත් කරලා තියෙනවා. ඔබ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මෙය දකින්නේ කෙහොමද?

තරුණයකුට අවස්ථාවක් ලබාදීම පක්ෂය ගත්ත හොඳ ක්‍රියාමාර්ගයක්. නමුත් මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ අනාගතය වෙනුවෙන් එය හොඳයි ද නරකයි ද කියන්න මම දන්නේ නැහැ. පක්ෂය පැත්තෙන් මම කියනවා අත්දැකීම් තියෙන බැසිල් මහත්තයා එතැන හිටියා නම් හොඳයි කියලා. මේ පත්වීමත් පක්ෂයටත් හොඳ අත්දැකීමක්. අලුත් විදිහට හිතලා මොනවා හරි කරන්න පුළුවන් වෙයි.

අත්දැකීම් තියෙන අය ඉදිද්දි තරුණයෙක් පත්කිරීම සුදුසු නැහැ කියලා ඇතැම් අය කියන්නේ?

ඒ වෙලාවේ යෝජනාවක් ඉදිරිපත් කරන්න කිව්වාම එතුමගේ නම විතරයි යෝජනා වුණේ. වෙන කාගෙවත් නමක් යෝජනා වුණේ නැහැ. එතුමා නිතරඟයෙන් පත්වුණේ. විරෝධතාවක් දක්වන්න කෙනෙක් ඉන්නවා නම් අකැමැතියි කියලා ප්‍රකාශයක් කරන්න තිබුණා. එහෙම කාගෙවත් අකැමැත්තක් තිබුණේ නැහැ.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට අලියා ලකුණින් ඉදිරිපත් වුණොත් සහය නොදෙන බව ඔබ කියනවා?

මැතිවරණ ගණනාවක අපි කටයුතු කළේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධවයි. අපේ පාක්ෂිකයෝ අලියට ඡන්දය දෙනවාට වඩා පොදු ලකුණකින් එනවා නම් අපිට ඡන්දය හදාගන්න පුළුවන්. පාක්ෂික ලකුණකින් එන්නේ නැතුව අලුත් ලකුණක් හදාගෙන මේ රටේ ජාතික ප්‍රශ්නයට විසඳුමක් සොයන්න. පොදු අපේක්ෂකයෙක් ලෙස එතුමා එන්න අවශ්‍යයි කියලා මම කියන්නේ.

එජාපයට එකතු වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා ද?

මම යන්න බලාපොරොත්තුවක් නැහැ. මට එහෙම එජාපයට යන්න වුවමනාවක් නැහැ. එජාපයට යන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එජාප වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට ඉල්ලුවත් මම සහය දෙන්න ඕනනේ. මම මේ වෙලාවේ රටේ පුරවැසියන් ගැන හිතලයි මේ ගැන කියන්නේ.


නාමල්ට සහයෝගය දෙන්න අපි සූදානම් නැහැ 
– ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ

ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ ආවොත් මගේ සහයක් නැහැ කියලා පොජපෙ ප්‍රසන්න රණතුංග කියනවා?

රාජපක්ෂවරුන්ගේ ක්‍රියාකලාපය නිසා තමයි අපිටත් ඉවත් වෙන්න සිදු වුණේ. නාමල් රාජපක්ෂ හෝ පොහොට්ටුවේ අපේක්ෂකයෙක් කවරෙක් හෝ ඉදිරිපත් වෙනවා නම් අපි කිසිඳු ආකාරයකට සහයෝගයක් ලබා දෙන්නේ නැහැ.

ඔබතුමාලා පක්ෂයක් හැටියට ජනාධිපතිවරණයට සහයෝගය දෙන්නේ කොයි පිලට ද?

ජනාධිපතිවරණයේදි සුදුසු අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරමින් සිටිනවා. දැනට ඉදිරිපත් කිරීමට සිටින අපේක්ෂකයා සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් අරගෙන නැහැ. දැනට ඉදිරිපත් කිරීමට සිටින අපේක්ෂකයන් සම්බන්ධයෙන් ගත් විට අපි හරියාකාරව දන්නෙ නැහැ. විශාල ප්‍රමාණයක් ගැන කතා කරනවා. පඳුරකට පයින් ගැහුවත් අපේක්ෂකයෝ ගණනාවක් ඉන්න තත්ත්වයක් තියෙන්නේ. නමුත් අවසාන තීරණයක් තවම අරගෙන නැහැ. එවැනි වැඩපිළිවෙළ ගැන අපි දන්නේ නැහැ. එනිසා අපිට එකඟ විය හැකි වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් අපි කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා අපේ ප්‍රතිපත්ති මාලාවක් එක්ක යන පොදු වැඩපිළිවෙළ සමඟ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරිමට අපි සාකච්ඡා කරමින් සිටිනවා.

නාමල් ජනාධිපතිවරණයට ආවොත් අපි සහයෝගය දෙන්නේ නැහැ. කියන තැන ද ඔබ ඉන්නේ.?

අපේ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයත් උත්තර ලංකා සභාගයත් නාමල් රාජපක්ෂ වැනි නායකත්වයක් වෙනුවෙන් මේ මොහොතේදි සහයෝගය දෙන්න සූදානම් නැහැ.

දැනට අපිට දක්නට තියෙන ජනාධිපති අපේක්ෂකය ජනතාව පිළිගන්නේ නැහැ කියල ද ඔබ කියන්නේ.?

රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයාට පොජපෙ සහයෝගය ලැබෙයි කියලයි අපි හිතන්නේ. ඒ පක්ෂ දෙක අතර තියෙන දේශපාලන ප්‍රතිපත්තිවල පැහැදිලි වෙනසක් අපි දකින්නේ නැහැ. සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පිළට සහ ඒ ආර්ථික වැඩපිළිවෙළට අපි සහයෝගය දෙන්නෙත් නැහැ. අනුර කුමාර දිසානයක මහතා සම්බන්ධයෙන් කතා කිරීමේදී ඒ අය කියන්නේ ඔවුන්ගේ කණ්ඩායමට එකතු වෙන්න පුළුවන් නමුත් සන්ධාන හදන්නෙ නැහැ කියලා. අපිට මේ රටේ මූලික ප්‍රශ්න අපි හඳුනාගෙන තියෙනවා. ඒ දේවල්වලට පිළිතුරු සොයන්න පුළුවන් කෙනකුට ඉඩ දෙන්න අවශ්‍යයි.

එසේ නම් කොමියුනිස්ට් පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන කොයි වගේද?

අපේ මේ යන දේශපාලන ගමන දිගටම යනවා. අපි මේ යන ආණ්ඩුව ගෙන යන මර්දනකාරී සහ ජනමතයට එරෙහිව වන මේ ගමන් මග වෙනස් කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. විශේෂයෙන් රාජ්‍ය දේපළ විකුණාකමින් යන මේ ගමන වළක්වන්නත් අපි කටයුතු කරනවා. ඒ ගමන අපි යනවා


දේශපාලනය කියන්නේම හැමදාම අභියෝගයක්
– පොජපෙ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

ජනාධිපතිවරණයට නාමල් රාජපක්ෂ ආවොත් මගේ සහයක් නැහැ කියලා ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා කියනවා?

එය එතුමාගේ පෞද්ගලික අදහස. මම ඒකට ගරු කරනවා. හැමදාමත් පක්ෂය ගන්න තීන්දුවත් සමඟ මම හිටගන්නවා. පක්ෂය යම් අපේක්ෂකයෙක් නම් කරනවා නම් අපි ඒ අපේක්ෂකයාට කොන්දේසි විරහිතව උදව් කරනවා. මොකද යම් අවබෝධයක් ඇතිවයි යම් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ. එය ගරු ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ පෞද්ගලික මතය. අපි ඒ මතයට ගරු කරන්න අවශ්‍යයි.

පොජපෙ ජාතික සංවිධායක ධුරයට ඔබ පත් කර තියෙනවා. ඉදිරි කටයුතු කොහොමද?

අපි එක් මාවතකට යා යුතුයි. ඒ කියන්නේ අලුත් පරම්පරාවේ දේශපාලනික අවශ්‍යතාව සහ රටේ අවශ්‍යතාව තේරුම් අරගෙන ඒ වගේම තරුණ දේශපාලන බලවේගයක් ගොඩනඟන්න හැකි සහ ගොඩනැඟිය යුතු දේශපාලන පක්ෂයක් බවට අපේ පක්ෂය ඉදිරි කාලයේදි පරිවර්තනය කරනවා. එමෙන්ම හිටපු ජනාධිපතිවරයා වන මහින්ද රාජපක්ෂගේ මහින්ද චින්තනය තුළ තිබූ අපි විශ්වාස කරපු දේශීය ආර්ථික ප්‍රතිපත්ති ආරක්ෂා කර ගනිමින් නවීකරණය වූ වැඩපිළිවෙළක් විදිහට අපි ඉදිරියට යනවා. ඉදිරියේදී ආසන සංවිධානය කිරීම් පවත්වන්න ගෙන් ගෙට යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නත්, පක්ෂයේ අනුබද්ධ සංවිධාන ජාලය ශක්තිමත් කරන්නත් අපේක්ෂා කරනවා. ඒ තුළින් පක්ෂයක් ලෙස ඉදිරියට ගමන් කිරිමට කටයුතු කරනවා.

පක්ෂයේ ජ්‍යොෂ්ඨයන් සිටියදි ඔබ මෙවැනි තනතුරකට පත් කිරීම සම්බන්ධයෙන් ඇතැම් අයගේ ප්‍රසාදයක් නැහැ කිව්වොත්?

සාමාන්‍ය ස්වභාවය තමයි එය යම්කිසි සංවිධායකවරයෙක් තනතුරකට පත්වුණාම ප්‍රතිවිරෝධයක් යම් කොට්ඨාසයකින් ඇති. දේශපාලන අංශයේ පමණක් නොවෙයි. එය පෞද්ගලික අංශයේ, ව්‍යාපාර අංශයේ සියලු ක්ෂේත්‍රවලට පොදු දෙයක්. මේ සියලු දෙනා එකතු කරගෙන ජ්‍යෙෂ්ඨයන්ගේ අවවාද අනුශාසනා අරගෙන, දේශපාලන ක්ෂේත්‍රයේ අත්දැකීම් තියන අයගෙන් අත්දැකීම් ලබාගෙන අපි ඒ දේවල් කළමනාකරණය කරමින් ඉදිරියට යන්න අවශ්‍යයි. විශේෂයෙන් ඉදිරි කාලය තුළ පක්ෂය හා බැඳුණු ජ්‍යෙෂ්ඨ නායකයන් පෞද්ගලිකව මුණගැසිලා ඒ අයගේ අදහස් සහ අවවාද ලබා ගන්නත් ඒවගේම අපේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුම්වත් කරන්නත් කටයුතු කරනවා.

මේ වනවිට තරුණයන් මුහුණපාන විශාල අර්බුද තියෙනවා. ඔබ තරුණ පරපුර නියෝජනය කරන දේශපාලකයෙක් ලෙස තරුණයන් වෙනුවෙන් මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ.?

මේ රටේ ඩිජිටල් ආර්ථිකයක් එනම් නූතන ආර්ථීකයක් සමඟ රාජ්‍ය සේවාවන් මඟින් ජනතාවට වන සේවාවන් ඩිජිටල් පද්ධතියත් සමඟ බද්ධ කරමින් යාමට කටයුතු කළ යුතුයි. ඒවගේම නව ආර්ථික රටාවන්වලට නව ව්‍යවසායකයන් බිහි කරගත යුතුයි. පාරම්පරික ව්‍යවසායකයන් සහ අලුත් තාක්ෂණයත් සමඟ බද්ධ වූ තරුණ ව්‍යවසායකයන් බොහොමයක් ඉන්නවා.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division