Home » මා දකින ප්‍රේමදාස

මා දකින ප්‍රේමදාස

මැයි මස 01වැනිදාට යෙදෙන දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස 31 වැනි ගුණ සමරුව නිමිත්තෙනි.

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment
1988 පැවැති ගම් උදාව ව්‍යාපෘතියේ එවකට ජනාධිපතිව සිටි ජේ. ආර්. ජයවර්ධන මහතා සමඟ

ද අපට අවශ්‍ය වන්නේ පරණ ප්‍රශ්නවලට පිළිතුරු සෙවිම නොවේ. අද අප කළ යුත්තේ පැරැණි පිළිතුරු ප්‍රශ්න කිරීමයි. “දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා කළ මෙම ප්‍රකාශය තුළ එතුමාගේ චින්තනයේ ගැඹුර පැතිකඩ අපට අවබෝධ කර ගැනීමට පුළුවන්. එතුමාගේ මෙම ප්‍රකාශය තුළින් අප දකින්නේ වෙනස් වන සමාජය තුළ වෙනස් වන මතවාද සමඟ කටයුතු කිරීමට රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ඇති කැමැත්තයි. එමෙන්ම එකි වෙනස සිදු කිරීමට නම් අප සමාජය , සමාජයේ ක්‍රමවේදයන් පිළිබඳව ප්‍රශ්න කළ යුතු බව එතුමා පැහැදිලිවම මේ තුළින් ප්‍රකාශ කොට තිබේ. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ දේශපාලනය සහ පොදුජන මෙහෙවරෙහි ප්‍රධානතම ලක්ෂණයක් වූයේ ප්‍රශ්න කිරීම තුළින් විසඳුම්වලට එළැඹිමට කටයුතු කිරීමයි.

එම ප්‍රශ්න කිරීම බොහෝ විට සම්ප්‍රදායික ක්‍රමවේදයන් හා අනුගත වූවනට ගැටලුකාරී වූවාට කිසිඳු සැකයක් නැත. එතුමාගේ ජීවිතයේ සමහරක් අභියෝග හා ගැටුම් නිර්මාණය වීමට ප්‍රධානතම හේතුවක් වූයේ ද මෙම ප්‍රශ්න කිරීම් සහ ඒවාට පිළිතුරු සැපයීමට දැරූ නව ප්‍රවේශයක් බව ගැඹුරු ආධ්‍යනයක් තුළින් වටහා ගැනීමට පුළුවන්.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වෙනස් වීමට සුදානම් වූ අයෙක් බව විටින් විට එතුමා කළ ප්‍රකාශවලින් සහ ක්‍රියාකාරකම් තුළින් අපට හඳුනා ගැනීමට පුළුවන්. රටක් වෙනස් කිරීමට නම් සමාජය ගැන අප සිතන අයුරු ක්‍රියා කරන පරණ පිළිවෙත් අත්හල යුතු බව එතුමා තරයේ විශ්වාස කළා; පමණක් නොව එසේ නොකළ හොත් සිදුවන විනාශය විග්‍රහ කළේ මෙලෙසයි. “අපට තෝරා ගන්න තිබෙන මාර්ග දෙක ඉතාම පැහැදිලියි. එක්කෝ අපට පැරණි ක්‍රමය අනුව වැඩ කරලා විනාශයට මුහුණ දෙන්න පුළුවන්. හැකිනම් අලුත් උපාය මාර්ගයක් අනුව ප්‍රතිසංවිධානය කර නොබිඳී ජීවත් වෙන්න පුළුවන්.”

ප්‍රේමදාස මැතිතුමා ප්‍රතිසංස්කරණය හා ප්‍රතිසංවිධානය යන්න මැනවින් හඳුනා ගනිමින් සිය ජනතා මෙහෙවර තුළ එය ප්‍රයෝගික වැඩපිළිවෙළකට ලක් කළ ආකාරය විමසා බැලීමට රටේ අනාගතය සඳහා සැලසුම් සකස් කරණ වර්තමානයේ දේශපාලන පක්ෂවලට සහ නායකයින්ට අතිශයින් වැදගත් වන බව සඳහන් කළ යුතුය.

වෙනසක් යනු අභියෝගයක් බව ප්‍රේමදාස මැතිතුමා මැනවින් වටහා ගෙන සිටි කරුණකි. ලංකා සිවිල් සේවයේ කීර්තිමත් නිලධාරියෙකු ලෙස ක්‍රියාකළ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයකු වූ නෙවිල් ජයවීර මහතා විසින් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී ඒ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මේ පිළිබඳ පැහැදිලි කිරිමක් සිදුකරන ලදී. එහිදි එතුමා සඳහන් කළේ “සෑම නව සංකල්පයක්ම ක්‍රියාවේ යෙදෙන විට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවනවා. එහෙම වුණත් ඒ සංකල්පයේ වටිනාකම අඩු වෙනවා යැයි කියන්න බැහැ” අලුත් යමක් ක්‍රියාවට නංවනවිට පැමිණිය හැකි ප්‍රතිවිරෝධතා පිළිබඳවත් ඒ තුළින් අධෛර්ය නොවිය යුතු බවත් ප්‍රේමදාස මැතිතුමා මැනවින් වටහාගෙන ක්‍රියා කළ අයුරු එතුමාගේ ජීවිතය පුරාම දක්නට ලැබෙන සුවිශේෂි ගුණාංගයකි.

රණසිංහ ප්‍රේමදාස මැතිතුමා දේශපාලනය තුළ වෙනස්කම් සිදුවිය යුතු බව තරයේ විශ්වාස කළ අයෙක්. එතුමා එදා දැක්වූ අදහස් නිවැරදිව කියවා ගැනීමට සමාජය හෝ එතුමා නියෝජනය කළ දේශපාලනයට හැකි වුවාද යන්න ප්‍රශ්න සහගතය. වරෙක එතුමා සඳහන් කළේ,

“අපි දැන් අවුරුදු ගණනාවක් මුළුල්ලේ අත්හදා බැලූ ක්‍රම තුළින් සමාජයේ පාරිශුද්ධභාවය ඇති කරන්නට තිබෙන අමාරුකම් මොනවා ද? බොහෝ විට සිද්ධ වෙලා තියෙනවා බොහෝ වරදවල දී ඇස්දෙක වහගෙන ඉන්න. කන් ඇහෙන්නේ නැතිව ඉන්න ඇයි? අපේ පක්ෂයේ මිනිසා නිසා අපේ කණ්ඩායමේ එක්කෙනා නිසා. ඒ ක්‍රමය හරි ද? ඒ ක්‍රමයෙන් මේ සමාජයේ පාරිශුද්ධයක් ඇති කරන්න පුළුවන් ද? සමහර විට කණ්ඩායමේ එක් කෙනා නිසා. ඒ ක්‍රමය හරි ද? ඒ ක්‍රමයෙන් මේ සමාජයේ පාරිශුද්ධියක් ඇති කරන්න පුළුවන් ද? සමහර විට කණ්ඩායමේ එක්කෙනා නිසා නුසුදුස්සාට කැමැත්ත දෙන්න වෙනවා. රටේ පොදු දියුණුවට නොසුදුස්සෙක්; නමුත් පක්ෂයට කණ්ඩායමට සුදුස්සෙක්; එනිසා පොදු දියුණුවට මොනවා වුණත් කමක් නැහැ. පක්ෂයට හිතවත් නිසා. කණ්ඩායමේ කෙනෙක් නිසා ඔහුට රුකුලක් දිය යුතුයි ඒක හරිද? ” යන්න වර්තමානයේ දේශපාලනයට සහ දේශපාලඥයින්ට නගන චෝදනාවේ ස්වභාවට 1986 දී ප්‍රේමදාස මැතිතුමා පෙන්වා දුන්නේ එලෙසිනි. පෙන්වා දුන්නා පමණක් නොව එය වෙනස් කරන්නට යම් යම් සාධනීය පියවර ගැනීමටත් එතුමා උත්සුක විය.

1988 ජනාධිපතිවරණයට එතුමා මුහුණ දුන් භීෂණය තුළ, එයට හේතු කියවා ගත් අයුරින් එවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට පියවර ගත්තේ කෙසේදැයි එතුමා කළ පැහැදිලි කිරීම් තුළින් එම කරුණු මනාව හඳුනා ගැනීමට පුළුවන්. සාකච්ඡාව , සම්මන්ත්‍රණය හා සම්මුතිය එතුමාගේ විසඳුම් ලබාදීමේ දී ප්‍රමුඛ අවධානයට යොමු වූ කරුණු වෙයි. ජනතා විමුක්ති පෙරමුණ 88 89 ක්‍රියාත්මක කළ භීෂණය තුළින් එල්.ටී.ටී.ඊ සංවිධානය ක්‍රියාවට නැංවූ භිෂණය තුළින් එතුමා උත්සාහ දැරුවේ ප්‍රජාතන්ත්‍රවාදය මෙම මූලික සංකල්පය මත ක්‍රියාත්මක වීමටය.

නෙවිල් ජයවීර මහතා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී ජනතා විමුක්ති පෙරමුණ ගැන දැක්වූ අදහස මෙහිදී විමසා බැලීම මේ පිළිබඳව අවබෝධ කර ගැනීමට ඉතා වැදගත් වේ. එතුමා එහිදී සඳහන් කර ඇත්තේ “ජනාධිපතිවරණයට මුහුණ දී සිටියදී පවා මගේ ආධාරකරුවන් ඉතා සහාසික ලෙස මරා දමනු ලබද්දි පවා මා කිසිවිටෙකත් ජනතා විමුක්ති පෙරමුණ සංවිධානයට දෝෂාරෝපණය කළේ හෝ විවේචනය කළේ නැහැ. ඔවුහු වෙනස්වනු ඇති යන අපේක්ෂාවෙන් බලා සිටීමට මා සුදානම් වී සිටියා. මා ජනාධිපති වශයෙන් තේරී පත් වූ පසුව වේදිකා කිහිපයකදී මා ඔවුන්ට විවෘත ආරාධනයක් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට එක්වන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන්ට සමාවදීමට සහ පාර්ලිමේන්තු ආසන පිරිනැමීමටත් පොරොන්දු වුණා. මා පිරිනැමූ දේවල් ප්‍රතික්ෂේප කරමින් අපේ ආධාරකරුවන් මරා දැමීම නොකඩවා කරගෙන යද්දි පවා මා ඉතා ඉවසිලිමත්ව සිටියා.”

එවැනි තත්ත්වයක් යළි ඇතිවීම වළක්වා ගන්නේ කෙසේදැයි ප්‍රේමදාස මැතිතුමා කර ඇති පැහැදිලි කිරීම වර්තමානයේදී තවමත් කතා කරන දිළිඳුකම පිටුදැකීම , තරුණ අසහනය , තරුණයාට දේශපාලන අවස්ථා ලබාදීම වැනි සංවාදවලට මඟ පෙන්වීමක් බව පැහැදිලි වේ. “ජනතා විමුක්ති පෙරමුණ බිහිවීමට තුඩුදුන් අසාධාරණ සමාජ ක්‍රමය සහ මුලින්ම වෙනස් කිරීමට සහතික විය හැකි අන්දමින් සම්පූර්ණ ප්‍රතිපත්ති මාලාවක් අප සම්පාදනය කර තිබෙනවා. දිළිඳු බව සහ තමන් සමාජයට අයත් වන්නේ නැතැයි යන හැඟීම එක එල්ලේම තුරන් කිරීම එහි අරමුණයි. ඒ සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන වැඩසටහන ජනසවියයි. ජනසවිය ආධාරයක් පමණක් හෝ සුභසාධක වැඩසටහනක් නොවෙයි. එහි මූලික පරමාර්ථය වන්නේ ජනතාව ක්‍රියාකාරී අය බවට පත් කිරීමයි. එපමණක් නොවේ; තරුණයන් පිළිබඳ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ රැසක් ක්‍රියාවට නංවනවා. එම වාර්තාවේ දැක්වෙන නිර්දේශ 51න් 43ක් එක එල්ලේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා. පාලන තන්ත්‍රය සහ ජනතාව අතරේ පවතින අවහිරතා ඉවත් කිරීමට ජනාධිපති ජංගම සේවය ක්‍රියාත්මකය. ජනතාකරණ වැඩපිළිවෙළ තුළින් සංස්ථා සේවකයන් සංස්ථාවේම හවුල්කරුවන් බවට පත් කිරීමේ මූලික ප්‍රයත්නයක් දරණවා. මේ හැරුණු විට රටේ මහජන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ හැම මට්ටමකම ආසන වලින් 40%ක් අවුරුදු 18ත් 35ත් අතරේ තරුණ පිරිස් වලට ලබාගත හැකි වන අන්දමින් රටේ පවතින මැතිවරණ නීති ද සංශෝධනය කරනවා.”

ප්‍රජාතන්ත්‍රවාදීව පිහිට වූ ආණ්ඩුවක් උණ්ඩයේ බලයෙන් පරාජයට පත් කරන්නට උත්සාහ දැරූ පිරිස් වෙතද තම දෑත් දිගු කළ එතුමා එය ප්‍රතික්ෂේප කරමින් වැපුරූ භීෂණය පරාජයට පත් කළ පසු එය දේශපාලනයට උපයෝගි කරගනිමින් එවැනි තත්ත්වයක් යළි ඇති නොවීමට ගත් උත්සාහය මෑත කාලයේ දේශපාලනඥයන් ආදර්ශයට ගත්තා නම් කෙතරම් වෙනසක් රට තුළ ඇති කළ හැකි ද?

එතුමාගේ චින්තනය තුළ සමානාත්මතාවය පිළිබඳ වූ හැඟීම අතිශය සංවේදී මෙන්ම සෑම ආගමක් හරහා උලුප්පා දැක්වූවකි. 1991 වසරේ කඹුරුපිටියේ ගම්උදාව ප්‍රදර්ශනය විවෘත කරමින් කළ ප්‍රකාශයේ මෙම වදන් පෙළ එයට මනා නිදසුනකි. “අපි සියලුදෙනාම මනුෂ්‍යයෝ වෙමු. ශ්‍රී ලංකාව අපේ මව්බිම ලෙස සලකන අප හැමදාම සිංහල , මුස්ලිම් , දෙමළ , බර්ගර් කුමන ජනවර්ගයකට අයත් වූවද මෙම වෙනස්කම් වටහා ගන්නේ අප ඉපදී තේරුම් යන වයසට ආ පසුවය. එක ජන වර්ගයක් අනෙකට වඩා ප්‍රමාණයෙන් ලොකු හෝ කුඩාවිය හැකිය. නමුත් ඉතා වැදගත් කරුණ නම් අප සියලු දෙනාම මනුෂ්‍යයන් වීමය. ඒ අර්ථයෙන් අප සියලු දෙනාම සමානය.”

ජනාධිපති දිවංගත ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ චින්තනය විහිඳී ගිය ක්ෂේත්‍ර අතිවිශාල පුළුල් පරාසයක දක්නට පුළුවන. ප්‍රජාතන්ත්‍රවාදය දිළිඳුකමට එරෙහි අරගලය, ජනවාර්ගික ගැටලුව, නව සංවර්ධන දර්ශනය, ජාත්‍යන්තර සබඳතා, ජාතික ස්වාධීනත්වය සහ ස්වෛරීත්වය, නීතියේ ආධිපත්‍ය වැනි ක්ෂේත්‍ර තුළ එතුමා ක්‍රියා කළ ආකාරය සහ දැක් වූ අදහස් එම යුගයට පමණක් නොව අද දිනයටත් හෙට දිනයටත් වලංගු සර්වකාලීන වූ මඟ පෙන්වීම් බව අවධාරණය කළ යුතුය.

මේ මොහොත වනවිට හෝ එතුමාගේ එකී දර්ශනය මැනවින් හැදැරීක්මක් සිදුකොට රටට එළි දැක්වීමට කටයුතු නොකිරීම එක්තරා අන්දමක අභාග්‍යයකි. අපි දේශපාලනිකව කොතරම් පරිණත ද, විචාරශීලි ද, යන්න විමසන ප්‍රශ්නයක් ලෙස එය හැඳින්වීම අතිශයෝක්තියක් නම් නොවේ.

ඒරානන්ද හෙට්ටිආරච්චි

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division