Home » මම පාක්ෂිකයෙක් නෙමෙයි කියන්නේ අසහනයට පත් සුළු පිරිසක්

මම පාක්ෂිකයෙක් නෙමෙයි කියන්නේ අසහනයට පත් සුළු පිරිසක්

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජයදාස රාජපක්ෂ

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලූ කෙනෙක් නෙමෙයි
– තනතුරු දුන් පළියට මම කිසිවක් බාර ගන්න කෙනෙක් නෙමෙයි
– ඒ චෝදනාව මට නෙමෙයි. ඔවුන් අධිකරණයටයි අපහාස කරන්නේ. ඊට විරුද්ධව කටයුතු කරනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයකු නොවන බවත්, ඔබව සභාපති ලෙස පත් කිරීම නිත්‍යානුකූල නොවන බවත් පවසමින් පිරිසක් අධිකරණයට ගියා. අධිකරණය විසින් ඔබේ පත්වීමට විරුද්ධව අතුරු තහනම් නියෝගයක් පැනවූවා. මොකද වෙන්න යන්නේ?

පිරිසක් ඊට විරුද්ධව අධිකරණයට ගිහින් වාරණ නියෝගයක් ලබා ගත්තා. ඔවුන් අධිකරණයට ගිහින් ඉදිරිපත් කරන ඒක පාර්ශ්වික කරුණු අනුවයි, අධිකරණය විසින් එවැනි නියෝග ලබා දෙන්නේ. පසුව අනෙක් පාර්ශ්වය විසින් සත්‍ය කරුණු ඉදිරිපත් කළ පසුව අධිකරණය ඉදිරියේදී සුදුසු නියෝගයක් ලබා දෙයි. මම පාක්ෂිකයකු නොවන බව පවසන කතාව අසහනයට පත් වූ සුළු පිරිසක් කියන කතාවක්. නමුත් පක්ෂයේ 116කට විධායක සභාවේ සාමාජිකත්වය පවතින බව දන්න නිසානේ මේ පත්වීම සිදු කළේ. ඒ නිසා ඒක පාක්ෂිකව අධිකරණයට ගිහින් ඕනැම කෙනකුට ඕනෑම බොරුවක් කියන්න පුළුවන්. මේ පත්වීම නිත්‍යානුකූල නොවන එකක් නම් මම බාර ගන්නේ නැහැ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පුළුවන්ද හිතෙන හිතෙන ආකාරයට මෙහෙම සභාපතිවරු පත්කිරීමට ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සභාපතිවරු දෙදෙනෙක් නැහැ. පක්ෂයට කිසිදු සම්බන්ධයක් නැති හතර පස් දෙනෙක් ගිහින් කෙනෙක් වැඩ බලන සභාපති ලෙස පත් කිරීම කිසිදු වලංගුතාවක් නැහැ. මැතිවරණ කොමිසම පවා පිළිගෙන නැහැ. එය ව්‍යාජ පත් කිරීමක්.

මෛත්‍රී පිල ආණ්ඩුවේ ඇමැතිකම් දරන අයට දැක්වූයේ දැඩි විරෝධයක්. එවත් තත්ත්වයක් මත ඔබගේ සම්බන්ධ වීම ඇතැමුන් චෝදනා කරන්නේ තවත් ඩීල් එකක් ලෙසයි?

මෛත්‍රී පිල නෙමෙයි. ඔය නඩු දාපු කට්ටිය එකතු වී යෝජනාවක් සම්මත කරගෙන තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට ගිය පිරිස ආණ්ඩුවේ ඇමැති තනතුරු දැරිය යුතු නැහැ කියලා. මේ ගණයට මම අයිති නැහැ. මම එහි සාමාජිකයකු නෙවෙයි. මම පොදු ජන පෙරමුණෙන් මැතිවරණය ඉදිරිපත් වී පාර්ලිමේන්තුවට පැමිණ, අපි හදපු ආණ්ඩුවේ ඇමැති තනතුරක් දරන කෙනෙක්. එයයි මෙයයි අතර කිසිදු සම්බන්ධයක් නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජනය කරමින් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලූ කෙනෙක් නෙමෙයි.

මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාත් ඔබත් අතර ඩීල් එකක් ලෙසත් පිරිසක් හඳුන්වනවා?

කවුරු හෝ මෝඩකමට කියලා තියෙනවා පාස්කු නඩු ටික අහවර කර ගැනීමට මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයා විසින් සිදු කළ බව. මේ නිසා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත අවශ්‍ය කටයුතු ඉදිරියේදි සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ අය මේ චෝදනා ගෙනෙන්නේ මට විරුද්ධව නෙමෙයි. රටේ අධිකරණයට විරුද්ධවයි. මේ අයගේ මතය වන්නේ අධිකරණ ඇමැති සම්බන්ධ කර ගතහොත් තමන්ගේ නඩු අහවර කරගන්න පුළුවන් කියන මතය. එයින් හැඟෙන්නේ මේ රටේ අධිකරණය ඉතාම දූෂිත බව කියන හැඟීමයි. මෙය සමස්ත අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක් කිරීමක්. ඒ නිසා මෙවැනි ප්‍රකාශ දුන් අයට විරුද්ධව අපහාස කිරීමේ චෝදනා ඉදිරියේදී ඉදිරිපත් කරනවා.

ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකු වූ ඔබ ආණ්ඩුව විවේචනය කරන පක්ෂයක සභාපතිකම දැරීම සදාචාර විරෝධි බවට බොහෝ අය චෝදනා කරනවා?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් නෙමෙයි මමත් ආණ්ඩුවේ ඇමැති ධුර දැරීමට පෙර අඩුපාඩු පෙන්වා දුන්නා. ආණ්ඩුවේ අඩුපාඩු මම තරම් පෙන්වා දුන් වෙන කෙනෙක් නැහැ. විපක්ෂයෙන්වත් මම තරම් පෙන්වා දී නැහැ. මේ අඩුපාඩු සකස් කළේත් මම. පසුගිය වසර දෙක තුළ ජී. එස්. පී. සහනය ලබා ගන්න, අයි. එම්. එෆ්. සහනය ලබා ගන්න ඉටු කළ යුතු කොන්දේසිවලින් සියයට හැත්තෑ පහක් විතර ඉෂ්ට කළේ මමනේ. නමුත් සියල්ල කළේ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන්. අපි එය නොකළේ නම් විපක්ෂයේ ද ආණ්ඩුවේ ද කියලා නැහැ, ජනතාව කන්න බොන්න නැතිව මැරෙනවා.

කවුරුත් බලාපොරොත්තු වුණේ නැහැ. ඔබ මේ තනතුර බාර ගනීවි කියලා. ඇයි මේ තරම් ඉක්මන් වුණේ?

රට වෙනුවෙන් වගකීමක් දැරිය යුතු අවස්ථාවේ තමයි මෙය බාර ගත්තේ. තනතුරු දුන් පළියට මම කිසිවක් බාර ගන්න කෙනෙක් නෙමෙයි. හය වතාවක් ඇමැතිකම් බාර ගත්තේ නැහැනේ. කිහිප වතාවක් ඉල්ලලා අස්වුණා. කිහිප වතාවක් මාව නෙරපුවා. අපි දේශපාලනය කරන්නේ පක්ෂ නායකයෝ සනසන්න අපේ ආර්ථිකය හදා ගන්න නෙමෙයි. රටේ ජනාවගේ අවශ්‍යතාව මතුවන විටයි අපි දේශපාලනය කරන්නේ. ගෝඨාභයගේ කාලයේ දෙවතාවක් මට ඇමැතිකම් දුන්නහම බාර ගන්න තිබුණානේ. එදා බාර ගත්තා නම් මට අවශ්‍යය ආකාරයෙන් කටයුතු කරන්න දෙන්නේ නැහැ. නමුත් ඔවුන් වැටිලා කරගත නොහැකි නිසයි මම බාර ගත්තේ. ආණ්ඩුවයි විපක්ෂයයි විරුද්ධ වූ හැම පනතක්ම මම සම්මත කර ගත්තා. අවුරුදු 25 කින්වත් යමක් නොකළ අධිකරණ අමාත්‍යාංශයේ වැඩ මම අවුරුදු දෙකකින් ඉටු කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරග කිරීමේ සුදානමක් පවතියිද?

මට විශාල වශයෙන් ඉල්ලීම් ලැබෙනවා. පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ 116ක් මට සහය ලබා දුන්නේ කැමැත්තෙන්නේ. ලංකා ඉතිහාසයේ පළමු වතාවටනේ මේ ආකාරයෙන් ආරාධනා කරලා බාර ගන්න කිව්වේ. ඒ අය තුළ තියෙන විශ්වාසයටයි ඒ ආකාරයෙන් කරන්නේ. කෑගහන අය රටට වැඩ කළ පිරිසක් නම් ශ්‍රී ලංකා පාක්ෂිකයන් මල් බුලත් දීලා අනේ මේක ගන්න කියයිද? ඇයි අනිත් ඇමැතිවරුන්ට කියන්නේ නැත්තේ. මේ සඳහා ඉදිරිපත් වන අයගේ අල්ලස් වංචා දූෂණ චෝදනා තියෙනවාද කියා සොයා බලනවා වගේම මගේ දේශපාලන අතීතය දෙස බලලයි මේ ඉල්ලීම සිදු කළේ.

පක්ෂයේ ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේද?

ඉදිරි කටයුතු අකුරට ඉටු කරනවා. දැනට අධිකරණය විසින් දුන් තහනම තියෙනවා. ඉදිරියේදී අපි අධිකරණයට ගොස් කරුණු ඉදිරිපත් කර තහනම ඉවත් කළ පසු සාමාන්‍ය පරිදි කටයුතු කරගෙන යනවා. මාස තුනක් යන්නට මත්තෙන් මේ රටේ තියෙන ප්‍රබලම දේශපාලන පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව මම පෙන්වනවා. පොහොට්ටුවේ සාමාජිකයෝ සතුටු විය යුතුයි. වසර කිහිපයක් පුරාවට කර ගැනීමට නොහැකි වූ වැඩ කොටසක් මම කරලා දුන්නා. ඔවුන්ගේ පක්ෂය නියෝජනය කරමින් ඇමැතිකමක් දරපු කෙනෙක් ඒ ආකාරයෙන් කටයුතු කිරීම ගැන ඒ අය සතුටු විය යුතුයි. කවුරුවත් මේ තත්ත්වයට විරුද්ධ නැහැ කියලයි මම හිතන්නේ.

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයාට ඔබේ සහයෝගය ලබා දෙන්නේ කොයි ආකාරයෙන්ද?

අපි අපේක්ෂකත්වය සම්බන්ධ තවමත් තීරණයක් ගෙන නැහැ. ජනාධිපතිවරයාවත් ඔය තනතුරුවලට ගෙනෙන්න මම හුඟාක් මහන්සි වෙලා තියෙනවා. 2015 ආණ්ඩු හදන්න මම හුඟාක් දායක වුණා. ජනතා මතය ගැන අපි හොඳින්ම දන්නවා. ඒ නිසා දේශපාලන පක්ෂවලට නායකයන්ට අවශ්‍ය ආකාරයට මේ රටේ ජනතාව ඡන්දය දෙන්නේ නැහැ. ඒ සඳහා ජනතාවාදී අදහස් හා වැඩපිළිවෙළක් අවශ්‍යයි.

රටේ නීතිය ආරක්ෂා කරන ඇමැති විදියට ඉබි යතුරු දමා තිබූ පක්ෂ මූලස්ථානයටත් ඔබ ඇතුළු වීමට උත්සාහ දැරුවා?

ඉබි යතුරු දැමීම පොලිසිය නීති විරෝධි ආකාරයෙන් සිදු කළ එසේම යම් බලපෑමක් මත සිදු වූවක් බව පැහැදිලියි. අධිකරණ නියෝගයකින් තොරව සිදු වූවක්. මේ සම්බන්ධව ඉදිරියේදි කටයුතු කරනවා. ගැටුමක් ඇතිවීමට ගියත් එසේ නොවන්නට අවශ්‍ය කටයුතු සිදු කළා. මේ සියල්ල නීතියට අනුව විසඳා ගැනීමට බලාපොරොත්තු වෙනවා.

පිරිසක් මෛත්‍රීපාල සිරිසේන පිළිබඳ චෝදනා කරන්නේ රටේ ව්‍යවස්ථාවත්, පක්ෂ ව්‍යවස්ථාවත් කඩපු කෙනෙක් ලෙස. නමුත් ඔබ මීට වඩා ඉදිරි ගමනක් ඇති ඇමැතිවරයෙක්?

එතුමා ජනාධිපති ලෙස කළ දේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ දෙකක්. අලුතින් කෙනෙක් ගේන්නේ වෙනසක් අවශ්‍ය නිසානේ. ඒ කළ දේ ඒ අකාරයෙන් කරගෙන යන්න අලුතින් කෙනෙක් අවශ්‍ය නැහැනේ. ඒ නිසා පූර්ව නිගමන ලබා දෙන්න බැහැ. මගේ ඉතිහාසයේ පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝනය කළා කියා හෝ රටේ නීතිය කැඩුවා කියලා කවුරුත් චෝදනා නඟලා නැහැ.

සුභාෂිණි ජයරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division