Home » කොහොමත් මට සචින් අයියා වගේම වෙන්න බෑ මං වෙනම කෙනෙක්

කොහොමත් මට සචින් අයියා වගේම වෙන්න බෑ මං වෙනම කෙනෙක්

by sachintha
May 4, 2024 12:30 am 0 comment

ස්නේහා- නිර්වාන් යුවළ ප්‍රේක්ෂකයන් පිළිගත්තේ සැබෑම පෙම්වතුන් ලෙසිනි. ඔවුන් අපට හමුවන්නේ ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නිර්මාණයේය. සැබෑ ජීවිතයේත් ඔවුන් පෙම්වතුන් ලෙස දකින්නට ප්‍රේක්ෂකයන් පෙළඹී සිටියේය. ස්නේහා – නිර්වාන් ආදරය අතරමඟ දී බිඳ වැටී ඔවුන් නිර්මාණයේ දකින්නට නොලැබීම ඔවුන්ට පෙම් බැඳි ප්‍රේක්ෂකාගාරයට දැඩි ලෙස බලපා තිබිණි. එය ඔවුන්ගේ ප්‍රතිචාරවලින් මනාව පැහැදිලි විය. නිර්වාන්ට පණ පෙවූ සචින් ලියනගේට සමාන රුවින් යුතු ෂෙහාන් ප්‍රභාත් මදුරංග කරළියට පිවිසෙන්නේ ඔය අතරේය. ප්‍රේක්ෂකයාට එය යම්තාක් දුරට අස්වැසිල්ලක් වුව ද ෂෙහාන්ට නම් එය ප්‍රබල අභියෝගයක් වූ බවට සැකයක් නැත. අද අපේ කතාබහ නිර්වාන් ලෙසින් තම කුලුඳුල් රංගන අත්දැකීම ලැබූ ඔහු සමඟයි.

වසර කිහිපයක් තිස්සේ සතියේ දින පහේම විකාශය වුණු ජනප්‍රියම ටෙලි නිර්මාණයක් වූ ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලි නිර්මාණයේ නිර්වාන්ට පණ පොවන්න ලැබුණු අවස්ථාව ගැන ෂෙහාන් මෙසේ අප හා අදහස් බෙදාගත්තේය.

“මං ඕලෙවල්වලට විෂයයක් විදිහට ඩ්‍රාමා කරල තිබුණට ලොකුවට ඒ ගැන හැදෑරීමක් කරල තිබුණෙ නෑ. රංගනයට එනව කියන අදහසක්වත් හිතේ තිබුණෙ නෑ. කොහොම හරි විශ්වවිද්‍යාලයෙනුත් අවුට් වුණාට පස්සෙ තමයි මේ අවස්ථාව ලැබුණේ. මං කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිය හැදෑරුවේ. සචින් අයිය වගේම සචින්තනී අක්කත් මං කලින් ඉඳන්ම දන්නවා. නිර්වාන් කියන චරිතයට මට ආරාධනා ලැබෙන්නෙ තිර පිටපත් රචක මහේෂ් රත්සර මද්දුමආරච්චිගෙන්. මං හිතන විදිහට සචින්තනී අක්ක හරහා තමයි ඔහු මං ගැන දැනගෙන තිබුණේ.”

ප්‍රේක්ෂකයන් දැඩි ලෙස ආදරය කළ චරිතයකට අතරමඟදි සම්බන්ධ වීමේ අභියෝගයට මුහුණ දුන් ෂෙහාන් සිය කුලුඳුල් රංගන අත්දැකීම ගැන පැවසුවේ මෙවැන්නක්.

“ඇත්තටම මේ චරිතයේ බැරෑරුම්කම තේරුණේ ආවට පස්සේ. මේ චරිතයට මට ආරාධනා කරන්න හේතුව වෙන්න ඇත්තේ මගේ රූපය ගොඩක් දුරට සචින් අයියගෙ රුවට සමාන වීම නිසා වෙන්න ඇති. තමන් ආදරය කරන චරිතයක් හදිසියේම වෙනස් වුණහම ප්‍රේක්ෂකයන් ගොඩක් කලබල වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. චරිතයට ආරාධනා ලැබුණු ගමන්ම මං සචින් අයිය එක්ක කතාකළා. ඒ වගේම ක්ෂේත්‍රයේ මං දන්න තව කිහිපදෙනෙක් එක්කත් කතා කළා. ඔවුන් හැමෝම කිව්වෙ කිසි ප්‍රශ්නයක් නෑ ඔයා යන්න කියලා. ආවට පස්සෙ තමයි තේරුණේ මේක කොතරම් ලොකු දෙයක් ද කියලා.”

මෙතෙක් නිර්වාන්ගේ භූමිකාවට පණ පෙවූ සචින්ගෙන් ලැබුණු සහයෝගය ගැන සිහිපත් කරන්නත් ෂෙහාන් අමතක කළේ නැහැ.

“මුලදිම සචින් අයියා මට හැමදේම කියල දුන්නා. දැන් වුණත් දෙයක් ඇහුවොත් කිසි පැකිළීමක් නැතුව කියල දෙනවා. රෙදි මෝල වත්ත කියන්නෙ මට නුහුරු පරිසරයක්. හරියට ඉන්දියාවෙ ගියා වගේ. දමිළ පිරිස තමයි වැඩි. ඔවුන් ගොඩක් සපෝටිව්. ධනුෂ්කා අක්කා, යෂ් අයියා, ප්‍රියන්ත අයියා වගේ සීනියර්ස්ලා ආධුනිකයෙක් වුණු මට ලොකු සපෝට් එකක් දුන්නා. ඔවුන්ගේ අත්දැකීම් මා එක්ක බෙදාගත්තා. ඒ නිසා මට ලොකු අපහසුතාවක් දැනුණෙ නෑ. කොහොමත් මට සචින් අයියා වගේම වෙන්න බෑ. මං වෙනම කෙනෙක්. ඒ චරිතයට සාධාරණයක් කරන්න මං ගොඩක් උත්සාහ කරනවා. මුල්ම දවසෙ මට තිබුණෙ හොස්පිට්ල් එකේ ඇඳක ඉන්න සීන් එකක්. ඒ නිසා ලොකු ගැටලුවක් වුණේ නෑ. දෙවැනි තුන්වැනි දවස්වලදි තමයි බරපතළකම දැනුණෙ. ඒ වෙද්දි මං වෙළෙඳ දැන්වීම් දෙකකට ෆේස් කරල තිබුණා විතරයි. පොඩි පොඩි වර්ක් ෂොප්වලට සම්බන්ධ වුණා ඇරෙන්න ලොකු හැදෑරීමක් කරල තිබුණෙත් නෑ. ඉදිරියේදි ඒ ගැනත් හිතනවා.”

දැන් දැන් ප්‍රේක්ෂකයන් තමා වෙතින් සචින්වම බලාපොරොත්තු නොවන බව පැවසූ ෂෙහාන් ප්‍රේක්ෂකයන් තමාට සචින්ම විය නොහැකි බව අවබෝධ කරගෙන ඇතැයි කියා විශ්වාස කරන බව ද පැවසුවේය.

“ගොඩක් අය අහන්නෙ සචින් අයියා අයින් වුණේ ඇයි කියලා. අපි දෙන්න ලයිව් ආපු වෙලාවට අහන්නෙත් ඒක. ඒ වගේම ඉදිරියට කතාවෙ මොනවද වෙන්නෙ කියල දැනගන්නත් ඔවුන් ගොඩක් උනන්දුයි.”

නිර්වාන් වෙන්න ලැබීම ගැන බෙහෙවින්ම සතුටට පත්ව සිටින ෂෙහාන් එවන් චරිතයක් තම කුලුඳුල් රංගන අත්දැකීම ලෙස විඳගැනීමට ලැබීම ලොකු භාග්‍යයක් මෙන්ම ආධුනික ශිල්පියකුට ලැබෙන දුලබ අවස්ථාවක් බව ද පැවසීය.

නාරම්මල මයුරපාද විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ෂෙහාන් මදුරංග මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකි. මව මෙන්ම විදෙස්ගතව ජීවත්වන එකම සොයුරිය ද තම රංගන කටයුතුවලට ආශීර්වාද කරන බව පැවසූ ෂෙහාන් ක්ෂේත්‍රයට පිවිස මාස 4ක් තරම් කෙටි කාලයකදී මෙවන් ආදරයක් ලැබීම ගැන නිහතමානී ආඩම්බරයකින් පසුවන්නේය. නාරම්මල ගම් පියසේ හැදී වැඩුණු ෂෙහාන්ට කොළඹ නගරය නුපුරුදු තැනක් නොවුණේ ද වසර පහක් තිස්සේම විශ්වවිද්‍යාල ජීවිතයට හුරුවී සිටි නිසාය.

නිර්වාන්ගේ චරිතය හරහා රසික හදවත් සියුම්ව ස්පර්ශ කරමින් සිටින ෂෙහාන්ට වැඩිපුරම ලැබෙන්නේ රසිකාවියන්ගේ ආදරය බව අමුතුවෙන් කිව යුතු ද නොවේ. රංගනයට උගත්කම එකතු වීම රංගන ශිල්පියෙකුට හොඳ ගමනකට ආශීර්වාදයකි. ෂෙහාන් ද එවන් වාසනාවන්තයෙකි. කඩවසම් පෙනුමෙන් යුතු තරුණයකු වන ෂෙහාන්ට ආදරය ගැන අත්දැකීම් නැතුවා වන්නට බැරිය. ආදරය ගැන ඇසූ විට ඔහුගෙන් ලැබුනේ මෙවන් පිළිතුරක්.

“ආදරය කියන්නෙ සුන්දර හැඟීමක්. සුන්දර අත්දැකීමක්. ඒ වගේම ආදරය ඇති වෙනවා නැතිවෙනවා. ඒක ස්වාභාවිකයි.“

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division