Home » මාත් ආසයි එක්කෙනෙකුට විතරක් ආදරේ කරලා විවාහ වෙලා ළමයි හදලා සතුටින් ඉන්න

මාත් ආසයි එක්කෙනෙකුට විතරක් ආදරේ කරලා විවාහ වෙලා ළමයි හදලා සතුටින් ඉන්න

by sachintha
May 4, 2024 12:30 am 0 comment

ඔහු හඬින් ගැයුණු හෙමින් සැරේ, හදවත ගැහෙනා, සාරිතා වැනි ගීත කාලයක් පුරා ජනප්‍රියත්වයේ හිණිපෙත්තේම රැඳුණු ගීත අතර විය. බැතියෙන් ගැයුණු සිද්ධාර්ථ ගෞතමයාණෙනි ගීතය ද ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳ ගැනීම ඔහුට ලැබුණු ආශීර්වාදයක් වැනිය. විරාජ් පෙරේරා කියූ පමණින් රටම හඳුනන ඔහු සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඉතාම කුඩා වියේදී බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. ගායකයකු ලෙස බොහෝ කාර්යබහුල ඔහු සමඟයි අද අපේ කතාබහ.


සංගීතයේ විවිධ ඉස වු අධ්‍යයනය කරමින් යන ඔබ ලොකු වැඩකට අතගහල කියලත් ආරංචියි?

ඔව්. අවුරුදු දෙකකට විතර පස්සෙ තමයි මගේ අලුත් මියුසික් වීඩියෝ එකක් එළියට එන්නේ. මාස තුනක විතර ඉඳන් මං ඒ වැඩේට සූදානම් වෙනවා. ඒක ටිකක් මහන්සි වෙලා ලොකු වියදමක් දරලා කරන වැඩක්. ඒත් එක්කම ‘මාරම්බරී’ කියල ගීතයක් කරනවා. ඒක කෙලින්ම ඩිජිටල් ෆ්ලැට්ෆෝම් එකටමයි කරන්නෙ. ‘ලස්සන මතකය’ කියලා තවත් එකක් කරනවා මාර්ස් ක්‍රවුඩ් එකට. ඒ වගේ ෆ්ලැට්ෆෝම්ස්වලට කඩල තමයි දැන් මං සින්දු කරගෙන යන්නේ. මේ වෙද්දි එක එක ෆ්ලැට්ෆෝම්වලට ගීත කරල තියෙනවා. ගොඩක් දුරට ඉදිරියට එන්න තියෙන්නෙ ඩිජිටල් ෆ්ලැට්ෆෝම්ස් නිසා මගේ ෆෑන් බේස්එක එක තැනකට එකතු කරන්න පටන් ගත්තා.

වැල නොකැඩී එන නිර්මාණ අතරේ ඔබ නිර්මාණයක් කරන්න ගොඩක් කල් ගන්නවා. ඒකට හේතුවක් තියේද?

කාලයක් මං එකම තැනකට කොටුවෙලා හිටිය කෙනෙක්. දැන් මං හැම සමාජ මට්ටමකටම ගීත නිර්මාණය කරනවා. ගොඩක් ඒව මේ වෙද්දි කරලත් ඉවරයි. ඒ වගේම මං නිර්මාණයක් කරලා ගොඩක් කල් තියාගෙන ඉඳලා කල්යල් බලල තමයි ඒක එළියට දාන්නෙ. ඒ නිසා තමයි කාලයක් ගතවෙන්නෙ.

විරාජ් ක්ෂේත්‍රයට එන්නෙ ළමා වියේදි. ඒ මතකය අවදි කළොත්?

මං අවුරුදු පහක් තරම් පුංචි වයසෙදි තමයි සීදූව සකුරා සංගීත කණ්ඩායමත් එක්ක ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්නේ. ඊට පස්සෙ දිගටම ප්‍රසංග වේදිකාවට සම්බන්ධ වුණා. ගම්පොළ, පාදුක්ක, මීගමුව කියන පළාත් තුනේම සංගීත සංස්කෘතීන් එක්ක ගැටෙන්න මට අවස්ථාව ලැබුණෙ ඒ කාලෙදිමයි. ඒක මට ලොකු වාසියක් වුණා. ගම්පොළදි ශාස්ත්‍රීය සංගීතයට හුරුවෙලා හිටිය මං පාදුක්කෙදි බෑන්ඩ් මියුසික්වලට හුරු වුණා. ඊට පස්සෙ මීගමුවෙදි ඒක තවත් වෙනස් වුණා. ඒ සියල්ලම එක්ක අවුරුදු 18න් පස්සෙ සංගීත අධ්‍යක්ෂණය පැත්තටත් යොමු වුණා. මගේ ගීත නිර්මාණය වෙන්නෙ ඔය තුනේම සංකලනයක් විදිහට. ඒ සංස්කෘතීන් තුනම මට අධ්‍යයනය කරන්න ලැබුණු නිසා අද මට ඕනෑම ස්ටයිල් එකකට ඉක්මනින්ම අනුගත වෙන්න හැකියාව තියෙනවා. මුල්ම කාලෙ වෙන අයගෙ නිර්මාණ දිහා බලල කළත් පහුවෙද්දි මගේම නිර්මාණ කරන්න පටන් ගත්තා. බොහෝ ගීතවල ගායනය, සංගීත නිර්මාණය වගේම ගීත රචනයත් මගේමයි. ඉන්දියාවෙ හිටපු කාලෙ මං වෙනුවෙන්ම ලියව ගත්ත හින්දි සින්දු කිහිපයකුත් තියෙනවා. ඉදිරියෙදි ඒවත් අහන්න ලැබේවි.

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලය කියන්නෙ ඔබට අමතක නොවන තැනක් කියල කිව්වොත්?

ඔව්. ඒ කාලෙ සංගීතයට වගේම පාපන්දු ක්‍රීඩාවට යොමු වෙලා ජාතික කණ්ඩාමටත් මං ක්‍රීඩා කළා. හදිසියේ කකුලේ ඇතිවුණු ආබාධයක් නිසා තමයි ක්‍රීඩාවට සමුදෙන්න වුණේ. අද ජනප්‍රිය තලයේ ඉන්න ගොඩක් දෙනාට ශක්තිමත් අඩිතාලමක් වුණේ එතැන කිව්වොත් හරි.

එක්තරා වැඩසටහනකදි ඔබ කියනවා පාසල් කාලෙ ගණන් කොපි කළේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානකගෙන් කියලා. මොකක්ද ඒ කතාව?

මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙදි මං පාපන්දු ක්‍රීඩා කරද්දි දසුන් ක්‍රිකට් ක්‍රීඩා කළා. අපි දෙන්නම හැදෑරුවේ වාණිජ්‍ය විෂය. මට නම් ගණන් මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ. දසුන්ගෙන් තමයි මං ගණන් ඔක්කොම කොපි කරගන්නේ. වාණිජ්‍යවල ගාණක් කොපි කරන එකත් ලේසි වැඩක් නෙවෙයිනෙ. දසුන් ඉගෙනගන්න දක්ෂයි. මට නම් ඒ කාලෙත් ගෑනු ළමයි හිටියා. ඒත් දසුන්ට ගෑනු ළමයි ගැන කිසිම කැමැත්තක් තිබුණෙ නෑ. දසුන් කියන්නෙ ඒ කාලෙත් සීරියස් චරිතයක්. විනෝදෙට ඒතරම් කැමති නෑ. විහිළු කරන වෙලාවලුත් තියෙනවා. එයා හරි පවර්ෆුල්. මං ඒ දවස්වලම හිතුව එයා ලොකු දෙයක් කරාවි කියලා. මං ක්‍රිකට්වලට කැමැත්තෙන් හිටපු කෙනෙක් නෙවෙයි. දසුන් නිසාම තමයි මං ක්‍රිකට්වලට ආස වුණේ. මේ වෙද්දි හැම මැච් එකක්ම බලනවා. දුෂ්මන්ත චමීර හිටියෙත් අපේ පාසලේ.

දසුන් අද ඉන්න තත්ත්වෙ දිහා බැලුවම මොකද හිතෙන්නෙ?

හරිම සතුටුයි. නිතර හමුවෙන්න බැරි වුණත් අදටත් අපේ මිතුදම ඒ විදිහටම තියෙනවා. එදා දසුන් ඒ වැඩසටහන බලල මට කතා කළා. එයා ඒක මතක් කරල හිනාවෙනවා.

විරාජ්ගෙ ගීතවල වැඩිපුරම තියෙන්නෙ විරහව. විරාජ් කියන්නෙ මොන වගේ ආදරවන්තයෙක් ද?

විරාජ් කියන්නෙ සෑහෙන ලවර් කෙනෙක්. මං කැමැති නෑ එක ආදරේකට කොටුවෙලා ඉන්න. ඒක මගේ දුර්වලකමක් වෙන්න ඇති. මට ආදරේ හිතෙන කෙනාට මං ආදරේ කරනවා. හැමවෙලාවෙම ප්‍රකාශ කරන්නෙත් නෑ. හිතින් ආදරේ කරනවා. ඒක මගෙ නිර්මාණවලට ගොඩක් බලපානවා. ලබා ගැනීමේ අරමුණෙන්ම ආදරය කරන කෙනෙක් නෙවෙයි මං. නිර්මාණ කරද්දි මට ආදරේ ඕන. මං ගොඩක්ම ආස බ්‍රේක් අප් වෙන තැනට. එතැන තමයි මට දැනෙන තැන. බ්‍රේක් අප් වෙන්නෙ නැත්නම් මං බ්‍රේක් අප් කරගන්නවා. මට ගොඩක් ගෑනු ළමයි ඉඳල තියෙනවා. මං එයාලට ආදරේ කළා. ඒත් ගොඩක් අය මට වෛර කරනවා. මට දැනෙන ආදරේ කවදාවත් මං වළක්වගන්නෙ නෑ. මං ඒක කෙලින්ම කියනවා. ඒක හිතේ ඇතිවෙන හැඟීමක් විතරයි කියන එකත් කියන්නම ඕන. නැත්නම් මිනිස්සු මාව වැරදියට වටහා ගනීවි.

එතකොට විරාජ්ගෙ හිත නවතින තැනක් ඇත්තෙම නැද්ද?

ඒකම තමයි මාත් මේ කල්පනා කරන්නෙ. එතැන නම් පොඩි අවුලක් තියෙනවා. මාත් ආසයි එක්කෙනෙකුට විතරක් ආදරේ කරලා, විවාහ වෙලා, ළමයි හදලා සතුටින් ඉන්න. මගේ මේ දුර්වලකම හදාගන්න ඕන. මං විවාහ වුණ දවසක කාටහරි ආදරයක් ඇතිවුණොත් අනිවාර්යයෙන්ම මං ඒක මගේ වයිෆ්ට කියනවා. මොකද එතැන තියෙන්නෙ සිතින් විතරක් පෙම් කරන්නම්, දුරින් හිඳ ඔබ දෙස බලන්නම් වගේ සීන් එකක්නෙ. මේ දවස්වලත් මං කෙනෙකුට එහෙම පෙම් කරනවා. වැඩේ කියන්නෙ එයත් හිතන්නෙ මං බොරුවට කියනවා කියලා. මගේ මේ තත්ත්වෙ තේරුම් අරන් මාත් එක්ක රැඳෙන්න පුළුවන් කෙනෙක් තමයි මට ඕන.

 

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division