Home » දියවැඩියාව දියකර හරින්නේ කොහොමද?

දියවැඩියාව දියකර හරින්නේ කොහොමද?

by Mahesh Lakehouse
April 27, 2024 12:30 am 0 comment

දියවැඩියාව යනු වර්තමානයේ සුලබ රෝගයකි. සියලු වයස් ස්තරයකටම මේ රෝගය වැලඳීමේ අවදානමක් මතුවී තිබේ. මේ තත්ත්වයට අප ගන්නා ආහාර, විහරණ, මානසික හේතු මෙන්ම පාරිසරක හේතු ද බලපා ඇත.

අධි පෝෂණීය ආහාර ගැනීම හේතුවෙන් සිදුවන හෝමෝන වෙනස් වීම, පරිසරයට නුසුදුසු සේ සිදුකරන ඇඳුම් ඇඳීම හේතුවෙන් ඇතිවන දාහය ශරීර අභ්‍යන්තරයේ අන්තරාසර්ග පද්ධතියට බලපෑම් කර හෝමොන වෙනස් කිරීම තුළ ඇතිවන ශාරීරික තත්ත්ව දියවැඩියාව රෝගය වැලඳීමේ අවස්ථා නිර්මාණය කර ඇත. රාත්‍රියේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම, විකාලයේ නින්ද අධික මානසික ආතතිය ද දියවැඩියාව වැලඳීමට ප්‍රධානම හේතුවක් බව සිතිය යුතුය. අප ජීවත්වන පරිසරය දූෂිත නම්, ජීවත්වන පරිසරය පීඩාවක් නම් නැවත එය මානසික කාරණාවක් වී මෙම රෝගි තත්ත්වය ඇති කිරීමට බලපායි.

පාලනය කරගන්නේ කෙසේ ද?

පළමු කාරණාව ජීවිතය සරල කර ගැනීමය. පැවැත්ම සැලසුම් කරගැනීමය. අප ගන්නා ආහාර සම්බන්ධව වාරණයක් සහිතව ප්‍රමිතියක් හදා ගැනීමය. පිෂ්ටය සහිත ආහාරයක් ගන්නේ නම් එවැනි පස් ගුණයක් තන්තු සහිත ආහාර ආහාරයට එක් කර ගතයුතුය. බත් ටිකක් සමඟ එළවළු කොළ මැල්ලුම් වැඩිපුර බත් පතට එක් කරගැනීමය. එම ශික්ෂණය සහිත නම් අපට දියවැඩියාවෙන් මිදෙන්නට පුළුවන.

මෙවැනි ආහාර පුරුද්දකින් ප්‍රතිපල දෙකක් ලැබේ. එකක් ආහාර ජීරණ පද්ධතිය නිවැරදිව ක්‍රියාත්ම කරගැනීමය. ඉන් මල බද්ධය නැතිවේ. හෝමෝන පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වේ. සිරුර සැහැල්ලු වේ. ප්‍රබෝධමත් වේ. රෝගයෙන් වැළකෙනවාට අමතරව වාසි විශාල ප්‍රමාණයක් හිමි වේ.

දෛනික ආහාර රාටව

අප උදේ කිරිපිටි කෝප්පයේ සිට ඇබ්බැහිය වෙනස් කරගත යුතුය. ඒ වෙනුවෙන් අපට මොනරකුඩුම්බිය. රණවරා, පිටවක්කා, කඩු පහර, හීන් බෝවිටියා, යකිනාරං, මුස්සැන්ද වැනි කොළ කැඳ කෝප්පයකට හුරුවීම වැදගත්ය. මෙම කැඳ වර්ගවලට පේර කොළ දෙක තුනක් එක් කළ හැකිනම් දියවැඩියා රෝගීන්ට ඉතා ගුණදායකය. දියවැඩියා රෝගීන්ට හීන් උඳුපියලිය කැඳ ඉතාම හොඳය. කොළ කැඳ නැතිනම් කුරහන් කැඳක් සදා ගත්තත් ප්‍රමාණවත්ය.

උදේ ආහාරය සමබල ආහාරයක් ලෙස ගත යුතුය. සිරුරේ පැවැත්මට යම් ප්‍රමාණයක් පිෂ්ටය, සීනි අවශ්‍යය ය. අවශ්‍යවන අවම ප්‍රමාණයක් පිෂ්ටය සීනි එකතු කරගැනීම කළ යුතුය. උදෑසනට හොඳ පළාමැල්ලුමක්, පොල් සම්බෝලයක් සමඟ කෙඳි සහිත ආහාර, පිෂ්ඨය යම් ප්‍රමාණයක් ගත්තාට වරදක් නැත.

දිවා ආහාරය යම් කාල පරාසයක් තුළ ලබා ගත යුතුය. ඒ කාල පරාසය තුළ වෙනත් ආහාර ගැනීමෙන් වැලකී සිටිම වැදගත්ය. දිවා ආහාරය වෙනුවෙන් පලතුරක් භාවිත කළ හැකිනම් එයත් හොඳ වෙනසකි. එසේ නොමැති නම් බත් හෝ පිෂ්ටය දෙන ආහාර ස්වල්පයක් මස් බිත්තර වැනි ප්‍රෝටීන් ප්‍රභවයක් සමග තන්තු ආහාර වැඩියෙන් ගැනීම කදිමය.

දිවා ආහාරය ගත් කෙනකුට රාත්‍රී ආහාරය අත්හැරීම වරදක් නැත. රාත්‍රී ආහාරය ලෙස කැඳ කෝප්පයක් වැනි දේකට මාරු වීම ඉතා සුදුසුය. විශේෂයෙන්ම කිව යුත්තේ මේ සියලුම තත්ත්වයන් අදාළ වන්නේ කය වෙහෙසා වැඩ නොකරන, මනස වෙහෙසවා වැඩ කරන සමාජයේ බහුතරයක් වෙත බවය. තමන්ගේ රැකියාවේ ස්වරූපය අනුව ආහාර රටාව වෙනස් කරගැනීමේ අවශ්‍යතාව මේ නිසා පැන නඟින්නේය.

දෛනික පාන ලෙස ඉරමුසු, පොල්පලා රණවරා, බෙලිමල්, තේ වර්ග භාවිත කළ හැකිය. දියවැඩියාව ඇති අයෙක් පොකුරු වදමල් තම්බා බීම කදිම ඖෂධයකි. දියවැඩියා රෝගියෙක් ඉදුණු පළතුරුවලට වඩා මදක් ඉදිණු පළතුරු භාවිතයත්, තක්කාලි, අච්චාරු, බලමාළු විනාකිරි වැනි උෂ්ණ ආහාරවලින් සහ පිෂ්ඨය අධික ආහාරවලිනුත් මිදීමත් ඉතා වැදගත්ය.

අත් බෙහෙත්

දියවැඩියාව රෝගීන්ගෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ය. නමුත් සරල අත් බෙහෙත් ටිකක් දැනගෙන සිටීම වැදගත්ය.

1. රතු දණ්ඩ සහිත මුගුණුවැන්න මිටක් ගෙන කොටා පොට්ටනියක් බැඳ වන්ඩුවේ තම්බන්න. මිරිකා එහි ඉස්ම උදේට බොන්න.

2. පේර දලු මුකුණුවැන්න කොහොඹ දලු බෙලි කොළ ගම්මිරිස් ඇට කීපයක් එකට දමා කොටා වණ්ඩුවේ තම්බා මිරිකා උදේට හිස් බඩ බොන්න.

3. පොකුරු වදමල් තම්බා දිනකට දෙවරක් බොන්න

4. වෙනිවැල් ගැට තම්බා බීමෙන් රුධිර සීනි මට්ටම අඩු වෙයි.

5. අරළු, බුළු නෙල්ලි තම්බා බීමෙන් රුධිරයේ සීනි අඩු වෙයි.

6. කැලෑවල හැදෙන බටු කරවිල රැගෙන ‍හීනියට කපා වියළා එහි ග්‍රෑම් 05ක් වතුර කෝප්පා දෙකකට දමා තම්බා උදේ හවස බොන්න.

7. හීන් බිං කොහොඹ හෙවත් කිරාත, රණවරා ගසේ පංචාංගය සහ පිටවක්කා තම්බා බොන්න.

8. දියවැඩියා රෝගියා තරුණ අයෙක් නම්, ඔහුට වෙනත් රෝග නොමැතිනම් මාස හයකට සැරයක් හෝ බඩ විරේක කරගැනීම හොඳය. බඩ විරේක කර ගැනීමෙන්ම දියවැඩියාව හොඳ කරගත හැකි අවස්ථා තිබේ.

මේ වෛද්‍ය උපදෙස්වලින් තොරව දියවැඩියා රෝගීන්ට භාවිත කළ හැකි ඖෂධ කීපයකි. නමුත් ඇතැම් ඖෂධ වෛද්‍ය උපදේශවලින් තොරව භාවිත කිරීම නුසුදුසුය. ඊට හේතුව රෝගියාගේ සීනි මට්ටම අඩු විය හැකිවීමය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division