Home » කෙළින්ම කතාකරමු

කෙළින්ම කතාකරමු

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

මොකද සජිත් එක්ක විවාද කරන්න අනුරට බැරිද 
– ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති

සජබ කියන්නෙ ඔබේ පක්ෂයෙන් තමයි විවාදයට වෙලාවක් නොදී කල් දාන්නේ කියලා?

මෙන්න මේ දිනවලට කලින් දිනයක් දෙන්න කියන්නෙ නෑනේ. සජිත් මහත්තයා කැමති දිනයක් කියන්න කියලා අපි කියන්නෙ නැහැනෙ අපි කල් දානවා නම්. අපිට කල්දාන්න තියෙන වුවමනාව මොකක්ද සජිත් ප්‍රේමදාස එක්ක විවාද කරන්න අනුර දිසානායකට බැරි හින්දද? අපිට පැහැදිලිව තේරිලා තියෙන දේ තමයි, විපක්ෂය ලෙස දේශපාලනේ නොකර ඉඳල දැන් මේ හදිසියේ විපක්ෂය මාර කාර්යභාරයක් කරන බව පෙන්නන්න හදන එක; ඒගොල්ලො තමයි ආර්ථිකය ගැන දන්නෙ කියලා පෙන්නන්න හදන එක. මෙච්චර කාලයක් රට අගාධයට ගෙනිච්ච ආර්ථික ප්‍රථිපත්ති ඒගොල්ලන්ගෙ නෙමෙයි කියලා ඒත්තු ගන්නන්න හදන වෑයමක් මේ කරන්නේ. ඒක මේ රටේ හැමෝම දන්නවා. අර පැස්බරා ඔළුව හංගගෙන වගේ තමයි ඒ අයගෙ වැඩපිළිවෙළ. රටටම පේනවා ඒගොල්ලොන්ගෙ පිටිපස්ස.

ඔබේ පක්ෂයට අවශ්‍ය වන්නේ කුමන සංවාදයක් මුලින් පවත්වන්නද?

අපි ඕනෑ එකකට ලෑස්තියි. එහෙම ප්‍රශ්නයක් අපට නැහැ. අපි කියපු දේ රටේ ජනතාවට හරි පැහැදිලිව තේරෙනවා. ඉදිරියේදී එන්නේ ජනාධිපතිවරණයක් නම් ජනාධිපතිවරණ අපේක්ෂකයෝ එක්ක විවාද කරන එක තමයි හරි. ඒකට හේතුව ඒ පක්ෂවල ක්‍රමය අනුව අද ඉන්න කෙනා හෙට වෙන තැනකට යන්න පුළුවන්නෙ. සරත් ෆොන්සේකා තමයි මගේ ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති කියලා සජිත් ප්‍රේමදාස කිව්වා. ඒක පිළි අරගෙන අපි සරත් ෆොන්සේකා මහත්තයා එක්ක ආරක්ෂාව ගැන විවාදයක් කළා; නම් මොකද වෙන්නෙ. අද ඔය කතා කරන හර්ෂ ද සිල්වා, එරාන්ලා, කබීර්ලා හෙට එයාගෙ පරණ නායකයා ළඟට ගිහින් තව කතාවක් කිව්වොත් එතකොට අපි මොකද කරන්නෙ. මැතිවරණයට කලින් වුණත්, ජනාධිපතිවරණයට කලින් වුණත් ඒ අය පක්ෂ මාරු කරන්න ඉඩකඩ තියෙනවා. හැබැයි ඉතින් ජනාධිපති අපේක්ෂකයා පක්ෂය මාරු කරයි කියලා හිතන්නෙ නැහැනේ. ඒ නිසයි අපි කිව්වේ ජනාධිපති අපේක්ෂකයො අතර විවාද කරන්න කියලා. එහෙම නැතුව අපේ ආර්ථික කමිටුව ඒ අයගෙ ආර්ථික කමිටුවට බයේ හරි ඒ අය එක්ක අපිට විවාද කරන්න බැරි හින්දා නොවෙයි. මොකද ඔය හර්ෂ ද සිල්වා, එරාන්ල, කබීර්ල අපිට මේ විවාදවලදි හම්බ වෙච්ච නැති අය නොවෙයිනෙ. ඒගොල්ලො කියනවා නම් ඒගොල්ලොගෙ ආර්ථික කමිටුවට බය වෙලා කියලා මම කියනවා; ඒ තුන්දෙනාම එන්න මම තනියම එන්නම් කියලා. සාධාරණ කාලයක් ලබා දෙන්න. මම අපේ ආර්ථික කමිටුව වෙනුවෙන් තනියම එන්නම්.

ඔබේ පක්ෂයට ආර්ථික ප්‍රතිපත්තික් නැති නිසා නිවට ලෙස ඉන්නවා විවාද දෙකටම එකවර සූදානම් වෙන්න කියලා ඒ අය අභියෝග කරනවා?

ඒ කියන කතා නම් එච්චර ගණන් ගන්නෙ නෑ. අපේ ආර්ථික ප්‍රතිපත්තිය ලියලා තියා ගන්නකෝ. නිෂ්පාදන ආර්ථිකයක් ජනතා සහභාගිත්වය සහිතව ජනතාවට ප්‍රතිලාභ ලබා දීලා. අපිට ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තිය තමයි නිෂ්පාදන ආර්ථිකය ගැන ඒගොල්ලො කතා කරල තියෙනවා, මේ වෙනකල් විවිධ ආණ්ඩුව යටතේ. ඒගොල්ලො ජනසහභාගීත්වය ගැන කතා කරන්නෙ නෑ. අදත් ඒගොල්ලොන්ගෙ සමාජ වෙළෙඳපොළ ආර්ථිකයක් ගැන කියන්නෙ නෑ. ඉතින් සමාජයයි, වෙළෙඳපොළයි කොහොමත් තියෙනවනෙ. මොකක්ද ඒ ආර්ථිකය කියලා කියන්න ඕනනෙ. මෙතෙක් අනුගමනය කරපු විවෘත ආර්ථිකයට වඩා වෙනස් වෙන්නෙ කොතනින්ද? අපේ ආර්ථික ප්‍රතිපත්තියෙදි රජයට කාර්යභාරයක් තියෙනවා. හැබැයි පුද්ගලික අංශයත් ශක්තිමත් ලෙස තියෙන්න ඕනෑ. පුද්ගලික අංශය නැති සියල්ල රජයෙන් මෙහෙයවන ආර්ථිකයක් ගැන නොවෙයි අපි කතා කරන්නෙ. රජයේ නියාමනයක් මැදිහත්වීමක් සහිත, ජනතාවට පැහැදිලි බෙදී යාමක් සහිත, පුද්ගලික අංශය තියෙන ආර්ථිකයක් ගැන අපි කතා කරනවා.

මේවා නිකන් ලකුණු දාගන්න කියන කතානේ
– සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න‍

පක්ෂ දෙකේ නායකයන් දෙදෙනා සහ ආර්ථීක කවුන්සලය විවාදය සඳහා දිනයක් දන්වන්න කියලා ජාජබ විවාද සම්බන්ධීකාරකවරයා විසින් ලිපියක් මඟින් ලිඛීතව දැනුම් දිලා තියෙනවා නේද. එයට ප්‍රතිචාරයක් නැත්තේ ඇයි.

හැබැයි අපි එක්ක සාකච්ඡා කරන්න ඕනෑ නම් අපි ලෑස්තියි. අපිට ගැටලුවක් නැහැ. ප්‍රමාද කරන්න අවශ්‍ය නැහැ. සුදුසු වෙලාවක් යොදාගෙන සංවාද දෙකම කරමු කියලා අපි කියන්නෙත්.

ජාජබ විවාද සම්බන්ධීකාරක නලින්ද ජයතිස්ස ලිපියක් යොමු කර තියෙනවා විවාද දෙකටම සහභාගී වෙන්න කියලා. නමුත් දිනයක් ඔබේ පක්ෂය දෙපැත්තට අදිනවා කියලා තමයි කියන්නෙ

නලින් බණ්ඩාර මුල ඉඳලම ඇහුවා අපේ කණ්ඩායමයි ඒගොල්ලන්ගේ කණ්ඩායමයි වාද විවාද කරමුද කියලා. ඒගොල්ලන් ඒකට කිසි ප්‍රතිචාරයක් දැක්වූයේ නැහැ. ඊට පස්සේ නායකතුමන්ලා දෙන්න අතරේ විවාදයක් තියමු කියලා කිව්වා. එතකොට නායකතුමාම කියලා තියෙන්නේ දෙකම තියමු කියලා. හැබැයි ඔය නිකන් බොරු සාකච්ඡා තියලා වැඩක් නැහැ.

ඔබ කියන්නේ ජාජබ පක්ෂයට විවාද ගැන අවබෝධයක් නැහැ කියලද?

රොයිටර් එකේ පැහැදිලිව කියනවා මැතිවරණ විවාද පිළිබඳව. මේක නිකන් ලකුණු දාගන්න කියන කතාවල් නේ. මේ පිළිබඳව සාකච්ඡා යනවා කවදද කරන්නේ; කොහොමද කරන්නේ කියලා පැහැදිලි කරගත යුතුයි.

පළමුව ආර්ථික කමිටුව අතර සංවාදයක් ද, නායකතුමන්ලා අතර සංවාදයක් ද ඔබතුමන්ලා යෝජනා කරන්නේ.

මගේ මතය මුල ඉඳලම අපි ඉස්සෙල්ලා විවාදයක් තියන්න ඕනෑ කියන එකයි.

සාමාන්‍යයෙන් මැතිවරණයක විවාද කරන්න ඕනෑ ඒගොල්ලන්ගේ නිෂ්පාදනය නැත්නම් එයාගේ ඇඳුම හොඳද මගේ සෙරෙප්පුව හොඳද කියලා විවාද කරලා වැඩක් නෑ. එතන ඉල්ලුම්කරුවෝ විවාද කළ යුතුයි. ප්‍රතිපත්ති පිළිබඳ විවාදයක් කරනකොට කණ්ඩායමම සම්බන්ධ වෙන්න හොඳයි. මේ විවාද දෙකම කරන්න ඕනෑ. සාකච්ඡා කරලා කවුද ඒක සංස්කරණය කරන්නේ කියලා ඒක ව්‍යවස්ථාවකට අනුව කළ යුතුයි.

දැන් ඕනෑ කැම්පෙන් විවාදයක් නෙමෙයි
– පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න

මේ අවස්ථාවේදි ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ විවාදයක්ද?

යම් අවබෝධයක් ඇති සංවාදයක් අවශ්‍යයි. සංවාදයක අවශ්‍යතාව තිබුණත් දේශපාලන කැම්පේන් අරමුණු කරගෙන විවාදයක් නොවෙයි; ආර්ථිකය සම්බන්ධයෙන් යම් සංවාදයක් අවශ්‍යයි.

සජබ සහ ජාජබ පක්ෂවල ආර්ථීක ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඔබේ අදහස..

මට පේන විදිහට ඒ දෙගොල්ලන්ගෙන් කිසිවෙක් ඊළඟ වසර පහ සම්බන්ධයෙන් ආර්ථික වැඩපිළිවෙළ මේකයි කියලා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් කර නැහැ. සජබ යම් යම් කාරණා කිහිපයක් සාකච්ඡා කරමින් ඉන්නවා; ඒ හැර තාම එය ලියවිල්ලක් බවට පත් වී නැහැ; ජාජබ ආර්ථික සැලසුම කුමක්ද කියලා ඒ අය තාම දන්නෙත් නැහැ. ඒ අය නිරවුල්ව කියලා නැහැ. ජාජබ ආර්ථික සැලසුම කුමක්ද කියලා ඒ අය තාම දන්නෙත් නැහැ. එක වෙලාවක කියනවා වියට්නාම ආකෘතියක් පාවිච්චි කරනවා කියලා. මට එය පේන්නේ ජාජබ බලවේග කණ්ඩායම් දෙකක් ඉන්නවා. එනම් සාම්ප්‍රදායික ජවිපෙ සහ ජවිපෙ එහා ගිය කණ්ඩායමක් ඉන්නවා. ඒ දෙකේ එකතුව තමයි ජාජබ කියන්නේ. ජවිපෙ කියන්නේ ඉතා දැඩි වාමාශික පිළිවෙතක් අනුගමනය කරන කණ්ඩායමක්.

ජාජබ නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැහැ කියලාද ඔබ කියන්නේ?

මට හිතෙන්නේ සාම්ප්‍රදායික වම සහ නව ලිබරල් අදහස් විශ්වාස කරන අලුත් කණ්ඩායමක් ඉන්න එකයි. මේ දෙකේ කොතනද නතර වෙන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. එකිනෙකට පරස්පර මතවාද විශ්වාස කරන සමාජ කණ්ඩායම් දෙකක් එකතු වෙලා එක් ලියවිල්ලක් හදන එක ලේසි නැහැ.

මේ ආර්ථික අර්බුදයට හේතුව නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොතිබීම බව ජාජබ චෝදනාවයි?

මේ ප්‍රශ්නයට ආසන්නතම හේතුව කොවිඩ් වසංගතයයි. දීර්ඝකාලීන හේතු අපනයන විවිධාංගිකරණයත් සමඟ ඉදිරියට නොයාම, කාර්මිකකරණය පිළිබඳ උත්සාහයක් ගෙන නොමැති වීම සහ ආතාර්කික සුබසාධනයයි. මෙය යම්යම් තැන්වල දී වෙනස් කිරීමට උත්සාහ කරපු අවස්ථා තිබුණා.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division