Home » බංගලියන් දණ ගස්සපු ‘අලුත් මාලිංග’ ගැන අම්මා කියන කතාව

බංගලියන් දණ ගස්සපු ‘අලුත් මාලිංග’ ගැන අම්මා කියන කතාව

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

– ඉන්දීය පුවත් සිරස්තල ඔහු හඳුන්වා දුන්නේ අලුත් මාලිංග නමින්
– ඉන්නේ කුලී ගෙදරක… ඉක්මනින් ගෙයක් අරගෙන අපිව එක්කගෙන යනවා කිව්වා – මව
– ක්‍රිකට් ගහලා මට මුලින්ම 20,000ක් ගෙනත් දුන්නා – මව
– කවදාවත් ඉස්කෝලෙකට ක්‍රිකට් ගහලා නෑ
– නුවන් පුතාට ලස්සනට බණ කතා කියන්නත් පුළුවන්

දෙඅත්වල මාපටැඟිල්ලටත් දඹරැඟිල්ලටත් සිර වී කැඩෙන තේ දල්ලට ඇඟිලි තුඩු රිදුණත් තේ දල්ලේ කහට දෙඅත් අවලස්සන කළත් සීතල, රස්නය නොතකා තේ දලු කඩාගත් මුදලින් ඈ තම දරුවන්ගේ කුස පිරෙව්වාය. සිමෙන්ති ගල් වැලි සමඟ ඔට්ටු වී ඔහු පවුල නඩත්තු කරන්නට වෙහෙස ගත්තේය. ඒ නිසාවෙන් අද මේ දෙමවුපියන් සතුටින් ජීවත් වෙති. දෙමවුපියන්ගේ දුක සතුටට හැර වූ ඔහු අද ලංකාවේ ක්‍රිකට් පිටිය පන්දුවෙන් හොල්ලන, ක්‍රිකට් පිටිය පෝෂණය කරන ක්‍රීඩකයෙක් බවට පත්විය. ඔහු අහිංසක දෙමව්පියන්වත්, අතීතයවත් අමතක නොකළේය. ඔහු සරත් ගාමිණීටත්, අයි. ඩී. රත්නසීලීටත් දාව වර්ෂ 1994 අගෝස්තු මස 6දා උපන් තෙවැනි දරුවාය. ඔවුහු තෙවැනි පුත් රුවනට නුවන් තුෂාර යන නම තැබීය

 නුවන් තුෂාර සිය පියා සහ මව සමඟ

නුවන් තුෂාර සිය පියා සහ මව සමඟ

සිය පළමු දරුවාත් දෙවැනි දරුවාත් පුතුන් නිසා රත්නසීලි බලාපොරොත්තු වූයේ දියණියකි. එහෙත් ඈට ඉපදුණේ දියණියක නොව පුතෙකු බව දැනගත් මොහොතේ ඈ දුක සතුටට හරවා ගත්තාය.

“අපේ ලොකු පුතා සුපුන් චාමර. එයා දැන් පේන්ට් වැඩ කරන්නේ. විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මගේ දෙවැනි පුතා නිපුන් තාරක. එයා කොළඹ රැකියාව කරන්නේ. එයාට විවාහ වෙලා දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපිට පුතාලා දෙන්නෙක් ඉන්න නිසා අපි හිතුවා තුන්වැනි දරුවා ගැහැනු දරුවෙක් කියලා. හරි ආසාවෙන් තෙවැනි දරුවා ප්‍රසූත කරන්න රෝහල් ගත වුණා, දුවෙක් කියලා හිතලා. ඒත් ඉපදුණේ පුතෙක්. දරුවා සතුටින් අතට ගත්තා. ඒ මොහොතේ හිතුවා, කවදා හරි හරි යයි, කොල්ලෝ තුන්දෙනා අපිව බඩගින්නේ නොතියා මොනවා හරි කරලා කන්න දෙයිනේ කියලා. ඒ විදිහට ඉපදුණු පුතා තමයි නුවන් තුෂාර. අද මම සතුටු වෙනවා එදා මට දුවෙක් ඉපදෙන්නේ නැතුව පුතෙක් ඉපදුණාට. පුතෙක් නිසා තමයි එයාට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන් වුණේ..”

ඒ ආදරණීය වචන මේ දිනවල කවුරුත් කතා කරන නුවන් තුෂාරගේ ආදරණීය මවගේ වචනය.

ඒ වචනවල මුසාව නැත. අහිංසක සිනහවද අව්‍යාජ ය. තමන්ගේ පුතා ලෝකයක් හමුවට ගියත් ආර්ථික අපහසුතා මැද ජීවත් වූ අතීතය දැන් රහසක්ව තබා ගැනීමට ඈ වෙහෙස ගන්නේද නැත.

“අපි ජීවත් වෙන්නේ ඇල්පිටිය තලාව කියන ගමේ. මම මුල් කාලයේ රස්සාව කළේ දලු කඩන එක. මහත්තයා මේසන් වැඩ කළේ. ඒ විදිහට තමයි දරුවෝ තුන් දෙනා උගන්වලා එයාලව බඩගින්නේ නොතියා කන්න දුන්නේ. කොච්චර ආර්ථික ප්‍රශ්න තිබ්බත් අපි සතුටින් ජීවත් වුණා. හොඳට කාලා බිලා හිටියා. නුවන් පුතා ඉගෙන ගත්තේ තලාව කනිෂ්ඨ විද්‍යාලයෙන් . පාසලේ ක්‍රිකට් ගැහුවේ නැහැ. කණ්ඩායමක් නැති නිසා. ඒත් අයියලා දෙන්න ගමේ යාළුවෝ එක්ක ගේ ළඟ තියෙන පිට්ටනියේ ක්‍රිකට් ගැහුවා. සෙල්ලම් කරන්න කෙනෙක් නැත්තම් පුතා විකට් එකක් හදාගෙන තනියම බෝල් කරලා විකට් එක කඩනවා. අපිට තේරුමක් නැහැ එයා මොනවද කරන්නේ කියලා. අපි නම් කවදාවත් හිතුවෙත් නැහැ එයා මෙහෙම ආසාවෙන් සෙල්ලම් කරන්නේ ජාතික මට්ටමින් සෙල්ලම් කරන්න වෙන්න ඇති කියලා. ඒත් එයාගේ හිතේ මොනවා තිබ්බද දන්නේ නැහැ. මොකද එයා අනිත් පුතාලා දෙන්නා වගේම හරි නිහඬ කීකරු දරුවෙක්. බුදුදහම එක්ක ජීවත් වෙන දරුවෙක්. අදටත් එයාට ලස්සනට බණ කතා කියන්න පුළුවන්. කොච්චර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහළට ගියත් එයා ජීවත් වෙන්නේ චාම් විදිහට. එයා කැමති නැහැ එයාව වර්ණනා කරනවටවත්…”

අව්ව වැස්ස මහා පොළොව එක්ක ඔට්ටු වී දුක් විඳින මාපියන් ඉන් මුදවා ගැනීමට හරි මාර්ගය ක්‍රිකට් ක්‍රීඩා කර මුදල් ඉපැයීම බව නුවන් සිතන්නට ඇත. ඒ හෙයින් ඔහුගේ හිතේ උපන් ආසාව උපන් ගෙයි වළ නොදමා ඔහුද ඊට අවශ්‍යය මාර්ගය තමන් විසින් සකසා ගත්තේය.

ලසිත් මාලිංග සමග නුවන් තුෂාර

ලසිත් මාලිංග සමග නුවන් තුෂාර

ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ආසාව තිබ්බත් ක්‍රිකට් පිත්ත, පන්දුවක් හෝ අඩු තරමින් සපත්තු කුට්ටමක්වත් ඔහුට තිබ්බේ නැත. ඔහුට ඒවා ලබා දී ඔහුව හරි මාර්ගයේ යැව්වේ පුහුණුකරුවන්‍ ය.

“අපිට ආර්ථික ප්‍රශ්න තිබ්බත් අපි කවදාවත් පුතාගේ ආසාව නතර කරන්න ගියේ නැහැ. රස්ස­ාවක් හොයාගන්න කිව්වේ නැහැ. මොකද ඒ මාර්ගය හොයා ගත්තේ එයා. අපි කවුරුත් උදව් කරලා නෙමෙයි. ඉතින් එයා අවුරුදු හය හතේ ඉඳලා කරන්නේ රබර් බෝලයක් හොයාගෙන සෙල්ලම් කරපු එක තමයි. එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඒත් සාමාන්‍ය පෙළ කළාට පස්සේ මට කිව්වා අම්මේ මම ක්‍රිකට් ගහන්න ප්‍රැක්ටිස් යනවා, ප්‍රියන්ත සර් එක්ක කියලා. ආයේ ඉස්කෝලේ යන්න බැහැ කියලා. ප්‍රියන්ත සර් තමයි එයාව අම්බලන්ගොඩ කරන්දෙණිය සෙන්ට්‍රල් කොලෙජ් එකේ ක්‍රිකට් ප්‍රැක්ටිස් එක්කගෙන ගියේ. එතැනින් තමයි එයාගේ ක්‍රිකට් ජීවිතේ හරියට පටන් ගන්නේ..”

පාසල් ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩා කර නැති නුවන්ව හරියාකාරව පුහුණු කළේ පුහුණුකරු ප්‍රියන්ත ය.

අවසානයේ නුවන් මීට වසර අටකට පෙර කොළඹට එන්නේ “අම්මේ මම කොළඹ යනවා, ක්‍රිකට් පුරුදු වෙන්න කියාය. එවිට ඔහුගේ වයස 18කි. ඔහුගේ සිහින කරා ගෙන යෑමට ඔහු ආරම්භය ගත්තේ එස් එස් සී ක්‍රිකට් ක්‍රීඩා සමාජයට එකතු වී පිත්තට වඩා පන්දුවෙන් දක්ෂතා පෙන්වමින් ය.

“මම දලු කඩලා ගෙදර එද්දී නුවන් පුතා කියනවා, අම්මේ මේ අපේ ගෙදර උඩ තට්ටුක් හදලා අම්මටයි තාත්තටයි ලස්සනට ඉන්න දෙනවා කියලා. එතකොට එයාගේ වයස හත අටක් ඇති. එහෙම කියපු පුතා තමයි අපිව දැන් හොඳින් බලා ගන්නේ. එයාට ලැබෙන මුදල් මට ගෙනත් දුන්නා. ක්‍රිකට් ගහලා මට මුලින්ම 20,000ක් ගෙනත් දුන්නා. එයා තරගවලට යද්දී කියලා යන්නේ අම්මේ මැච් එකකට යනවා බලන්න කියලා. අපි දිනෙයි වෙලාවයි අහගෙන අනිවාර්යයෙන්ම මැච් බලනවා. දැන් මගෙයි නුවන්ගේ තාත්තාගෙයි එකම වැඩේ ගෙදර වැඩ ඉවර කරලා ක්‍රිකට් මැච් බලන එක තමයි. පුළුවන් විදිහට අපිව මැච් බලන්න එක්කගෙන ගියා. එයා මුලින්ම කාර් එකක් ගත්තේ අවුරුද්කට කලින්. ඒක අරන් අපිව පන්සල් එක්කගෙන ගියා. කොළඹ එක්කගෙන ගියා. දැන් ඉන්නේ කුලී ගෙදරක.. ඉක්මනින් ගෙයක් අරගෙන අපිව එක්කගෙන යනවා කිව්වා. ..”

ඒ සිහින බලාපොරොත්තු එක්ක ජීවත් වෙන මව තම දරුවා ගැන සතුටින් කතා කළාය.

ඔහුට ඒ හීනය ද දැන් සැබෑ කරගත හැක. ඊට අවශ්‍ය අඩිතාලම පසුගියදා ඔහු දාගත්තේය. ඒ බංගලාදේශය සමඟ පැවති පන්දු වාර විස්සයි විස්ස තරඟාවලියට සම්බන්ධ වෙමින් තෙවැනි තරගයේ දී පිට පිට කඩුළු ත්‍රිත්වයක් සහ තවත් කඩුළු දෙකක් ලබාගෙන තරගයේ වීරයා වෙමින් කාගෙත් සිත් ඔහු වෙත නම්මාගෙනය. දැන් කවුරුත් කතා කරන්නේ අලුත් මාලිංග ගැනය. ඉන්දීය පුවත් සිරස්තල මැව්වේ ඔහුව අලුත් මාලිංග යැයි හඳුන්වමිනි. මතීෂ පතිරණ ආබාධයට ලක් වූ හෙයින් ඒ හිඩැස පුරවන්නට වාසනාව උදාකරගත් නුවන් ඉන් හරියාකාරව ප්‍රයෝජන ගත්තේය.

නුවන් තුෂාර කවරදාක හෝ පාසල් ක්‍රිකට් කණ්ඩායමක ක්‍රීඩා කර පළපුරුද්දක් ඇති ක්‍රීඩකයෙක් නොවීය. එහෙත් කටුක ගමන ඔහු ඔහුගේ ශරීරය ජවයෙන් හා මහන්සියෙන් යම්තාක් දුරට ජයගත්තේ 2022 වර්ෂයේ පෙබරවාරි මස 13 වැනි දින ඔස්ට්‍රේලියාවට එරෙහිව ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ජාතික පිලට එක් වෙමිනි. එදින ඔහු 92 වැනි එක්දින හිස පලඳනාව හිස මත දරා ගත්තේ ලෝකයේම කැපී පෙනුනු ක්‍රීඩකයෙක් වූ ලසිත් මාලිංග අතිනි.

 බිරිය තුෂාරා ප්‍රියං­ග­නී­ සහ පුංචි පුතු සමඟ නුවන් තුෂාර

බිරිය තුෂාරා ප්‍රියං­ග­නී­ සහ පුංචි පුතු සමඟ නුවන් තුෂාර

“එයා ජාතික කණ්ඩායමට තේරිලා කියලා ඔස්ට්‍රේලියා යනවා කිව්වා. එදා මැච් බලන්න කිව්වා. අපි මැච් බැලුවා. මැච් එකට ගිහින් ලසිත් මාලිංග සර් එයාගේ හිසට කැප් එක දාපු වෙලාවේ අම්මා විදිහට එදා මට පුදුමාකාර සතුටක් දැනුනේ. ඊට පස්සේ පසුගියදා තිබුණු බංගලාදේශ කණ්ඩායම එක්ක පුතා හොඳට ක්‍රීඩා කළා. එදා මැච් එක බලන්න දහයක් දොළහක් විතර අපේ ගෙදර ඇවිත් හිටියා. පළවෙනි විකට් එක ගද්දි හැමෝම කෑ ගැහුවා. ඒ විදිහට පිට පිට විකට් ගනිද්දි තමයි මට පුදුමාකාර සතුටක් දැනුනේ. ගමේ හැමෝම සතුටු වෙනවා. මොකද දරුවෝ තුන්දෙනාම ගමේ මිනිස්සු එක්ක රණ්ඩු කරලා නැහැ. ඒ නිසා හරි ආදරෙයි. ඉස්කෝලේ යන කාලේ උස පැනීම, දුර පැනීම තමයි ක්‍රීඩා විදිහට කළේ. දිනලා සහතික ගොඩක් තියෙනවා. කවුරුත් හිතුවේ නැහැ පුතා මේ වගේ ගමනක් යයි කියලා. ඒත් එයා නිහඬව එයාගේ ගමන යනවා..” ඈ කියන්නීය.

නුවන් තුෂාර දැන් විවාහකයෙකි. ඔහු විවාහ කර ගත්තේද පාසල් සමයේ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත් මිතුරිය වන තුෂාරා ප්‍රියංගනීවය.

“පුතා හරිම චාම් විදිහට විවාහ වුණා, 2022 අවුරුද්දේ. දැන් පුතෙක් ඉන්නවා මාස එකොළහක. බබා මයෝන් තාරුල්‍ය. ලේලී අපිට දුවක් වගේ. එයා අපේ ගමට කිට්ටු ගමක දරුවෙක්. දෙන්නම එකම ඉස්කෝලේ. නුවන් මත්පැන් සිගරට් ගන්න දරුවෙක් නෙමෙයි. ඒ නිසා ඒ පුංචි පවුල හරි සතුටින් ජීවත් වෙනවා. ..”

නුවන්ගේ ආදරණීය බිරිඳ ගැන ඔහුගේ මව කිව්වේ එවැනි කතාවකි. ගමක නිහඬ ජීවිතයක් ගතකළ තම දරුවා ගැන ඇය කතාව අවසන් කිරීමට පෙර මෙසේ කීවාය.

“පුතා අයි.පී. එල් ක්‍රීඩා කරන්න ගියා. දැන් අපි බලාගෙන ඉන්නවා සෙල්ලම් කරනකම්. මේ වෙනකොට එයා විකට් 100ක් විතර අරගෙන තියෙනවා. එක එක තරගවලට ගිහින්. ඉතින් එයාට මේ තරම් දුරක් එන්න උදව් කළ හැම පුහුණුකරුවෙකුටම ගුරුවරුන්ටම මම ස්තූති වන්ත වෙනවා, නුවන්ව මේ තත්ත්වයට ගෙනාවට..”ඈ කීවාය. දකුණත් මද වේග පන්දු යවන්නෙක් වූ නුවන් තුෂාර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රීඩා කරන්නේ මුම්බායි ඉන්දීය කණ්ඩායම සමඟය. බොහෝ ක්‍රීඩා ලෝලීන් එහිදි ඔහුගේ දක්ෂතා බලා ගැනීමට නොඉවසිල්ලෙන් පසු වෙති. ඔහුට අපද සුබ පතන්නෙමු.

හර්ෂණී වීරරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division