Home » ජවිපෙ කුහකවතට උමා ඔයෙන් කණේ පාරක්…

ජවිපෙ කුහකවතට උමා ඔයෙන් කණේ පාරක්…

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

2005 ජනවාරි 26 වැනිදා, එකල කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග ඇමැතිවරයා වූ අනුර කුමාර දිසානායක විසින් කැබිනට් මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබීය. (එකල මේ අමාත්‍යංශය සම්පූර්ණයෙන්ම ජවිපෙ පාලනය යටතේ පැවති අතර, එහි නියෝජ්‍ය අමාත්‍යවරයා වූයේ බිමල් රත්නායකය.)

2005 ජනවාරි 4 වන දින අංක 05/0036/039/002 දරන ජවිපෙ ඇමැතිවරයාගේ මේ කැබිනට් පත්‍රිකාවේ මෙසේ සඳහන් විය:

උපුටා දැක්වීම

“ශ්‍රී ලංකාවේ අග්නිදිග වියළි කලාපය (විශේෂයෙන්ම හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක) දියුණු කිරීම සඳහා උමා ඔයෙන් ජලය ලබාගැනීම හැරෙන්නට වෙනත් විකල්පයක් නැත.”

“හම්බන්තොට හා මොනරාගල දිස්ත්‍රික්ක ආර්ථික වශයෙන් දියුණු කිරීමේ උපාය මාර්ගය මෑත කාලයේ වෙනස් වී ඇත. උමා ඔය කිරිඳි ඔයට හැරවීමේ ව්‍යාපෘතිය දැන් සලකා බලනු ලබන්නේ මෑතක සිට ප්‍රචලිත වී ඇති රුහුණුපුර සංවර්ධනය පිළිබඳ සංකල්පය අනුවය. රුහුණුපුර සංවර්ධනය යනුවෙන් අදහස් වන්නේ හම්බන්තොට වරාය මේ කලාපයේ නවීන වරායක් බවට පත් කිරීම, මොනරාගල දිස්ත්‍රීක්කයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් හා තෙල් පිරිපහදුවක් ඉදිකිරීම යන අංගයන්ගෙන් සමන්විත ව්‍යාපෘතියකි. ඉන්දියන් සාගරයේ සැරිසරන නැව් විශාල ගණනක් හම්බන්තොට වරායට පැමිණෙනු ඇති බවටත්, ඒ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය ද ඇතුළුව කාර්මික කටයුතු විශාල ගණනක් සිදුවනු ඇති බවටද බලාපොරොත්තු වේ. මේ නව සංවර්ධන කටයුතු සඳහා 2030 වන විට ජල අවශ්‍යතාවය මෙට්‍රික් කියුබික් මීටර් 100ක් වනු ඇති බවට ගණන් බලා ඇත. එම ප්‍රදේශයේ ස්ථාවර ජල සැපයුමක් නොමැති නිසා උමා ඔයෙන් ජලය ලබා ගැනීම මේ අවශ්‍යතාව සපුරා ගැනීමට ඇති එකම විකල්පය වශයෙන් සැලකේ.”

“එමනිසා මෙම ව්‍යාපෘතියට ඉහළ ප්‍රමුඛතාවයක් දිය යුතුය.

ඒ අනුර කුමාර දිසානායකගේ කැබිනට් පත්‍රිකාව ය.

අවාසනාවට අලුතෙන් හෙක්ටයාර් 15000 ක් වගා කරන්න ඉලක්ක කරමින් කැබිනට් අනුමැතිය ලැබි උමා ඔය ව්‍යාපෘතියේ වැඩ පටන් ගන්න විට අනුරලා ආණ්ඩුවෙන් අයින් වෙලාය.

එදා සිට ජනතා විමුක්ති පෙරමුණට උමා ඔය ව්‍යාපෘතිය සතුරෙකි.

උමා ඔය ව්‍යාපෘතියට එරෙහිව අවි අමෝරාගත් ප්‍රමුඛයෙක් වූයේ සමන්ත විද්‍යාරත්නය.

“ඔය උමා ඔයේ දෙන්න තරම් වතුරක් නැහැ. ඕක සම්පූර්ණ අසාර්ථක ව්‍යාපෘතියක්. ඔය උමග කොච්චර කල් තියෙයිද කියලා කියන්නත් බැහැ. අපේ ජීවිත කාලෙදි නැත්නම් ඊළඟ පරම්පරාව බලාගෙන ඉදිද්දි ඕක පුපුරලා විනාශ වෙයිද කියන්න බැරි තරමේ අවදානමක් තියෙන්නේ. එහෙම අනතුරක් තියාගෙන මේ කරන්නේ මහ විනාශයක්.”

ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න (1 ජූලි, 2017-සිළුමිණ).

“අප හිරුට කලින් අවදි විය යුතුය”.කීවේ ජවිපෙ නායකයාව සිටි රෝහණ විජේවීර ය. ඇත්තටම හිරුට කලින් අවදි වෙන්න ඕන බව එදා රෝහණ කියන්නට ඇත්තේ වැඩ කරන්නට කියා බව මිනිසුන් සිතන්නට ඇත. නමුත් හරියට බලනකොට නම් පැහැදිලි වෙන්නේ හිරුට කලින් නැගිටින්නට යැයි කියා තිබෙන්නේ ඕනෑම වැඩකට විරුද්ධ වීමටය.

මේ රටට ඵලදායී යමක් සිදුවෙන බොහෝ අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණ හිටගත්තේ ඊට එරෙහි පැත්තේය.

ජනතා විමුක්ති පෙරමුණ පොල්කටුව තුළ කිඹුලන් මවා කළ මහා ඝෝෂාවක් නිසා ලත් තැනම ලොප් වන්නට ගිය ව්‍යාපෘතියක් වූයේ ද උමා ඔය ව්‍යාපෘතියයි.

එක් අතකින් එකී විරෝධතාවය පිටුපස තිබුණේ අසීමිත කුහකකම ය. තව අතකින් තිබුණේ රටට ඵලදායි යමක් වනවාට ජවිපෙ තුළ වූ විරෝධය ය.

කුමක්ද උමා ඔය ගැන ජවිපෙ කුහක වීමට හේතුව?

දැන හෝ නොදැන 2005 දී අනුර කුමාර දිසානායක ඇමැතිවරයා විසින් ගෙනා කබිනට් පත්‍රිකාවේ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ අරමුණු පැහැදිලි කොට තිබුණි. උමා ඔය ජල යෝජනා ක්‍රමය යටතේ ජාතික විදුලි පද්ධතියට මෙගාවෙට් 120 ක් එකතු කිරීම එක අරමුණක් බවත් බණ්ඩාරවෙල,බදුල්ල සහ මොනරාගල ප්‍රදේශවල ජනතාවගේ පානීය ජල ප්‍රශ්නය විසදීම සහ බදුල්ල,මොනරාගල ප්‍රදේශවල කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීමත් ප්‍රධාන අරමුණක් බවත් එහි විය.

එහෙත් ජවිපෙ කුහකවත සියල්ලට වඩා ඉදිරියට ආවේය. උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියට එරෙහි සංවිධානයක් අටවාගත් සමන්ත විද්‍යාරත්නලා ඌව ගිනි තැබීම ආරම්භ කළහ.

මෙමඟින් මොනරාගල දිස්ත්‍රික්කයේ නව ඉඩම් හෙක්ටයාර 4500 කට පමණ සහ දැනට පවතින කෘෂිකාර්මික ඉඩම් හෙක්ටයාර් 1500 කට පමණ වාරි ජලය මෙන්ම බදුල්ල, මොනරාගල සහ හම්බන්තොට යන ප්‍රදේශවල පානීය හා කාර්මික ජල අවශ්‍යතා සඳහා අවශ්‍ය ජලය ඝන මීටර් මිලියන 39 (MCM) ප්‍රමාණයක් ලබා දෙන අතරම වාර්ෂිකව ජාතික විදුලිබල පද්ධතියට ගිගා වොට් පැය 290 (290 GWh)ක විදුලි ධාරිතාවක් එක් කරයි.

ජවිපෙ එරෙහි වූයේ එවැනි ව්‍යාපෘතියට ය.

ජනතා විමුක්ති පෙරමුණ තරම් ඉන්දියාවට විරුද්ධ වූ වෙනත් පක්ෂයක් ලංකාවේ නැත. ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන ඔවුන් තරම් කෑ ගැසූ වෙනත් කිසිවෙක් නැත. ඔවුන්ගේ පන්ති පහ පහත පරිදිය.

(1) ලංකාවේ ආර්ථික අර්බුදය

(2) ඉන්දියානු ව්‍යාප්තවාදය

(3) ලංකාවේ වාමාංශික ව්‍යාපාරය

(4) නිදහස යනු කුමක්ද?

( 5) ලාංකික විප්ලවය ගතයුතු මග.

එහි දෙවැන්න ඉන්දියානු ව්‍යාප්තවාදය ය.

එහෙත් අද ඔවුන් රාජ්‍යතාන්ත්‍රික ලෙස ඉන්දියාවට යයි.

කණ්ඩලම හෝටලය තනන්නට යද්දීත් බොහෝදෙනා එය දේශපාලන සටනක් කරගෙන බිල්ලෙක් මැවීය. එදා වැව් තාවුල්ලේ ගිනි තියාගෙන නිවන් දකින්නට සමහරු වෑයම් කළහ. අද කණ්ඩලම හෝටලය ලංකාවේ ඇති සුන්දරම හා හොඳම හෝටලය ය. ලාංකිකයෝ ද කිසිම අඩුවක් නැතිව පැමිණෙන අතර පරිසරයට කිසිඳු අතුරු ආන්තරාවක් වී නැත. ජෙෆ්‍රි බාවා නම් අපූරූ ගෘහ නිර්මාණ ශිල්පියා ඉදිකළ පරිසර හිතකාමී හෝටලය නිසා, රටට ලැබෙන ආදායම විශාලය.. රැකියාවෙ නියුතුව සිටින්නේ ගම්වාසීන්ය.

නොරච්චෝලේ බලාගාරය ඉදිකරන කාලයේ නව ආරක විරෝධයක් ආවේය.

‘ලංකාවේ මත්ස්‍ය සම්පත කොල්ල කන්න එන්නේ. මේක රටට මහා විනාසයක්. මුළු රටම ඉවරයි. ඒ විතරක් නෙවේ මේකෙන් ශ්‍රී මහා බෝධියත් විනාශ වෙනවා’

සමහර අවස්ථාවාදීන් එහෙම බිල්ලෝ මැවීය.

අද ජාතික විදුලිබල නිෂ්පාදනයේ වැඩි පංගුවක් දෙන්නේ නොරොච්චෝලේය.

මහවැලිය හදන විට කීවේ මේ මහා ජලාශ නිසා කඳු නාය යාමට ලක්විය හැකි බවය.

‘මේක ජාතියේ බොටුව හිර කරන වැඩක්. මුළු කඳුකරයම ඉවරයි. මහවැලිය නිසා පන්සල් යට වෙනවා. මේක මහා පාපයක්.’ කියා ඒ කාලයේ සමහරු චෝදනා කළහ.

‘ඕකට බ්‍රිතාන්‍ය ආධාර කරන්නේ නිකම් නෙවේ. අපි දෙවෙනි වතාවට සුද්දට යටත් කරන ගිවිසුමක් ඕක. එහෙම නැතිව රැජින ඕකට උදව් කරන්නේ නෑ’

ඒ තවත් අය කී කතාය. අද,මහවැලිය තරම් යෝධ ව්‍යාපෘතියක් හිතාගන්නටවත් බැරිය.

බහුකාර්ය සහ දිගුකාලීන මහවැලි සංවර්ධන වැඩසටහන ශ්‍රී ලංකාවේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමයයි. ව්‍යාපෘතියේ වැඩ කටයුතු සඳහා බ්‍රිතාන්‍යය, ජර්මනිය, කැනඩාව, ස්වීඩනය වැනි රටවල්වලින් ආධාර හිමිවිය. මහවැලි ගඟත්, එහි අතු ගංගාත් මාදුරු ඔයත් ආශ්‍රය කොටගෙන දේශීය භූමි ප්‍රමාණයෙන් 39% ක් පමණ වූ ප්‍රමාණය සංවර්ධනය කිරීමත්, රටට අවශ්‍ය විදුලි බලය නිපදවා ගැනීමටත්, ඇතැම් ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමටත්, නව ගොවි බිම් ඇති කිරීමටත්, නව ජනාවාස බිහිකිරීමත්, එමඟින් නව රැකියා අවස්ථා ලබා දීමත්, මහවැලි මහ සැලැස්මෙන් අපේක්ෂා කෙරිණි. කෘෂිකර්මාන්තය නවීකරණය වීම, සත්ව පාලනය, කෘෂිකර්මය පාදක කරගත් කර්මාන්ත සංවර්ධනය කිරීම අනෙකුත් අපේක්ෂිත අරමුණු විය.එය අති මහත් පංගුවකින් සාර්ථක විය.

ආණ්ඩුවක් කළ අනගිතම පිංකම කුමක්ද කියා ඇසුවොත් දෙන්න තිබෙන පළමු පිළිතුරක් වන්නේ ‘සුව සැරිය’ව්‍යාපෘතියය. එය ගම් නියම්ගම් සිසාරා අහිංසක දුප්පත් ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක 24 පැය සේවාවකි.

එහෙත් මේ ගිලන් රථ සේවාස හඳුන්වා දෙන විට විමල් කීවේ කුමක්ද?

‘මේ ගිලන් රථ සේවාව ඉන්දියාවෙන් ගෙනල්ලා, ඒ එක්කම රෝ ඔත්තු සේවයේ අය මෙහෙ වැඩට එන්න යන්නේ.’

මෙවන් තුච්ච පච දෙසන්නට හැකි විමල්ටම පමණි. ඊට කිට්ටුවෙන් යන කතාව කීවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයි. ඔවුන් කීවේ ‘මේ අවදානම් ගිලන් රථවලට නඟින්න එපා’ කියාය. අද, සිදුව තිබෙන්නේ කුමක්ද?.

‘මේ ගිලන් රථ සේවයෙන් කරපු පිංකමම ඇති නිවන් දකීන්න’

එහෙම කියන්නේ අහිංසක ජනතාවය.

සුනාමියෙන් ඇද වැටුණ ජීවිත කඩිනමින් ගොඩනැඟීමට යෝජිත රාජ්‍ය යන්ත්‍රණය සිය දේශපාලන වාසිය තකා ජාතිවාදි උගුලක සිරකළ නින්දිත උත්සාහය එදා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ ය.

එදා දහතුන්වැනි සංශෝධනයට වැඩියෙන්ම විරුද්ධ වුණේ වුණේ ජනතා විමුක්ති පෙරමුණය.

“දහතුන් වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට ඡන්දය ලබා ගැනීමේ අරමුණින් මන්ත්‍රීවරු තැනින් තැන රහසිගතව රඳවා තබා ගන්නා ලදී. ජනතා විමුක්ති පෙරමුණ මෙම සංශෝධනය සම්මත කර ගැනීමට ඡන්දය ප්‍රකාශ කරන මන්ත්‍රීවරුන් මරා දමන බවට තර්ජනය කර තිබුණි. මෙම මන්ත්‍රීවරුන් ආරක්ෂිතව ඔවුන් රඳවා සිටි තරුපහේ හෝටල්වල සිට පාර්ලිමේන්තුවට රැගෙන යාමේ භාරධුර මෙන්ම එදා පැවැති ජීවිත තර්ජනයද නොතකා ඉටුකිරීමේ වගකීම ආරක්ෂක ඇමැතිතුමා භාර කළේ මටය.

(එස්. බී. කරලියද්ද)

ජවිපෙ එදා දහතුනට (13) විරුද්ධ වුණේ එහෙමය.

ඉන්දු ලංකා ගිවිසුම මොහොතේ මුළු රටම ඛේදවාචකයකට තල්ලු කිරීම උදෙසා සිය උපරිම මැදිහත්වීම දියත් කළේ ජනතා විමුක්ති පෙරමුණය.ඡන්දය දෙන පළමු තිදෙනාට මරණය උරුම කළ කරුමක්කාර අතීතය “සොරි” කියා බැහැර කළ හැකිනම් ඊට වඩා දේශපාලන නොසන්ඩාලකමක් තවත් නැත.

එදා පළාත් සභාවලට එරෙහිව රට පුරා කැරලි නිර්මාණය කරමින් ධවල භීෂණයක් මවා පෑ ජනතා විමුක්ති පෙරමුණ ඉන් කලකට පසු පළාත් සභාවල වැජඹුණු ආකාරය “මේ පාර අපි මාලිමාවට කියා” facebook camping කරන අයට සමහරවිට අමතකව ඇත.

උමා ඔය ව්‍යාපෘතියේ වැඩ අවසන් කිරීමට සැලසුම් කර තිබුණේ 2015 වසර වන විටය. උමා ඔයේ හිල නම් බේගලය ජවිපෙ ඇදගෙන ගිය හෙයින් ඒ සඳහා වැඩිපුර වසර නවයක් ගත විය.ඒ හේතුවෙන් රටට වූ පාඩුව අතිමහත් ය.

එදා හාල් මිල සත ගණනකින් ඉහළ දැමීමට එරෙහිව 1953දී හර්තාල් කළ ඇන්.ඇම්.පෙරේරා 1973දී මුදල් ඇමැති වී බත්කෑම තහනම් කිරීමේ පාපය 1977දී පඩිසන් දුන්නේය.

සොරණම් මාවිල් ආරු සොරොව්ව වසා ඉගෙනගත් පාඩම අනුව නම් ඉපදෙන ආත්මයකවත් අඩු තරමේ වක්කඩයක්වත් වසන්නේ නැත.

ලැජ්ජාවක් තිබේනම් විද්‍යාරත්නලා නැවත උමා ඔය වැනි ව්‍යාපෘතිවලට විරුද්ධ වන්නේ නැත.

එහෙත්, විරුද්ධ වුණත් පුදුම නැත. ඒ ජවිපෙ හැටිය.

අනුරාධ සේනාරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division