Home » වාහන අංක තහඩුවෙන් පළාත ගලවන්නේ ඇයි?

වාහන අංක තහඩුවෙන් පළාත ගලවන්නේ ඇයි?

by Mahesh Lakehouse
May 4, 2024 12:30 am 0 comment

ලෝකයේ ඕනෑම රටක ධාවනය වන වාහනයක හඳුනා ගැනීමේ අංකයක් තිබීම අනිවාර්ය වන්නේය. ඒ අංකය ඒ ඒ රටට අදාළ වන පරිදි හඳුන්වා දී ඇත. ඇතැම් රටවල සමස්ත වාහන සඳහාම එකම ආකාරයෙන් ගලා යන අංක පද්ධතියකි. තවත් රටවල වාහන වර්ගය අනුව අංකය වෙනස් වෙයි. තවත් රටක ප්‍රාන්ත හෝ පළාත් අනුව අංක වෙනස් වෙයි.  

අපේ රටේ බ්‍රිතාන්‍ය සමයේ සිට එක් එක් වාහන අනුව අක්ෂර යොදා භාවිත කරන ලදි. උදාහරණයක් ලෙස පෙන්වා දෙන්නේ නම් මෝටර් රථ සඳහා EN හා බර වාහන සඳහා IC වැනි අක්ෂර ද්විත්වයක් ලබා දී තිබුණි. එහෙත් ලංකාවට නිදහස හිමි වී කලකට පසුව එම ක්‍රමවේදය වෙනස් කර මෝටර් රථ සඳහා 1 ශ්‍රී 2 ශ්‍රී යන අක්ෂරත්, බර වාහන සඳහා 22 ශ්‍රී වැනි අක්ෂරත් යොදවන ලදි. එම හඳුන්වා දීමේ ක්‍රමවේදයේ ශ්‍රී අක්ෂරය වෙනුවට (-) යෙදවීම අසූව දශකයේ අගභාගයේදී සිදු කරන ලදි. කෙසේ වෙතත් සියලු මෝටර් රථ වාහන සඳහා අදාළ ලියාපදිංචි අංකය නිකුත් කළ පසුව ඊට අදාළ අංක තහඩු දෙකක් වාහනයේ ඉදිරිපස සහ පසුපසින් පැහැදිලිව පෙනෙන ලෙසින් සවි කළ යුතුය. එය තමන්ට පහසු වර්ණයකින් මුද්‍රණය කළ හැකි වුවත් පැහැදිලිව පෙනෙන ලෙස මුද්‍රණය කළ යුතුවිය. එහෙත් පොලිසිය මඟින් නිතරම පැමිණිලි කර තිබුණේ රාත්‍රී කාලයේදී ඇතැම් වාහනවල අංක පැහැදිලිව හඳුනා ගත නොහැකි බවයි. එම නිසා පසු කාලීනව කහ පසුබිමේ කළු අකුරින් මුද්‍රණය කර පසු පස අංක තහඩුව සවි කළ යුතු බවත් ඉදිරිපස කළු පසුබිමේ සුදු පැහැති මුද්‍රණය කළ අංක තහඩුවක් පැහැදිලිව පෙනෙන ලෙසින් ඇමිණීමේ නියෝගයක් පනවන ලද්දේ වසර 35කට පමණ පෙරදීය.

අංක තහඩු එසේ භාවිත වුවද ව්‍යාජ අංක තහඩු භාවිතය නිසා සිදුවන අපරාධ මැඬලීම වෙනුවෙන් ප්‍රමිතියෙන් යුක්ත අංක තහඩුවක අවශ්‍යතාව මතු විය. විශේෂයෙන්ම එකම අංකයේ මෝටර් රථ වාහන දෙකක් හෝ කිහිපයක් හෝ තිබෙන තත්ත්වයක් තිබුණි. එමනිසා මේ සම්බන්ධව අවධානයට ලක්කළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින්ම විශේෂිත අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදයක් ආරම්භ කරන ලදි. ඒ 2000 වසරේ ජූනි මස 02 වැනිදාය.

එදා සිට මේ දක්වාම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් අංක තහඩු නිකුත් කිරීම සිදුකළ අතර නව වාහනයක් ලියාපදිංචි කර දින කිහිපයකින් එසේ දෙපාර්තමේන්තුවෙන්ම අංක තහඩුව ලබා දෙන ලදි. එහිදී එක් එක් වාහන කාණ්ඩ අනුව ප්‍රමාණය අනුව සම්මත අංක තහඩු ක්‍රමවේදයක් සකස් කරන ලදි. එම අංක තහඩුවේ අදාළ වාහනය හිමිකරු පදිංචිව සිටින පළාත, වාහනයේ ඉන්ධන වර්ගය, එය විදෙස් තානාපති හෝ මහකොමසාරිස් කාර්යාලයකට අයත් වාහනයක්ද එසේත් නැත්නම් එක්සත් ජාතීන්ගේ සංවිධානයකට අයත් වාහනයක් යනාදී තොරතුරු අංක තහඩුව හරහා දැනගත හැකි විය.

උදාහරණයක් ලෙස බස්නාහිර පළාතේ වාහනයක් නම් WP යන්නද, දකුණු පළාතේ නම් SP යන්නද, ඌව පළාතේ නම් UP යන්නද ආදී වශයෙන් පළාත් 9 සඳහාම අදාළ ඉංග්‍රීසි අක්ෂර දෙකක් යොදන ලදි. වයඹ පළාත NW වශයෙන්ද සබරගමුව පළාතට SG වශයෙන්ද යොදන ලදි. විදෙස් තානාපති හෝ මහකොමසාරිස් කාර්යාලයකට අයත් වාහනයක් නම් DL එක්සත් ජාතීන්ගේ සංවිධානයක වාහනයක් නම් UN යනුවෙන්ද අංකනය කරන ලදි.

ඒ අනුව එක් පළාතක වාහනයක් වෙනත් පළාතක අයෙක් මිල දී ගත් විට අනිවාර්යන්ම වාහනයේ අංක තහඩුවද නව හිමිකරුගේ පළාතට අනුව වෙනස් කිරීමට සිදුවිය.

එහිදී අංක තහඩු වෙනස් කිරීමේදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නව හිමිකරු විසින් යළිත් අමතර මුදලක් ගෙවීමටද සිදුවිය.

ඒ සඳහා වර්තමාන අය කිරීමට අනුව රුපියල් 4500ක් මෝටර් වාහන වෙනුවෙන්ද යතුරුපැදි අංක තහඩු සඳහා රුපියල් 3500ක්ද ගෙවිය යුතු විය.

මුදල් ගෙවීමටත් වඩා නව වාහන හිමිකරුවන්ට අංක තහඩු ලබා ගැනීමට යළිත් දිනයක මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණීමට සිදුවීම නිසා වාහනයක් පවරා ගත් නව හිමිකරුවන්ට නව අංක තහඩු ලබා ගැනීමට යාම පමා විය. ඒ වෙනුවෙන්ම යා යුතු වූ කාර්යයක් වූ හෙයින් දුර බැහැර සිටින අයකුට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයන්ට හෝ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල වෙත ගොස් ඒවා ලබා ගැනීම දිනෙන් දිනම පමා විය. එසේම පළාත මාරු වූ විට අංක තහඩුව අලුතින් සවි නොකර ධාවනය කිරීම නීතිමය වරදක් නොවන තත්ත්වයක තිබූ හෙයින් නව හිමිකරුවන්ට ගැටලුවක්ද නොවන්නට ඇත. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පවසන්නේ මේ ගැටලුව නිසා ඇතැම් අය පැරණි අංක තහඩුවම භාවිත කරනු ලබන බවයි. එවිට එක් එක් පළාත් සභාවන්ට වෙන් වශයෙන් හිමි විය යුතු ආදායම නිසි පරිදි බෙදී නොගියේය. එසේම ඇතැම් විට පැරණි අයගේ නමින්ම වාහන තබා ගන්නට පුරුදු විය. මෙවන් ගැටලු දිවයින පුරාම දක්නට ලැබුණි.

‘‘ මේ තත්ත්වය නිසා බොහෝ දෙනා මුදල් ගෙවා තිබුණත් අංක තහඩු අරගෙන ගිහින් නැහැ. ඒ අංක තහඩු දෙපාර්තමේන්තුවෙයි, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ගොඩ ගැහිලා, සංඛ්‍යාත්මක වශයෙන් කියනවානම් 50,000කට වැඩි සංඛ්‍යාවක් ගොඩ ගැහිලා, මේ තත්ත්වය නිසා රාජකාරි කටයුතුවලටත් බාධා සිදු වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් අප විශේෂ අවධානයක් යොමු කළා. ඒ වගේම අලුතින් අංක තහඩුවක් යළිත් සකස් කිරීමට ගතවන කාලය හා එම අංක තහඩු වෙනුවෙන් ශ්‍රමය වැය කිරීම වැනි කටයුතු නිසා මහජනයාට ගැටලුවක් නොවන පරිදි කටයුතු කිරීම ගැන මෙහිදී විශේෂ අවධානය යොමු කළා. මේ තත්ත්වය පරිසරයටත් හානියක්. ඇතැම් වාහනවලට අවුරුද්දකට අංක තහඩු 5ක් පමණ මුද්‍රණය කරල තියෙනවා. ඒක ඇත්තෙන්ම ගැටලුවක්. ‘මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

මෙම අංක තහඩුව ආනයනය කරනු ලබන බවත් එහි හරහා දත්ත අඩංගු කර ඇති බවත් අංකය මුද්‍රණය කිරීම පමණක් දෙපාර්තමේන්තුවේදී සිදු කරනු ලබන බව සහකාර මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් (කාර්මික) ටී.ඇම් සුජීව තෙන්නකෝන් පැවසුවේය.

‘‘පළාත මාරු වූ විට අංක තහඩුව අලුතින් ලබා ගැනීමට දෙපාර්තමේන්තුවෙන් පහසු කාර්යයක් වුණත් වාහනයේ පැවරීම සිදුකළ පසුව නැවත දිනයක දෙපාර්තමේන්තුවට හෝ දිස්ත්‍රික් කාර්යාල වෙත පැමිණ ලබා ගැනීමට සිදුවීම බොහෝ දෙනාට අපහසු හෝ නොසලකා හරින තත්ත්වයක් පෙනෙන්නට තියෙනවා. අත්‍යවශ්‍යම දේ කර ගැනීමෙන් පසුව අංක තහඩුව ගැන අවධානය යොමු කිරීමක් දක්නට නැහැ. ඇතැම් විට එම ගැනුම්කරුවන්ටත් ප්‍රායෝගික ගැටලු මතු වන අවස්ථාත් දක්නට තියෙනවා. උදාහරණයක් ලෙස පෙන්වා දෙනවා නම් බස්නාහිර පළාතේ අංක සහිත වාහනයක් වයඹ පළාතේ ගැනුම්කරුවෙක් තමාට අදාළ පළාතට අංක තහඩුව වෙනස් කර ගැනීමට ආ විට නිලධාරීන් පරීක්ෂා කිරීමේදී ඊට පෙර එම වාහනයට දකුණු පළාතට අයත් අංක තහඩුවක් නිකුත් කර ඇති බවට පරිගණක දත්ත අනුව පෙන්නුම් කරන අවස්ථා තියෙනවා. එවැනි අවස්ථාවට අදාළ හිමිකරුට දකුණු පළාතේ දිස්ත්‍රික් කාර්යාලයේ ඇති අංක තහඩුවත් ගෙනවිත් දීමට සිදු වෙනවා. නමුත් අපට නිරීක්ෂණය යන්නේ එම හිමිකරු තමන්ට අදාළ අංක තහඩුව ඉල්ලුම් කර දකුණු පළාතේ අංක තහඩුව ගෙන ඒමට සිතා සිටියත් එය අමතරව සිදු කළ යුතු ගමනක් හෙයින් එය සිදු නොවන බවයි. එවිට එකම වාහනයට බස්නාහිර පළාතේ අංක තහඩුව වාහනයේත් තවත් අංක තහඩුවක් දකුණු පළාතේත් තවත් අංක තහඩුවක් දෙපාර්තමේන්තුවේත් තිබෙන බවයි. මෙවන් ගැටලු තත්ත්වයක් අනුව අංක තහඩුවේ පළාත් යෙදීම පිළිබඳ ගැටලු මතුවීම සම්බන්ධයෙන් සොයා බලා පියවරක් ගැනීමට සිදු වුණා. ඒ අනුව අංක තහඩුවෙන් පළාත් අයින් කර ලබා දීමට කටයුතු කෙරුණා‘‘

මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීමේදී අය කරන ගාස්තුවද 2013 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොතිබුණි. එබැවින් එම ගාස්තු නැවත සමාලෝචනය කර මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලද නව ගාස්තු ප්‍රකාශයට පත්කිරීමේ අවශ්‍යතාවක්ද පැන නැඟීතිබුණි. එමෙන්ම මෝටර් වාහන සඳහා අංක තහඩු නිකුත් කිරීම හා සම්බන්ධව, සිදුකර ඇති ප්‍රසම්පාදන කටයුතුවලින් අනතුරුව අදාළ සමාගම සමඟ එළැඹ ඇති ගිවිසුම ප්‍රකාරව RFID තාක්ෂණය (රේඩියෝ තරංග හඳුනා ගැනීමේ ලේබලය) සහිත ස්ටිකරය නිකුත් කිරීම 2019.12.02 සිට ආරම්භ කරන ලදි. එය ඇත්තෙන්ම වෙනම ලබා දෙන ස්ටිකරයක් නොව අංක තහඩුවේම රේඩියෝ තරංග හරහා තොරතුරු ලබා ගත හැකි කුඩා චිපයක් බදු ස්ටිකරයකි. එම RFID ස්ටිකර් සඳහා වන පිරිවිතර ප්‍රකාශයට පත් කිරීම හා ගාස්තු නියම කිරීමේ අවශ්‍යතා ද මතුවී තිබුණි. එමෙන්ම අංක අමප/20/1921/312/021/ හා 2020.12.14 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව පළාත හඳුනාගැනීමේ අක්ෂර නොමැතිව වාහන අංක තහඩු නිකුත් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සැලසීම සඳහා ද මෝටර් වාහන (විවිධ) නියෝග සංශෝධනය කිරීමට අවශ්‍ය විය. ඒ අනුව අංක 2352/29 හා 2023.10.05 දිනැති රජයේ අතිවිශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශිත නියෝග මෝටර් වාහන (විවිධ) නියෝග සංශෝධනය කරන ලදි.

සංශෝධිත එම නියෝගවලට අනුව ඒ ඒ වාහන පන්ති සඳහා සාමාන්‍යයෙන් නිකුත් කරන අංක තහඩුවල පළාත් දැක්වෙන අක්ෂර ඉවත් කළ අතර ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලට අයත් වාහන සම්බන්ධයෙන් DP අක්ෂර සහිතව ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් වාහන සම්බන්ධයෙන් තවදුරටත් UN අක්ෂර සහිතව ද අංක තහඩු නිකුත් කිරීමට ඇත.

ඒ අනුව 2023 වසරේ ජනවාරි 01 වැනිදා සිට මෝටර් රථවල පළාත දැක්වෙන අක්ෂර ඉවත් කිරීමට අමතරව ඉදිරි වීදුරුවේ අළවනු ලබන ස්ටිකරයද අනිවාර්යය නොවනු ඇත.

මේ කාර්යය හුදෙක් මහජන පහසුව පිණිසම ඇති කරන්නට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මුලිකත්වයෙන් ගන්නා ලද පියවරකි.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division