Home » දඩල්ල වෙරළේ ‘පැපරාසියා’

දඩල්ල වෙරළේ ‘පැපරාසියා’

by thanushika
April 6, 2024 12:30 am 0 comment

මෙරට කතුන්ගේ සහ පිරිමින්ගේ ලිංගික දර්ශන හොරෙන් වීඩියෝ ගතකර සමාජ මාධ්‍යවලට මුදාහරින පුද්ගලයන් සහ කණ්ඩායම් ගැන තොරතුරු පසුගිය දිනවල බොහෝ සේ වාර්තා විය.

කාන්තාවන් සහ පිරිමින්ගේ ලිංගික දර්ශන හොරෙන් වීඩියෝ ගතකර ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජය කර කප්පම් මුදල් හෝ ලිංගික අල්ලස් ලබා ගැනීමේ සහ ලබා ගැනීමට තැත්කිරීමේ සිද්ධීන් ද සැලකිය යුතු සංඛ්‍යාවක් පසුගිය දිනවලදී වාර්තා වී තිබිණි.

කාන්තාවන් දිය නාන ස්ථානවල රැඳී සිට එම දර්ශන වීඩියෝ ගත කිරීම බස් රථයේ දුම්රියේ ගමන් කරන ඇතැම් කතුන්ගේ දර්ශන හොරෙන් ජංගම දුරකතනවලින් වීඩියෝගත කිරීම ඇතුළු මීට අදාළ සිදුවීම් ගණනාවක් ද පසුගිය කාලයේ වාර්තා වී තිබිණි.

මේ අතරින් වඩාත් සුවිශේෂි වන්නේ පෙම්වතුන් පෙම්වතියන් මුහුදු වෙරළ, චිත්‍රපටිශාලා, නවාතැන්පොළ සහ ලැගුම්හල්වල තමන් රිසිසේ හැසිරෙන ආකාරය වීඩියෝ ගත කර සමාජ මාධ්‍යවලට මුදාහරින පුද්ගලයන් මෙන්ම ඒවා සමාජ මාධ්‍යවලට මුදාහරින බවට තර්ජනය කර කතුන් යුවතියන් බිය ගන්වා මුදල් මෙන්ම ලිංගික අල්ලස් ඉල්ලා සිටින පුද්ගලයන් ද මේ ජන සමාජයේ සිටීමය.

විශේෂයෙන් මුහුදු වෙරළ සහ උද්‍යානවල පෙම්සුව විඳින පෙම්වතුන් පෙම්වතියන්ගේ දර්ශන ජංගම දුරකතනවලින් වීඩියෝ ගතකර ඒවා අන්තර්ජාලයට මුදාහරින පිරිසක් බිහිවී සිටීම ද භයානක තත්ත්වයකි.

ගාල්ල දඩල්ල වෙරළට පෙම්සුව විඳීමට පැමිණෙන පෙම්වතුන් පෙම්වතියන් ඔවුන්ට රිසිසේ හැසිරෙන අයුරු වීඩියෝ ගතකර ඒවා අන්තර්ජාලයට මුදාහැරීම සිය විනෝදාංශය ද ලෙස සිදු කරගෙන යන පුද්ගලයකු ගාල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරින්ට කොටු වූ පුවතක් පසුගියදා වාර්තා විය.

පෙම්වතුන් පෙම්වතියන්ගේ හැසිරීම වීඩියෝ කර අන්තර්ජාලයට මුදාහැරීම විනෝදාංශයක් ලෙස සිදු කරගෙන ගොස් තිබුණේ ගාල්ල දඩල්ල ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකි. ඔහුගේ වයස අවුරුදු 29කි.

ගාල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එස්. ජයවීරට ලැබුණු තොරතුරකට අනුව ගාල්ල මූලස්ථාන පොලිසියේ කණ්ඩායමක් සිදු කරන ලද ඉතා සියුම් විමර්ශනයක ප්‍රතිඵලයක් වශයෙන් මේ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකි විය.

ගාල්ල දඩල්ල මුහුදු වෙරළ ඉතා සුන්දර තැනකි. දෙස් විදෙස් සංචාරකයන්ගේ ද සිත්ගත් ස්ථානයකි. බොහෝ දෙනෙක් විශේෂයෙන් සවස් කාලයේ මේ ස්ථානයට පැමිණෙන්නේ පරිසරයේ සුන්දරත්වය විඳගැනීම සඳහාය. තරුණ පෙම්වතුන් පෙම්වතියන් මේ ස්ථානයට පැමිණීම සුලබය.

දඩල්ල වෙරළේ වැටකෙයා පඳුරු ද සුලබය. පෙම්වතුන් පෙම්වතියන් මුහුදු වෙරළේ පෙම්සුව විඳිමින් සිටින අතරතුරදි ඒ අසලට පැමිණෙන සැකකාර තරුණයා ඔවුන් අමතා ඉල්ලා සිටින්නේ මුහුදු වෙරළේ නොසිටින ලෙසත් වැටකෙයා පඳුරු අතරට යන ලෙසත්ය.

ඊට හේතුව ලෙසට ඔහු මේ තරුණ පෙම්තුන්ට පවසන්නේ එළිමහනේ ගැවසීම අනතුරුදායක යැයි කියාය. එසේ එළිමහනේ සිටින පෙම්වතුන් පෙම්වතියන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා බව ද ඔහු මේ පෙම්වතුන් පෙම්වතියන්ට පවසන්නේ ඔවුන් එය අසා බියට පත්වන බව දැන සිටින නිසාය.

මේ පුද්ගලයාගේ කතාව විශ්වාස කරන පෙම්වතුන් පෙම්වතියන් වැටකෙයා පඳුරු අතරට යන අතර සැකකාර තරුණයා එම වැටකෙයා පඳුරු අතර භූමිය හොඳින් ශුද්ධ පවිත්‍ර කර ලෑලිවලින් බංකු ද සකස් කර ඇත්තේ පෙම්වතුන් පෙම්වතියන්ට රිසිසේ හැසිරීම සඳහාය.

වැටකෙයා පඳුරු අතර තනා ඇති ලෑලි බංකු මත වාඩිවෙන පෙම්වතුන් පෙම්වතියන් තමන්ට රිසිසේ හැසිරෙන අවස්ථාවල ඒ අසලට හිමින් සීරුවේ ළංවන මේ සැකකාර තරුණයා පෙම්වතුන් පෙම්වතියන් එසේ හැසිරෙන අන්දම වීඩියෝ ගතකර ඇති බව පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී හෙළිවිය.

මෙලෙස දඩල්ල වෙරළේ වැටකෙයා පඳුරු කීපයක් අතර භූමිය මේ තරුණයා විසින් ශුද්ධ පවිත්‍ර කොට තරුණ පෙම්වතුන් පෙම්වතියන්ට රිසිසේ හැසිරීම සඳහා බංකු ද තනා තිබුණ බව පොලිසියට නිරීක්ෂණය විය.

සැකකරු මෙලෙස පෙම්වතුන් පෙම්වතියන්ගේ හැසිරීම් අවස්ථා ගණනාවකදී හොර රහසේ වීඩියෝ ගත කර ඇති අතර එවැනි දර්ශන 75ක් පමණ මේ වනවිටත් ඔහු අන්තර්ජාලයට මුදාහැර ඇති බවට පොලිසිය සිදුකළ පරීක්ෂණයේදී සොයා ගෙන තිබිණි.

මේ වීඩියෝ දර්ශනවලින් සැලකිය යුතු සංඛ්‍යාවක්ම බාල වයස්කාර දැරියන්ගේ ඒවා බව පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවිය.

ගාල්ල දඩල්ල මුහුදු වෙරළ පරිසරය ආරක්ෂා වන ලෙසට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ගාල්ල මහ නගර සභාව පරිසර අධිකාරිය සමඟ එක්ව පිරිසුදු කිරීමට ගාල්ල පොලිසිය මේ වනවිට කටයුතු යොදා ඇත.

ගාල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිස් ගමගේ, ගාල්ල පොලිස් අධිකාරි සනත් අමරසිංහ යන නිලධරයන්ගේ උපදෙස් මත ගාල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එස්. ජයවීර, තොරතුරු ආරක්ෂණ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අල්විස් යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන සිදුකරති.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division