Home » ‘කිරි අම්මලා’ මසට පටවන ඌවේ හාමුලාගේ කල්ලිය

‘කිරි අම්මලා’ මසට පටවන ඌවේ හාමුලාගේ කල්ලිය

by thanushika
April 27, 2024 12:30 am 0 comment

ගමින් ගමට ගොස් හෝටල්වල නවාතැන්ගෙන එළ ගවයින් සොරකම් කර මසට අලෙවි කරන කණ්ඩායමක තිදෙනෙකු එලෙස සොරකම් කළ එළගවයන් සහ හරක් ප්‍රවාහනය කරන නවීන පන්නයේ ලොරියක් සමඟ කල්ලිය ගමන් ගත් මෝටර් රථයක් ද අත්අඩංගුවට ගැනීමට හබරණ පොලිසියේ යුක්තිය මෙහෙයුමට අනුයුක්ත දූෂණ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.ජී. කුලතුංග ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට පසුගියදා හැකිවිය.

පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා සහ සහකාර පොලිස් අධිකාරිවරුන් වන ප්‍රමිත අබේසිංහ, චානක ද සිල්වා, සුදත් අස්මඩලේ යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි හබරණ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ඉලංගන්සේකර, පොලිස් පරීක්ෂක කේ.එම්.ජී. කුලතුංග යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදුකරන ලදි.

හබරණ පොලිසියේ යුක්තිය මෙහෙයුම්වලට අනුයුක්ත දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුලතුංගට ලැබුණ තොරතුරක් අනුව කරන ලද හදිසි වැටලීමේදී ගව සොරු තිදෙනෙකු, ගවයන් ප්‍රවාහනය කරන ලොරියක් සහ එම සොර කණ්ඩායම සොරකම් සඳහා ගමන් ගන්නා වැගන්ආර් වර්ගයේ මෝටර් රථයද සමඟ එළ ගවයින් අත්අඩංගුවට ගෙන තිබුණේ පසුගියදාය.

ප්‍රදේශයෙන් ප්‍රදේශයට, ගමින් ගමට ගොස් එළ ගවයින් සොරකම් කර මසට විකුණන මෙම කල්ලියේ නායකයා ඇඹිලිපිටිය, උඩවලව ප්‍රදේශයේ පදිංචි ‘හාමු’ නමැති නමගිය අපරාධකරුවෙකි. ඔහු සමඟ ගිය ඔහුගේ සගයා පොලිස් නිලධාරීන් වැටලීම සිදුකළ අවස්ථාවේ පලා ගොස් සිටියේය.

විවිධ චෝදනා යටතේ මෙම පුද්ගලයන්ට අධිකරණ වරෙන්තු පවා ඇති බව ද හෙළිවී ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විමර්ශනවල නිරතවී සිටින බව ද වැටලීම සිදුකළ පොලිස් නිලධරයෝ සඳහන් කළහ.

එළහරක් සොරකම් කර මසට අලෙවි කරන මෙම සොර කණ්ඩායමේ පුද්ගලයන් හයදෙනෙක් සිටින බව ද ඔවුන් උඩවලව, ඇඹිලිපිටිය, හම්බෙගමුව, නාරංගොඩ, පැල්මඬුල්ල, හම්බන්තොට යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් බවත් රටේ සෑම ප්‍රදේශයකටම ගොස් එළ ගව ගාල් ඇති ස්ථාන සොයා බලා එම ගව ගාල් ආසන්නයේ නවාතැන්ගෙන දින කිහිපයක් රැඳී සිට ඉතාමත් රහසිගතව ගවයින් සොරකම් කරගෙන පලා යන බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව්වී ඇත.

මොරගොඩ පොලිස් වසමේ කළුඇඹේ පාලම අසල ඇති ගවගාලක් ආසන්නයේ පසුගිය දිනෙක රැඳී සිටි මෙම සොර කල්ලිය රාත්‍රි කාලයේ එම ගවගාලේ එළ ගවයින් 7ක් ලොරියකට පවටාගෙන යෑමට සූදානම් කර තිබුණු අවස්ථාවේ වනජීවී නිලධාරින්ගේ ජීප් රථයක විදුලි ආලෝකය දැක පොලිස් නිලධාරීන් යැයි සිතා ලොරියට පැටවූ ගවයින් නැවත බිමට ඇද දමා පලාගිය බව ද සැකකරුවන් පොලිස් නිලධාරීන් විසින් කරන ලද ප්‍රශ්න කිරීමේදී පවසා ඇත.

ගමින් ගමට ගොස් මෙලෙස එළ ගවයන් සොරකම් කරන මෙම පුද්ගලයන් සීගිරිය, පිදුරංගල ප්‍රදේශයේ ජී.ජී. එදිරිසිංහගේ රුපියල් 150,000 වටිනා එළ ගවයෙක්, ආසිරිගම, නාමල්වැව ගම්මානයේ එම්. නිමල්රත්නගේ රුපියල් 150,000ක් වටිනා එළ ගවයෙක්, ගල්කඩවල, පළුගස්වැව ගම්මානයේ පදිංචි ඩී.කේ. කිරිනේරිස්ගේ රුපියල් 250,000 වටිනා එළ ගවයන් දෙදෙනකු සහ මොරගොඩ පොලිස් වසමේ එළ ගවයින් තුන්දෙනෙක් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ එළ ගවයෙක් සොරකම් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.

පොලිස් නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයන් තිදෙනකු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව හබරණ පොලිසිය කියයි.

ඇළහැර සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division