by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– අංක 01 සිට 09 දක්වා දෛව අංකවලට අයත් පලාපල 
– දෛව අංකය සොයා ගන්නේ මෙහෙමයි

දෛව අංක 1 
බොහෝ දේ අලුතෙන් ආරම්භ කරන වසරක්

ඔබට ඵලදායි සුබ පල දෙන වසරක් . ඔබේ ජීවිතයේ බොහෝ දේවල් අලුතින් ආරම්භ වෙන වසරක් බවට පත්වේවි. අලුත් බලාපොරොත්තු සාර්ථක කරගන්නට අවස්ථාවන් උදාවේවි. රැකියාව, විවාහය නව නිවසක් ඉදිකිරීම වාහනයක් මිලට ගැනීම ආදී දේට මුල පුරන සාර්ථක වන වසරක්. නව වසර තුළ අලුත් වෙනසක් පිළිබඳ බලාපොරොත්තු තැබිය හැකියි. නමුත් ආරම්භය දුෂ්කර බව පසක් කරමින් මේ වසර තුළ ඔබගේ බොහෝ කටයුතු සිදු කිරීම සඳහා වැඩි කායික මානසික ශක්තියකින් ක්‍රියා කළ යුතු වෙයි. අභියෝගවලට මුහුණ දීමට සූදානම් විය යුතුයි. වෘත්තීය ජීවිතයේ තිබුණු බොහෝ බාධා ඉවත්ව යන කාලයකි. නව රැකියා අවස්ථා බලාපොරොත්තු වෙන්නට පුළුවන්. ඔබට ඔබ පිළිබඳ විශාල ආත්ම ශක්තියක් ගොඩනැඟෙන වසරකි. නව ප්‍රබෝධයකින් වසර ආරම්භ කිරීමට හැකියාව ලැබේවි. ඔබේ ජීවිතයේ ඉදිරි අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් අත්තිවාරම් දමන වසරක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන. ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය නව මංපෙත් විවර වෙන කාලයකි. ගෙදරදොර කටයුතු සාමකාමීව පවත්වාගෙන යෑමේ හැකියාව පවතියි. අධ්‍යාපන කටයුතුවලට විශේෂ බාධාවක් පෙන්නුම් කරන්නේ නැත. නව අධ්‍යාපන අවස්ථා මෙන්ම විදේශීය අධ්‍යාපන අවස්ථාද උදාකර ගැනීමේ හැකියාව පවතියි. වර්ෂයේ මැද භාගයෙන් පසුව විදේශ ගමන් සාර්ථක වේවි. අලුතින් වැඩ කටයුතු ආරම්භ කිරීමට සුදුසු වර්ෂයක් බැවින් ඔබ පටන් ගන්නා බොහෝ කටයුතු වර්ෂය අවසන් වන විට සාර්ථක මට්ටමකට ගෙන යෑමේ හැකියාව පවතියි. උදරාබාධ හෝ අජීර්ණ තත්ත්වයන් විටින් විට ඇති කළ හැකියි. එමෙන්ම ඇස් සම්බන්ධ රෝගාබාධවලින් ප්‍රවේසම් වීම වැදගත්.

• ඔබට 2024 වර්ෂයේ ඕනෑම මාසයක සුබ අංක සහ සුබ දින වන්නේ 1, 2, 10, 11, 19.20,28,29.

• සතියේ සුබ දවස් වන්නේ සඳුදා සහ ඉරිදාය.

• ඕනෑම මාසයක 8, 17, 26 දිනයන් සුබ කටයුතු සඳහා යොදා නොගන්න. අසාර්ථක වීම් සහ බාධා සහිතයි.

එමෙන්ම සිකුරාදා සහ සෙනසුරාදා කිසිදු සුබ කටයුත්තකට යොදා නොගන්න. අනෙකුත් දවස් මධ්‍යස්ථ පල ලබාදෙයි.

•ඔබේ සුබ වර්ණ වනුයේ රන්වන් පාටට හුරු වර්ණ සහ කහ පාට වර්ණයි. ඔබගේ සියලු යහපත් ක්‍රියා සඳහා සුබ දිසාව වන්නේ නැඟෙනහිරයි.

දෛව අංක 2 
ආදායම් වර්ධනයක්

උදා වූ නව වර්ෂය ඔබට අධ්‍යාත්මික සහ මානසික වශයෙන් සිත තුළ ධනාත්මක ආකල්ප වැඩි වශයෙන් වර්ධනය වන වසරක් ලෙස සඳහන් කරන්න පුළුවන. වෙන වසරවලට වඩා උත්සාහය, උනන්දුව වැඩිපුර ඇති කරාවි. නමුත් ඔබට මෙම වසර කාර්යබහුල වසරක් වෙන්න පුළුවන. ඔබගේ අධ්‍යාත්මික ශක්තිය ඔබ නිසි ලෙස තේරුම් ගෙන කටයුතු කළහොත් ඔබට ඉහළ දියුණුවක් මෙම වසර තුළ ළඟා කරගන්නට පුළුවන. ඉඩකඩම් හා පවුල් ප්‍රශ්න බොහොමයක් නිරාකරණය කර ගැනීමට හැකියාව ලැබෙන අතර පවුලේ සමගිය පවත්වාගෙන යෑමට බාධාවක් ඇති කරන්නේ නැත. ගෘහ ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් ගෙවීමට හැකියාව ලැබේවි. නව ව්‍යාපාර ආරම්භයට සුදුසු වසරකි. ආදායම් සැලකිය යුතු ආකාරයෙන් වර්ධනය කරගෙන කටයුතු කරන්නට අවස්ථාවන් උදාවේවි. ජලය ආශ්‍රිත කර්මාන්ත කරන අයට වඩාත් සුබපල ලබන්න පුළුවන. කුමන බාධා ආවද වෙළෙඳ ව්‍යාපාර රැකීරක්ෂා සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යෑමේ හැකියාව ඇති කරයි. පදිංචියේ හෝ රැකියාවේ වෙනසක් සිදු විය හැකි වසරකි. අනවශ්‍ය වියදම් පාලනය කර ගැනීමට කටයුතු කරන්න. ගමන් බිමන් වැඩිපුර යෙදෙන වසරකි. සිතේ චංචලභාවය නිතර ඇති කරන්න පුළුවන. ආවේගශීලීභාවය පාලනය කරගෙන ඉවසීම පුරුදු කිරීම බොහෝ අවස්ථාවල වැදගත් බව මතක තබාගන්න. නිවාස අලුත්වැඩියා කිරීම් හා නව නිවාස ඉදිකිරීම් වැනි දේවලට මුල පුරන වසරකි. සෞඛ්‍ය සම්බන්ධයෙන් බලන කල දියවැඩියා රෝග තිබේනම් ප්‍රවේසම් වීම වැදගත්. අජීර්ණ රෝග සහ ඇස් ආශ්‍රිත රෝග තත්ත්වයන්ගෙන් ද ප්‍රවේසම් වීම වැදගත්. බෝවන රෝග ද පහසුවෙන් ඔබට වැලඳිය හැකි බැවින් ඒ ගැනද ප්‍රවේසම් වන්න.

• ඔබට මෙම වර්ෂය තුළ ශුභ දින සහ අංක වන්නේ 1,2,6,7,10,11,15,16,19,20,24,25,28,29. යන අංකයි. සෑම මාසයකම මෙම දින සහ අංක සුබ කටයුතුවලට යහපත් වේ.

• ඔබට ඕනෑම කටයුත්තක් සඳහා සතියේ සුබ දවස් වන්නේ ඉරිදා සඳුදා සහ සිකුරාදා.

• ශුභදායක ජයග්‍රාහි වර්ණ වන්නේ කොළ පාට සහ සුදු පාට වර්ණ ය. කළු පාට සහ රතු පාට වර්ණ අසුබ ප්‍රතිඵල උදාකරන අසුබ වර්ණ වෙයි.

• ඔබට වාසනාව උදා කරන සුබ දිශාව වන්නේ උතුරු දිසාවයි.

දෛව අංක 3 
සමාජ සේවාවට වැඩි කාලයක්

දෛව අංක තුනෙන් උපන් ඔබට මෙම වසර මධ්‍යස්ථ ඵල ඇති කරන වසරක් බවට පත් වේවි. පවුලේ සමගිය ඇති කරන අතර, ගෘහ ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් ගෙවීමේ හැකියාව ඇති කරයි. මිතුරන් සමඟ හෝ සමාජ සේවා කටයුතුවල නිරත වෙන්නට වැඩි අවස්ථාවන් උදාවේවි. ගෙදර දොර දියුණුවක් ඇති කරන වසරකි. තමා තුළ තිබෙන සහජ නිර්මාණාත්මක කුසලතා සහ හැකියාවන්ගෙන් පල ප්‍රයෝජන ලබා ගැනීමට අවස්ථාව ලැබෙන වසරකි. ඉතා උ‌ෙද්‍යා්ගයෙන් සහ ප්‍රබෝධයකින් යුතුව මේ වසර ගෙවා දැමීමට ඔබට හැකියාව ලැබේවි. නමුත් ඔබ මතක තබා ගත යුතු වන්නේ ඔබගේ කම්මැළිකම සහ නොසැලකිලිමත්භාවය නිසා බොහෝ වැඩ කටයුතු අතපසුවීමට තිබෙන ඉඩකඩ බවයි. වසර මැද භාගය වන විට මූල්‍යමය අපහසුතා ඇති කළ හැකි බැවින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඔබගේම ස්වයං රැකියා සහ ව්‍යාපාර ආරම්භයට ඉතා සුදුසු වසරක් බැවින් ඒ ගැන උනන්දු වීමෙන් වඩා වැඩි ප්‍රතිලාභ ලැබිය හැකියි. වසර මැද භාගය වන විට විදේශ ගමන් සාර්ථක වේවි. දරුවන් සම්බන්ධ බලාපොරොත්තු සාර්ථක කර ගත හැකි වසරකි. රැකියාවේ තනතුරු උසස්වීම් සහ ඇග­ැයීම් වැඩි වශයෙන් ලැබිය හැකි කාලයකි. අධ්‍යාපනයට විශේෂ බාධා ඇති නොවේ. තරග සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ අත්විඳිය හැකියි. ප්‍රමාද වූ විවාහය බොහෝ විට මේ වසර තුළ ඉෂ්ට වේවි. උගුර සහ පපු ආශ්‍රිත රෝග තත්ත්ව පහසුවෙන් ඇති කරන්න පුළුවන. සෙම ආශ්‍රිත රෝගවලින් ප්‍රවේසම් විය යුතුයි. ස්නායුගත රෝග මෙන්ම සමේ රෝගවලින්ද ප්‍රවේසම් වන්න. ඔබට මෙම වර්ෂය තුළ සුබදායක දිනයන් සහ අංක වන්නේ 3,6,9,12,15,18,21,24,27,30.යන දිනයන් වේ.

• ඔබට සතියේ සුබ දවස් වන්නේ අඟහරුවාදා,

බ්‍රහස්පතින්දා, සහ සිකුරාදා යන දවස් ය.

• සුබ වර්ණ වන්නේ දම් පාට, නිල් පාට, තද රතු සහ රෝස පාට වර්ණයි.

• ඔබට වාසනාව ගෙන එන සුභ දිසාව වන්නේ ඊසාන දිශාවයි.

දෛව අංක 4 
මහන්සි වී වැඩ කිරීමෙන් ජයග්‍රහණය

මෙම උදා වූ නව වර්ෂය දෛව අංක හතරෙන් උපන් ඔබට තීරණාත්මක වසරක් වන බව පෙනේ. පසුගිය වර්ෂ තුළ නිම කර ගැනීමට නොහැකි වූ බොහෝ කටයුතු මෙම වර්ෂය තුළ නිම කර ගැනීමට හැකිවේවි. ඔබගේ බොහෝ අරමුණු ඉලක්ක සඳහා මෙම වසර තුළ වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවෙන වසරකි. මෙම වසර තුළ ක්‍රමානුකූලව සාර්ථකත්වයක් ළඟා කර ගන්නා අතර වර්ෂය අවසන් වන විට යහපත් ස්ථාවරත්වයක් ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙයි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමේ වැදගත්කම සහ වටිනාකම මේ වසර තුළ ඔබ ඉගෙන ගනු ඇත. වසර මුලදීම අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් පදනමක් සකස් කර ගැනීම සඳහා අවධානය යොමු වන බව පෙනේ. මූල්‍ය කටයුතු සම්බන්ධ වැඩවලදී ඔබ අවදානම් නොගෙන සිටීමට වග බලාගන්න. ණයට මුදල් ලබාදීම් ඇප අත්සන් කිරීම් පිළිබඳ කීප වතාවක් සිතා බැලීම හොඳයි. තරමක් කාර්ය බහුල විවේකය අඩු වසරක් බවට පත්වේවි. ගමන් බිමන් වැඩි වශයෙන් යෙදෙයි. ගමන් බිමන්වලදී ප්‍රවේසම් වීමට වගබලා ගත යුතුයි. මුදල් පරිහරණයේදී කල්පනාකාරී විය යුත්තේ අනවශ්‍ය වියදම් වැඩි කළ හැකි බැවිනි. නමුත් ඔබට ලොතරැයි දිනුම් වැනි හදිසි මුදල් ලාභ ලැබීම් පෙන්නුම් කරයි. මානසික විවේකය අවශ්‍ය තරම් ලබා ගත යුතුයි. අධ්‍යාපනයට බාධා එල්ල විය හැකි බැවින් ඒ ගැන වැඩි උනන්දුවක් ඇතිකර ගැනීම හොඳයි. විදේශ සංචාර සාර්ථක වෙන වසරකි. පදිංචියේ රැකියාවේ වෙනසක් සිදු විය හැකි කාලයකි. ඔබේ සෞඛ්‍යට වැඩි අවධානයක් යොමු කළ යුතුයි. අවශ්‍ය තරම් ව්‍යායාම කිරීමට මතක තබා ගන්න. ආහාර අජීර්ණ, හෘද රෝග, මූත්‍රා අමාරු, වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්ව තිබෙන අය වඩාත් ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. මෙම වර්ෂය තුළ ඔබට සුබදායක අංක සහ දිනවන්නේ 1,4,10,13,19,22,28,31. යන අංකයි.

• සතියේ සුබ දවස් වන්නේ සෙනසුරාදා ඉරිදා සහ සඳුදාය .

• ශුභදායක වර්ණ ලෙස නිල් පාට, අළු පාට සහ කහ පාට වර්ණ යොදාගත හැකියි. ශුභදායක දිසාව වන්නේ දකුණු දිසාවයි.

දෛව අංක 5 
දියුණුවට අවස්ථා රැසක්

උදා වූ නව වර්ෂය දෛව අංක පහෙන් උපන් ඔබට අභියෝගාත්මක වර්ෂයක් ලෙස සඳහන් කරන්න පුළුවන. තරමක් කාර්ය බහුල බවින් වැඩි වසරකි.

ජීවිතයේ වෙනස්කම් ගණනාවක් යෙදීමට නියමිත වසරක් බව කියන්න පුළුවන. තම යුතුකම් සහ වගකීම් මනා ලෙස ඉටු කිරීමට සිතට ගත යුතු කාලයකි. සෘණාත්මක ආකල්ප ඔබගේ මනසින් බැහැර කිරීමට වග බලාගන්න. ඉතා සැහැල්ලුවෙන් වගකීම්වලින් තොරව කටයුතු කිරීමට පෙලඹෙන ගතියක් පෙන්නුම් කරයි. ඔබට මෙම වසර තුළ නව අවස්ථා සහ මාර්ග ගණනාවක් උදාවෙන බව මතක තබාගෙන එම අවස්ථාවන්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සිතට ගන්න. ආතතියෙන් තොරව පරාජිතයකු ලෙස නොසිතා කටයුතු කිරීමට දැඩිව සිතට ගත යුතුයි. ගෘහ ජීවිතය තුළ තරමක් මතභේද ඇති වුවත් ඒවා සාමකාමීව කළමනාකරණය කර ගැනීමට හැකියාව ලැබෙයි. අධ්‍යාපන කටයුතුවලට ඉතා යහපත් වර්ෂයක් ලෙස සඳහන් කරන්න පුළුවන. අධ්‍යාපන ජයග්‍රහණ මෙන්ම විදේශ ශිෂ්‍යත්ව ලැබීම් බලාපොරොත්තු විය හැකියි. අලුත් යහළු මිතුරු මිතුරියන් හඳුනා ගැනීම සහ ඔබ තාමත් විවාහ නොවී සිටී නම් ඔබගේ විවාහය මේ කාලය තුළ තීරණය වීමට ඉඩ තිබේ. දරුවන් අපේක්ෂාවෙන් ඉන්න අයට තම බලාපොරොත්තු සාර්ථක කර ගත හැකි වසරකි. ඇසුරු කරන අය නිසා නොමඟට යාමටත් තම ආත්ම ගරුත්වය සහ චරිතයට හානි වීමටත් ඉඩකඩ ඇති බැවින් ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුයි. ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බලන විට ස්නායුගත රෝග, නින්ද නොයාමේ රෝග තත්ත්ව, ඇදුම, පපුවේ මහන්සිය වැනි රෝග තත්ත්ව මෙන්ම සෙම් රෝග තත්ත්ව තිබේ නම් ප්‍රවේසම් වන්න.

• නව වර්ෂය තුළ ශුභ දිනයන් සහ අංක වන්නේ 5,14,23,9,18,27 ⁣වේ.

• බදාදා සහ සිකුරාදා සතියේ සුබ දවස් බවට පත්වෙයි.

• ඔබට සුබදායක වර්ණ ලෙස සුදු පාට අළු පාට සහ දිලිසෙන වර්ණ වඩාත් පලදෙයි.

• සුබදායක දිසාව වන්නේ උතුරු දිසාවයි.

දෛව අංක 6 
විදේශ ගමන් සාර්ථකයි

දෛව අංක හයෙන් උපන් ඔබට උදා වූ මෙම නව වසර තුළ නිම කළ නොහැකි වූ බොහෝ කටයුතු කාරණාවන් අවසානය දක්වා නිමා කිරීමට අවස්ථාව උදාවෙයි. සිතුම් පැතුම් බොහොමයක් සඵල කර ගත හැකි වසරකි. ප්‍රේම සබඳතා වර්ධනය වන අතර විවාහ කටයුතු සාර්ථක කර ගන්නට හැකියාව ලැබෙයි. පවුල තුළ සමගිය ආදරය ප්‍රේමය වර්ධනය වෙන වසරක් ලෙස සඳහන් කරන්න පුළුවන. සමාජ සේවා සහ යහළුවන් ඇසුරු කිරීමට වැඩි නැඹුරුතාවයක් ඇති කරයි. වාහනයක් ගැනීමට සිතා සිටියේ නම් එම බලාපොරොත්තුව මේ වසර තුළ මල් ඵල දරයි. එසේම නිවාස අලුත්වැඩියා සහ නව නිවාස ඉදිකිරීම් වැනි දේවල් මේ වසර තුළ ඉතා සාර්ථකව නිම කිරීමට හැකියාව ලැබේවි. විනෝද සංචාර සහ ප්‍රිය සම්භාෂණ උත්සවවලට වැඩිපුර සම්බන්ධ වෙන්නට අවස්ථා යෙදෙයි. විදේශ ගමන් සාර්ථක වෙන වසරකි. නමුත් ළඟින් ඇසුරු කළ අය අමනාප වීම් හෝ දුරස් වීම් සිදුවිය හැකිය. වැරදි සිතුවිලි මඟින් සිත දූෂ්‍ය වීමට වැඩි ඉඩක් පවතින බැවින් ඒ ගැන අවධානයෙන් කටයුතු කරන්න. සෞඛ්‍ය සම්බන්ධයෙන් බලන විට රුධිර පීඩනය, උගුරේ අසනීප, මූත්‍රා හෝ ලිංගාශ්‍රිත අසනීප, අජීර්ණ තත්ත්ව හා ශ්වසන රෝග පහසුවෙන් ඇති කළ හැකි බැවින් ඒ ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි.

• ඔබට මෙම වර්ෂය තුළ සුබදායක දිනයන් සහ

අංක වන්නේ 6, 9, 15, 18, 24,27.

• අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා

සතියේ සුබදායක දවස් බවට පත්වෙයි.

• වාසනාව ගෙනෙන වර්ණ ලෙස නිල් පාට

කොළපාට සහ රතු පාට යොදාගන්න.

• ඔබට සුබපල දෙන දිසාවන් වන්නේ නැ‌ෙඟනහිර සහ නිරිතයි.

දෛව අංක 7 
හැකියාවට දක්ෂතාවයට වටිනාකමක්

දෛව අංක හතෙන් උපන් ඔබට උදා වූ මෙම නව වසර ඔබගේ හැකියා සහ දක්‍ෂතාවලට නිසි ඇගැයීම් ලැබෙන වටිනාකමක් ලැබෙන වසරකි. ජීවිතයේ ගත වූ කාලය පිළිබඳ නැවත සිතා බැලීම වටී. නව වසර තුළ ඔබ කළ යුතු දේ සහ නොකළ යුතු දේ ඔබටම වැටහෙන ස්වභාවයක් ඇතිවෙයි. ඒ පෙර අත්දැකීම් අනුවයි. මීට පෙර නොකළ ආකාරයේ නිර්මාණ හෝ අලුත් ව්‍යාපාර ආදිය කිරීමට පෙලඹෙන වසරකි. නව අත්හදා බැලීම් සිදු කරයි. මූල්‍යමය වශයෙන් සතුටුදායක තත්ත්වයක් ඇතිකරයි.

රැකියා සහ ව්‍යාපාර සම්බන්ධව තිබූ බොහෝ ගැටලු නිරාකරණය කර ගැනීමට අවස්ථාව උදාවෙයි. නමුත් ඔබගේ විවිධ කටයුතුවලට බලාපොරොත්තු නොවන ආකාරයේ බාධා අවහිරතා ඇතිකළ හැකියි. විශේෂයෙන් සතුරු කරදර සහ කුමන්ත්‍රණකාරී තත්ත්වයන් ක්‍රියාත්මක විය හැකි බැවින් ඒ ගැන අවධානයෙන් කටයුතු කළ යුතුයි. විවාහ ජීවිතය තුළ යම් මත භේද ඇති වුණත් ඒවා එතරම් දුරදිග නොයයි.

සැකය සහ අවිශ්වාසය නිසා ඇතිවන ගැටලු ඇතිවීමට බොහෝ ඉඩකඩ ඇති බැවින් ඒ ගැන සිතා කටයුතු කරන්න. ඉගෙනුම ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට පුළුවන් වසරකි. නොගැළපෙන අය ඇසුරට වැටීම හා තම ආත්ම ගරුත්වයට හානි සිදු විය හැකි බැවින් ඒ ගැන අවධානයක් යොමු කරන්න. ඔබගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් බලන කල චර්ම රෝග, සොයා ගැනීමට අපහසු ආකාරයේ අසනීප තත්ත්ව, තුවාල වැනි දේවල්වලින් වඩා ප්‍රවේසම් විය යුතුයි.

• ඔබට සුබදායක අංක සහ දිනයන් වන්නේ 1,2,3,6,7,9,25,34 වෙයි.

• ඔබට සතියේ සුබදායක දවස් වන්නේ ඉරිදා සහ සඳුදා .

• සුබදායක වර්ණ වන්නේ කොළ පාට සුදු පාට සහ කහ පාට යන වර්ණයි. සුබපල දෙන දිසාව වන්නේ බස්නාහිර දිසාවයි.

දෛව අංක 8 
ලොතරැයි දිනුම් ක්ෂණික ධන ලාභ

උදා වූ මෙම නව වසර දෛව අංක අටෙන් උපන් ඔබට වාසනාවන්ත සුබපලදායක වසරක් බව සඳහන් කරන්න පුළුවන. මෙය ඔබ කටයුතු ආරම්භ කරන වසරකට වඩා ආරම්භ කළ කටයුතුවල ප්‍රතිඵල නෙළන වසරක් ලෙස සඳහන් කරන්න පුළුවන. පසුගිය කාලය තුළ කරන ලද බොහෝ කටයුතු මල්ඵල දරන වසරකි. විවාහ ජීවිත ගත කරන අයට තම පවුලේ සමගියට බාධා වන්නේ කාර්ය බහුලතාවය වැඩි නිසයි. තරමක් මානසික පීඩාකාරී බව හෝ අසහනකාරී තත්ත්ව විටින් විට බාධාකාරි ලෙස බලපාන්න පුළුවන්. ගමන් බිමන් සංචාර අධික වෙන කාලයකි. විදෙස් ගමන් සපලතාවයට පත්කර ගැනීමට පුළුවන.

විවේකය අඩු බැවින් ගෙදර දොර වාසයට කාලය අඩු විය හැකියි. රැකියාවේ ව්‍යාපාරයේ වෙනසක් සිදු විය හැකි වසරකි. පදිංචියේද යම් වෙනසක් සිදුවීමට ඉඩකඩ තිබේ. ආර්ථිකය යම් මට්ටමකට යහපත් වුවත් වියදම් අධික වෙන බවක් පෙනේ. නව සබඳතා ගොඩනැඟෙන මිතුරුදම් අලුත් වෙන වසරක් වන අතර විවාහ කටයුතුද සාර්ථකභාවයට පත්වෙයි.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න අයට නම් තරමක් බාධා සහ ගැටලු ඇති විය හැකි බැවින් වැඩි උත්සාහයක් ඇතිකරගත යුතුයි. ලොතරැයි දිනුම් වැනි ක්ෂණික ධන ලාභ ලැබීමේ වාසනාවද පවතී. සෞඛ්‍ය සම්බන්ධයෙන් බලන විට උදරය සහ ජීර්ණ පද්ධති ආශ්‍රිත ගැටලු, වාතරෝග, ස්නායුගත රෝග පහසුවෙන් ඇති කළ හැකි බව මතක තබාගන්න. වසරේ සුබ දින සහ අංක වන්නේ 1,4,5,6,8,17,26.

• සතියේ සුබ දවස් වන්නේ සෙනසුරාදා ඉරිදා සහ සඳුදාය.

• ඔබට සුබපල දෙන වර්ණ ලෙස අළු පාට නිල් පාට කහ පාට සහ දම්පාට වර්ණ යොදාගන්න.

• සුබදායක දිශාව වන්නේ දකුණු දිසාවයි.

දෛව අංක 9 
තරග විභාගවලින් ජයග්‍රහණය

දෛව අංක නවයෙන් උපන් ඔබට උදා වූ නව වසර තීරණාත්මක වසරක් වන බව පෙනේ. ඔබගේ ජීවිතයේ බොහෝ කටයුතු මෙම වසර තුළ නිමාවට පත්වෙයි. මෙපමණ කාලයක් බාධා සහිතව පැවැති සියලු කටයුතු අවසන් කර ගැනීමට අවස්ථාව ලැබෙයි. රැකියා බලාපොරොත්තුවක් තිබුණේ නම් එය සාර්ථක වන අතර රැකියා ස්ථානයේ ගැටලුද බොහොමයක් අවම වෙයි. හදිසියේ හඳුනාගන්නා අයෙක් සමඟ ඉක්මන් විවාහයක් යෙදිය හැකිය. ප්‍රේම සබඳතා වර්ධනය වන වසරකි. නමුත් හදිසි තීරණ, ආවේගශීලී බව සහ ඉක්මන් කෝපය නිසා ගැටලු ඇති විය හැනි බව මතක තබාගන්න. ගෘහ ජීවිතය සාමාන්‍ය ආකාරයෙන් ගතකළ හැකිය. භූමිය හා සම්බන්ධ ලැබීම් පවතී. ඉඩමක් මිලදී ගැනීම හෝ නව නිවසක් ඉදි කිරීම් ආරම්භ කිරීමට සැලසුම් කරයි. අවේලාවේ ගමන් බිමන් සහ අනතුරු ආදියෙන් ප්‍රවේසම්වීම වැදගත් වෙයි. ආදායම සාමාන්‍ය ආකාරයෙන් පවතින අතර වැය පස ඉහළ යන බවක් පෙන්වයි. කෘෂිකාර්මික සහ වගා කටයුතුවලින් ලාභ ලැබිය හැකිය. ඉගෙන ගන්නා දරුවන්ට උනන්දුව අඩුකම බාධාකාරි ලෙස බලපායි. තරග විභාග ආදියෙන් ජයග්‍රහණ ලැබීමේ හැකියාව පවතී. සෞඛ්‍ය සම්බන්ධයෙන් බලන විට බඩවැල් හා අර්ශස් ආශ්‍රිත රෝග තත්ත්ව, උෂ්ණ රෝග, ගෑස්ටික් අමාරුව, ඇස් සම්බන්ධ රෝග, රුධිරගත රෝග ආදිය පිළිබඳ වඩාත් අවධානයක් යොමු කළ යුතුයි.

• වර්ෂය තුළ ඔබට සුබදායක දින සහ අංක වන්නේ 3,6,9,12,15,18,21,24,27 .

• සතියේ සුබ දවස් වන්නේ අඟහරුවාදා

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දවස්ය.

• සුබදායක වර්ණ වන්නේ රතු පාට සහ රෝස පාට වලට අයත් වර්ණ.

• සුබපල දෙන දිසාව වන්නේ දකුණු දිසාවයි.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ඒ.ජේ. දීපාලෝක

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division