Home » ජවිපෙ එදා තාත්තව මැරුවේ මගේ දෑස් ඉදිරිපිටමයි

ජවිපෙ එදා තාත්තව මැරුවේ මගේ දෑස් ඉදිරිපිටමයි

අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, අම්පාර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ඩබ්ලිව්. ඩී. වීරසිංහ

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment
අරගලකරුවන් විසින් ගිනි තැබූ වීරසිංහ මන්ත්‍රීවරයාගේ නිවෙස

– වෙඩි තිබ්බට මගෙ තාත්තා මැරුණේ නෑ
– උල් පිහියකින් මගේ තාත්තට 14 පාරක් ඇන්නා

සජීවී රූපවාහිනී වැඩසටහනකදී ඔබ ආවේගකාරීව හැසිරෙනු දුටුවා. ඊට මුල් වූ සිදුවීම ගැන කතා කරනවා නම්?

මමත් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චිත් අපේ පක්ෂය නියෝජනය කරමින් රූපවාහිනි වැඩසටහනට සහභාගි වුණා. ජවිපෙ නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රී නලින් හේවගේ සහභාගි වී සිටියා. ඒ විවාදයේදී අපි සාකච්ඡා කරමින් සිටියේ රටේ එදිනෙදා දේශපාලන තත්ත්ව ගැනයි. ඒ අවස්ථාවේදී මම කිව්වා ජනතා විමුක්ති පෙරමුණ අද කොහොම කතා කළත් ඉතිහාසයේ ඔවුන් කරපු වැරදි කොතැනකවත් ඔවුන් පිළිඅරගෙන නැහැ, ඒකට ආසන්නතම උදාහරණය, පසුගිය අරගලය වෙලාවෙදිත් ඔවුන් පරණ පුරුද්දම උඩට අරගෙන ගෙවල් ගිනි තිබ්බා, අපේ මන්ත්‍රීවරයෙක් මැරුවා, තව අයව මරන්න හෙවුවා. එහෙම මරල බය කරලා දේශපාලන බලය ගන්න හදන මේ පක්ෂය ගැන රටේ මිනිස්සු තීන්දුවක් ගන්න ඕන. ඒ වෙලාවේ නලින් හේවගේ මන්ත්‍රීතුමා කිව්වා, “ඔව් අපි මැරුවා, හැබැයි 88-89 කාලේ මැරුවෙ කසිප්පුකාරයො, ස්ත්‍රී දූෂකයො තමයි ” කියලා. ඒ වෙලාවේ මට ලොකු වේදනාවක්, කම්පාවක් ඇතිවුණා.

ආයුර්වේද වෛද්‍යවරයෙක් වුණු මගේ තාත්තාව 1989දි ජවිපෙන් මැරුවෙ මගේ ඇස් ඉස්සරහ. තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමාගෙ සීයා මරලා තියෙන්නෙත් ජවිපෙන්. නලීන් හේවගේ මන්ත්‍රීවරයාට ඔහු කරපු ඒ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න කියලයි මම දිගින් දිගටම කිව්වෙ. තමන්ගෙ තාත්තා ස්ත්‍රී දූෂකයෙක්, මිනීමරුවෙක් කියලා කියද්දි මොන දරුවට ද අහගෙන ඉන්න පුළුවන්. තාත්තව මරලා අපේ පවුලම විනාශ කරලා නැවත මගේ ගේදොර සේරම ගිනි තියපු පක්ෂයක විධායක සභිකයෙක් එහෙම කියද්දි මගේ ඉවසීම ගැන එයාලා සතුටු වෙන්න ඕන. එයාලගෙ පක්ෂ නායකයො වගේ මොකක්හරි වුණාම “ගහපන් මරපන් ගිනි තියපන්” කියන ක්‍රමය අපේ පක්ෂ නායකයා අපට පුරුදු කරල නැහැ. අපේ ගෙවල් දොරවල් ගිනි තියලා එච්චර විපතක් කරපු වෙලාවෙත් අපේ නායකත්වය මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් අපිට කිව්වෙ ඉවසීමෙන් ප්‍රජාතන්ත්‍රවාදීව ඒකට මුහුණ දෙමු කියලයි.

නමුත් නලින් හේවගේ ඔහුගේ ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තෙ නැහැ නේද ?

ඒක තමයි ජවිපෙ විදිහ. ඔවුන් 1971 කැරැල්ලක් කළා. එයින් තරුණ තරුණියො 12,000ක් විතර මැරිලා නායකයො ටික බේරුණා. ඊළඟට 88-89 කැරැල්ලෙන් තරුණ තරුණියො 60,000ක් මැරුණා. ජනතා විමුක්ති පෙරමුණ හදන විකෘති මානසිකත්වයට නැඹුරු වුණු තරුණ තරුණියෝ තමන්ගෙ ජීවිත ගැනවත් හිතන්නෙ නැතුව ඒ සංවිධානයේ අරමුණ වෙනුවෙන් ජීවිත පූජා කළා. අඩුතරමේ ඒ මැරුණු දරුවො වෙනුවෙන් මතක වස්ත්‍රයක් පූජා කරන්නවත් මවුපියන්ට අවස්ථාවක් ලැබුණෙ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ ඒ අවස්ථාවේ තමන්ට විරුද්ධ බලවේග මර්දනය කරන්න භික්ෂුන් වහන්සේලා, රාජ්‍ය නිලධාරින්, ගොවි, කම්කරු ජනතාව, ආරක්ෂක අංශ සාමාජිකයන්, දේශපාලන පක්ෂ නායකයන්, සාමාජිකයන් ඇතුළු සියලු දෙනා ඝාතනය කළා. 71දී කළ වරද නිවැරැදි කරගෙන 88-89දී ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට දේශපාලනයට එන්න තිබුණා. නමුත් ඔවුන් ඒක කළේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නෙම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට බලය ලබාගැනීම නෙවෙයි. ගහල මරල බය කරල ගිනි තියලා බලය ලබා ගන්න උත්සාහ කිරීමයි.

අවසානයේදී ජවිපෙ කථිකයා විවාදය අතරමගදි ඉවත් වුණා?

ඔව්, අපේ තර්කවලට උත්තර දෙන්න බැරි නිසා විවාදය අතරමඟ ඔහු නැඟිටලා ගියා. සාමාන්‍යයෙන් නලින් හේවගේ කරන්නේ ප්‍රතිවිරුද්ධව එන කථිකයො දෙන්නට මොකක්හරි කියලා පොඩි සද්දයක් දාන එක. නමුත් අපිට අසාධාරණය දැක දැක කට වහගෙන ඉන්න බැරි වුණා. මම සරලව ඇහුවේ ජනතා විමුක්ති පෙරමුණ මරපු භික්ෂුන් වහන්සේලා හැමෝම ස්ත්‍රී දූෂකයොද? කසිප්පු වික්කද කියලා. ජවිපෙ විදුහල්පතිවරු 52ක්, රාජ්‍ය සේවකයෝ 487ක් විතර මැරුවා. රට වටේම මැයි දිනය සමරපු ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ වෘත්තිය සමිති නායකයො විතරක් 27ක් මරලා තියෙනවා. ඒ සේරම ස්ත්‍රී දූෂකයොද? කසිප්පු කාරයො ද කියලයි මම දිගටම ඇහුවෙ. ඒ තර්කෙට මුහුණ දෙන්න බැරි නිසා එයා විවාදෙන් නැඟිටලා ගියා. මමත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමත් කිව්වෙ ඉතා සරල දෙයක්. වැරදිලා කටින් පිටවුණා නම් ඒ ටික ඉල්ලා අස් කරගන්න කියලා. නලින් හේවගේ ගේ ශෛලිය අපහාස කිරීමමයි. නමුත් අපි ඒ ගැන තර්ක කළාම ඒකට මුහුණ දෙන්න බැරිව ඔහු විවාදෙන් එළියට ගියා.

එය ඔවුන්ගේ පක්ෂයේ මතය නොව එම කථිකයාගේ පෞද්ගලික මතය විය නොහැකිද?

ජවිපෙ ජාතික ජනබලවේගය හැදුවේ ඉතිහාසයේ ඔවුන් කළ දේවල් නැවත කරන්නෙ නැහැ කියලනෙ. නමුත් නලින් හේවගේ කියනවා නම් ඔව් අපි මැරුවා තමයි ඒක අසාධාරණයක් නෙවෙයි කියලා, අපි අහනවා ජාතික ජන බලවේලගයේ මතය මේකද කියලා. ඒක ඉතාම වැදගත් දෙයක්. පක්ෂ නායකත්වය පැහැදිලිවම රටට, ජනතාවට කියන්න ඕනේ, ඔවුන් බලයට ආවොත් අනාගතයෙදිත් ඒ වගේ දේවල් වෙනවද? මිනිස්සු මරනවද? බෙල්ල කපලා වැටේ ගහනවද? ගෙවල් ගිනි තියනවද කියලා. කැලේ මාරු වුණාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නෑ වගේ සීනුව මාලිමාව වුණාට එයාලගේ ප්‍රතිපත්ති මාරුවෙලා නෑ කියලා ජනතාවත් දැනගන්න ඕනේ.

ජවිපෙ ජනතාව, ව්‍යාපාරිකයො බය කරගෙන ඉන්නෙ. නමුත් එදා විවාදයෙදි මමත් තිස්ස මන්ත්‍රීතුමත් එයාලට විරුද්ධව කතා කරපු නිසා සමාජය තුළ අනිත් මිනිස්සුත් එයාලට විරුද්ධව කතා කරයි කියලා තියන බය නිසා ඒ සිද්ධියෙන් පස්සෙ මටත් තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීතුමාටත් විරුද්ධව විශාල මඩ ප්‍රචාරයක් අරන් ගියා. නමුත් අපේ පැහැදිලි කිරීම් නිසා ජවිපෙට ඔවුන් ඝාතනය කළ භික්ෂූන් වහන්සේලාගේ ගෝල භික්ෂූන් වහන්සේලාගෙන්, ඝාතනය වූ දරුවන්ගේ මවුපියන්ගෙන් ලොකු විරෝධයක් එල්ල වුණා. පිරිසක් මානව හිමිකම් කොමිසමට සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවටත් පැමිණිලි කළා. මට කතා කළ බොහෝ දෙනා කිව්වේ මේක අතාරින්න එපා කියලයි.

ඔබ මේ වෙනුවෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම්ද?

මේ රටේ නීතිය අනුව අවුරුදු 30-40ක් ගිහිල්ලා හරි තමන් වරදක් කළා කියලා පිළිගත්තොත් නඩුව අහන්නෙ නැතුව දඬුවම් කරන්න පුළුවන්. ජවිප කථිකයා ඔවුන්ගේ පක්ෂය කරපු වැරදි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළානේ. ඒ නිසා අනිවාර්යෙන්ම අපි මේ ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්නවා. මොකද ජවිපෙ දිගින් දිගටම බොරු සමාජගත කරමින් සිටිනවා.

අනික මේ මට අපහාස කරපු පළමු වතාව නෙවෙයි. මගේ ගේ ගිනි තිබ්බෙ ජවිපෙ කියල මම පාර්ලිමේන්තුවේදි කිව්වම සමාජයෙන් මට අනුකම්පාවක් ලැබුණා. ඒක වළක්වන්න විජිත හේරත් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා කිව්වා ඔය කතා කරන වීරසිංහ 89දි අම්මා කෙනෙකුයි දුවෙකුයි දූෂණය කරල මැරුවා කියලා. මම පාර්ලිමේන්තුවේදි ඒක නිවැරදි කළාට පස්සේ ජවිපෙ මඩ බළකාය ඒක මගෙ තාත්තා කළා කියලා කියන්න ගත්තා. ඒකත් බොරු බව පළාතේ ජනතාව දන්න නිසා මම කිව්වෙ බොරුවක් වහන්න මෙයාලා තවත් බොරුවක් කිව්වා, වීරසිංහ මන්ත්‍රීතුමා ඉපදුණේ 92 අවුරුද්දෙ, 92 ඉපදුණු එකා කොහොමද 89 තාත්තා මරනවා දැක්කෙ කියලා. ජවිපෙ කියන්නේ ඒ වගේ පට්ටපල් බොරු කියලා ජනතාව රවට්ටපු පක්ෂයක්.

මම මේ රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලන්නේ මෙවැනි විකෘති මානසිත්වයක් තියෙන පක්ෂයකට තමන්ගේ දරුවො බිලිගන්න නැවත ඉඩ තියන්න එපා කියලයි. ඔවුන් මොනම වෙලාවකදිවත් ප්‍රජාතන්තවාදී විදිහට බලය ලබා ගන්න උත්සාහ කරලා නැහැ. එහෙනම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ආරාධනා කළ වෙලාවේ ආණ්ඩුව භාරගන්න තිබුණා. ජවිපෙ ඉන්නේ කතාවෙන් වැඩ කරන නායකයෝ මිසක් ක්‍රියාවෙන් වැඩ කළ හැකි නායකයො නෙවෙයි. මේ රටට ඕනේ ක්‍රියාවෙන් වැඩ කරන නායකයොයි. වත්මන් ජනාධිපතිතුමා අසීරු අවස්ථාවේ රට භාර ගත්තා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි එතුමාට සම්පූර්ණ සහාය දුන්නා වැටිලා තිබුණ තැනින් රට යථා තත්ත්වයට ගේන්න. ඒ නිසා ජනතාව තීරණය කරන්න ඕනේ, කාටද බලය දිය යුත්තේ කියලා.

නමුත් ජාතික ජන බලවේගය ජන වරම ගැන විශ්වාසය පළ කරනවා?

බොරුම කියන රැවටිලිකාර පක්ෂයක් කවදාවත් බලයට එන්න විදිහක් නැහැ. යම් හෙයකින් ආවොත් ඒ අය බදු එකතු කරන්නෙත් නැතුව, විදේශ ආධාර ගන්නෙත් නැතුව, විදේශ ආයෝජන, සංවර්ධන ව්‍යාපෘතිත් නැතුව, රටට සංචාරකයො ගෙන්වන්නෙත් නැතිව ආණ්ඩුවක් ගෙනියන්නෙ කොහොමද කියලා ඔවුන් රටට කියන්න ඕනේ. කැට හොල්ලලා, රුපියල් දහය, විස්ස එකතු කරලා, ගමේ හාල්, පොල් එකතු කරලා, ව්‍යාපාරිකයන්ට බලපෑම් කරලා මැයි දින පවත්වන පක්ෂයක් රටක් කරන්නෙ කොහොමද කියලා ජනතාවට පැහැදිලව කිව යුතුයි. හිඟා කකා දේශපාලනය කරන පක්ෂයක් රටක් පාලනය කරන්නෙ කොහොමද? රටේ ආර්ථිකය ඉදිරියට ගෙනියන්නෙ කොහොමද? බුද්ධිමත්ව කල්පනා කළොත් ජනතාවට තේරෙයි රටක් භාර දෙනවා තියා ඒ ගැන හිතන්නවත් සුදුසු නැති පක්ෂයක් කියලා.

තරුණ මහජන නියෝජිතයෙක් විදිහට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ සූදානම ගැන ඔබේ අදහස?

පොහොට්ටුව හතර අතේ කැඩිලා කියලා හුඟක් අය කිව්වා. මේ වෙද්දි අපේ පක්ෂය ඉතාම ශක්තිමත්ව දේශපාලන පිටියට ඇවිත් ඉන්නවා. පහුගිය මැයි දින වේදිකාවේ අපේ පක්ෂයේ සියලුම නායකයන් එකම වේදිකාවකට ගොඩවුණා. එන ඕනෑම මැතිවරණයකට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විදිහට ඉතාම ශක්තිමත්ව මුහුණ දෙන්න අපි සූදානම්. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේත් හිටපු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මැතිතුමාගේත් පූර්ණ ආශීර්වාදය ඇතිව ජාතික සංවිධායක ලෙස තරුණ නායකත්වයක් පත්වී සිටිනවා. මම හිතන්නේ එය පක්ෂය විසින් ගත් බුද්ධිමත් තීරණයක්. තවම අපි ජනාධිපති අපේක්ෂකයෙක් නම් කරලා නැති වුණත් අපි විශ්වාස කරනවා ඊළඟට මොන ජනාධිපතිවරයා වුණත් ඔහු පත්වන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පූර්ණ ආශීර්වාදය ඇතිවයි. කවුරු මොනව කිව්වත් ඊළඟ ආණ්ඩුව හැදෙන්නෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පූර්ණ ආශීර්වාදය ඇතිවයි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division