Home » ප්‍රසිද්ධ වෙනවට වඩා ජනප්‍රිය වෙන්න මං කැමතියි

ප්‍රසිද්ධ වෙනවට වඩා ජනප්‍රිය වෙන්න මං කැමතියි

හෂිනි වෑදණ්ඩ

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– රංගන ශිල්පිනියක් ලෙස ඉස්සරහට යනවට වඩා ගායිකාවක් ලෙස ඉදිරියට යන්නයි මට ඕන
– මම ලස්සනට නියපොතු හදලා තිබුණත් ගිටාර් එක ගහන්න නියපොතු කැපුවා

ඇය කලාවට පිවිසෙන්නේ ගායන ශිල්පිනියක් ලෙසිනි. ඒත් අද වන විට ඇය රංගනය හා ගායනය යන ක්ෂේත්‍රයන් දෙකෙහිම එකසේ දස්කම් පෙන්නා හමාරය. රසඳුන පුවත්පතේ මේ ඉඩ වෙන්වන්නේ එකී සොඳුරු තරුව වෙනුවෙනුයි. ඇය නමින් හෂිනි වෑදණ්ඩයි.

ගායිකාවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසුණත් ඔබව වැඩියෙන් දැක්කේ රංගන ශිල්පිනියක් ලෙසයි. ඇයි ගායනය අමතක කළේ?

මම පුංචි කාලේ ඉඳන්ම පුංචි තිරයේ ගායන කටයුතුවලට සම්බන්ධවෙලා හිටියා. ඒ වගේම හඬකැවීම් කටයුතුත් කළා. ඉන්පස්සේ ඩ්‍රීම් ස්ටාර්ස් හරහා ක්ෂේත්‍රයට පිවිසුණා. පසුව රංගනයට ආරාධනා ලැබුණා. රංගන කටයුතු කරන අතරවාරයේ සංගීත කටයුතු තරමක් අතපසු වුණා. අනතුරුව මගේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කරගැනීමට මම වෙහෙසුණා. සංගීතයෙන් විශේෂවේදී උපාධියක් මේ වන විට මා ලබා තිබෙනවා. විශ්වවිද්‍යාලයේ අවසන් විභාගය සඳහා සූදානම් වීමට අවශ්‍ය නිසා සංගීතේ ටෙලිනාට්‍යයෙන් ඉවත් වුණා. මේ දිනවල ගායන කාර්යයට නැවතත් යොමුවී තිබෙනවා.

සංගීතේ ටෙලි නාට්‍යයෙන් ඔබ ඉවත් වන්නේ එකී චරිතය තුළ කැපී පෙනෙනම අවධියකදීයි. එය හොඳ තීරණයක් කියලා ඔබ විශ්වාස කරනවද?

ඒ චරිතයට ආදරය කරපු අය මාව තවදුරටත් බලන් ඉන්න ඇති. ඒ නිසා මම ඔවුන්ගෙන් සමාව ඉල්ලනවා. නමුත් රඟපෑම් කටයුතු කරන කොට ඒ චරිතයට පූර්ණ අවධානය ලබා දෙන්න අවශ්‍යයි. මගේ අන්තිම විභාගය තියෙන නිසා ඒ දෙකෙන් එකක් තෝරගන්න සිද්ධ වෙනවා. ඔවුන්ට මගේ තත්ත්වය කිව්වම ඔවුන් මාව පසුව සම්බන්ධ කරගන්න කැමති වුණා. නමුත් මට මේ වෙලාවේ රංගන ශිල්පිනියක් ලෙස ඉස්සරහට යනවට වඩා ගායිකාවක් ලෙස ඉදිරියට යන්න අවශ්‍ය වුණා. ඒ නිසා මම ඒ නාට්‍යයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වුණා.

තරු ගුණය පවත්ව ගෙන යන්න ඔබ කරන කැපකිරීම් මොනවාද?

තරු ගුණය රඳා පවත්ව ගන්න වාසනාව තියෙන්න ඕනේ. ඒ වගේම ක්ෂේත්‍රය ඇතුලේ වැඩ කරන්න ඕනේ. තරු සංකල්පය තුළ බිහිවන ගායක ගායිකාවන් ඒ මොහොතේ කැපී පෙනුණත් ඔවුන්ට ක්ෂේත්‍රය තුළ දීර්ඝකාලීනව රැඳී සිටීමේ සැලසුම්, නිර්මාණ නැහැ. නමුත් මම ආසයි මිනිසුන්ගේ ආදරය ලබන නිර්මාණ කරන්න. මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙනවට වඩා ජනප්‍රිය වෙන්න මං කැමතියි. ඒ නිසා ක්ෂේත්‍රය ඇතුළේ ඉදිරියටත් මම වැඩ කරයි කියලා හිතනවා.

දෙව්නකව ඔබට මුණ ගැහෙන්නේ කොහොමද

දෙව්නකයි මමයි එකම ක්ෂේත්‍රයේ නිසා ඔහුව විටින් විට මුණගැහිලා තිබුණා. නමුත් අපි කවදාවත් කතා කරලා තිබුණෙ නැහැ. දවසක් අපි දෙන්නා එකම පාටියකදී මුණගැසුණා. මම හිතන් හිටියේ දෙව්නක හරිම පණ්ඩිත කෙනෙක් කියලයි. එයත් මට ලොකු කැමැත්තක් තිබිලා නැහැ. ඔහු ගිටාර් එක ප්ලේ කරමින් සින්දු කිව්වා. ඔහුට මහන්සියි කිව්වම මම ගිටාර් එක අරගෙන ප්ලේ කළා. මම ලස්සනට නියපොතු හදලා තිබුණත් ගිටාර් එක ගහන්න නියපොතු කැඩුවා. ඒ වෙලාවේ එයාට හිතිලා තමන්ගේ රූපයටත් වඩා මෙයා මියුසික් වලට ආදරේ ඇති කියලා. එයාට මං ගැන මුල්ම හැඟීමක් දැනිලා තියෙන්නේ එතැනදීයි. ඉන්පස්සෙ අපි දෙන්නගෙම ඇස් එකට මුණ ගැසුණා. ඒ වෙලාවේ මටයි එයාටයි දෙන්නටම කරන්ට් එකක් වැදුණා වගේ හැඟීමක් දැනුණා. මං හිතන්නේ අපි දෙන්නම ආදරේ කරන්න පටන් ගත්තෙ එතැනිනුයි.

දෙවුනක සංගීතයට යොමු වුණේ ඔබ නිසාද?

නැහැ. එයා පොඩි කාලෙ ඉඳලම සංගීතයට ලැදීයි. එයා හොඳ බෙර වාදකයෙක්. තම්මැට්ටම, ඉන්දියන් ඩෝල් එක ඔහු අති දක්ෂ විදියට වාදනය කරනවා. ඊට අමතරව පියානෝව වගේම ගිටාර් එකත් ඔහු ප්ලේ කරනවා. පාසැල් කාලේ පටන්ම ඔහුට මියුසික් බෑන්ඩ් එකක් තිබිලා තියෙනවා . ඒ වගේම ඔහු වෙස් බැඳපු නැට්ටුවෙක්. ඊට අමතරව කරාතේ ශූරයෙක්. ඔහු ඒ දක්ෂතා කුඩා කාලයේ පටන්ම ගෙන ආ දේවල්.

දෙව් ඇන්ඩ් හශ් යූ ටියුබ් චැනල් එකට අඩිතාලම වැටුණෙ කොහොමද

අපි දෙන්නටම වෙන වෙනම යූටියුබ් චැනල් දෙකක් තිබුණා. නමුත් අපි දෙන්නම එකතු වුණාම දෙන්නගෙම අදහස් එක්ක දෙව් ඇන්ඩ් හශ් යූ ටියුබ් චැනල් එක පවත්වාගෙන ගියා. ඒකට මුල්ම අදහස දෙන්නේ සංගීත් සතරසිංහ අයියා. ඔහුගේ ඒ අදහස ක්‍රියාත්මක කරලා අපි දෙන්නම වීඩියෝස් කරන්න පටන් ගත්තා. දැන් අපේ වීඩියෝස් බලන්නම ප්‍රේක්ෂක පිරිසක් සිටිනවා. අපි හැමවිටම උත්සාහ කරන්නේ අපේ වීඩියෝස් තුළින් විනෝදය වගේම දැනුමකුත් ලබා දෙන්නයි.

නළුවෙක්ට ආදරේ කරන එකත් පුංචි අභියෝගයක් නේද?

නැහැ. මට එහෙම අභියෝගයක් දැනෙන්නේ නැහැ. හේතුව මට ලැබුණ සහකරු මට ගොඩක් සහාය වෙන කෙනෙක්. ඒ වගේම ඔහුගේ හා මගේ පවුල් පරිසරය තුළත් අපට ලොකු සැහැල්ලුවක් වගේම නිදහසක් ලබාදී තිබෙනවා. ඔවුනුත් කලාවට බොහොම ලැදී යි. ඒ නිසා අපේ කලා කටයුතු කරන්න අපිට හරිම පහසුයි.

දෙව්නකගෙන් ඔබ දකින හොඳම ලක්ෂණය මොකක්ද?

දෙව්නක හරිම අහිංසක කෙනෙක්. කාට හරි උදව්වක් කරන්න ඔහු දෙපාරක් හිතන්නෙ නැහැ. මගේ පැත්තෙන් ගත්තොත් ඔහු මට ගොඩක් සහාය වෙන කෙනෙක්. මම යම් කලා කටයුත්තකට කැමති වුණොත් ඔහු ඒ වැඩේ පුදුමාකාර සහායක් දෙනවා. හැම ගෑනු ළමයෙක්ටම ඒ වගේ පිරිමි ළමයෙක් මුණගැසුණොත් ඇය යන දුර හිතාගන්නවත් බැහැ.ඒ තරම්ම ඔහු මගේ හීනවලට යන්න මට උදව් කරනවා.

විශ්මි ප්‍රනාන්දු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division