Home » මෙවර මැයි රැලිවල ජයග්‍රාහකයා

මෙවර මැයි රැලිවල ජයග්‍රාහකයා

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ක්තරා කාලයකදී මැයි දිනය මහජනතාවට කිසියම් ආශ්වාදයක් ලබාදෙන අවස්ථාවක් බවට පත්ව තිබුණේ මැයි පෙළපාලි සහ මැයි දින රැස්වීම්වල සටන් පාඨ මෙන්ම ප්‍රකාශ වන අදහස් උදහස් ද නිසාය. එකල මැයි දිනයේ පැහැදිලි බෙදීම් දෙකක් තිබුණේය. ඒ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වශයෙනි. ආණ්ඩු පක්ෂය තමන් කර ඇති සහ ඉදිරියට කරගෙන යන වැඩපිළිබඳව අදහස් දැක්වූ අතර විපක්ෂය ආණ්ඩුවට එරෙහිව වි‍වේචන ඉදිරිපත් කරමින් තමන් බලයට පත්වුවහොත් කරන කියන දේ පිළිබඳව අදහස් ප්‍රකාශ කළේය.

පෙළපාලිවල කියවෙන සටන් පාඨ, එයට සහභාගි වන කණ්ඩායම්වල විවිධ ක්‍රියාකාරකම් සහ රැස්වීම්වලට සහභාගි වන සෙනග ප්‍රමාණය ආදිය තුළින් මහජනතාව ආශ්වාදයක් ලැබීමට අවස්ථාව සැලසුණි. එකල ද ආකර්ෂණීයම පෙළපාලි දකින්නට ලැබුණේ වාමාංශික කඳවුරෙනි. එහෙත් කෝව්ඩ් ව්‍යසනය, ඉන්පසුව ඇතිවූ ආර්ථික අර්බුදය සහ අරගලය විසින්ද ඒ සියල්ල ගිලගත් බවක් පෙනිණි. අලුත් අවුරුද්ද, නත්තල, රාමසාන්, දීපවාලි, වෙසක්, පොසොන් ආදිය මෙන්ම මැයි දිනය ද හුදු කැලැන්ඩරයේ තවත් එක් දිනයක් බවට පමණක් පත්විය.

එහෙත් මෑතකදී ඉහතින් සඳහන් කළ ජාතික සැමරුම් සහ ජාතික උත්සව සියල්ල ජනතාවට නැවත සැමරීමට හැකිවූ ආකාරයටම මෙවර මැයි දිනය ද උත්කර්ෂවත්ව පැවැත්වීමට හැකි විය. ඔක්තෝබර් මාසයට පෙර පැවැත්විය යුතු ජනාධිපතිවරණය පෙනි පෙනී පැවැත්වෙන මැයි දිනය හේතුවෙන් සියලුම දේශපාලන පක්ෂ හැකි උපරිමයෙන් මැයි දිනය සැමරීමට ඉදිරිපත් වූ බව පෙනේ. එබැවින් වසර ගණනාවකට පසු මැයි දිනය සමරන අතරම එය විශාල උද්යෝගයකින් යුතුව පැවැත්වීමට දේශපාලන පක්ෂ කටයුතු කිරීම නිසාත්, මෙවර මැයි දිනය රටේ දේශපාලනය තුළ ඉතා උණුසුම් බවක් දැනවීමට හැකි වූ බවක් පෙනේ.

පෙර පරිදිම ඒ ඒ දේශපාලන පක්ෂ තමන්ගේ මැයි රැලිය පැවැත්වූ රැලි අතරින් ඉහළම එක බව ප්‍රකාශ කර සිටි. එසේ වුවද හැමදාම හොඳම මැයි රැලිය වූයේ කුමක්ද යන්න පිළිබඳව තීරණයක් ගැනීම විවිධ හේතු නිසා දුෂ්කර වී ඇත. පවත්වන ස්ථානය, එහි ඉඩකඩ, රටේ විවිධ පළාත්වලින් වාහන යොදවා ගෙනෙන සෙනග හැසිරවීම මෙන්ම පාලනය කිරීම ද දුෂ්කර වීම ආදිය නිසා රැස්වීමකට පැමිණෙන සෙනග ප්‍රමාණය පිළිබඳව තීරණයක් ගැනීමට නොහැකි වේ. ඒ අතරම මාධ්‍ය මඟින් ඒ ඒ රැස්වීම් විවිධ කෝණ වලින් වාර්තා කරන බැවින්, බොහෝ විට රැස්වීමක සෙනග ප්‍රමාණය කැමරාකරුවන් එය දකින ආකාරය අනුව තීරණය වන බවක් ද පෙනේ. ඇතැම් මාධ්‍යවේදීන් සහ වීඩියෝ සංස්කාරකවරුන් සෙනග වැඩිකර දැක්වීම සඳහා සංස්කරණ උපක්‍රම උපයෝගි කරගන්නා බව ද රහසක් නොවේ.

සමගි ජනබලවේගයේ රැස්වීම පැවැත්වුණේ කොළඹ කොටුවේ චැතැම් වීදියේදීය. අරගල භූමියටත්, අරගලකරුවන් විසින් අල්ලා ගත් ජනාධිපති ලේකම් කාර්යාලයට සහ ජනාධිපති මන්දිරයටත් ඉතා ආසන්නම ස්ථානයක චැතම් වීදිය පිහිටා තිබේ. 2022 අරගලය පැවැති අවස්ථාව හා සසඳන විට අද එම ප්‍රදේශය ඉතා සන්සුන්, සියලුම රාජ්‍ය ආයතන නිසි ලෙස ක්‍රියාත්මක වන තත්ත්වයක තිබේ. අරගලකරුවන්ගේ සහාය සඳහා අරගල භූමියට ගිය සජිත් ප්‍රේමදාස මහතාට පන්න පන්නා පහරදීමට සූදානම්ව එළවා දැමු ආකාරය පිළිබඳ මතක ද බොහෝවිට මතකයට නැඟෙන ස්ථානයක සජිත්ගේ රැස්වීම පැවැත්විණි.

අනුරගේ රැස්වීම පැවැත්වුණේ ලිප්ටන් වටරවුමේය. අරගල භූමිවලින් එම ස්ථානයට වඩාත්ම ආසන්න වන්නේ අරලියගහ මන්දිරයයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා අරගලකරුවන්ගේ දැඩි ප්‍රහාරයකට ලක් නොවීම සඳහා විශාල ප්‍රයත්නයක් දැරීමට හමුදාවන්ට සිදුවූ අතර, විශේෂ ගුවන් යානයකින් නාවුක මධ්‍යස්ථානයකට ඔහු රැගෙන යාමට ද සිදු විය. අනුර දිසානායකට ද අරගල භූමියේදි යම් යම් කෙණෙහෙළිකම් සිදු වූ බවක් දක්නට ලැබුණ ද එක් අවස්ථාවකදී අරගලකරුවන් විසින් ඔහු පිළිගන්නා ආකාරය ද දක්නට ලැබුණි. පොහොට්ටුවේ රැස්වීම පැවැත්වුණේ කැම්බල් පිටියේදීය. මැයි 09 වෙනිදා මුළු දිවයින පුරා සිටි පොහොට්ටු ප්‍රාදේශීය නායකයන්ගේ ගෙවල් ගිනි තැබීම ආදිය හේතුවෙන් දිගුකලක් පොහොට්ටුව අක්‍රීයව පැවතියේ යැයි කීම වඩාත් නිවැරදි යැයි සිතමි. එහෙත් අද වනවිට අතිවිශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් මැයි දිනය සැමරීමට පොහොට්ටු පක්ෂයට ද හැකිවී තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මැයි දිනයදා උදේ වරුවේ නුවරඑළියේ කොටගල පැවති ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි රැලියට සහභාගි විය. සවස් වරුවේ කොළඹ මාළිගාවත්තේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සහභාගි විය. අරගලය අවස්ථාවේදී එයට සහාය දුන් බොහෝ නීතීඥවරුන්ගේ උද්ඝෝෂණ පැවැත්වුණේ මාළිගාවත්ත පසුකර ටෙක්නිකල් හන්දියෙන් හැරුණුවිට හමුවන අලුත්කඩේ උසාවි භූමියේදීය.

රටේ මහජනතාව මෙවර මැයි දිනය සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් දැක්වූයේ රටේ අනාගතය පිළිබඳව දේශපාලන පක්ෂවල නායකයන් විසින් කවර ආකාරයේ ප්‍රකාශයක් ඉදිරිපත් කරනු ඇත්ද යන්න හේතුවෙනි. සජිත් ප්‍රේමදාස මහතා තමන් මැයි රැලියේදී ප්‍රකාශ කළේ සමගි ජනබලවේගය බලයට පත්වුවහොත් රට තුළ ඇති කරන වෙනස්කම් පිළිබඳවය. අනුර කුමාර දිසානායක මහතා තමන් ඇති කරන වෙනස්කම් පිළිබඳව විස්තර කරමින් “අපි අපේක්ෂා කරන්නේ විනයක් සහිත මහජන බලයක්” යැයි ප්‍රකාශ කළේය. එම ප්‍රකාශ අසන විට බොහෝ දෙනෙකුට මතකයට නැඟෙනු ඇත්තේ පාර්ලිමේන්තුව අබියසදී ලාල්කාන්ත සහ සුනිල් හඳුන්නෙත්ති මහත්වරුන් පාර්ලිමේන්තුව වැටලීමට මහජනතාව පෙළඹ වූ ආකාරය යැයි සිතේ. මෙම දෙදෙනාම මැයි රැලිවල කතා කළේ දැනටමත් තමන් ජනාධිපති ධුරයට පත්ව ඇතැයි සිතාගෙන බව මහජනතාවට හැඟී ගිය බවක් පෙනුණි. සමහරු එය දුටුවේ ඔවුන් ජාතිය අමතන බවක් ලෙසය. තවම ජනාධිපතිවරණයට නාම යෝජනාවත් කැඳවා නැත.

මහින්ද රාජපක්ෂ මහතා තමන් පක්ෂයේ ආශීර්වාදය ලබන අපේක්ෂකයකුට හැර වෙනත් කිසිවකුට ජනාධිපතිවරණය දිනිය නොහැකි බව ප්‍රකාශ කළේය. තමන්ගේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවක් ප්‍රකාශ නොවීම මහජනතාවගේ විශේෂ අවධානයට ලක්වූයේ යැයි සිතමි. විවිධ සිදුවීම්වලට මුහුණ දුන්න ද තවමත් රටේ බහුතරයක් ජනතාවගේ දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව ඔහු ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතා පැහැදිලි ප්‍රකාශයක් මැයි දින මහජන හමුව අමතමින් ජාතිය ඉදිරියේ තැබුවේය. අවුරුදු දෙකකට පෙර හැමදෙනාම කරදරයට පත්ව සිටියත් අද ඒ සියල්ල වෙනස්වී තිබේ. කොළඹ නගරයේ ඉතා ආසන්න ස්ථානවල මැයි රැලි පැවැත්වීමට හැකිව තිබෙන මෙම තත්ත්වය රටට සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය උදාකරදීමක් නොවේදැයි ඔහු ප්‍රශ්න කළේය. සියලු දුෂ්කරතා අවසන් වී නැත. එහෙත් දුෂ්කරතා අවසන් කරගැනීමේත්, රට සංවර්ධනය කර ගැනීමේත් පැහැදිලි මාවතක් දැන් විවෘත වී තිබේ. ඒ සඳහා සියලු පක්ෂවල සහාය ලබා දෙන්න යැයි ද, ඒ සඳහා ගිවිසුම් ඇති කරගැනීමට තමා සූදානම් යැයි ද ප්‍රකාශ කළ ඔහු ඒ සඳහා එකතු වන ලෙස සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටියේය.

සමාජ මාධ්‍යවල වයිරල් වූ එක් පෝස්ටුවකින් ප්‍රකාශ කර තිබුණේ මෙවර මැයි දින රැලිවල ජයග්‍රාහකයන් දෙදෙනකු ඇති බවත් ඒ පොහොට්ටුව සහ එක්සත් ජාතික පක්ෂය බවත්ය. සමගි ජනබලවේගය ආරම්භ කිරීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂය නැත්තටම නැතිවූ බවක් පෙනෙන්නට තිබුණ ද අද වනවිට එය සියලු එක්සත් ජාතික පාක්ෂිකයන් එක්රොක් කෙරෙන මහජන බලවේගයක් බවට පත්ව ඇතැයි ද එම පෝස්ටුවේ සඳහන්ව තිබුණි. බේරේ වැවෙන් නා ගමට ගොස් අතුරුදහන් වූ පොහොට්ටුව දැන් නැවතත් මහජන බලවේගයක් බවට පත්ව ඇතැයි ද එහි සඳහන් විය. කෙසේවුව ද එම ක්‍රමයට මෙවර මැයි දිනය ජයග්‍රාහකයා කවුරුන්දැයි තීරණය කිරීම උගහට බව පෙනේ. සජබය මහ සෙනගක් රැස්කර තිබුණ ද එම රැස්වීමෙන් ටික වේලාවකදී සරත් ෆොන්සේකා ඉවත්ව ගිය ආකාරයද, ප්‍රබල නායකයන් වන රාජිත සේනාරත්න මහතාගේ සහ තලතා අතුකෝරාල මැතිණියගේ නොපැමිණීම ද, මේ දක්වාම එකට එක්ව සිටි රිෂාඩ් බදුර්දීන් මහතාගේ නොපැමිණීම ද එම පෙරමුණේ වර්ධනයකට වඩා පරිහානියක් පිළිබිඹු කරන්නේ යැයි යමෙක් අදහස් කරන්නේ නම් එය වැරදි යැයි කිව හැකිද? එක්සත් ජාතික පක්ෂයට එකතු වන පිරිස ක්‍රමයෙන් වැඩි වන්නේ සජබය තවදුරටත් රැඳී නොසිටින එක්සත් ජාතික පාක්ෂිකයන් හේතුවෙන් නොවේද?

ජාතික ජනබලවේගය පැහැදිලිවම රටේ විධායක ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් යැයි රැස්වීමේදී ලාල්කාන්ත ප්‍රකාශ කළේය. එය පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරයට පත්වූ ආකාරය ජනකා විමුක්ති පෙරමුණ විසින් ද අනුමත කිරීමක් බව එයට සවන් දුන් අය ප්‍රකාශ කරති.

කොළඹ, මාතර සහ අනුරපුර රැස්වීම් තුනම සාර්ථක වුවත්, යාපනය රැලිය සාර්ථක වූ බවක් ජනතා විමුක්ති පෙරමුණේ අයවත් කියන්නේ නැත. එය ජාතික ජනබලවේගයට ජනපතිවරණයක් ජය ගැනීමට නොහැකි හේතුව මැයි දින රැලිය මඟින් අමු අමුවේම ප්‍රකාශ කළාක් මෙනි. සිංහල බෞද්ධ ඡන්දවලින් පමණක් ජනපති වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණී.

රනිල් වික්‍රමසිංහ මහතා තම මැයි දින රැලිය පැවැත්වූයේ ඔහුට ඇති සියලුම ශක්තිය ප්‍රදර්ශනය කරමින් නොවේ. සමගි ජනබලවේගය අතහැර එක්සත් ජාතික පක්ෂයට එකතු වීමට බලාපොරොත්තුව සිටින අයට ඒ සඳහා අවස්ථාවක් ලබා දුන්නේ නැත. ඔහු එම අයගෙන් ඉල්ලා සිටියේ ඒ සඳහා තවත් ටික කාලයක් ඉවසා සිටින ලෙසය. රනිල් වික්‍රමසිංහ මහතාට සහාය ලබාදීම සඳහා දැනටමත් විශාල කාර්යභාරයක් ඉටුකරන නිමල් ලංසා මන්ත්‍රීවරයා ඇතුළු පිරිස එම රැස්වීමට කැඳවා තිබුණේ ද නැත.

උතුරු නැඟෙනහිර ඔහුට සහාය දෙන පක්ෂ රැසක් තිබුණ ද එම අය කැඳවා තිබුණේ ද නැත. ඔහු පෙන්වූයේ අනෙකුත් පක්ෂ පමණක් නොව සමගි ජනබලවේගයට ගිය පිරිස ද ඇතුළුව එක්සත් ජාතික පාක්ෂිකයන් ද සියල්ලෝම දැන් තමා වටා එක්රොක් වී ඇති බවය.

මෙවර මැයි රැලියේ ජයග්‍රාහකයා තේරීම ඔබට භාර කරමි.

සුනන්ද මද්දුමබණ්ඩාර

කැලණිය විශ්වවිද්‍යාලයේ

ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ

හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division