Home » බහුතර මතය ජනාධිපතිවරයාට යළි අවස්ථාවක් දිය යුතු බවයි

බහුතර මතය ජනාධිපතිවරයාට යළි අවස්ථාවක් දිය යුතු බවයි

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ජනාධිපතිතුමාගේ රට ගොඩනැඟීමේ හා ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ වැඩපිළිවෙළ හරහා ජනතාව තුළ විශාල ප්‍රසාදයක් ඇති වී තියෙනවා. මේ තත්ත්වය ඉදිරි මැතිවරණයේදි කෙසේ බලපාවිද?

අතීතයේ රනිල්ට බැහැ බැහැ කියලා බොහෝම නරක ආකාරයට ප්‍රචාර ගෙන ගියා. එහි මූලිකයා වුණේ මංගල සමරවීර. ඔහු පසුකාලීනව කිව්වා රනිල්ට පුළුවන්. ඒ පුළුවන් බව දන්න නිසා තමයි රනිල්ට බැහැ කියලා මතයක් හැදුවේ කියලා. ඒ නිසා මේ වැකිය අල්ලා ගත් යූ ඇන් පී යේ අයත් හිටියා. නමුත් දැන් සිදුවන්නේ එහි අනිත් පැත්ත. දැන් රනිල් නැතුව බැහැ. අද රටේ අති බහුතර ජනතාව තේරුම් ගෙන තියෙනවා, රනිල් නැතුව බැහැ කියලා. මන්ද රනිල් නොසිටියා නම් මිහිපිට අපායක් වී කී දාහක් දෙනා මැරිලා තියෙයිද දන්නේ නැහැ. කී දෙනෙක් කපා කෙටා ගෙන මැරිලා තියෙයිද දන්නේ නැහැ. අපරාධවලින් බහුල රාජ්‍යයක් බවට මෙය පත්වෙලා තිබුණේ. ඒ තත්ත්වයෙන් මුදා ගත්තේ රනිල් වික්‍රමසිංහයන්ගේ දක්ෂතාව, කැපවීම, නායකත්වය, ජාත්‍යන්තර සම්බන්ධතාවය හා දැනුමයි. මේ තත්ත්වය ජනතාව තේරුම්ගත් නිසා තමයි දිනෙන් දින කුමන දේශපාලන බලවේගවල සිටියත් ඒ මතයන් පසෙක ලා ජනාධිපතිවරයාත් සමඟ ජනතාව ඒකරාශි වෙන්නේ.

ජනාධිපතිවරයා රට බාර ගැනීමට පෙර මේ රට බාර ගැනීමට අවස්ථාව ලැබී තමන්ගේ නොහැකියාව පෙන්වූ නායකයන් පවා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?

ඉතාමත්ම පැහැදිලිව පසුගිය මැයි දිනයේදී පෙන්නුම් වුණා, ඒ අය සූදානම් වන්නේ ජනාධිපති වෙන්න නොවෙයි කියලා. ඒ අය සූදානම් වන්නේ ජනාධිපතිවරණයෙන් පසුව එන මහ මැතිවරණයේදී ආණ්ඩු පිහිටුවන්න. ජාතික ජනබලවේගය හෝ සමගි ජනබලවේගය යන මේ පක්ෂවල කවුරුත් ජනාධිපති වෙලා මේ දේවල් කරනවා කියා කතා කළේ නැහැ. ඔවුන් සියලු දෙනා කතා කළේ ඊළඟ ආණ්ඩු බලය අරගෙන වැඩ කරන ආකාරය ගැනයි. සජිත් ප්‍රේමදාස සිය කතාවේදි දිගින් දිගටම කළේ ආණ්ඩු පිහිටුවන ආකාරය මෙන්ම ආණ්ඩුවෙන් කරන වැඩ ගැනයි. ඔවුන් ඒ කියපු වැඩ සියල්ලම මේ වන විට රනිල් වික්‍රමසිංහයන් සිදුකර තියෙනවා. එවන් තත්ත්වයක් හෝ නොදැන කතා කරන විපක්ෂ නායකයෙක් සිටීම ගැන කනගාටු වෙනවා.

අනුර කුමාර කිව්වෙත් ඔවුන්ට සැලැස්මක් ඇති බවයි. ජනාධිපතිවරණයට මහ මැතිවරණයට සැලැස්මක් අවශ්‍යයයි. නමුත් අනුර සිය කතාවේදී කිව්වේ ආණ්ඩු බලය පිහිටුවන හැටියි. ඒ නිසා ඉතාමත්ම පැහැදිලිව මේ කවුරුත් ජනාධිපති වෙන්න සූදානම් නැහැ. සියල්ලම සූදානම් වන්නේ පරිණත දක්ෂ ක්‍රියාකාරි නායකයකු යටතේ ආණ්ඩු බලය ලබා ගන්නයි.

ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය සඳහා පොහොට්ටුටේ සහය අවශ්‍යයයි. නමුත් පොහෝට්ටුව මේ වන තෙක් සිය ස්ථාවරය ප්‍රකාශ කර නැහැ?

ජනාධිපතිවරයාට පොහොට්ටුව පමණක් නෙමෙයි සමගි ජනබලවේගය, ටි එන් ඒ, ද්‍රවිඩ දේශපාලන පක්ෂ, මුස්ලිම් මෙන්ම වතුකරයේ දේශපාලන පක්ෂ වාමාංශික දේශාපාලන පෙරමුණු, සිවිල් සංවිධාන, වෘත්තීය සංගම් ආදි සියලු දෙනාගේ සහය අවශයයි. අපි ඒ සියලු දෙනාම සම්බන්ධ කරගෙන ඉන්නේ.

බහුතරයක් දෙනා පවසනවා ජනාධිපතිවරයාට රට ගොඩනැඟීමට තවත් අවස්ථාවක් ලබා දිය යුතුයි කියා. එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ලෙස ජනතාවට කුමක්ද පවසන්නේ?

අගතිගාමීව දැඩි මතධාරීව දේශපාලන පක්ෂවල එල්බ ගත්තු සුළුතරයක් දෙනා හැරුණු කොට ඒ දේශපාලන පක්ෂවල සිටින බහුතරයක් දෙනාගේ මතය රනිල් වික්‍රමසිංහ මහතාට අනිවාර්යයෙන්ම අවස්ථාව ලබා දිය යුතු බවයි. එය එක වතාවකට ද දෙකකට ද යන්න සීමා වෙන්නේ නැහැ. රටේ බහුතර ජනතාව සිටින්නේ ඒ මතයේ. එය දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා ඉහළට යන අතර සමගි ජනබලවේගයත් ජාතික ජනබලවේගයත් දිනෙන් දින පහළට යනවා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division