Home » හැම අතින්ම මගේ දේවල් නැති වුණා ඒත් මම දේශපාලනය අතාරින්නෙ නෑ

හැම අතින්ම මගේ දේවල් නැති වුණා ඒත් මම දේශපාලනය අතාරින්නෙ නෑ

පොදු ජන පෙර­මුණේ පා.ම. වෛද්‍ය ගයා­ශාන් නව­නන්දන

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස ඉඳලා ඇයි මේ එක්සත් ජාතික පක්ෂයට සහය දෙන්න එකතු වුණේ.

මම පොදු ජන පෙරමුණේ සමාජිකයෙක් නොවෙයි. පාර්ලිමේන්තු ආවේ සහ සහය දුන්නේ පොජපෙ පක්ෂයෙන්. නමුත් ඒ පක්ෂය මෙරටට පිළිතුරක් නොවෙයි කියලා අපි සියලුදෙනාම තෙරුම් අරගෙන තියෙන්නේ. අන්තිමට හරි දේ කරන්න කියලා අපි හිතුවට හරි දේ නොවෙයි සිදු වුණේ. ආණ්ඩුවෙන් පහළොස් දෙනෙක් ගිය වෙලාවේ මම ඉවත් වුණේ නැහැ. වාසු මන්ත්‍රීවරයාගේ පක්ෂයේ මම හිටියේ. මම ජනතාවගෙන් ජන්දය අරගෙන ආවේ. ඒ නිසා මම වගකියන්නේ ජනතාවටයි. විනය පරක්ෂණයක්වත් නැතුව මම ඉවත් කළා. ඒත් මට නීත්‍යනුකූලව පර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන්න පුළුවන්.

ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ වැනි පක්ෂයක් නියෝජනය කරපු ඔබ එජාපයට සහය දෙන්න තීරණය කළේ ඇයි.

පක්ෂයක ලිබරල් වාමාංශික කියලා එකක් ලෝකෙ කොහෙවත් නෑ. ජේවීපී එකෙත් නෑ. දැන් වෙනම විදිහේ දේශපාලනයක් ලෝකෙ තියෙන්නේ. ඒකට අනුගත වෙන්නෙ නැතුව බොරුවට වාමාංශික දක්ෂිණාංශික කියලා ලෝකෙ රටවල් දියුණු වෙන්නෙත් නෑ. ලංකාව ඇතුළෙ ලිබරල්වත් වාමාංශිකවත් ඔය කියන ක්‍රමයක් නැහැ.

 ඔබ කියන්නේ වාමාංශික දේශපාලන කඳවුරක් මේ රටේ නැහැ කියලද?

ජේවීපී එකෙත් නෑ. ජවිපෙ ඉන්න නායකයෝ කවුද කියලා බලන්නකෝ.ඒගොල්ලෝ දරන මතයයි ක්‍රියා කලාපයයි වෙනස්නේ. මේ ලංකාවේ රට හදන්න ඉන්න නායකයෝ හරි අඩුයි. බලය ලබාගන්න නායකයො ඉන්නේ. මම දකින විදිහට අති බහුතරය දේශපාලනය කරන්නේ බලය ලබාගන්න.

 එහෙම නම් බලය ලබාගන්න ද ඔබත් දේශපාලනය කරන්නේ?

අන්න ඒක තමයි මම කියන්නේ. මගේ ඉඩම්, වාහන, කාලය ධනය ඇතුළු හැම අතින්ම මගේ දේවල් නැති වුණා. වෛද්‍යවරයෙක් විදිහට මට තිබුණු කීර්ති නාමය නැති වුණා. ගමේ සහ වැඩ කරපු තැන්වල බාගයක හරි විරෝධතාවක් ඇතිවුණා.

එහෙමනම් ඇයි ඔබ දේශපාලනය කරන්නේ

වෛද්‍යවරයෙක් හැටියට අපි ඇයි දේශපාලනය කරන්නේ. හැමෝම අහන්න එකනේ. අපි යම් විෂයකට බැස්සම ඒ විෂයෙහි කෙළවරටම යනවා. මගේ ගෙදර අය මේක ගැළපෙන්නෙ නැහැ ඕක කරන්න එපා කියලා කිව්වා. මම තේරුම් ගත්තා මේ මොනවා කරත් වැඩක් නෑ දේශපාලනය වැරදුණොත් අපි ඔක්කොම ඉවරයි කියන එක. මේ රටේ ඉන්න සමස්ත ජනතාවම දේශපාලනයට එන්න ඕනේ.දේශපාලනයට ඇවිත් මේකේ නරක මිනිස්සු අයින් කරලා සුද්ද කරන්න ඕනේ.


ඔළු ගෙඩි හුඟක් තිබුණා කියලා දේශපාලන ජයග්‍රහණ ලබන්න බැහැ
– සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන

ඔබේ පක්ෂ නායකයා හැසිරෙන්නේ ළදරුවෙක් වගේ කියලා ජාජබ නායක අනුර කුමාර දිසානායක කියනවා ඇයි මෙහෙම කියන්නේ?

සජිත් ප්‍රේමදාස නායකතුමා මේ රටේ ජනතාවට දැනෙන හැඟෙන සේවයක් කරන ලද නායකයෙක්. සජිත් ප්‍රේමදාස නායකතුමා මේ රටේ දැවෙන අර්බුදවලදි ඍජුව කටයුතු කරලා තියෙනවා. ඒ නිසයි දේශපාලන පොරපිටියේ මඩ ගැසීම් අවලාද අහන්න ලැබෙන්නේ.

ඔබේ පක්ෂය සහ ජාජබ අතර විවාදය කවදද තියන්නේ ?

සංවාද දෙකම එකට තියෙන්න ඕන කියලා අපි තමයි යෝජනා කළේ. විශේෂයෙන් ආර්ථික කමිටුව සමඟ විවාදයකට එන්න කියලා. ඒ අය ඒකට බයවෙලා. විවාද දෙකම එක දවසේ කරන්න එකඟ වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ.

කම්කරු දිනයේ පක්ෂවල බලය පෙන්වන්න දේශපාලන පක්ෂ උත්සාහ කරනවා මිසක කම්කරුවන්ගේ දිනයක් වුණේ නැහැ කියලා කියනවා?

හැබැයි මම නම් විශ්වාස කරන්නේ දේශපාලන පක්ෂවල හයිය පෙන්වනවා වගේම කම්කරු ජනතාවට බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන් වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීම ඉතාමත් වැදගත් කියලා.

ජාජබ කියනවා ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කරන්නේ ඔවුන්ගේ පක්ෂයයි කියලා?

ඔළු ගෙඩිවලින් දේශපාලනය කරන්න උත්සාහ කරනවා නම්, ඔබට මතක ඇති 2019 ජනාධිපතිවරණයට කලින් ජවිපෙත් එජාපයත් පොහොට්ටුවත් තුනම ගෝල්ෆේස් එක පිරෙව්වා; අවස්ථා තුනකදී. එහෙනම් ඔය තුනම ඡන්දය දිනන්න ඕනිනේ. එහෙම වුණේ නැහැ. දිනන්න පුළුවන් එක්කෙනාටයි. ඒ නිසා ඔළු ගෙඩි හුඟක් තිබුණා කියලා දේශපාලන ජයග්‍රහණ ලබන්න බැහැ


ටිකට් එකක් ගහන එක අලුතෙන් කළ වැඩක් නොවෙයි
– ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

ජාජබ කම්කරුවන්ගෙනුත් මුදල් ගන්න මැයි දිනේට රුපියල් සියයකට ටිකට් පතක් නිකුත් කළාලු නේද? ඇත්තටම මොකක්ද මේ ටිකට් කතාව

බස් එකට වියදමක් යනවනේ. සාමාන්‍යයෙන් බස් එකක් කළුතර ඉඳලා කොළඹට එනවා නම් රුපියල් 25,000ක් තිස් දාහක් ගන්නවා. එතකොට ඒ සල්ලි සංවිධායකවරු බිම් මට්ටමින් හොයාගන්න ඕනෑ. අපිට උදව් කරන අපිත් එක්ක ඉන්න ජනතාවට අපි ටිකට් එකක් ගැහුවා ප්‍රචාරක වැඩමුළුත් එක්ක. මේක අපේ අලුත් එකක් නෙමෙයි. හැමදාම මැයි දිනේට ආධාර එකතු කරන ආධාර පත්‍රයක් මුද්‍රණය කරනවා. ඊට අමතරව ටිකට් එකක් මුද්‍රණය කරනවා. මේ වෙලාවේ මොකක් හරි මිනිස්සු නොමග යවන දෙයක් කියන එකයි කරන්නෙ. අපි මැයි දිනයට වෙන පක්ෂ වගේ බස් අරන් දීලා අරක්කු බෝතල් දහයක් බස් එකට දාලා බත් පැකට් අරන් දුන්නේ නෑ.

සජබ නායකයා හැසිරෙන්නේ ළදරුවෙක් වගේ කියලා ජාජබ නායක අනුර කුමාර දිසානායක කියන්නෙ ඇයි?

ඒක ඉතින් එයාට කවුරුත් කියන කතාවක්. ඉස්කෝලවලට ගිහිල්ලා පොත් බෙදන්න තේරෙන්නෙ නැති බාලාංශ පන්තිවල ළමයින්ට කියනවා මිත්‍රවරුනි කියලා. එක වෙලාවකට එතුමාගෙ හැසිරීම ළදරු ස්වභාවයක් ගන්නවා. එක වෙලාවකට ඒ දණ්ඩක යනවා. තව වෙලාවකට ක්‍රිකට් ගහනවා. තව වෙලාවකට විවාදවලට එන්න කියනවා. හැබැයි දින දුන්නම හැංගෙනවා. ඒ ඔක්කොම එක්ක පොඩි ළදරු ගතියක් තියෙනවා වැඩවල. ඒක තමයි එහෙම කියනවා ඇත්තේ.

ඇත්තටම ඔය ආර්ථික විවාදයට මොකද වෙන්නේ?

අපි ලෑස්තියි. දින කීපයක් දුන්නා. ඒගොල්ලන්ට ඒ දිනවල බෑ වැඩ වැඩියි කිව්වා. ඕන දිනයක් කියන්න කිව්වා අපි වැඩ වෙනස් කරන් හරි එන්නම් කියලා. දැන් ඒගොල්ලන්ට දිනයක් දෙන්න තමයි තියෙන්නෙ. අපි ලෑස්තියි.”

නමුත් ඒ අය කියන්නේ ඔබේ පක්ෂයෙන් කිසිම උනන්දුවක් නෑ කියලයි?

අපියි ඒ අයට දින දුන්නේ දින තුනක් දුන්නා. ලියුම් යැව්වා. ඒ දින තුන බැහැ කිව්වට පස්සේ අපි ප්‍රසිද්ධියේ කිව්වා එහෙනම් සජිත් මහත්තයාට වැඩ නැති ඕන දිනයක් කියන්න මැයි 20ට කලින් කියලා. අපිට මේක ඇද ඇද ඉන්න දෙන්න බැහැනෙ. හැබැයි මේකට උත්තරයක් දෙන්නෙ නැතුව වෙන කතන්දර කිය කියා යනවා.

ඔබතුමාගේ රැස්වීම්වල හිටපු සෙනඟ මැතිවරණයේදී ඉඳී ද?

අනිවාර්යයෙන්. මේ අය ආවේ බොහොම ස්වේච්ඡාවෙන්. කලින් කියපු වගේ අරක්කු බොන්න ආපු අය නෙමෙයි. බස් වලට සල්ලි දීල පටවගෙන ආපු අය නෙමෙයි. තමන් අතින් සල්ලි වියදම් කරගෙන, කෑම ටික හදාගෙන බොහොම අධිෂ්ඨානයෙන් ස්වේච්ඡාවෙන් ආපු අය. ඒකෙන් පේනවා අපිත් එක්ක ජනතාව පෙළ ගැහිලා ඉන්නවා කියලා.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division