Home » බ්‍රැඩ්මන්වත් නූලෙන් බේරා ලෝක ක්‍රිකට් වාර්තා පොත අලුතෙන් ලියූ අපේ කමිඳු

බ්‍රැඩ්මන්වත් නූලෙන් බේරා ලෝක ක්‍රිකට් වාර්තා පොත අලුතෙන් ලියූ අපේ කමිඳු

කමිඳු ගැන අම්මයි තාත්තයි කියන කතාව

by Mahesh Lakehouse
March 30, 2024 12:30 am 0 comment

ලෝක ක්‍රිකට් පිටියේ දෑතින්ම පන්දු යවන්න පුළුවන් කමිඳුට විතරමයි

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඉකුත් දා පැවති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා පිල හිමිකරගත් ලකුණු 328ක දැවැන්ත ජයග්‍රහණයේ මාවත තැනුණේ ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන් දෙදෙනකුගේ ශතක හතරකිනි. ඒ ධනංජය සිල්වා සහ කමිඳු මෙන්ඩිස් සුසංගෝගයයි. එම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතිකරුවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී නායක ධනංජය ද සිල්වා සමඟ එක්වූ කමිඳු මෙන්ඩිස් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම් දෙකම ශක්තිමත් කළේය. පළමු ඉනිමේදී පන්දු 127කදී ලකුණු 102ක් රැස් කළ ඔහු, දෙවැනි ඉනිමේදී පන්දු 23කදී ලකුණු 164ක් රැස් කළේ ය.

මෙම තරගය කමිඳු මෙන්ඩිස්ගේ ක්‍රිකට් දිවිය අලුතින් වර්ණ ගැන්වූවා පමණක් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයට නැවුම් වාර්තා කිහිපයක් ද හිමි කර දුන්නේය. ඒ අතර වසර 147ක් පැරණි ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පිතිකරුවන් කිසිවකු විසින් මෙතෙක් පිහිටුවා නොතිබූ වාර්තාවක් කමිඳු විසින් පිහිටවනු ලැබුවේ 7 ස්ථානයෙන් හෝ ඊට පහළින් පිටියට පිවිස ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක රැස් කළ පළමු පිතිකරුවා බවට පත්වෙමිනි. ලොව විශිෂ්ටතම පිතිකරුවකු ලෙස සැලකෙන ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් ක්‍රීඩක ඩොනල්ඩ් බ්‍රැඩ්මන් තැබූ ලෝක වාර්තාවක් පිළිබඳ මතකය අවදි කරන්නටද කමිඳු මේ තරගයේදී සමත් විය. . එම වාර්තාව වන්නේ 1937 වසරේදී එංගලන්තයට එරෙහිව 7 වැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඉනිම දෙකේදී ලකුණු 270ක් රැස් කරමින් වාර්තාවක් තැබූ අතර, කමිඳු මෙන්ඩිස් ඉනිම දෙකේදී ලකුණු 266ක් රැස් කළේය. තවත් ලකුණු 5ක් ගත්තා නම් ඒ ලෝක වාර්තාව ද අපේ ඉලන්දාරියා අතින් එදා සුනුවිසුනු වන්නට ඉඩ තිබිණ.

ඒ අවස්ථාව ගිලිහුණ ද කමිඳු මෙන්ඩිස්, ධනංජය ද සිල්වා සමඟ එදා තරගයේදී තවත් වාර්තා කිහිපයක්ම ශ්‍රී ලංකා ක්‍රිකට් පොතට එකතු කළේය. ඔවුන් දෙදෙනා ඉනිම දෙකේදීම ශතක රැස් කළ ලොව තුන් වැනි පිතිකරු යුගලය බවට පත්වූ අතර 1974දී ඔස්ට්‍රේලියාවේ ඉයන් චැපල් සහ ග්‍රෙග් චැපල් සොහොයුරන් ද 2014දී පාකිස්තානයේ අසාර් අලි සහ මිස්බා උල් හක් ඔස්ට්‍රේලියාවට එරෙහිව ද එම වාර්තාව තබා තිබිණ.

එමෙන්ම ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ලකුණු 150ක සබඳතාවක් ගොඩ නැඟූ තුන් වැනි පිතිකරු යුගලය වන්නේ ද ධනංජය සහ කමිඳුය. එපමණක් නොව ටෙස්ට් තරගයක දෙවැනි ඉනිමේදී කඩුලු 6ක් බිඳ වැටීමෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් ගොඩ නැඟූ වැඩිම ලකුණු සබඳතාව කමිඳු සහ ධනංජය විසින් ගොඩනැඟුවේ ලකුණු 292ක් රැස්කරමිනි.

තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවසුවේ කමිඳු මෙන්ඩිස් සිය පළමු ටෙස්ට් තරගයට පසු මාස 20ක කාලයක් තුළ ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ දොරට තට්ටු කරමින් ඉතා ඉවසිලිවන්තව බලා සිටි බවය. කමිඳු මෙන්ඩිස් 2022 වසරේ ජූලි මාසයේ ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට එක්වෙමින් ලකුණු 61ක් ලබාගත්ත ද ඔහු ටෙස්ට් සංවිතයෙන් ගිලිහී ගියේය. එසේ වුවද කමිඳු අන්තර් සමාජ තරගවලදී අඛණ්ඩව දස්කම් දැක්වීය. “කමිඳුගේ වාර්තාවට වඩා මා සතුටු වෙන්නේ ඔහු යළි කණ්ඩායමට එකතු වූ අාකාරය ගැනයි. ඔහු සෑහෙන කලක් ජාතික සංචිතයේ දොරට තට්ටු කරමින් සිටියා. ඔහුට දුන්න අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීම සතුටුයි. ඔහුගේ තාක්ෂණය හොඳයි. වේගයෙන් ලකුණු ගන්නත් පුළුවන්. තැනට සුදුසු ලෙස ඔහු ක්‍රීඩා කරනවා. ඔහු තෝරා ගැනීමට අපි ගත්ත තීරණය හරි” නායක ධනංජය ද සිල්වාගේ ඒ පැසසුම කමිඳුට හිමිවිය යුත්තකි.

1998 වසරේ සැප්තැම්බර් 30 වැනිදා ගාල්ල බූස්සේදී උපන් කමිඳු දිලංකගේ මවුපියන් වන්නේ පර්සි මෙන්ඩිස් (59) සහ ඉනෝකා ගුණතිලක (57) ය. කමිඳුගේ අක්කා තරින්දි (28)ය. එකම මල්ලී සඳුන් (23) ද පාසල් ක්‍රිකට් ක්‍රීඩකයෙකි. රටේම ක්‍රිකට් ලෝලීන් කමිඳු ගැන සතුටු වද්දී ලෝකයක් තරම් වටිනා පුතු ගැන ඔහුගේ මවුපියන්ට දැනෙන හැඟීම කෙබඳු විය හැකිද? කමිඳුගේ පියා පර්සි මෙන්ඩිස්ට ඒ ගැන කියන්නට බොහෝ දේ තිබුණි.

“පුතාගේ ජයග්‍රහණය ගැන හරිම සතුටුයි. පුතා රෙකෝඩ් කීපෙකුත් තියලා කියලා දැනගත්තේ පස්සෙයි. අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම පුතා උපරිමය කරන බවට මගෙ හිතේ ලොකු විශ්වාසයක් තිබුණා. ඉස්සර ඉඳලම මම පුතාගේ හැම තරගයක්ම බලනවා. ප්‍රැක්ටිස් මැච් එකත්වත් අතාරින්නෙ නැහැ. පුතා පොදු පුහුණුවීම්වලට අමතරව තනිවමත් පුහුණුවීම් කරනවා. රට වෙනුවෙන් පුළුවන් උපරිමයෙන් ක්‍රීඩා කරනවා කියන ස්ථිර අධිෂ්ඨානය මත උපරිමයෙන් ක්‍රීඩා කළා. එදා තරගයේ පළමුවැනි ඉනිමේදි සීයක් ගහයි කියලා මම හිතු‍ෙව. ඒත් දෙවැනි ඉනිමෙදිත් සීයක් ගහයි කියල නම් හිතුව නැහැ. මේ ජයග්‍රහණය පුතාට ලැබුණේ එයාගේ කැපවීම නිසාමයි. ඒ ගැන මටත් ගොඩක් සතුටුයි.”

ඔහුගේ වදන්වලින් ගලා හැලෙන්නේ ඒ සිත පුරා රැඳුණු අප්‍රමාණ සතුටය.

“මමත් ඉස්සර ක්‍රිකට් සෙල්ලම් කළ කෙනෙක්. පුතාලා චූටි කාලේ මම ඒ දෙන්නා එක්ක ගෙදරදි ක්‍රිකට් සෙල්ලම් කළ නිසා කමිඳු පුතා ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ බව දැනගත්තා. නමුත් ඒ කාලෙදි පුතාව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු කරන්න පුතාගේ අම්මගෙ කැමැත්තක් තිබුණේ නැහැ. ශිෂ්‍යත්ව විභාගය හොඳින් සමත් වෙන්න ඕන කියන පුතාගේ අම්මගෙ බලාපොරොත්තුව නැති කරන්න මමත් කැමැති වුණේ නැහැ. ඒ නිසා පුතා ශිෂ්‍යත්ව විභාගය කරනකම් ක්‍රිකට් ගැන ආසාව යටපත් කරගන්න මටයි පුතාටයි දෙන්නටම සිද්ධ වුණා. පුතා ලකුණු 117ක් අරගෙන ශිෂ්‍යත්වය පාස් වුණ නිසා පුතාගේ අම්ම පුතාට ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමැත්ත දුන්නා. මම ඉතින් හරිම සතුටින් පුතාව ගාල්ලේ පැරගා ක්‍රිකට් ඇකඩමියට එක්ක ගෙන ගියා. එහි පුහුණුකරු ධනුෂ්ක දෙනගම සර් පුතා ප්‍රැක්ටිස්වලට එක්කගෙන ගිය පළමු දවසෙම කිවුවා, මෙයා රටට සෙල්ලම් කරන කෙනෙක් වෙනවා කියලා. ඒ වචන මගෙ හිතට ලොකු බලාපොරොත්තුවක් ගෙනාවා.”

ඒ බලාපොරොත්තුවේ අරුණලු නැඟෙන්නේ කමිඳු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වීමත් සමඟය.

“ඒ කාලෙම රිච්මන්ඩ් එකේ 13න් පහළ ක්‍රිකට් පුහුණුකරු විදිහට ධනුෂ්ක දෙනගම සර් පත්වෙලා ආවා. පුතාගේ ක්‍රිකට් මුල් විය නියම තාක්ෂණයට අනුව සංවර්ධනය කළේ ධනුෂ්ක සර්. 13න් පහළ හොඳම ක්‍රීඩකයා වගේම 15න් පහළ රනර්අප් වෙන්නත් පුතාට හැකි වුණා. එතැන ඉඳලා මේ වෙනකම්ම පුතා දිගටම ක්‍රිකට් ක්‍රීඩා කළා. ඒ අතර ජයග්‍රහණ රාශියක්ම ලැබුවා.”

කමිඳු මෙන්ඩිස් 2015දී AIA ප්‍රිමියර් ලිමිටඩ් ඕවර් තරගාවලියේදී ඔහුගේ පළමු ඒ කාණ්ඩයේ තරගයට එක්වන්නේ චරිත් අසලංක සමඟිනි. 2016දී අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වූ කමිඳු 2018දී එම සංචිතයේ නායකත්වය දැරීය. 2018දී එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව වෙනුවෙන් ඔහුගේ පළමු T20 තරගයට ක්‍රීඩා කළ කමිඳු ඉන් අනතුරුව එවැනි තරග 10කට ක්‍රීඩා කර ඇත. 2019-20 සීමිත ඕවර තරගාවලියේ තරග අටකදී දැවී යෑම් දහනවයක් සමඟින් ප්‍රමුඛතම කඩුලු දවාගත් ක්‍රීඩකයා ලෙස ද දස්කම් පෑවේය. 2019 වසරේදී සිය පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගයට සහභාගි වූ ඔහු මේ දක්වා එක්දින තරග 7කට ක්‍රීඩා කර ඇත. 2022දී ඔස්ට්‍රේලියාව සමඟ ගාල්ලේදී පැවති ටෙස්ට් තරගයේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 61ක් රැස් කළේ සිය මංගල ටෙස්ට් තරගයේදීම ක්‍රිකට්ලෝලීන්ගේ නෙත් සිත් සොරා ගනිමිනි.

2022 වසරෙන් පසු මෙතෙක් එක්දින තරගයකට ක්‍රීඩා කර නැති කමිඳු පසුගියදා සිය පළමු ඉනිමේ ශතකය රැස් කිරීමෙන් පසු මාධ්‍ය අමතා කීවේ “ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට එකතු වෙන එක ඉතා අසීරු දෙයක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දක්ෂතා අතර සිටිනවා. මම අවුරුදු දෙකක් තිස්සේ ගොඩක් මහන්සි වුණා ආපහු කණ්ඩායමට එන්න” යනුවෙනි.

“පුතාට පුදුමාකාර ධෛර්යවන්ත හදවතක් සහ කැපවීමක් තිබුණා. අවුරුදු 25දී පුතාට මේ ජයග්‍රහණය ලබා ගන්න හැකි වුණේ ඒ නිසයි. ඒ වගේම පුතාට මුල් කාලයේ සිටම ඉතාම හොඳ පුහුණුකරුවන් පිරිසක් ලැබුණා. 19න් පහළ ක්‍රීඩා කරද්දි ප්‍රධාන පුහුණුකරු ධම්මික සුදර්ශන සර් සහ සහායක පුහුණුකරු ප්‍රේම් ලක්මාල් සර් පුතාගේ දක්ෂතා තවදුරටත් දියුණු කරගන්න උදවු කළා. විශේෂයෙන් පුතාගේ මනස ශක්තිමත් කළේ, කිසිම දේකින් සැලෙන්න එපා, පුළුවන් තරම් හොඳින් සෙල්ලම් කරලා අල්ලගෙන ඉඳලා අවස්ථාවක් ලැබුණාම ඔයාගේ දක්ෂතා පෙන්වන්න කියලා සර් නිතරම පුතාට උපදෙස් දුන්නා. ඒ වගේම පුතාගෙ පාසල් කාලයේදි රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පතිවරුන් ලෙස කටයුතු කළ ඊ. එම්. එස්. ඒකනායක සර් සහ සම්පත් වේරගොඩ සර්, චමිල තරංග, හර්ෂ ප්‍රසන්න, දමිත් ප්‍රසන්න යන ක්‍රීඩා භාරව සිටි ආචාර්යවරුන්, මේ දක්වා පුතාගේ සියලුම ක්‍රිකට් පුහුණුකරුවන්ටත් රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමයටත් උදවු කළ සියලුම දෙනාටත් පුතාගේ සාර්ථකත්වයේ ගෞරවය හිමි විය යුතුයි. ඔවුන් නැත්නම් මගේ පුතා අද මෙතැන නැහැ.”

කමිඳුගේ ක්‍රිකට් ජීවිතය කෙමෙන් අතු රිකිලා දා වැඩුණු ගසක් මෙනි. ජාත්‍යන්තර තරගවලට පිවිසීමට පෙර සිටම ඔහු ක්‍රිකට් ලෝලීන්ගේ අවධානයට ලක්වූයේ, අත් දෙකෙන්ම පන්දු යවන ‘අමුතු පන්දු යවන්නෙකු’ ලෙසිනි. ඒ ගැන ද අප ඔහුගේ පියාගෙන් විමසුවෙමු.

“පුතා මුල් කාලේ සෙල්ලම් කරද්දි බැට් කළේ දකුණතින්. මම පුතාට කිවුවා පුළුවන් නම් වම් අතිනුත් ට්‍රයි කරලා බලන්න කියලා. ඊට පස්සේ පුතා වම් අතිනුත් බැට් කරන්න පටන් ගත්තා. ඒ විදිහට වමතින් බැට් කරන්න හුරු වුණ පුතා 15න් පහළ ක්‍රීඩා කරන කාලෙ වෙද්දි වමතින් බෝල් කරන්න පටන් ගත්තා. 19න් පහළ ක්‍රිකට් පුහුණු කළ කෝච්ලා තමයි පුතාට අත් දෙකෙන්ම පන්දු යවන්න හුරු කළේ. 2018 ලෝක කුසලාන තරගෙටත් අත් දෙකෙන්ම බෝල් කළා වගේ මට මතකයි” ක්‍රිකට් ක්‍රීවාව වෙනුවෙන්ම කැපවී සිටින කමිඳු ගැන අමතක නොවන මතක කිහිපයක් ද ඔහුගේ පියා අප හමුවේ දිග හැරියේය.

“2017 බිග්මැච් කාලේ කවුරුහරි පිරිසක් පුතාට පහර දීලා තිබුණා. ඒ වෙලාවේ පුතා හෙල්මට් එක දාගෙන ඉඳලා තිබුණ නිසා ලොකු හානියක් වුණේ නැහැ. එහෙම නොවුණා නම් ජීවිතේටත් හානියක් වෙන්න තිබුණා. ඒ සිදුවීම තාමත් මගෙ හිතට කම්පනයක්. ඒ වගේම පුතා 15න් පහළ කණ්ඩායමේ ඉඳන් 19න් පහළ කණ්ඩායමට ඇතුළත් වෙද්දි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය එක්ක තිබුණු පාසල් තරගයකට ක්‍රීඩා කරද්දි කැච් එකක් ගන්න ගිහින් වැටිලා උරහිසින් අත පැන්නා. ඒ වෙලාවේ ක්‍රිකට් බෝඩ් එකේ හිටපු උප සභාපති ජයන්ත ධර්මදාස මහත්මයා කිවුවා පුතා ලංකාවේ ටීම් එකට වැදගත් සම්පතක්. ඒ නිසා එයාව සනීප කරගන්න අවශ්‍ය දේවල් කරනවා කියලා. ඒ අනුව ජෙරොම් ජයරත්න මහතා එක්ක අතට සැත්කමක් කරන්න පුතාව ඉන්දියාවට යැව්වා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එදා පුතා ගැන තැබූ විශ්වාසය අද පුතා ස්ථිර කරලා පෙන්නලා තිබීම ගැන මට සතුටුයි.

මම දකින විශේෂත්වය, ක්‍රිකට් ක්‍රීඩා කරන්න පටන් ගත් දවසේ සිටම පුතා කවදාවත් ක්‍රිකට්වලින් පසුබෑමකට ගියේ නැහැ. අවස්ථාව ලැබුණත් නැතත් එයා හැම අවුරුද්දකම ඉන්න තැනින් පියවරක් හරි ඉදිරියට ආවා. පුතා තමන්ගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඉස්කෝලෙ යන කාලේ ඉඳලම එහෙමයි. නායකත්වයත් පුතාට නුහුරු දෙයක් නෙවෙයි. ඒ නිසා ඕනෑම තත්ත්වයක් දරාගන්න පුළුවන් මානසික සමබරතාව පුතාට තියෙන බව මට විශ්වාසයි. පුතා ක්‍රීඩා කරන්නේ රෙකෝඩ්ස් තියන්න බලාගෙන නොවුණත් රට වෙනුවෙන් හැකි උපරිමය කරන එක එයාගේ බලාපොරොත්තුවයි. ඒ නිසාම ඉදිරියේදිත් පුතා රට වෙනුවෙන් යමක් කරයි කියලා මට විශ්වාසයි. කමිඳු පුතා වගේම ධනංජය සිල්වා, වනිඳු හසරංග, චරිත් අසලංක මේ හතර දෙනාම ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුන් වීමත් විශේෂත්වයක්. පුතා විශ්වාස කරන ලොකුම දේ එයාගේ ආත්ම ශක්තියයි. මහන්සි වෙලා දෙයක් කළොත් හොඳ ප්‍රතිඵලයක්ම ලැබෙන බව පුතා ආදර්ශයෙන්ම ඔප්පු කරලා තියෙනවා. ඒ ගැන මට ගොඩක් සතුටුයි.”

පර්සි මෙන්ඩිස් එවදන් කීවේ පුතු පිළිබඳ සෙනෙහස සේම අභිමානය ද ඇතිවය.

සිය පුතු අධ්‍යාපනයෙන් ඉහළම තලයකට යනවා දැකීමේ අරමුණින් කුඩා වියේදී ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට තහංචි පැනවුව ද දැන් කමිඳුගේ මව ඉනෝකා ගුණතිලකගේ සිත ද සතුටින් පිරී ගොසිනි. ඒ සතුට ඇය වදන්වලට පෙරළුවේ මෙලෙසිනි.

“පුංචි කාලේ පුතා ක්‍රිකට් ගහනවට අකැමැති වුණේ එයාගෙම හොඳටයි. පුතා ඉගෙන ගන්න දක්ෂ නිසා මම කැමැති වුණේ ඒ අංශයෙන්ම ඉහළට යනවටයි. තාත්තගෙ කැමැත්තටයි පුතා ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. ක්‍රිකට් වගේම පුතා සාමාන්‍ය පෙළ විභාගයත් ඒ සාමාර්ථ 4ක් සහ බී සාමාර්ථ 4ක් සමඟ සමත් වුණා. පුතාගේ දක්ෂතා දකිද්දි ගොඩක් සතුටුයි. එයා ක්‍රිකට් ක්‍රීඩා නොකළා නම් ඒ දක්ෂතාව අපතේ යන්න තිබුණා කියලා හිතෙනවා. ඉස්සර නම් මම ක්‍රිකට් මැච් එකක්වත් බලපු කෙනෙක් නෙවෙයි. ඒත් දැන් පුතා නිසා ආසාවෙන් මැච් බලනවා.”

පුහුණුවීම් සහ තරග අතර අවිවේකී දිවියක් ගත කළද කමිඳු පවුලේ අය සමඟ නිවෙසේ රැඳෙන්නට ප්‍රිය කරන බවත් මව කීවාය.

“පුතා කන්න කැමැති ගෙදර හදන කෑමයි. පිටින් කෑම එකක් ලැබුණත් ඒක අපිට දීලා එයා කන්නේ ගෙදර කෑම. ඒ වගේම එයා ව්‍යායාම්, කෑම බීම ගැනත් ගොඩක් සැලකිලිමත්. සින්දු අහන්න, ඇවිදින්න යන්න පුතා කැමැතියි. පුතා ටිකක් නිහඬ චරිතයක් වුණත් එයා අනිත් අය ගැන හරියට හොයලා බලන කරුණාවන්ත හිතක් තියෙන කෙනෙක්. ඒ වගේම අහිංසක චරිතයක්. මට තවම මතකයි පුතා වයස අවුරුදු තුනේදී විතර දවසක් එයාගෙම හෙවණැල්ලට බය වෙලා කෑගහලා ඇඬුවා. එදා එයාව නළවගත්තේ හරිම අමාරුවෙන්. මට බය හිතුණා ඒක දිගටම තියෙයි ද කියලත්. පස්සෙ ඒ බය නැතිවෙලා ගියා.”

සොඳුරු යෞවනයේ පසුවන කඩවසම් ක්‍රිකට් ක්‍රීඩකයකු වන කමිඳු මෙන්ඩිස් යුවතියන්ගේ සිහින කුමාරයකු වී ඇතිවාට සැක නැත. ඔහු පෙම්වතෙක් දැයි ඇසූ පැනයට මවුපියන් පිළිතුරු දුන්නේ සිනහ මුවිනි.

“ආදර සම්බන්ධතා ගැන නම් අපට කියල නැහැ. සමහර විට කවුරුහරි ඉන්නවත් ඇති. ඒ කොහොම වුණත් මම කැමැති චාම්, සරලව ජීවත් වෙන කෙනෙක් පුතාගේ බිරිය වෙනවටයි.”

ඇයගේ පැතුම තුළ සැඟවී ඇත්තේ පුතු පිළිබඳ සෙනෙහසයි. කමිඳු ශ්‍රී ලංකා ක්‍රිකට් පොතට එක්කළ වාර්තාවලින් අමන්දානන්දයට පත් ඔහුගේ රසිකයකු මුහුණුපොතට අපූරු සටහනක් එක්කර තිබිණ.

“හුරුවෙන්න ඕන වැළලෙන්න නෙවෙයි, පොළොවට සමතලා වුණත් ආපහු පැළ වෙන්න. කමියා, උඹ නම් යකෙක්.”

කමිඳුගේ තිර අදිටන හා කැපවීමත් ඉවසීමත් ගැන තවත් කතා කුමකටද? ක්‍රීඩාව තුළ ඔහුගේ හෙට දවස අදටත් වඩා පැහැබර වනු ඇත.

කමිඳු සිය පියා, මව සහ බාල සහොදරයා සහ වැඩිමහල් සහෝදරිය, ඇයගේ සැමියා සමඟ  සහෝදරියගේ විවාහ ගිවිස ගැනීමේ දිනයේදී

කමිඳු සිය පියා, මව සහ බාල සහොදරයා සහ වැඩිමහල් සහෝදරිය, ඇයගේ සැමියා සමඟ සහෝදරියගේ විවාහ ගිවිස ගැනීමේ දිනයේදී

 

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division