Home » අන්තර්ජාලයෙන් මත්ගුළි ඇණවුම් කර පාසල් සිසුන්ට විකුණලා

අන්තර්ජාලයෙන් මත්ගුළි ඇණවුම් කර පාසල් සිසුන්ට විකුණලා

by thanushika
April 27, 2024 12:30 am 0 comment

මත්ද්‍රව්‍ය භාවිතයට පාසල් සිසුන් ඇබ්බැහිවීම වැළැක්වීම සහ පාසල් සිසුන් අතට මත්ද්‍රව්‍ය ලැබීම වැළැක්වීමට යුක්තිය මෙහෙයුම යටතේ මේ වන විට වැටලීම් ගණනාවක් සිදුකරගෙන යන බව නොරහසකි.

‘පවුර’ වැඩසටහනද යුක්තිය මෙහෙයුමට බද්ධව පවත්වාගෙන යන්නේ පාසල් සිසුන් මතට යොමුවීම වැළැක්වීම සඳහාය.

පොලිසිය පාසල් අවට වෙළෙඳසල් පරීක්ෂාවේ නිතර යෙදෙන්නේද පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවිකරන පුද්ගලයන් නීතිය රැහැනට කොටුකර ගැනීම සඳහාය.

පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ වෙළෙඳසල් හිමිකරුවන් සැලකිය යුතු සංඛ්‍යාවක් යුක්තිය මෙහෙයුමේදී මේ වන විට අත්අඩංගුවට ගනු ලැබීමද සුවිශේෂිය.

පාසල් අවට පිහිටි සමහර වෙළෙඳසල්වලට මත්ද්‍රව්‍ය ලබා දෙන පුද්ගලයන් රැසක්ද පොලිසිය මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය සමඟ වීමද සුවිශේෂී කාරණාවකි.

පාසල් ළමුන් අතර බුලත්විට බාබුල්, බීඩා, තුල් සහ දුම්කොළ භාවිතය වර්ධනය වෙමින් ඇති බවද අන්තරායක ඖෂධ නිවාරණ ජාතික මණ්ඩලය පසුගියදා සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කර ගන්නා ලදි.

මෙවැනි වටපිටාවකදී අන්තර්ජාලයෙන් මදනමෝදක ඇණවුම් කර ඒවා පාසල් සිසුන්ට අලෙවි කිරීමේ ජාවාරමක නිරත සිසුන් දෙදෙනෙක් වැලිමඩ පොලිසියේ නිලධාරීන් පසුගියදා සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගන්නා ලද්දේ මදනමෝදක පැකට්ද සමඟය.

යුක්තිය මෙහෙයුමට සමගාමීව වැලිමඩ සහ ඒ අවට ප්‍රදේශවල මත්ද්‍රව්‍ය වැටලීම් මෙහෙයුම්වල නිරත වැලිමඩ පොලිසියේ කණ්ඩායමක් සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය කරගන්නේ පාසල් සිසුන් දෙදෙනෙකු විසින් සිදුකරගෙන යන මදනමෝදක ජාවාරමක් පිළිබඳවය.

පොලිසිය මේ ජාවාරම පිළිබඳ ඇස ගසාගෙන සිටියදී තොරතුරු ලැබෙන්නේ අදාළ සිසුන් දෙදෙනා උපකාරක පන්තිවලට පැමිණෙන සිසුන් වෙනුවෙන් මදනමෝදක අලෙවි කරන බවයි.

වැලිමඩ පොලිසියේ අදාළ නිලධාරීන්ට ලැබුණු තොරතුරු මත එම නිලධාරීන් උපකාරක පන්තිවලට සහභාගීවීම සඳහා වැලිමඩ නගරයට පැමිණි සිසුන් පිරිසක් පරීක්ෂා කරන්නේ ක්ෂණිකවය.

මේ සිසුන් සන්තකයේ තිබුණු මදනමෝදක පැකට් 18ක් පොලිසිය සොයා ගන්නේ ඒ අනුවය. මෙලෙස සැකපිට අත්අඩංගුවට ගන්නා ලද සිසුන් පස්දෙනෙකුගෙන් පොලිසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නේ මදනමෝදක ජාවාරමේ අලගිය මුලගිය තැන් හෙළිකර ගැනීම සඳහාය. පොලිසිය එසේ ප්‍රශ්න කරද්දී මේ සිසුන්ට සිදුවන්නේ මදනමෝදක තමන්ට ලැබෙන හැටි පිළිබඳව සියලු තොරතුරු පොලිස් නිලධාරීන්ට හෙළි කිරීමටය.

පොලිසිය එලෙස අත්අඩංගුවට ගන්නා ලද සිසුන් පස්දෙනාගෙන් දෙදෙනෙකු සෙවණගල ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මෙලෙස මදනමෝදක ලබා ගන්නා බවත් ඔවුන් එලෙස අදාළ ජාවාරම්කරු සම්බන්ධ කරගෙන මදනමෝදක ලබා ගන්නේ අන්තර්ජාලය ඔස්සේ බවද පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී හෙළි විය. එලෙස අන්තර්ජාලය ඔස්සේ ඇණවුම්කර ගෙන්වා ගන්නා ලද මදනමෝදක මේ සිසුන් දෙදෙනා සෙසු සිසුන්ට අලෙවිකර ඇත්තේ එකක් රුපියල් 250කටය. එලෙස මේ සිසුන්ගෙන් මදනමෝදක මිලදී ගන්නා ලද සිසුන් දෙදෙනා අවුරුදු 16ක පමණ වයස්වල පසුවන අය බවද වැලිමඩ ප්‍රදේශයේ පාසල් දෙකක අධ්‍යාපනය ලබන සිසුන් බවද හෙළි විය.

වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් අබේවික්‍රමගේ උපදෙස් අනුව මේ විමර්ශන සිදු කැරිණි.

මේ අතර වැලිමඩ ප්‍රදේශයේම අතහැර දමා තිබූ ගොඩනැඟිල්ලකට රහසේ ඇතුළු වී මත්පැන් පානය කරමින් සිටි සිසු සිසුවියන් හත්දෙනෙක්ද වැලිමඩ පොලිසියේ නිලධරයන් සිදු කරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගන්නා ලද්දේ පසුගියදාය.

මේ සිසු සිසුවියන් පිරිස උපකාරක පන්තිවලට සහභාගී වීමට පැමිණි අය බව පොලිසිය කරන ලද විමර්ශනවලදී අනාවරණය විය. අතහැර දමා තිබුණු අදාළ ගොඩනැඟිල්ලේ ඉබි යතුරු කඩා දමා මේ සිසු සිසුවියන් පිරිස එහි ඇතුළුවී ඇති අතර ඔවුන් මත්පැන් සාදය පවත්වා ඇත්තේ එම වෙළෙඳසලේ තිබුණු මෙට්ට කීපයක් බිම අතුරා එහි වාඩිවී බවට පොලිසිය සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය විය.

ඔවුන් මෙලෙස පානය කරන ලද මිල අධික මත්පැන්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

මේ අතර පාසල් හැර ගිය සිසුන් හයදෙනෙක් සිදු කරන ලද මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල අනාවරණය කරගැනීමට යාපනය පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට හැකි වූයේ පසුගියදාය.

පාසල් හැර ගිය සිසුන් කණ්ඩායමක් තමන් ඉගෙන ගත් පාසලේම සිසුන්ට මත්පෙති අලෙවි කරන බවට යාපනය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ වැටලීම සිදු කරන ලදි. අදාළ සිසුන් අවුරුදු 19 -21 වයස්වල පසුවන අය වෙති. මේ අය විභාගවලට පෙනී සිට ඉන් නිසි ප්‍රතිඵල නොලැබූ අය බවද පොලිස් විමර්ශනවලදී හෙළි විය.

සැකකාර සිසුන් සතුව තිබුණ පැකට් කරන ලද මත්පෙති 300ක් පමණ සොයා ගැනීමට පොලිසියට හැකි විය.මේ සිසුන් තමන් විභාගයෙන් අසමත් වීමෙන් අනතුරුව මුදල් සොයා ගැනීම සඳහා මෙසේ මත්පෙති ජාවාරමේ නිරතව සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය විය.

ඡායාරූප – සී ගමගේ සොරණාතොට සමූහ

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division