Home » පකඩ ගාණට යකඩ විකිණෙන කොළඹ ගල්වල

පකඩ ගාණට යකඩ විකිණෙන කොළඹ ගල්වල

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

යකඩ කියූ විට ඔබේ මතකයට එන්නේ මොනවද? 
රත්තරන් කියූ විට හෙට්ටි වීදිය. 
විදුලි බඩු කියූ විට පළමු හරස්වීදිය. 
අල ලූනු කියූවොත් පස්වෙනි හරස්වීදිය.

ත් යකඩ කියූ විට මතකයට එන්නේ පාරක නමක් නොව ‘කොළඹ ගල්වළ’ය. ගල්වල කීවාට එහි ගල්කඩන වළක් තිබේදැයි වරදවා වටහා ගත යුතු නැත. ගල්වල ප්‍රදේශයේ පාරවල් හොඳහැටි කාපට් දැමූ පාරවල්ය.ගල්වලේ ඇති බොහෝ යකඩ භාණ්ඩ ආනයනය කළ ඒවාය. එහෙත් 2004 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික පර්යේෂිකාවක වූ ජිල් වුලෙස් මහත්මිය ප්‍රකාශ කළේ ක්‍රිස්තු පූර්ව පස්වන සියවසේදී බළන්ගොඩ ප්‍රදේශය ආශ්‍රිතව යකඩ කර්මාන්තය මහා පරිමාණයෙන් සිදුවී ඇති බවය. එමෙන්ම සීගිරියේ අලකොළ වැව හා ඉහළ වලවේ නිම්නයේ සමනළ වැව ආශ්‍රිතව යකඩ නිෂ්පාදනාගාර 2ක් පිළිබඳව අනාවරණ කරගන්නා ලදී.  

කොළඹ ගල්වල ‘යකඩ’ බඩුවලට ප්‍රසිද්ධ වුවත් මෙම මාර්ග දෙපස එක ‘යකඩමරං’ ගහක්වත් නැත. යකඩ මරං ගහට (suzy gium spathvlatum) ලෙසින් නම ලැබී ඇත්තේ ක්‍රිස්තු පූර්ව 3 වැනි සියවසේ සිට එම ගසේ අඟුරු යපස් උණුකොට යකඩ ලබා ගැනීමට භාවිත කළ නිසාය.

අප පසුගියදා කොළඹ ගල්වලට යන විට වෙනදාට පොරකන පාරිභෝගිකයින් දැකගන්නට වූයේ නැත. මාත් ඡායාරූප ශිල්පියාත් පාර අයිනේ වූ පෙට්ටි කඩයකට ගොඩවී ‘චිකන් රෝල්’ දෙකක් කමින් උණු උණුවේ ඉඟුරුතේකක් උගුරු තුනට ඇද බෑවෙමු. පෙට්ටි කඩයක් කීවාට පුස් බයිසිකලේ රෝද තුනක් සවිකළ රෝද තුනේ සෝකේස් මාලිගාවකි. කඩේ නානා ‘ඉබ්‍රහිම්ය’.

“මොනවද බොසා අවුරුද්දට වැහුවාම තාම බිස්නස් පිකප් වෙන ගමන් තියෙන්නේ. ගම්වල ගිය උදවිය තාම කොළඹට එනවා. ගෙවල් – බිල්ඩින් හදන බාස්ලා අවුරුද්දට ගමේ ගියාම අතේ සතේ නැති වෙනකම් බීලා – බූරුවා ගහලා යනඑන මං නැති වුණාම තමයි වැඩට එන්නෙ. එතකං ගල්වලේ කඩ වේළෙනවා.”

ගල්වලේ කරක් ගහන අපි මුලින්ම වැඩ පටන්ගත්තේ පේව්මන්ට් එකේ බඩු විකුණන හාදයෙක්ගෙනි. ඔහු ළඟ තිබුණේ දොර ලොක්, ඉබි යතුරු, සොයිබ, අගුළු, කියත් වැනි ගොඩනැඟිලි උපකරණය. ඔහු නමින් එම්.එච්. කමල්ය.

“මං මේ පේව්මන්ට් එකේ බඩු විකුණන්න පටන් අරන් අවුරුදු 14ක් වෙනවා. මේ අවුරුදු 14 ඇතුළත පේව්මන්ට් එකේ බිස්නස් කරපු කීදෙනෙක් කඩ අරගෙන දැම්මද. සමහරු කෝටිපතියෝ වුණා. දැනුත් යනකොට V8 Jeep එකේ අත වනාගෙන යනවා. ඒ අල්ලාහ් දීපු හැටි තමයි. මම නම් මෙතනින් බිස්නස් කරලා ගෙයක් දොරක් හදාගත්තා.”

“මේ පැත්තේ පරණම බිස්නස් කරන කට්ටිය කවුද?” මම ඇසුවෙමි.

“ඔය ඉස්සරහ ‘ප්‍රේමසිරි’ එකට යන්න බිස්නස් එක පටන් අරන් අවුරුදු 80කටත් වැඩියි. දැන් තුන්වෙනි පරම්පරාව එන්නේ.” ඔහු පැවසුවේය.

මාත් ඡායාරූප ශිල්පියාත් සැණෙකින් ‘ප්‍රේමසිරි එන්ටප්‍රයිසස්’ එකට ගොඩවුණෙමු.ඒ අවස්ථාවේදී ආයතනය හිමිකරු නොසිටි අතර කළමනාකරු ආර්.එම්. අභයරත්න අප ඇමතීය.

“ලේක්හවුස් එකෙන් කිව්ව නේද? මේ දවස්වල දැන්වීම් දෙන්න නම් අමාරුයි. බිස්නස් අඩුයි.”

“නෑ නෑ අපි ආවේ ගල්වල ගැන ලිපියක් කරන්න.”

“අපි තමයි ඒ කාලේ ඉඳන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට බෝල්ට් ඇණ, ලයිට් කණුවල ලොකු ඇණ ජාති ලංකාවේ හදන්න පටන් ගත්තේ. අපේ කඩවත ෆැක්ටරියේ අලවංගු, උදලු, නට්, ඇණ හදනවා. දැනට අවුරුදු හැත්තෑපහකට කලින් මුළු ගල්වලටම ඇණ දුන්නේ අපි තමයි. ගෙවල්වලට ඕන කරන සරනේරුවේ ඉඳන් ඔක්කොම අපි ලංකාවේ හදනවා. ඒ කාලේ විල්බැරැක්ක වුණත් රටින් ගෙනල්ල තියෙන්නේ. අපි තමයි ඒවා ලංකාවේ හදන්න පටන් ගත්තේ.”

“ගල්වලේ ඇත්තේ ගෙවල් දොරවල් – ගොඩනැඟිලි හදන අයට අවශ්‍ය උපකරණ පමණක් නොවේ. ගොඩනැඟිලි හදන්නට අවශ්‍ය පලංචි, යකඩ බට, දිග ඉණිමං, කොන්ක්‍රීට් ස්ලැබ්වලට අවශ්‍ය උපකරණ ද මෙහි දැක ගත හැකිය.අප මීළඟට ගියේ මේ සැමදේම කුලියට දෙන බෙස්ට් කට්ලෝ හාඩ්වෙයාර් එකටය.

“පලංචියට දවසට කුලිය 200 යි. ඩිපොසිට් එක රු. 5000/=යි.”

“නොදන්න පැතිවලින් එන අයට මේ බඩු කුලියට දෙන්නේ කොහොමද? ” මම අසා සිටියෙමි.

“අපි බාස්ලට කීයටවත් කුලියට බඩු දෙන්නේ නෑ. දුන්නොත් විකුණං කනවා. වැඩේ අයිතිකාරයට තමයි ඩිපොසිට් අරන් බඩු කුලියට දෙන්නේ.”

ඔහු කියන්නේ අඩි 42ක් උස දෙකට නවන ඉණිමග විදුලිබල මණ්ඩලය ළඟ තියෙනවා වගේ ලොකු එකක දවසක කුලිය රු. 1000/=කි. ඩිපොසිට් එක රු. 10,000/=කි.

පලංචි බඳින පයිප්ප අඩි 20, 19, 18 1/2 වගේ එනවා. මේ පැත්තේ කුලිය අඩු නිසා, රාගම, නුගේගොඩ, කිරිබත්ගොඩ වගේ පැතිවලටත් මෙහෙන් බඩු කුලියට ගෙනියනවා.” මෙම ව්‍යාපාරය හිමිකරු වූයේ ප්‍රසාද්ය.

යකඩ වැඩවලදී ප්‍රධාන වන දෙයක් නම් ගේට්ටු නිෂ්පාදනයයි. ගේට්ටුවක් හදන්න ඒත් නැත්නම් පඩිපෙළක අත්වාරුවක් හදන්නට ඕන කරන්නේ විවිධ ඩිසයින්වල චීනච්චට්ටි කැටයම්ය. ගල්වලේ මෙවැනි ගේට්ටුවලට අවශ්‍ය උපකරණ ඇති කඩ කීපයක්ම ඇත.

විවිධ චීනච්චට්ටි ඩිසයින්, මල්වැලවල රෝලර් ෂටර් බඩු, තල්ලු කරන, දෙකට බෙදී ඇරෙන යකඩ ගේට්ටු විතරක් නොවේ; ගේට්ටුවල විසිතුරු කරන්නට ආනයනය කළ කිතුල් ලැටි පටි පවා මේවායේ විකිණීමට ඇත.

“දැන් ඔය ගේට්ටුවලට අල්ලන කිතුල් ලැටි පටි ගේන්නෙත් චීනෙන්ද?”

“ඒවා චීනෙන් ගේනවා, බුරුමෙන් ඉන්දුනීසියාවෙන්, ඉන්දියාවෙනුත් ගේනවා. මේවාට ලංකාවෙන් නිෂ්පාදකයෙක් තාම ඇවිල්ල නැහැ.’ගේට්ටුවක් හැදීමට අවශ්‍ය රෙඩිමේඩ් අංගෝපාංග සියල්ලම එහි විය. වෙල්ඩින් වැඩ ගැන දන්නේ නම් ගල්වලේ සිට යකඩ ගේට්ටුවක් සාදාගැනීම සුළු දෙයකි. ඊටත් වඩා ගල්වලේ වෙල්ඩින් වැඩපොළ දෙකක්ම අපට දැක ගත හැකිවිය. මේ වෙල්ඩින් වැඩපොළවල ඉලෙක්ට්‍රික් වෙල්ඩින්, ඔක්සිජන් වෙල්ඩින් මෙන්ම ටිග් වෙල්ඩින් පවා අපට දැකගත හැකි විය.

“ඩිසයින් එක ගෙනාව නම් ගේට්ටුවලට ඕන බඩු ටික අපි ලියලා දෙනවා. සමහරු ඇවිදල ඇවිදල අඩුම තැනින් යකඩ බට ගේනවා සමහර බට වෙල්ඩින් කරන්නත් බෑ. පිච්චෙනවා. ඒ වෙලාවට ඔක්සිජන් වෙල්ඩින් ගහලා කොහොම හරි ගේට්ටුව ගහල දෙනවා. ලොරියක් කතා කරගෙන ගේට්ටුව ගෙනියනවා. එකට එකක් ලාබයි. සමහරු ගල්වලෙන් ගේට්ටුව හදාගෙන ගෙනිහින්, අනුරාධපුර, නුවර, ගාල්ල, මාතර ලොරි බඩු ඩිලිවරි එකක ලොරියකට පටවනවා. ගම් පළාතක රු. 250,000/=ක් විතර මිලක් වෙන ගේට්ටුවක් 150,000/=කට විතර මෙහෙදි හදාගන්න පුළුවන්.”

බොහෝ දෙනා ගල්වලට යන්නේ ගෙදරට අවශ්‍ය ප්‍රධාන දොරේ ලොක්, සොයිබ, අගුළු ජනෙල් බඩු ලබා ගැනීමටය.

තරුණයකු වූ අබ්දුල් රහුමන්ගේ වෙළෙඳසලට අප පිවිසීමට සුවිශේෂ වූ කරුණ නම් දොර ලොක් විවිධ ප්‍රමාණයන්ගෙන් සෝකේස්වල දමාගෙන සිටි නිසාය.

“අපේ තාත්තගේ කාලේ මේවා ගෙනාවේ ජර්මනියෙන්, ඉතාලියෙන්, එංගලන්තයෙන්. ඒවා ජීවිත කාලයටම වගකීමක් (Life time Gurantee) තිබුණා. දැන් එන්නේ මැලේසියන්, ඉන්දියන් නැත්නම් චයිනා එසෙම්බල්.”

එහි තිබූ අඟල් දෙකයි නූල් තුන බැරල් ජර්මන් ඉබ්බෙක්ගේ මිල රු. 14,000/=ක් විය.

“ඒකෙම චයිනීස් එක තියෙනවා. රු. 3000/=යි. ලංකාවේත් මේ බඩු දැන් හදනවා. අපි විකුණන්න ආසයි. ඒත් බඩු ඩිමාන්ඩ් ළඟට එන කෙනාව රස්තියාදු කරන්න බෑ. ඉම්පෝටඩ් හොඳ එකක් දෙනවා.”

“ඩොලර් වැඩි වුණ කාලේ ලොක්වල ගණන් වැඩි කළා නේද?”

“අපි නම් වැඩි කළේ නෑ.” ඩොලර් එක වැඩිවුණේ රු. 100/=කින්. බඩුමිල වැඩිවුණා සියයට දෙතුන් සීයකින්. ඩොලර් එක වැඩි වුණාම සමහරු හිතෙන හිතෙන ගණන්වලට බඩු වික්කා. අන්තිමට මිනිස්සු බඩු ගන්නැතුව අත්හැරියා. දැන් ආයිමත් මිනිස්සු ටිකෙන් ටික. එනවා”

“ගල්වලේ බඩු අදින පරණම වාහනය වන්නේ 9 ශ්‍රී මොරිස් මයිනරයකි. එහි හිමිකරු ජෙරාඩ්ය.

“මං අවුරුදු 38ක් යකඩ අදිනවා. 1981දි මං කුලියට පටන් ගත්තේ 1 ශ්‍රී මොරිස් මයිනරයකින්. මේ තුන්වැනි කාර් එක.”

“බඩු අදින්න චාජ් කරන්නේ කිලෝමීටර් ගාණටද?”

“නෑ! නෑ! ලෝඩ් එක බලලා තමයි ගණන් කියන්නේ.”

ගල්වලේ ශිවා බ්‍රදර්ස් ආයතනයේ මුළුමනින්ම තිබුණේ යකඩ සහ තඹ සරනේරු, ජනෙල් කොකු. එමෙන්ම දඟර වානේ, කටු කම්බි, යකඩ බාල්දි ද අපට එහි දැක ගත හැකි විය. නුගේගොඩ හාඩ්වෙයාර් එකක අඟල් 4″ x 2″ සරනේරුවක මිල සමඟ සැසඳීමේදී ගල්වලේ මිල නුගේගොඩ මිලට වඩා 60%කටත් වඩා අඩුවීම විශේෂත්වයකි. එහෙත් සරනේරු 10ක පෙට්ටියක්ම මිල දී ගත යුතුය.

මෙම අලෙවිහලේ කළමනාකරු ශ්‍රිජිවදේමන්ය.

“දැන් එක පිරිසක් සමහර ෆැක්ටරිවලින්ම බඩු අරන් යනවා. දැන් බලන්න ඉංගිරිය, නවගමුව, අතුරුගිරිය පැතිවල යකඩ පයිප්ප හදනවා. මිනිස්සු ෆැක්ටරියටම ගිහින් බඩු ගන්නවා; මෙහෙ එන්නෙත් නෑ. සරනේරු, ලොක් වගේ දේවල් ගන්න නම් ඉතින් මෙහෙ එන්නම වෙනවා. ගෙයක් හදනකෙට බඩු ලිස්ට් එක හදාගෙන ආවොත් සෑහෙන ගාණක් ඉතුරු කරගන්න පුළුවන්.”

අරුණ ට්‍රේඩර්ස් ආයතනයේ අයිතිකරු වූයේ අරුණ ප්‍රිශාන්තය. බිස්නස් එක ආරම්භ කළේ අරුණගේ තාත්තාය.

“දැන් ගොඩක් බොක්ස් බාර් ලංකාවේ හදනවා.”

“එතකොට ඉන්දියන්, පාකිස්තාන්, චීන බඩු දැන් එන්නේ නැත්ද?”

“පිටරටින් ගේන්නේ රවුම් බට වගේ දේවල්. ගැල්වනයිස් බොක්ස් බාර් නම් දැන් ගොඩක් විකුණන්නේ ලංකාවේ හදපුවා. බොක්ස් බාර් අඟල් 6 x 6 වගේ ඒවා නම් තාමත් රටින් ගේනවා.

මේ බොක්ස් බාර් කියන්නේ අඟල් 1/2 x 1/2 ඒත් නැත්නම් 3/4 x 3/4 ඊටත් එහා අඟල x අඟල වැනි ප්‍රමාණවල හතරැස් බට වටලය. ඒවායේ ඝනකමට කියන්නේ ගේජ් එක කියාය. 08 ප්‍රමාණයේ සිට 2.4 ටත් වැඩි ගේජ්වල බොක්ස් බාර් මේ ගල්වලෙන් මිල දී ගත හැකිය. රාජගිරියේ හාඩ්වෙයාර් එකක රු. 3200/=ට අලෙවි වන අඟල් 1 x 1 ප්‍රමාණයේ බොක්ස් බාර් එකක් ගල්වලේ තොගයට මිල වන්නේ රු. 21,501ක් වැනි මිලකටය.

ගල්වලේ ඇති තවත් ප්‍රධාන අයිතමයක් නම් වතුර ටැප්, සින්ක්, කොමඩ්, ෂවර් ආදි උපකරණයි. මේවා ඇති අපි ගිය කඩේ නම ‘හුධෝ’ ය. එහි ආනයනික මේ වැසිකිළි උපාංගවල නම ද ‘හූඩෝ’ විය.

“ටැප් නම් බාල එකක් රු. 1200/=ක් විතර වෙනවා. අපි විකුණන් නෑ. කම්ප්ලේන් වැඩියි. අපි ගාව බ්‍රස් ටැප් එකක් රු. 4500/= විතර වෙනවා. නිකල් ප්ලේට් අඩුම කොමඩ් සෙට් එක රු. 37,000/=යි.

“අපි ගිය තැනක තිබ්බා කොමඩ් සෙට් එක රු.350,000/=න් උඩ”

“ආ එහෙමත් තියෙනවා. ඒ ගෝල්ඩ් ප්ලේටට් ලක්ෂ 20 – 30 වෙනකම් තියෙනවා.”

එහි තිබූ දෙපතුළ සිට කේශාන්තය දක්වා දෝවනය වන ෂවර් එකේ මිල දක්වා තිබුණේ රු. 350,000/=න් ඉහළටය.

“අම්මෝ ඔය ගාණට ෂවර් ගන්නවද?” ඇහුණේ ඉබේටය.

“අදත් තුනක් වික්ක, ඒවා හෝටල්වලට ගෙනියන්නේ විස්ස තිහ. ලයිෆ් ටයිම් වොරන්ටි.”

එහි තිබූ සමහර කොමඩ්වල ගසා තිබුණේ (Nuwaraeliya Special) කියාය.

“නුවරඑළිය පැත්තේ හීතල නිසා කොමඩ් පැඩ් එක හිට් වෙනවා. එතකොට කිසි හීතලක් නැතුව වාඩිවෙන්න පුළුවන්.”

වහලවලට ඉස්සරම දැම්මේ සිංහල උළුය, ඊටත් පසු රට උළුය, පසුකාලෙක ඇස්බැස්ටෝස් වහලයට එක්විය. දැන වඩාත් ජනප්‍රිය වහල හෙවිල්ලන්නේ සින්ක් කොටඩ් අමානෝ රූෆින් තහඩුය.

මේ ගැන හොයන්නට අපි ගියේ සෙවණ ස්ටෝස් එකටය.

“වහලයකට තහඩු දානකොට ඇස්බැස්ටෝස් වගේ බර නෑ. යකඩ බාර්වලින් හරි අමු ලී ප්‍රමාණයකින් වහලය ගහන්න පුළුවන්. මලකඩ කන්නෙත් නැහැ.”

මේ වහල තහඩුවක පළල වූයේ අඟල් 32කි. එය දිගෙන් අඩි 18, නැත්නම් 30 දක්වා වුවත් එක දිගට ඕඩර් කර ගත හැකිය. ඒත් ප්‍රශ්නය ප්‍රවාහනය කරන එකය.

“මේ දවස්ල නම් ඉතින් කඩේ ඇරල පාර දිහා බලං ඉන්නවා. සිංහල අවුරුද්දට පස්සේ තාම බිස්නස් පිකප් වුණේ නැහැ.”

ගල්වලේ එහා මෙහා යනවිට නවත්වන වාහනවලට ටිකට් කඩන හාදයකු සමඟ කතා කරන්නට පෙරම අපේ කැමරාකරුගේ කැමරාව දැක අදහස් දැක්වූයේ තමන් විසින්මය.

“නෝම්බියට, සිංහල අවුරුද්දට ගමේ ගිය අය තාම කොළඹට එමින් ගමන් ඉන්නේ. කොළඹට ලොරි තාම එනවා. මේ බිස්නස් එක හරියට දැන් හරියනවා. මැයි දිනේ රැස්වීම්වල ස්ටේජ් ගහන්න බඩු වගේම වෙසක්වලට කූඩු ගහන්න, තොරන් ගහන්න බඩු ගන්න එන කාලේ මේක. ලයිට් බඩු නම් ගන්න ෆස්ට් ක්‍රොස් ස්ට්‍රීට් පැත්තේ යන්න වෙනවා.”

වරක් ඉන්දියාවේ සඟරාවක ලංකාව ගැන ලිපියක් පළවූයේ ලෝකයේ තොග මිලත් – සිල්ලර මිලත් අතර දැවැන්තම වෙනස ඇති රට ලෙස ශ්‍රි ලංකාව ගැනය.

ගල්වලේ ඇති ගොඩනැඟිලි උපකරණවල තොග මිලත් අප යන එන වෙනත් නගරවල ඇති මිලත් සංසන්දනය කළ විට අපට එය තහවුරු විය. අප ගිය බොහෝ යකඩ බඩු අලෙවිහල්වල මිනිසුන් යකඩ වික්කත් ඔවුනට තිබුණේ ‘යකඩ හදවත්’ නොව සංවේදී හදවත්ය. ඔවුන් අපව පිළිගත් ආකාරයෙන්ම සමුදුන් හෘදයංගම ස්වරූපය ඊට සාක්ෂි දරනු ඇත.

ඡායාරූප – රංජිත් අසංක

වජිර ලියනගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division