Home » චීන තානාපති මැදමුලනටම ගොස් මහින්දට කියපු රහස

චීන තානාපති මැදමුලනටම ගොස් මහින්දට කියපු රහස

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ලංකාවේ වැඩිම සෙනඟක් පැමිණි මැයි රැලිය තමන්ගේ බව ඔප්පු කිරීමට සෑම පක්ෂයක්ම සංවිධානය වෙද්දී ජනපති රනිල් පමණක් රට වෙනුවෙන් වැඩ කළේය.

ජනපති රනිල් මැයි දිනයේදි කොටගලට ගොස් වතු කම්කරු ජනතාවට තෑග්ගක් දුන්නේය. ඒ ඔවුන්ගේ දෛනික වැටුප රුපියල් 1700ක් කරමිනි. කම්කරු කොංග්‍රසයේ කොටගල පැවැති මැයි දින රැලියට ගොඩවුණු ජනපති රනිල් මේ පණිවුඩය දුන්නේ රැස්ව සිටි ජනතාවගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය. වැඩිදුර කරුණු පැහැදිලි කිරීමේ අවස්ථාව ඇමැති මනූෂට පැවරූ ජනපති රනිල් නැවත කොළඹ පැමිණියේ සවස පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලියට එක්වීමටය.

රනිල්ගෙන් වජිරට පැසසුම්

එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන විසින් දුම්රිය තුනක් වෙන් කරවා ගෙන මැයි රැලියට සහභාගීවීමට පාක්ෂිකයන්ට පහසුකම් සැපයීම ජනපති රනිල්ගේ ද පැසසුමට ලක්වූයේය. කථිකයන් කිහිප දෙනෙකු රැලියට සහභාගීවීම ප්‍රමාදවීම හේතුකොට ගෙන මහලේකම් රංගේට රැලියේ න්‍යාය පත්‍රය වෙනස් කිරීමට සිදුවිය.

ඒ අනුව රවි කරුණානායක වෙනුවට පිළිගැනීමේ කතාව කිරීමට සිදුවූයේ මහලේකම් රංගේටය. රැලියේ න්‍යාය පත්‍රය ඊට පෙරදින රාත්‍රියේ මහලේකම් රංගේ විසින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කොට අනුමැතිය ලබාගෙන තිබුණකි.

මැයි රැලියේ සිටි රනිල්ට හදිසි ඇමතුමක්

කෙසේ නමුත් න්‍යාය පත්‍රය අනුව ජනපති රනිල්ට කතාව වෙන් කොට තිබුණේ අවසාන කතාව ලෙසය. රැලිය ආරම්භ වී පැය භාගයක් පමණ ගතවන විට ජනපති රනිල්ට දුරකතන ඇමතුමක් ලැබුණේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්නගෙනි.

“ප්‍රධාන රැලිවල කථිකයෝ කලින් කතා කරන්න තීන්දු කරලා තියෙනවා. ජනාධිපතිතුමාත් කලින් කතා කළොත් හවස චැනල්වල නිව්ස් එකට ගන්න පුළුවන්.” දිනිත් චින්තක මේ කාරණය කියූ පසු ජනපති රනිල් මේ ගැන පක්ෂ මහලේකම්, නියෝජ්‍ය නායක, ජාතික සංවිධායක ඇතුළු නායකයන් හා කතා කළේය.

“සර් මගේ අදහසත් හවස් වෙනකොට ජනතාව යන්න ඉඩ තියෙනවා. මොකද අපි රැලිය පටන් ගත්තෙත් පැය භාගයක් ප්‍රමාද වෙලානේ. කාලගුණයත් කොහොම වෙයිද දන්නේ නෑනේ. ඒ නිසා සර් 4.20ට විතර වෙන කොට කතා කරන්න.” මහලේකම් රංගේ කීවේ ද එවැනි කතාවකි.

ඒ අනුව ජනපති රනිල් අවසාන කතාව වෙනුවට මනූෂ නානයක්කාරගෙන් පසු කතා කරන්නට වූයේය. ඔහු කලින් කතා කළත් රැලිය අවසන් වන තෙක්ම එහි රැඳී සිටියේය.

ජනපති ඉල්ලූ වාර්තාව මොකක්ද?

රැස්වීම අවසන් කොට පිටත්ව යද්දී ජනපති රනිල් යළිත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තකට ඇමතුකමක් දී කොළඹ පැවැති අනෙකුත් මැයි දින රැලි ගැන වාර්තාවක් ඉල්ලා සිටි අතර ඔහු පැයක් ඇතුළත එම වාර්තාව ලබා දී තිබුණි. එබැවින් ජනපති රනිල්ට මැයි දින රැලි ගැන දළ අවබෝධයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණි.

හරිනුත් සිංදු කියයි

රැලිය අවසානයේ දෙස් විදෙස් ගායන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගයක් ද සුදානම් කර තිබූ අතර එය තරුණ තරුණියන්ගෙන් පිරී ඉතිරි ගිය එකක් විය. රාත්‍රී 12.00ට අවසන් කිරීමට තිබූ නමුත් තරුණ තරුණියන්ගේ ඉල්ලීම මත පාන්දර 1.00 පමණ වන තෙක් එය ඇදී ගියේය. ඇමැති හරීන් ප්‍රනාන්දු ද ප්‍රසංගයේදී ගීත ගායනා කර තිබුණි.

ජනපති රනිල් පසුදින උදෙන්ම කාර්යාලය වෙත පැමිණියේ ආණ්ඩුකාරවරුන්ගේ දිවුරුම්දීමක් වෙනුවෙන් හා ජ්‍යෙෂ්ඨ නිතීඥවරුන් වෙත ගෞරව නාම ප්‍රදානය කිරීමක් වෙනුවෙනි.

“සජබ වේදිකාවේ ඉස්සරහ ප්‍රධාන නායකයෝ කවුරුත් පේන්න හිටියේ නෑ. තලතා, රාජිත, බදියුදීන්, හකීම් වගේ අය ආවේ නැති එක කැපී පෙනුණා. සභාපති ෆොන්සේකත් සජබ නායකයා එන්න කලින් ගිහින් තිබුණා.” මහාචාර්ය ආශු මාරසිංහ කතාව ආරම්භ කළේය.

බණ්ඩාරවෙල අයෙක් මාතර මැයි රැලියේදී මරුට

“ජ.වි.පෙත් තමන්ගේ උපරිමය කොළඹට ගෙනල්ලා තිබුණා. මාතර රැලියෙදි වයස 75ක බණ්ඩාරවෙල පදිංචිකරුවෙක් මිය ගිහින් තිබුණා. එතනින් පේන්නේ බණ්ඩාරවෙල අයත් රැස්වීමේ හිටියා කියන එක.” මන්ත්‍රී වජිර කීවේ එවැන්නකි.

“හැබැයි සමස්තයක් ලෙස ගත්තාම තනි කෙනෙක් විශ්වාස කරලා මැයි රැලියකට ආව ලොකුම ජන සහභාගීත්වය තිබුණේ එක්සත් ජාතික පක්ෂ රැලියේයි. මේ අය ඔක්කොම අවේ ජනාධිපතිතුමා කරපු දේවල් හා කරන්න යන දේවල් ගැන විශ්වාසය තියලායි. .” ඇමැති මනූෂ කීවේ එවැන්නකි.

“මම පොදුවේ දැක්ක එක දෙයක් තියෙනවා. මේ මැයි රැලිවල අපි වෙනදා දකින කාන්තා සහභාගීත්වය අඩු වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් කිසිම මැයි රැලියක තරුණ නියෝජනය කැපී පෙණුනේ නෑ.” ජනපති රනිල් කීවේ නළල රැළි ගන්වමිනි.

එකතු කළොත් වැඩි සෙනඟ කාටද?

“සජබ තමන්ගේ උපරිමය පෙන්නුවා, ජවිපෙත් එහෙමයි. හැබැයි මෙතනදී පොහොට්ටුව හා යු.එන්.පී එක උපරිමය පෙන්නුවේ නෑ. අපේ අය මේ එළියට බහින එක පටන් ගත්තා විතරයි. අනෙක් පැත්තෙන් පොහොට්ටුව, යු.එන්.පී හා තොන්ඩමන්ගේ කම්කරු කොංග්‍රසයේ මැයි රැලිවලට ආපු සෙනඟ ඔක්කොම එකතු කළාම කොළඹ තිබ්බ සෙසු පක්ෂ දෙකට ආපු සෙනඟට වඩා වැඩියි.” මන්ත්‍රී මධුර කීවේ වෙනත්ම කතාවකි.

මේ කතා බහ අතරතුර දිවුරුම් දෙන වයඹ ආණ්ඩුකාරවරයා ගැන ද කතාව ඇදී අවේය. ඒත් සමඟම වයඹ පළාතට මුස්ලිම් ආණ්ඩුකාරවරයෙක් පත්වීමට විරෝධයක් මතුව ඇති බවද කියැවිණි. එහි සිටි පිරිස කීවේ පුත්තලම දිස්ත්‍රික්කයේ වැඩි පිරිසක් මුස්ලිම් ජනතාව සිටීම නිසා මෙම පත්කිරිමේ වරදක් නැති බවය.

ජනපති මනූෂට දුන්නු උපදෙස

මේ අතර ඇමැති මනූෂ ජනපතිට කීවේ වතු කම්කරු වැටුප් වැඩි කිරීමට විරුද්ධව වතු හාම්පුතුන් නඩු දාන බවට පළවූ මාධ්‍ය වාර්තා කිහිපයක් ගැනය.

“ඉතින් එයාලට නඩු දාන්න කියමු. අපි කම්කරුවන්ගේ පැත්තේ ඉඳලා නඩුවට සහාය දෙමු. ඒකට අවශ්‍ය කටයුතු කරන්න.” ජනපති මනූෂට උපදෙස් දුන්නේ එලෙසිනි.

දිනේෂ්-මුරුත්තෙට්ටුවේ හිමි හමුවක්

ම.එ.පෙ. නායක අගමැති දිනේෂ්, බොරැල්ල කැම්බල් පිටියේ ඒකාබද්ධ පොදුජන මැයි දින සමරුවට යාමට පෙර පසුගිය බදාදා විශේෂ කාර්යයක් සඳහා දහවල් නාරාහේන්පිට අභයාරාමයට පැමිණියේය. ඔහු පැමිණීමට පෙර, ම.එ.පෙ. ප්‍රධාන ලේකම් නීතිඥ තිස්ස යාපාද විහාරස්ථානයට පැමිණ අභයාරාමාධිපති, බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සමඟ කතාබහක නිරත විය. මද වෙලාවකට පසු දිනේෂ් පැමිණියේය. ඒ සමගම ම.එ.පෙ. නියෝජ්‍ය ලේකම් පා.ම. යදාමිණී ගුණවර්ධනද පැමිණි අතර, ඔවුන් බුදුන් වැඳ කෙළින්ම ගියේ මුරුත්තෙට්ටුවේ නායක හිමි බැහැ දැකීමටය.

“ඉතින්, කොහොමද දේශපාලනය. මම හිතුවේ උදේ එයි කියලා ”

ආනන්ද හිමියෝ විමසුවේ, සිනාවක් නඟා ගනිමිනි.

“උදේ ටි බි ඉලංගරත්න මහත්තයාව සිහිපත් කරන්න පොඩි උත්සවයක් තිබුණානේ.”

“මේක ඔබතුමා හැම මැයි දිනයකම එන ගමනක්නේ”

“ඔව්, 1987 මැයි දිනය තහනම් කළ වෙලාවේ, අපි එකතුවෙලා මේ අභයාරාමයේ මැයි දිනය සැමරුවා. අපේ සහෝදරවරු දෙන්නෙක් වෙඩි තියලා මරා දැම්මා. ඒ අයව සිහිකරන එක අපේ යුතුකමනේ නායක හාමුදුරුවනේ”

චීන තානාපති මැදමුලනටම ගියේ ඇයි?

ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ශෙන් හොන්ග් සහ තානාපතිවරයාගේ බිරිඳ පසුගියදා මැදමුලන වලව්වට ගොස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා හමුවීම දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්වූ කරුණක් විය.

මැයි රැලිවලට සූදානමින් රටම දේශපාලන වශයෙන් උණුසුම් වී තිබෙන අවස්ථාවක ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා තකහනියේම මැදමුලනට ආවේ ඇයිද යන කාරණය බොහෝ දෙනෙකු විමසන්නට විය.

චීන තානාපතිවරයා ඉතා සුහදව පිළිගත් මහින්ද රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍යවරයා ආගිය තොරතුරු සහ වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කතාබහ කළේය.

අපේ රටේ පාසල් දරුවන් අතර ඔබතුමා ඉතා ජනප්‍රියයි. ඔවුන් වැඩිපුරම ආදරය කරන ශ්‍රී ලංකාවේ දේශපාලඥයා ඔබතුමා යනුවෙන් චීන තානාපතිවරයා යම් රහසක් ද හෙළි කළේය.

හිටපු අමාත්‍ය චමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය ඩී. වී. චානක ද මෙම අවස්ථාවට එක්වී සිටියහ.

ආශු අලියාට ඇස තබයි

ඉකුත් සෙනසුරාදා මිනුවන්ගොඩ ප්‍රදේශයේ අලුත් අවුරුදු උත්සවයක් පැවැත්වුණේ ඇමැති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ ඇතුළු පිරිසක්ද සහභාගී වූහ.

එහි වඩාත් ආකර්ෂණීය තරඟ ඉසව්ව වූයේ අලියාට ඇස තැබීමේ තරඟ ඉසව්වය.

“සර්… අලියට ඇහැ තියන්න එන්න” සංවිධායකයකු ඇමැති ප්‍රසන්නට ආරාධනා කළේය.

“මම එන්නම්.. හැබැයි මට කලින් මෙතුමා ඔය තරගයට ගියොත් හොඳයි. මොකද මෙතුමා අලි අයිතිකාරයෙක්” ඇමැති ප්‍රසන්න කීවේ තමන් ළඟ සිටි ආශු මාරසිංහ පෙන්වමිනි.

”අනිවාර්යයෙන්ම, අපි මේ පාර හරියටම අලියට ඇහැ තියනවා.”ආශු කීවේ සිනාසෙමිනි.

“හැබැයි ගියපාර ඔය වැඩේ කරගන්න බැරිවුණානේ”ළඟ සිටි අයෙකු කීය.

“මේකනේ මල්ලි අපි ගියපාර මැච් එකට දැම්මේ ළදරු අලියෙක්. ඒ අලියා එතනින්ම කම්බස් වුණා. දැන් ඉන්නෙ රියල්ම රියල් අලි” ආශු ව්‍යංගාර්ථයෙන් කී කතාවට ඇමැති ප්‍රසන්නද කොක් හඬලන්නට විය.

පොහොට්ටුවේ මැයි රැලියට ගම්පහින් ඉහළ සහභාගීත්වයක්

මෙවර මැයි දින සැමරුම සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ආසන 13ම නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගීවී තිබීම ඇමැති ප්‍රසන්න ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙ නායකයන්ගේ අමන්දානන්දයට හේතුවක් විය.

“ඔයාල මිනිස්සු එක්ක ඉස්සරහට යන්න. මම පොඩ්ඩක් මෙතන බලල එන්නම්”

ගම්පහ ජනතාව සමඟ පෙළපාළියේ පැමිණි ඇමැතිවරයා දෙමටගොඩ මස්මඩුව ප්‍රදේශයේදී මන්ත්‍රී සහන් ඇතුළු පිරිසට කීය.

ඒ වනවිට දෙමටගොඩ ප්‍රදේශයේ තිබුණේ දැඩි රථවාහන තදබදයකි. එබැවින්,

ඇමැති ප්‍රසන්න පෙළපාළියෙන් මිදී රථවාහන හසුරුවමින් සෙසු වාහනවලට මාර්ගයේ ඉඩ ලබා දීමට කටයුතු කළහ.

“ඇමැතිතුමා පොලීසියේ ඩියුටිය භාර ගත්තද?”

රථවාහන හසුරවමින් සිටි ඇමැතිවරයා හඳුනාගත් ජනතාව විමසන්නට විය.

“අපි ඕනම දේකට ඔට්ටුයි මල්ලි.. දන්නැද්ද ඉතිං මේ වගේ වෙලාවට පොලීසියට පොඩි සපෝර්ට් එකක් දෙන්න ඕනනේ.” ඇමැතිවරයා කීය.

දිස්ත්‍රික් නායකයෙකුගේ ෆොටෝ මිසින් වීම

ගම්පහ දිස්ත්‍රික්කයේ එක් රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පාක්ෂිකයින්ගේ බැනර්වල ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංගගේ ඡායාරූප නොමැතිවීම ගැන පොහොට්ටු මැයි රැලියේදී යම් කසුකුසුවක් ඇතිවිය. මැයි පෙළපාළියට සහභාගී වූ එම ආසනයේ ජනතාව අත තිබූ බැනර්වල දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාගේ ඡායාරූපයක් නොතිබීම ගැන පෙළපාලියේ සිටි ජනතාව අතර කසුකුසුවක් ඇතිකරන්නට විය. සමහරු ඒ ගැන ඇමැති ප්‍රසන්නට කීය.

“ඒව එච්චර හිතන්න එපා. බැනර් එකේ ෆොටෝ නැතිවුණාට මිනිස්සු දන්නව මම කවුද කියල. අපි දැන් මේ වැඩේ කරමු.” ඇමැතිවරයා කීවේය.

යන්න හදපු ප්‍රසන්නව මහින්ද, බැසිල් නවතයි

ඇමැති ප්‍රසන්න මැයි දින රැස්වීම අතරතුර නැඟිට මහින්ද ළඟට ගියේ ආපසු යන්නටය. තමන්ට හදිසි වැඩක් ඇතැයි කියමින් ඔහු මහින්දගෙන් රැස්වීමෙන් පිටව යාමට අවසර ඉල්ලුවේය. ප්‍රසන්නගේ අතින් අල්ලා ගත් මහින්ද “කොහේ යන්නද ඔහොම ඉන්න” යැයි ප්‍රසන්නට කීවේය. මෙය ඇසුණු බැසිල්ද ප්‍රසන්නගේ අතින් අල්ලා ගත්තේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂගේ ඉල්ලීමට පිටු පාන්නට ඇමැති ප්‍රසන්නට නොහැකි විය. ඒ අනුව ඔවුන් අසල පුටුවකින් වාඩි වූ ඇමැති ප්‍රසන්නට ඊළඟ කතාව කරන ලෙස ද ආරාධනා ලැබිණි

මෙතෙක් වෙලා බෑ කියමින් සිටි ඇමති ප්‍රසන්න මැයිදින රැළියේ කතාව පැවැත්වුයේ ඒ අනුවය.

රාජ්‍ය ඇමැතිවරයෙකුගෙන් පැමිණිල්ලක්

“ඇමැතිතුමා පෙළපාළියේ මම එනකම් හිටියේ නෑ. මාව දමල ආව” රාජ්‍ය ඇමැති ඉන්දික කීවේ නෝක්කාඩුවෙනි.

“නෑ..මම කාටත් පණිවිඩය දුන්නා. ඔයානේ ආවේ නැත්තේ. මට ඔයා නිසා මිනිස්සු රස්තියාදු කරන්න බැහැ. ඒක නිසා මම ආවා” ඇමැති ප්‍රසන්න කීය

ගම්පහ දිස්ත්‍රික් නායකත්වය අරභයා රාජ්‍ය ඇමැති ඉන්දික, ඇමැති ප්‍රසන්න සමඟ හිත් අමනාපයෙන් පසුවන බව ප්‍රසිද්ධ රහසකි.

පොහොට්ටුවේ නැඟිටීම

“අපේ රැස්වීමයි, තොණ්ඩමන්ගෙ රැස්වීමයි, එ.ජා.ප රැලියයි එකතු කළත් ආණ්ඩුව දිනුම්” මහින්දානන්ද කීවේය.

“මමත් මේ පිංතූර බල බලා හිටියේ මාලිමාවෙ සහෝදරවරුන්ගෙ රැස්වීම්වල සෙනඟ නෑ. මාතරයි, කොළඹයි නම් සෙනඟ ඉන්නවා” ඇමැති ප්‍රසන්න තම දුරකතනය පෙන්වමින් කීය.

“පොහොට්ටුව වැටිල නෑ කියන්න මේ රැලිය හොඳ උදාහරණයක්. අද රාජපක්ෂ විරෝධය බොරුවක් කියල ජනතාව ඔප්පු කළා. සහෝදරවරුන්ගෙ කයිවාරුව විතරයි කියලත් අද ඔප්පු වුණා”

ඒ සහන් ප්‍රදීප්ය.

“ඔව්.. මෛත්‍රීගෙ ගම්පහ රැස්වීමෙත් 5000ක් නෑ.” ඇමති ප්‍රසන්න කීවේය.

රනිල් දිනවීමට වජිර කෝච්චියෙන් කොළඹට

එක්සත් ජාතික පක්ෂ මැයි දින රැලිය පසුගිය බදාදා විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් මාලිගාවත්ත පොලීසිය ඉදිරිපිටදී පැවැත්විණි.

මෙම රැලියට සහභාගීවීම සඳහා දකුණු පළාත වෙනුවෙන් විශේෂ දුම්රියන් තුනක් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන විසින් යොදවා තිබුණි.

වෙනදාට බස් රථවලින් පැමිණි ජනතාව මෙදා රැලිය සඳහා කොළඹට පැමිණියේ දුම්රියෙන් වීම කාගෙත් අවධානය යොමු වූ දෙයක් විය.

මීටත් අමතරව අහංගම සිට පැමිණි දුම්රියෙන් ජනතාව සමඟම වජිරත් කොළඹට පැමිණීම කාගෙත් කතා බහට ලක්විය.

සජිත් චැතම් වීදියේ මැයි දින රැලියේ

“සමගි රටක් අනගි හෙටක්” යන තේමාව මුල් කර ගනිමින් ඵෙතිහාසික මැයි දිනයක් සමගි ජනබලවේගයට පවත්වන්න හැකියාව ලැබුණ අතර ජාති ආගම් භේදයකින් තොරව ජනතාව සමගි ජනබලවේගයේ මැයි දිනයට සහභාගි වී සිටියහ. සමගි ජනබලවේගයේ මැයි දිනය සාර්ථක, ප්‍රගතිශීලි මැයි දිනයක් බවට පත්වුණ අතර සමගි ජනබලව්ගයේ මැයි දිනය සාර්ථක කරගැනීමට සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ඇතුළු පිරිස විශාල දායකත්වයක් ලබා දුන්නේය. මේ අතර සමගි ජනබලවේගය කොළඹ කොටුව පහළ චැතම් වීදියේ සංවිධානය කර තිබුණ මැයි දින රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණෙන විට ඉහළ ප්‍රතිචාරයක් හිමිවිය.

පොහොට්ටුවේ මැයි රැලියට නාමල් බරටම වැඩ

පොහොට්ටුවේ මැයි රැලිය මෙවර පැවැත්වූයේ බොරැල්ල කැම්බල් පිටියේදීය. මෙහි වගකීම රෝහිත අබේගුණවර්ධන ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨයින්ට හා ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට පැවරී තිබිණි. අවසානයේදී මෙය ඉතාම සාර්ථක ලෙස පැවැත්වූ අතර පොහොට්ටුවේ ජනතාව විශාල වශයෙන් බොරැල්ල කැම්බල් පිටියට පැමිණ සිටියහ. නාමල් මෙහිදී කථික ලැයිස්තුව පිළියෙල කිරීමේදී තරුණ නායකයින්ට අවස්ථාවක් ලබා දී තිබිණි. ඒ වගේම නාමල් මෙම රැලියට සහභාගී වීමට පැමිණෙන විට ඔහුව පිළිගැනීමට විශාල පිරිසක් පොරකනු දැකගත හැකිවිය.

සුපුරුදු පරිදි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පැමිණෙන විට ජනතාව ඔහුව පිළිගත්තේ සුපුරුදු පරිදි ඔහුව වටකර ගනිමිනි. මෙහිදී මහින්ද රාජපක්ෂද ජනතාව අමතා කතා කළ අතර ඔහු පවසා සිටියේ පොහොට්ටුව උදව් කරන අපේක්ෂකයා පමණක් එන මැතිවරණයකදී ජය ගන්නා බවකි.

මැයි දින රැලිය අවසානයේදී නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, තිස්ස කුට්ටිආරච්චි, ඩී වීරසිංහ, ඩී. වී චානක, සාගර කාරියවසම් වේදිකාවෙන් බැස පැමිණියේ ජනතාව ළගටය. ඒ ඔවුන් පිටත් කර හැරීමටය. ඔන්න කට්ටිය කිවුවා පොහොට්ටුව ඉවරයි කියලා. තිස්සකුට්ටි කතාව ආරම්භ කළේය. ගිනි තියලා මිනිස්සු මරලා රටේ ජනමතයක් ගොඩනඟන්න බෑ. එහෙම පක්ෂ සෝඩා බෝතලේ කැඩුවා වගේ එකපාරටම මතුවෙලා නැතිවෙලා යනවා. මෙහෙම කිවුවේ නාමල් රාජපක්ෂය. “ නාමල්ගෙ මේ දස බල සේනා වැඩසටහන නිසා ලොකු පිබිදීමක් තියෙනවා.“ ජොනී පැවසීය. “අපි ගම් මට්ටම්වලින් ගිහින් ජනතාව එක්ක ඉන්න ඕනෙ“. රෝහිත පැවසීය. “ ඔව් දැන් දසබල සේනා එක නිසා හැම ගමක් ගමක් ගානෙම අපි යනවා. අපි වැඩියෙන් ජනතාව අතරට ගිහින් දැනුම්වත් කරමු.“ නාමල් පැවසීය. “ඔව් මේ පක්ෂය තමයි ලොකුම ජනතාවක් ඒකරාශි වෙලා තියෙන පක්ෂය. මේක ගිනි තිබ්බ කියලා වට්ටන්න බෑ. “රෝහිත පැවසීය.

නාමල්ට අගමැතිගෙන් ඇගයීමක්

දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා මැයි දින කතාව ආරම්භ කිරීමට පෙර නාමල් රාජපක්ෂ දෙස බලමින් ඔහුව දිරිගැන්වීමට කටයුතු කිරීම බොහෝ දෙනෙකු කතාබහට ලක්ව තිබුණි.

“තරුණ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ අඩියක් ඉදිරියට තබලා කියලා මැයි රැලිය බැලුවම පේනවා” යනුවෙන් දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

දිනේෂ්ව අගමැති කරන්න හීන දැක්කේ කවුද?

අරලිය ගහ මන්දිරයට ප්‍රධාන මාධ්‍ය සියල්ලේම ප්‍රධානින් පසුගිය අගහරුවාදා රැස්ව සිටියේ දේශපාලන කැදවීමක් අනුව නොවේ. ජාතික නාමල් උයනේ නිර්මාතෘ වනවාසී රාහුල හිමියෝ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියල්ල වෙත අරලිය ගහ මන්දිරයට ආරාධනා කර තිබුණේ අගමැති දිනේෂ් ගුණවර්ධනයන් අතින් සම්මාන ලබාදීම සඳහාය. ජාතික නාමල් උයනේ අභිවෘද්ධිය සඳහා වසර ගණනාවක් ඇප කැප වූ උන් වහන්සේ තමන්ට සවියක් වූ මාධ්‍ය සදහා කෘතගුණ දැක්වීම සියලු මාධ්‍යවේදින්ගේ ප්‍රශංසාවට ලක් විය.

සභාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් ද පණිවිඩයක් ඒවා තිබූ අතර එම පණිවිඩය සභාවට ඉදිරිපත් කරන ලද්දේ ප්‍රවාහන, මහමාර්ග සහ ජනමාධ්‍ය ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමතිවරයාය.

වනවාසී රාහුල හිමියන් වෙත මුල පටන්ම මාධ්‍යයේ ඉඩ හසර ලබාදුන් එඩ්මන්ඩ් රණසිංහ ද මේ උත්සවය සදහා සහභාගී වීමට පැමිණියේය. එඩ්මන්ඩ් රණසිංහ පැමිණෙන විට රාහුල හිමියෝ සිය කතාව පවත්වමින් සිටි අතර එතුමා තමන් වෙත දශක ගණනාවක් තිස්සේ ලබා දුන් කාරුණිකභාවය සිහිපත් වී උන් වහන්සේ සංවේදී වීමේ ප්‍රතිපලයක් ලෙස කතාව කිහිපවරක්ම කර ගෙන යෑමට නොහැකි තත්ත්වයක් මතු විය. උත්සවය අවසානයේ එඩ්මන්ඩ් රණසිංහ අසලට පැමිණි අගමැතිවරයා, ජේෂ්ඨ කතෘවරයාගේ සුවදුක් විමසමින් සිටින අතරේ එතැන සිටි මාධ්‍යවේදියෙක් අගමැතිවරයාට පවසා සිටියේ “රණසිංහ මහත්තයා ඔබතුමාව අගමැති කරන්න හීන දැක්කේ 1994ටත් ඉස්සර ඉඳලා.” එම අවස්ථාවේදී අගමැතිවරයා එඩ්මන්ඩ් රණසිංහ දෙස ගෞරවයෙන් බලා සදහන් කරන ලද්දේ “ අපි බොරලුගොඩ,මෙතුමාගෙ අම්මා කඩුගොඩ. අහළ පහළ උදවියනේ. මෙතුමා කළ සේවය අපි අමතක කරන්න හොද නැහැ. ඒ කාලයේ සිංහල ජාතිය වෙනුවෙන් තනිවම සටන් කළේ මෙතුමයි.” එසේ කියූ අගමැතිවරයා, එඩ්මන්ඩ් රණසිංහයන් වෙත සමුදුන්නේ මදක් නැවී ගෞරව සමාචාර දක්වාය.

අගමැතිවරයා එම ස්ථානයෙන් නික්ම ගිය පසු අගමැති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන එඩ්මන්ඩ් රණසිංහ හමුවට පැමිණ “ මගේ තාත්තා ඔබතුමාගේ කතුවැකිය කියැවීම මට කුඩා කාලයේදී අනිවාර්යය කරලා තිබුණා. අපි ඔබතුමාගෙන් බොහොම දේවල් ඉගෙන ගත්ත අය ඔබතුමා සීතාවක පුරවරයට ආඩම්බරයක්” කියා එඩ්මන්ඩ් රණසිංහගේ ජාතික සේවය ප්‍රශංසාවට ලක් කළේය. “ඒක ඇත්ත මං ඉපදුණේ පුවක්පිටියේ, අම්මා කපුගොඩ, මම ඉගැන්නුවේ වග ඉරිදා පොළ ඉස්කෝලේ, රණසිංහයෝ කීහ.

සජිත් පැයක් කාර් එකේ

“වතු කම්කරු වැටුප් වැඩිකරපු නිසා සජිත්ගේ නුවරඑළියේ රැලියට එච්චර සෙනඟ හිටියේ නෑ. දැන් මිනිස්සුන්ට ඇත්ත තේරෙනවා”නිමල් ලාන්සා මන්ත්‍රීවරයා කීවේය.

“ඔව් ඔව් සජිත් මේ සැරේ නුවරඑළියේ රැස්වීමට ගිහින් කියන්න හිටිය ඔක්කොම සටන් පාඨ ටික ඉවර නිසා ඒක අසාර්ථකයි” පියංකර ජයරත්න මන්ත්‍රීවරයා සිනාසෙමින් කීවේය. “කොටගල රැස්වීමට සෙනඟ එනකම් සජිත් මහත්තයා කාර් එකට වෙලා පැයක් හිටියා කියලා ආරංචියි.” තවත් මන්ත්‍රීවරයෙකු පැවසීය.

“ඒක නෙමෙයි කොහොමද අපේ නිදහස් පක්ෂයේ රැලිය. ඇත්තටම දැන් එයාල කරන්නෙ මිනිස්සුන්ට විහිළු සපයන එක” දීර්ඝ කලක් එම පක්ෂයේ ප්‍රධාන තනතුරක් දරන ලද පළාත් සභා ප්‍රධානියෙකු කියන්නට විය.

“විජයදාස ඇමැතිතුමා අන්තිම මොහොතේ ඇවිත් මේකට හේත්තුවෙලා එතුමගේ ඊළඟ පාර පාර්ලිමේන්තු එන්න තිබ්බ චාන්ස් එකත් නැතිකර ගත්ත” ඉසුර දේවප්‍රිය කීවේය.

“ඔය කවුරු කොහොම කිව්වත් ජනතාව දන්නව ඇත්තටම මේ රට වැටුණ වෙලාවේ තෙල් පෝලිම්, ගෑස් පෝලිම් නැති කරල රට ගොඩගන්න කවුද ඉදිරිපත් වුණේ කියල. එදා ඒ තීන්දුව ගත්තෙ නැත්තන් රට තවමත් බංකොලොත් රටක්. ඒකෙන් බැට කෑව හැටි මිනිස්සුන්ට මතකයි” ලන්සා කාගේත් අවධානය යොමුකරමින් දීර්ඝ පැහැදිලි කිරීමක් කළේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division