Home » ළදරුවන්ට අපිව පෙන්නෙත් ළදරුවන් වගේමයි

ළදරුවන්ට අපිව පෙන්නෙත් ළදරුවන් වගේමයි

සමඟි ජන බලවේගයේ මහලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ඡන්ද උණුසුම දිනෙන් දින ළං වෙනවා. මේ වන විට සමඟි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදු වන්නේ කොයි ආකාරයෙන්ද?

අපි මේ වන විට රට පුරාම ඉතා හොඳින් සංවිධානාත්මකව මැතිවරණ ව්‍යාපාරයට ආදාළ කටයුතු සිදුකරමින් යනවා. පසුගියදා පැවැති මැයි දින රැස්වීමෙන්ම අපේ සංවිධානයේ පැවැති ශක්තිමත්කම ජනතාව හොඳින්ම දැක ගත්තා. අපි අංශ කිහිපයකින්ම එනම් භික්ෂු සංවිධානය, භික්ෂු උපදේශක සභාවේ කටයුතු එක් පැත්තකින් සිදුකරමින් යනවා. මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයකම අදාළ කටයුතු සිදු කළා. ඒ් වගේම ඉදිරියේදි ස්වාමීන් වහන්සේලා දස දහස් නමකට අපේ උපදේශක සභාවේ උපදෙස් ලබා දීමට උන්වහන්සේලා ඉදිරිපත් වී තියෙනවා. අපේ කාන්තා සංවිධානය මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක් පුරාවටම පවත්වා ගෙන යනවා. දිස්ත්‍රික් බල මණ්ඩල නුවර, ගාල්ල, කුරුණෑගල, මඩකලපුව ආදී ප්‍රදේශ ගණනාවකම පැවැත්වුවා. ඒ වගේම තරුණ සම්මේලන කුරුණෑගල, කෑගල්ල හා මාතර පැවැත්වුවා. ඒ වගේම ගොවි සංවිධාන පවත්වා ගෙන යනවා. ඊට අමතරව ගම් මට්ටමේ සාමාජික ප්‍රවර්ධන වැඩපිළිවෙළට අදාළ කටයුතු පවත්වා ගෙන යනවා.

මේ වන විට සමගි ජන බලවේගය වටා විවිධ පිරිස් රොක් වෙමින් පවතිනවා. කණ්ඩායම් එකතු වුණත් අපේක්ෂිත ජයක් බලාපොරොත්තු විය හැකිද?

දැනටමත් පොදු ජන පෙරමුනේ මන්ත්‍රිවරු අට දෙනෙක් පමණ එකතු වී තියෙනවා. අනිකුත් අයත් එකතු වීමට සාකච්ඡා කරමින් යනවා. විවිධ පක්ෂවල නායකයන් සමඟ පවා අපි සාකච්ඡා කරමින් යනවා. ඊට අමතරව මුස්ලිම් හා ද්‍රවිඩ පක්ෂවල නායකයන්ද අපිත් සමඟ එකතු වී කටයුතු කරනවා.

ඔබ පවසනවා දැන් තැටිය රත්වී ඇති බවත්, මේ හොඳම අවස්ථාව බවත්? ඒ කියන්නේ ජයග්‍රහණය ලබන්න සුදුසුම අවස්ථාව මෙය බවද?

අනිවාර්යයෙන්ම තැටිය රත් වූ අවස්ථාවේ තමයි අපි රොටිය පුච්චා ගත යුත්තේ. අපි දැන් සිදු කරන්නේ ඒ දේයි.

එයින් ඔබ අපේක්ෂා කරන්නේ වත්මන් ජනාධිපතිවරයා යටතේ රට තවමත් ස්ථාවර නොවූ බව ද?

නැහැ. ජනතාවගේ වුවමනාව තියෙනවා මේ ආණ්ඩුව ගෙදර යවා අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට. එයට ජනතාව එකතු වන්නේ සමඟි ජන බලවේගය වටායි. ඒ බව පසුගියදා පැවැති මැයි දින පෙළපාළියෙන් පෙන්නුම් වුණා.

ජනතාව ජීවත් වන්නේ අමාරුවෙන් බවට ඔබ පක්ෂය පවසනවා. එසේනම් ජනතාවට සහනයක් දිය හැකි පරිදි රට ගොඩ ගැනීමට නායකත්වයේ තිබිය යුතු ලක්ෂණ මොනවාද?

පළමු වැනි දේ තමයි රට මෙතැනට පත්වුණේ හොරකම නිසා. ඒ නිසා හොරෙක් නැති චෝදනාවක් නැති නායකයකු පත්කරගත යුතුයි. එසේම නායකත්වය පමණක් මදි. ඒ සඳහා කණ්ඩායමක් පත්කර ගත යුතුයි. බොහෝම පිරිසිදු දක්ෂ කණ්ඩායමක් ඉන්නේ සමඟි ජන බලවේගයේ. අපි සියල්ලන්ගෙන්ම පරිපූර්ණ වී තියෙනවා. ඒ වගේම අද තියෙන පක්ෂ සියල්ලම ජනතාව ප්‍රතික්ෂේප කරමින් යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය ප්‍රතික්ෂේප කර ඉවරයි. එසේම පොදු ජන පෙරමුණ ප්‍රතික්ෂේප කර ඉවරයි. අලුත් පක්ෂයක් ලෙස සමඟි ජන බලවේගය ඉදිරියෙන්ම ඉන්නවා. මේ රටට වැඩක් කරන්න පුළුවන් පක්ෂයක් ලෙස ජනතාව පිළිගෙන හමාරයි.

මැතිවරණයේදි ජනතා විමුක්ති පෙරමුණ අභියෝගයක් වෙයිද?

හැම පක්ෂයක්ම ඉන්නේ ගව් ගාණක් දුරින්. සුළු හෝ සටනක් දිය හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. නමුත් ඔවුන්ට අපට කිට්ටු කරන්න බැහැ. අපේ ප්‍රතිවාදියා ජනතා විමුක්ති පෙරමුණයි.

අනුර කුමාර දිසානායක පැවැසුවා සමඟි ජන බලවේගය තවමත් සිටින්නේ ළදරු අවදියේ බව?

සමඟි ජන බලවේගයේ තමයි පළපුරුදුම කණ්ඩායම සිටින්නේ. ඒ නිසා ළදරුවන්ට අපට පෙන්නෙත් ළඳරුවන් වගේ. ප්‍රශ්නය ඇත්තේ එතැනයි.

මැතිවරණය පැමිණෙන විට පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් පක්ෂය අතහැර යන බවට මත පළවෙනවා?

මේ කතාව දිගින් දිගටම කිව්වනේ. විස්සක් යනවා කියනවා, පහළොවක් යනවා කියනවා. ඊයේ තවත් පිරිසක් යනවා කිව්වා. නමුත් කවුරුවත් ගිලෙන නැවකට ගොඩ වෙන්න කැමැති නැහැ. පරාජය දැක දැක එකතු වෙන්න කවුරුත් කැමැති නැහැ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division