Home » හමුවුණු මුල්ම දවසේ මං හිනා වුණාට එයා ගණන් ගන්නෙ නැතුව යන්න ගියා

හමුවුණු මුල්ම දවසේ මං හිනා වුණාට එයා ගණන් ගන්නෙ නැතුව යන්න ගියා

දෙව්නක පෝරගේ

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

– මං හොයන ගොඩක් දේවල් එයාගෙ ළඟ තිබුණා
– හෂිනිවත් මංවත් කැමැති නෑ ගොඩක් වියදම් කරලා මහා ලොකු වෙඩින් එකක් ගන්න

ළමා රංගන ශිල්පියකු ලෙස බොහෝ විට ඔහුට ලැබුණේ ප්‍රධාන භූමිකාවේ ළමාවිය නිරූපණය කිරීමේ සුවිශේෂී අවස්ථාවයි. ළමා රංගන ශිල්පියකුට එය හොඳ පන්නරයකි. ජනප්‍රිය තලයේ ටෙලි නිර්මාණ ලෙස ප්‍රේක්ෂකයන් ආදරෙන් වැලඳගත් සිහින වසන්තය ටෙලි නිර්මාණයේ නිරෝෂන් විජේසිංහගේ මෙන්ම ගඟ අද්දර ටෙලි නිර්මාණයේ සාරංග දිසාසේකරගේ ළමා විය හරි අපූරුවට නිර්මාණය කළ ඔහු දෙව්නක පෝරගේය. වෙළෙඳ දැන්වීම් කලාව ඔස්සේ කලාවට පිවිසි ඔහු රංගන ශිල්පියකු ලෙස මෙන්ම ගායකයකු ලෙස ද මේ වන විට ප්‍රේක්ෂක හදවත් ස්පර්ශ කරමින් සිටියි.

රංගන ශිල්පියෙක් විදිහට කටයුතු කරන ඔබ දැන් ගායනය පැත්තටත් යොමුවෙලා. ඒ ගැන කිව්වොත්?

පොඩි කාලෙ ඉඳන්ම මං ගායනයට ආසයි. පාසල් කාලෙ වැඩිපුරම යොමු වුණේ සංගීතය පැත්තට. පාසල් කාලෙ රොක් බෑන්ඩ් එකක් හදාගෙන ටැලන්ට් ෂෝවලත් සෙල්ලම් කළා. බෙර, තම්මැට්ටම්, ඩෝල්කිවලට තමයි මං වැඩිපුරම ආස. ඒ අතරින් ඉන්දියන් ඩෝලයට ගොඩක් ආසයි. ඊට අමතරව ගිටාර් එකත් ප්ලේ කළා. රංගනය ගැන හැදෑරීමක් කළාට සංගීතය ගැන කිසිදු හැදෑරීමක් කරල නෑ. ගිටාර් ක්ලාස් එකකට ගියත් ඒක මට සෙට් වුණේ නෑ. පස්සෙ මං යු-ටියුබ් එක හරහා තනියම ඉගෙන ගත්තා. පාසලෙන් අයින් වෙනවත් එක්කම සංගීතය පැත්ත අතහැරිලා රංගනය පැත්තට යොමු වුණා. හෂිනි හමුවුණාට පස්සෙ නැවත වතාවක් සංගීතය පැත්ත වැඩිදියුණු වුණා. මේ වෙද්දි සින්දු කීපයක් කරල තියෙනවා. මගේ අලුත්ම සින්දුව ළඟදීම රිලීස් කරන්න සූදානමින් ඉන්නේ.

හෂිනි කියන්නෙ රියැලිටි කලාව හරහා රංගනයට පිවිසි කෙනෙක්. කොහොමද ඒ හමුවීම සිදුවෙන්නේ?

හෂිනි පොඩි කාලෙ ඉඳන්ම ක්ෂේත්‍රයේ හිටිය කෙනෙක්. ඒත් ප්‍රේක්ෂකයන් ඇය හඳුනගත්තේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහනෙන්. ඒත් එක්කම සංගීතේ ටෙලි නිර්මාණයේ සෙනුරිගේ චරිතයෙන් රංගනයටත් පිවිසුණා. අපේ හමුවීමත් සාමාන්‍ය විදිහට සිදුවුණා. සාමාන්‍යයෙන් ආර්ටිස්ට්ල එකට හමුවුණාම කලින් හැඳුනුම්කමක් නැතිවුණත් හිනාවෙලා කතාබහ කරනවනේ. ඒත් එයා හමුවුණු මුල්ම දවසේ මං හිනාවුණාට ගණන් ගන්නෙ නැතුව යන්න ගියා. එදා නම් මට එපා වුණා. ආයිම දවසක අපි හමුවෙන්නෙ යාළුවෙකුගේ උපන්දින සාදයකදී. එදා එයා ගිටාර් එක ප්ලේ කර කර සින්දුවක් කියනව දැකල මගේ හිතේ පොඩි කැමැත්තක් ඇති වුණා. එදා නම් එයා මා එක්ක හොඳට කතාබහ කළා. මං තේරුම් ගත්තා මේ මං හිතුව විදිහෙ කෙනෙක් නෙවෙයිනෙ කියලා. එදා රෑ මං එයාට මැසේජ් එකක් දාල ඇහුවා පරිස්සමෙන් ගියා නේද කියලා. එතැන ඉඳන් තමයි අපේ කතාව පටන් ගන්නේ.

දෙව්නක රංගනයට සමු දුන්නා කියන කතාව ඇත්තද?

නෑ. නෑ. ඒ කතාව ඇත්ත නෙවෙයි. හිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණයෙන් මං ඉවත් වෙන්නේ මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒක මං අධ්‍යක්ෂවරයා වගේම තිර රචකයා එක්කත් කතාබහ කරලා ඔවුන් දැනුම්වත් කරලා ගත්ත තීරණයක්. එහෙම නැතුව ප්‍රශ්නයක් නිසා මං ඉවත් වුණා නෙවෙයි. එහෙම හිතන අයත් ඉන්නවා. මං රංගනයෙන් සමු අරගෙන නෑ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් අනිවාර්යයෙන්ම මං ඒක භාර ගන්නවා.

රංගන ශිල්පිනී නිමන්ති පෝරගේ කියන්නේ ඔබේ නැන්දා. ඇය හරහා ද ඔබේ කලාවේ පිවිසුම සිදුවෙන්නේ?

පුංචි කාලෙ ඉඳන්ම මං වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා හිටියා. ඒත් මං රංගනය පැත්තට යොමුවෙන්න 2006 දී සිරිමල් විජේසිංහගේ පිටසක්වල කුමාරයයි පැංචො හතයි කියන සිනමාපටයෙන්. නිමන්ති නැන්දගේ මහත්තයා ප්‍රභාත් මාමාව මෙතැනදි විශේෂයෙන්ම මතක් කරන්න ඕන. ඒ චිත්‍රපටයේ ස්ක්‍රීන් ටෙස්ට් එක තියපු දවසෙ මගේ හැකියාව එළියට ආවෙ නෑ. ප්‍රභාත් මාමා එතැනදි ඩිරෙක්ටර්ට කතා කරලා කියල තිබුණා එයා ගන්න එදාට එයා හරියටම කරාවි කියලා. මාමගෙ ඒ වචනෙට තමයි මාව අරන් තිබුණේ. එදා ඉඳන් මං දිගටම වැඩ කළා. ඔහු නිසා තමයි මට රංගනයට අවස්ථාව ලැබුණේ. ඊට පස්සෙ සුනිල් කොස්තාගේ සිහින වසන්තය ටෙලි නිර්මාණයට සම්බන්ධ වුණා. ඒක තමයි මගේ පළමු ටෙලි නිර්මාණය. ඊට පස්සේ විශ්ව මායාව, අහස් මාළිගා, සිද්ධාර්ථ ගෞතම, හිත ළඟ හිනැහුණා, පොදු වගේ ටෙලි නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වුණා. අන්තිමටම සම්බන්ධ වුණේ හිත ළඟ හිනැහුණා ටෙලි නිර්මාණයට. ඊට අමතරව ඝරසර්ප සිනමාපටයේ ප්‍රධාන භූමිකාවෙන් සිනමා ප්‍රේක්ෂකයන් අතරෙත් කතාබහට ලක්වුණා.

හෂිනිගෙන් ලැබෙන සහයෝගය ගැනත් කියමු?

එයාගෙන් තමයි මට ලොකුම සහාය ලැබෙන්නේ. එයා සංගීත විෂයය හදාරපු කෙනෙක්. මං සංගීතය පැත්ත හදාරපු කෙනෙක් නෙවෙයි. මං ගීත ගායනය ඉගෙන ගත්තෙ එයාගෙන්. එයා තමයි මට හැමදාම වෝකල් ට්‍රේනින් කරවන්නේ. දැන් මං ගොඩක් දියුණුයි කියල හිතනවා. මුලින් කරපු සින්දුවලට වඩා රිලීස් වෙන්න තියෙන සින්දුව ගොඩක් දියුණුයි.

දැක්ක පළමු දවසෙ ගණන් ගත්තෙවත් නැති හෂිනිට පස්සෙ කැමැති වුණ හේතුව මොකක්ද?

ඒක නම් මංවත් දන්නෑ. ඒ කැමැත්ත ඉබේම ඇති වුණා. මුල්ම දවසෙ එහෙම කළාට දෙ‍ෙවනි දවසෙ එයා මා ගැන තේරුම් ගත්තා. ආශ්‍රය කරද්දි තේරුණා එයා මට ගැළපෙනව කියලා. මං ගොඩක් දේවල් හොයන කෙනෙක් නිසා සාමාන්‍යයෙන් මට ගැළපෙන අය අඩුයි. මං හොයන ගොඩක් දේවල් හෂිනි ළඟ තිබුණා. ඒ නිසා මට හිතුණා එයා මට ගැළපෙනව කියලා.

කවද්ද දැන් විවාහ උත්සවය ගන්න හිතන් ඉන්නෙ?

හෂිනිවත් මංවත් කැමැති නෑ ගොඩක් වියදම් කරලා මහා ලොකු වෙඩින් එකක් ගන්න. ඒ අපි දෙන්නගෙ කැමැත්ත. ඒත් මවුපියන්ගේ කැමැත්ත ඊට වෙනස් වෙන්න පුළුවන්. එයාලට වෙඩින් එකක් ගන්න ඕනෙ කියල කිව්වොත් අපි එයාලගෙ තීරණේට ඉඩ දෙනවා. කොහොම වුණත් මේ අවුරුද්දෙ අන්තිමේ හරි ලබන අවුරුද්දෙ මුල හරි අපේ විවාහ උත්සවය ගන්න බලාපොරොත්තුවක් තියෙනවා.

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division